Home Blog Page 251

ඇත ජෝතිලා ගීයෙන් හෙන ප්‍රශ්න අසා

0

එක්වී සිටින මොහොතක මධු සාදයක
රස තැන් ලියද්දී තව දිවි ජේදයක
පැටලී සවන් ජෝතිගෙ ගී නාදයක
වැටුණා යාළුවෙක් හා මම වාදයක

ජෝතිගෙ දහසකුත් නෙක ගී අතර එන
තියෙනව නේද එක එක මාදිලියෙ පැන
හිතුනද දන්නෙ නෑ මෙය කිසිවෙකුට වෙන
බලපං ටිකක් මේ කිව් කාරණය ගැන

ඇහුවත් කොතෙක් මේ ගී අප්පුඩිද ගසා
දැනුනෙම නැනෙ මේවා නම් ගැටලු ලෙසා
විපරම් කළොත් උඹ කිව් දේ නොවෙයි මුසා
ඇත ජෝතිලා ගීයෙන් හෙන ප්‍රශ්න අසා

මේ වැනි ප්‍රශ්න ඇති ගී අපි ගියොත් සොයා
මතකෙට නගා ගත හැක වැඩි දුරක් නොයා
මේ ගීතයෙන් අමතා මගෙ පනයි කියා
ඇහුවේ අඬන්නේ ඇයි සුදු මැනිකෙ ඔයා

තිබුණත් නොයෙක් වර මේ ගී කණට ඇසී
පැනයක් ලෙසින් දැනිලා නැත කලෙක කිසී
අහුවේ ජෝතිපාලත් මෙය සිනහසිසී
බඳ ලෙලවලා කොයි යන්නේ ගමනෙ ලැසී

ලෝකයෙ වෙනස්වුණෙ ඇත්තට දෙවියාද
නැත්නම් වෙනස්වුණෙ අපි වගෙ මිනිසාද
අපගේ පිටම පවරා මේ ගැන වාද
ජෝතිල සුරලොවේ දානව ඇති සාද

පටලා සොබාදම හා ආදරය සරූ
ඇහුවේ ප්‍රශ්න වැලකින් විදියටයි මරූ
ඇයි හිනැහෙන්නෙ පායා නිල් ගුවනෙ තරූ
යනුවෙන් ජෝති ගීතය ආරම්බ කෙරූ

තියෙනව ගීතයක් මිනිහගෙ ගී යායේ
මීටර් වෙන්න එක්කල අහමුද ආයේ
විමසන පැනය මේකයි ඔහු එම ගීයේ
කොතනකදෝ එදා පෙර දින හමුවූයේ

ගී සෑයක්ම මිනිහා කදිමට තැනුවෙන්
අරගමු තවත් ගීයක් එම ගී ගොණුවෙන්
කොහෙදෝ යන්නෙ කවුදෝ දන්නේ යනුවෙන්
ඇහුවේ දුලිකා ගැන ඔහු අප වෙනුවෙන්

මැරිලත් දශක ගණනක් නම ඇත තියලත්
ගී ලොව සූරයෙක් ලෙස කවදත් ජය ලත්
ගැයු ගී ටික ඉතිං ඇත ලෙසටම ගයලත්
ඇහුවා කවුද ඔබ කවුරුන්දෝ කියලත්

මරු අයිඩියා එයි බොනවිට මධුපානේ
මිතුරා කියයි දැන් ගැලවිල්ලක් නැනේ
මේ ගැන තව තවත් විමසන්නම ඕනේ
මේ ගී කාටදැයි ජෝතිම ඇසුවානේ

ගී ගැන වාදයෙදි අපෙ නැත පසුබැස්ම
මේ වගෙ කතා මී විතකට කටගැස්ම
ජෝතිගෙ සිංදු නම් කොයිකවදත් “ඉස්ම”
අහතැකි යනතුරා අපෙ අවසන් හුස්ම

ප්‍රියන්ත කොඩිප්පිලි

සාෆි වඳ නාටකය : සා/පෙළ ප්‍රතිඵල සමග සම්පූර්ණ කතාව කියවන්න !

0

‘මට වැඩියෙන්ම සතුටක් දැනුණේ මගේ තාත්තා නිර්දෝෂයි කියලා අධිකරණය තීන්දු කරපු දවසෙ.’

BBC වෙබ් අඩවියට එසේ පවසා ඇත්තේ වඳ සැත්කම් චෝදනාවකට ගොදුරු වූ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් සාෆිගේ වැඩිමහල් දියණියයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ ඇය, මොහොමඩ් සාෆි ෆාතිමා සෙයිනම් ය. බලය ලබාගැනීම වෙනුවෙන් නිර්මාණය කරන ලද චෝදනාවක් බවට අධිකරණය ඉදිරියේ තහවුරු වූ මෙම නාටකය හේතුවෙන් ඇය බරපතළ පීඩාවකට මුහුණ දුන්නාය.

