පාසල් දරුවන් මුදල් සොරකම් කරන තත්වයට රට පත්වූවේ ඇයි?

Share post:

මුදල් සොරකමක් සම්බන්ධයෙන් පාසල් සිසුවකුට දඬුවම් කිරීමක් පිලිබඳ පුවතකින් මාධ්‍ය කෝලාහලයක් ඇවිල ති‍බේ. එහිදී සිදුවීම සෘජුවම යොමුව ඇත්තේ ගුරුවරුන් සහ පොලිසිය වෙතය. අප සමාජයේ පවත්නා ස්වභාවය අනුවම යමින් දැන් සියළු වරද ගුරුවරුන් පිට පැටවී ඇති අතර අපරාධකරුවන් ලෙස සමස්ත ගුරු සංහතියම බැට කමින් සිටී. ඒ අතර සිදුවීම ගැන ගුරු සංගම් නිහඬය.

ගුරුවරයාගේ පෞරුෂය ගොඩනැංවීම සහ නියම ගුරුවරයකු නිර්මාණය කිරීම පිළිබඳ සංවාදයක් ගුරුවරුන් අතරින්ම ආ යුතු යයි අප කතා කරන්නේ බොහෝ කල් සිටය. එහෙත් ඒ වෙනුව‍ට ඉදිරියේදී සිදුවනු ඇත්තේ ගුරුවරුන් සැලකිය යුතු පිරිසක් සිසුන්ට වුවමනා නං ඉගෙන ගනිල්ලා අපි උඹලට අවවාද දෙන්න යන්නෙ නෑ කියා නිහඬ වීම විය හැකිය.

සමස්ත රටෙහි සියළු වෘත්තීය භූමිකාවන් පරිදිම ගුරු වෘත්තියද යළි සැකසිය යුතුය යන්න ගැන අප වෙනම කතිකාවක් ඇරඹිය යුතුව තිබේ. එහෙත් මේ සටහනෙහි අරමුණ එය නොව මේ ගුරුවරුන් හට දිගුවන අත් හරහා යටපත්ව යන තවත් වැදගත් කරුණක් ගැන අවධානය යොමු කිරීමටය.

පාසල් දරුවන් මෙලෙස සොරකමට යොමුවීම පිළිබඳ පුවත් අපට ඇසෙන්නට ගෙන ඇත්තේ ඇයි? අප අවධානය යොමු නොකරනා කරුණ එයයි. දිවයිනේ එක්තරා සරසවියක සිසුන් අත විවිධ දේ සඳහා එකතු කරන ලද මුදල්ද ඇතුළුව රුපියල් ලක්ෂයක් ආසන්න මුදලක් සොරකම් කරන ලද බවට පුවතක් රහසින් සංසරණය වී යට ගියේ මෑතකදීය. ඒ අතර දරුවන්ගේ ආහාර අහේනිය සහ පාසල් රැස්වීම් තුළ දරුවන් කලන්තය දමා ඇද වැටීම ගැන පුවත්ද දැන් යට යමින් තිබේ.

දරුවන්ට අවශ්‍ය දේ ලබා දී ඔවුන් පාසල් එවීම යුද්ධයක්ව තිබේ. ඒ අතර මත් භාවිතය වැනි උවදුරුද බහුලය. පසුගිය කාලය පුරා දරුවන් අත තාත්ෂණික මෙවලම් බහුල වීමත් ඒවා පාවිච්චි කරන ආකාරය පිළිබඳව දරුවන් නිසි ලෙස මෙයෙවීමට අසමත් වැඩිහිටි පරපුරක් සිටීමත් විසින් ඇති කර තිබෙන තත්වයන්ද බරපතලය. වරෙක මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන වෙදුරෙකු මා හා පවසා සිටියේ මේ මෙවලම් වලින් ගැලවීමට නොහැකි වීම ගැන කතා කරන්නට තමන් හමුවට සැලකිය යුතු සිසු සිසුවියන් පිරිසක් එන බවකි. ඒ අතර තවත් ගුරුවරයෙකු මා හා පවසා සිටියේ තම පාසලේ- එය පරසිදු පාසලක් වන අතරම නේවාසිකාගාරයක්ද ඇත්තකි- සිසුන්ගෙන් වැඩි පිරිසක් බඩගින්නේ පාසල් එන බවත් ගුරුවරුන් දැන් අමතර බත් පාර්සල් ගෙන විත් ඒවා දරුවන්ට ගැනීමට තබන බවත්ය. එසේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ මියගිය තම පියා වෙනුවෙන් දීමට නියමිතව තිබූ සාංඝික දානය පන්සලට නොදී තම පාසලේ දරුවන්ට කෑම වේලක් බවට පරිවර්තනය කළ බවයි. ශිෂ්වත්ව විභාගය සමත්ව දිවයිනේ පරසිදු පාසල් වලට ඇතුළුව සිටිනා දුර බැහැර දරුවන් සහ නේවාසිකාගාරගතව ඉන්නා එවන් දරුවන්ට වියදම් කිරීම දෙමවුපියන්ට අසීරුව ඇති තත්වයක දරුවන්ගේ අසරණකම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. එසේම තවත් දුර නිහඬව නොසිට රටේ අධ්‍යාපනයේ අර්බුදය ගැන සහ දරුවන් සම්බන්ධයෙන් පවත්නා ගැටළු ගැන විවෘත සංවාදයක් ඇරඹීමට ගුරුවරුන්ද පෙරට ආ යුතුව තිබේ.

පාසල් පද්ධතියෙහි දඬුවම් පිලිබඳව බරපතල සංවාදයක් අරඹන අතරම ගුරුවරුන් වෙත එල්ල කරනා විවේචනයම ඊටත් වඩා බරපතල ලෙස තවත් පාර්ශවයක් වෙත යොමු කිරීමට සමාජය කල්පනා කළ යුතුව තිබේ.

දරුවන් මුදල් සොරකම් කරන තත්වයකට මෙ රට පත් කළේ කවුද? දරුවන්ගේ ආහාර වේල ගැටළුවක් වන තැනට රට පත් කළේ කවුද? අන්තිමටම හිඳුන රටක ඉතිරිව තිබෙන මණ්ඩි ටිකද සොරාකමින් ජනතාව තවදුරටත් පෙලන්නේ කවුද?
අප වහා මේ ගැටළු වලට පිළිතුරු සොයා ගත යුතුය. අප පුලන්නන්ගේ තත්වයට පත් කර තම පාලනයන් පවත්වාගෙන යන්නට කවර පාවාදීමක් වුව කරනා මේ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලකයන් ගැන අපේ විවේචනය එල්ල නොකර සිදුවීම් කෙරෙහි පමණක් ආසක්ත වෙමින් අප සිදුවීමෙන් සිදුවීමට පැන පැන යන්නේ නම් අපේ හෙට දවසද මෙලෙසින්ම පවතිනු ඇත.

යළි කියමි. පාසල් දරුවන් මුදල් සොරකම් කරන තත්වයට රට පත්වූවේ ඇයි? අප මීට පිළිතුර සොයා නොගන්නේ නම් අපේ විවේචන යනු හුදු වාගාලාප පමණක්ම වනු ඇත.

චූලානන්ද සමරනායක

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...