‘මගේ පාසල් දිවිය ආරම්භ වෙන්නෙ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. ඊට පස්සෙ මලියදේව බාලිකාව. තාත්තගෙ ප්‍රශ්නවලින් පස්සෙ කොළඹ මුස්ලිම් කාන්තා විදුහල. ඊටපස්සෙ කල්මුණේ මහ්මුද් බාලිකා විදුහලට යන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් මහනුවර බදියුදීන් මහ්මුද් කාන්තා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවෙ.’

මේ හේතුවෙන් ඇය මුහුණ දුන් ඛේදවාචකය සම්බන්ධයෙන් තේරුම් ගැනීමට එපමණක් වුවද ප්‍රමාණවත් ය. මෙම වඳ නාටකය නිර්මාණය කළ දේශපාලනඥයන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ වෙනත් වෘත්තික කණ්ඩායම් සහ මාධ්‍ය තවදුරටත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නව නාටක නිර්මාණය කරමින් සිටී. එම නිසා දියණියගේ සාමාන්‍ය ප්‍රතිඵල අගය කරන අතර, යළිත් සාෆි වඳ නාටකය මුල සිට කියවාගැනීම වැදගත් ය.

www.thetime.lk අපි, එහි සම්පූර්ණ කතාව මෙසේ පෙළගස්වන්නේ බලය ලබාගැනීම වෙනුවෙන් යළිත් එවැනි නාටක රචනා කෙරෙමින් පවතින පසුබිමක ය.

‘තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා’

2019 මැයි 23 වැනිදා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ ‘තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ’ යන්නයි. ඒ වන විට පාස්කු ප්‍රහාරයෙන් ගතවී තිබුණේ මාසයක් පමණි. පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකු ප්‍රහාරකයන් ලෙස සම්බන්ධ වීම නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙසම සැකෙන් බලන තත්ත්වයක් උදාවී තිබිණි.

ඒ වන විට ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහුගේ බරිඳ ද එම රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කළාය. ඇයට ලැබුණු හදිසි ස්ථාන මාරුවකදී රෝහල් පරිපාලනයේ යම් තීන්දුවක් නිසා එවකට රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂව සිටි චන්දන කැඳන්ගමුව සහ වෛද්‍ය සාෆි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබිණි. එම වචන හුවමාරුවෙන් පසු සාෆිට එරෙහිව විවිධ ප්‍රචාර යන්නට විය.

වඳ නාටකයේ ආරම්භය

වඳ නාටකයේ පළමුවැනි අඬහැරය තබන්නේ එවකට කුරුණෑගල දිසා භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද එවකට කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක් වූවාය. නියෝජ්‍ය පොලිස්පතිවරයා 2019 මැයි 12 වැනිදා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට ඩීඅයිජී/කේයූ/ආර්අයියූ/134/19 අංකයෙන් ලිපියක් යොමු කරමින් වෛද්‍ය සාෆි තවුහිත් ජමාත් සංවිධානයට අයත් බව සහ තවත් දෑ සඳහන් කර විමර්ශනයක් සඳහා උපදෙස් ලබාදුන්නේය.

තවුහිත් ජමාත් සංවිධාන ශ්‍රී ලංකාවේ කිහිපයක්ම තිබුණද සාෆි ඒ කුමන තව්හිත් ජමාත් සංවිධානයට අයත්දැයි සඳහන් කර නොතිබිණි.
කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා 2019 මැයි මස 22 වැනි දා කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ නඩු අංක බී 1398/19 යටතේ කරුණු වාර්තා කරමින් විමර්ශනයක් ආරම්භ කළේය.

විමර්ශනය ආරම්භ කරන බවට කරුණු වාර්තා කළ දිනට පසු දින දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත වූයේ වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. ඒ සමඟම සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ පවා කතා කරන්නට පටන් ගත් අතර මේ ගැන විමර්ශනයක් සිදු කරන්නැයි එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා මෙම විමර්ශන සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා යටතේ සමූහ මංකොල්ල විමර්ශන අංශයට පැවරීය.

විමර්ශන ආරම්භ කිරීමට එම ‘දිවයින’ ප්‍රවෘත්තියේ නමක් ගමක් සඳහන් වී නොතිබුණු නිසා සමූහ මංකොල්ල විමර්ශන අංශය 2019 මැයි 25 වැනි දා රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස එම ප්‍රවෘත්තිය පළ කළ දිවයින පුවත්පතේ මාධ්‍යවේදී හේමන්ත රන්දුණුට සහ එහි ප්‍රධාන කර්තෘට දැනුම් දුන්නේය. ඒ විමර්ශනය ආරම්භ කිරීමට වෛද්‍යවරයා සහ ප්‍රදේශය ගැන නිශ්චිත තොරතුරක් ලබා ගැනීම සඳහාය. පුවත්පත්වල විශේෂ අනාවරණයක් කළ අවස්ථාවන්හිදී ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගෙන් පළමු ප්‍රකාශය සටහන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
මාධ්‍යවේදියා පොලිසියට කැඳවීමත් සමඟ තත්ත්වය සංකීරණ වන බව කුරුණෑගල පොලිස් ලොක්කෝ දැනගත්හ. ඊට හේතුව මාධ්‍ය මගින් මෙය ප්‍රචාරය කළ ද ඒ වන විට කිසිම පැමිණිල්ලක් නොතිබීමයි.

සාෆි අත්අඩංගුවට

පොලිසිය කඩිමුඩියේ ක්‍රියාත්මක වී මාධ්‍යවේදියා රහස් පොලිසියට යෑමට පෙර සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට තීරණය කළේය. 2019 මැයි 24 වැනි දා කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මගින් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්ට වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් දුන්නේය.

එම නියෝගය අනුව පොලිස් පරීක්ෂක පුෂ්පලාල් ඇතුළු කණ්ඩායමක් මැයි 24 වැනිදා රාත්‍රී 10ට වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේ චෝදනා තුනක් යටතේය. එනම් තවුහිත් ජමාත් සංවිධානයේ මුදල් ලබාගෙන එම සංවිධානයේ අරමුණු ඉටු කිරීම සඳහා සිසේරියන් සැත්කම් කරමින් සිංහල මවුවරුන් වඳ භායට පත් කිරීම එක් චෝදනාවකි. දෙවැනි චෝදනාව අයථා ලෙස උපයාගත් මුදලින් වත්කම් ලබාගෙන ඇති බවයි. තුන් වැන්න නම් ඔහු නිදැල්ලේ සිටියහොත් වෛද්‍යවරයාටත් ඔහුගේ නිවාසවලටත් අලාභයක් ඇති විය හැකි බවයි.

තුන්වැන්න චෝදනාවක් නොවූවද පොලිසිය එය චෝදනාවක් සේ සටහන් කර තිබිණි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එම චෝදනා එල්ල කළ ද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ නැත.
අත්අඩංගුවට ගත් සාෆිට එරෙහිව 1979 අංක 48 ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 7 (1) යටතේ පැය 72ක් රඳවාගැනීමට කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඩී එම් යූ මහින්ද දිසානායක කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකට නියෝග ලබා දුන්නේය.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අයථා වත්කම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ගැන විමර්ශනය කිරීම සඳහා බවට ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානීන් පවසන බවයි. කාන්තාවන් වඳ කිරීමක් සෙවීමට ඔහු අත්අඩංගුවට ගත් බවක් කීවේ නැත. කාන්තාවන් වඳ කිරීමක් ගැන එකදු පැමිණිල්ලක්වත් ලැබී නැති බවට ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් කී බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කුරුණෑගලින් අත්අඩංගුවට ගත් සාෆි විමර්ශන සඳහා රහස් පොලිසියට භාර දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කළේය.

මාධ්‍යවේදියාගේ ප්‍රකාශය

2019 මැයි 25 වැනි දා දිවයින පුවත්පතේ පෙර සඳහන් කළ පුවත ලියූ රන්දුණු අප්පුහාමිලාගේ හේමන්ත අශෝක රන්දුණු මාධ්‍යවේදියා රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා තමාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවයි.
රහස් පොලිසියට වෛද්‍ය සාෆි භාරදීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා ඇතුළු විමර්ශන කණ්ඩායම එහි අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකරගේ උපදෙස් පරිදි 2019 මැයි 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් උපදෙස් ලබා ගෙන වෛද්‍ය සාෆි දින 90ක් රඳවා තබා ගැනීම සඳහා 1979 අංක 48 දරණ ත්‍රස්ථවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 9 (1) යටතේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගෙන් නියෝග ලබා ගත්තේය.

පැමිණිලි 615න් ළමයි නැත්තේ 147කට

ඉන් පසු රහස් පොලිසිය කුරුණෑගලට ගොස් මව්වරුන් 615කගේ පැමිණිලි සටහන් කර ගත්තේය. එයින් මව්වරුන් 438 දෙනෙකු කියා තිබුණේ තමන් පැමිණිලි කරන්නේ ජනමාධ්‍යවල ගිය තොරතුරු අනුව ඇති සැකයට පමණක් බවයි. මව්වරුන් 147 දෙනකු කියා ඇත්තේ තමන් ළමයින් හදන්නට උත්සාහ කළත් ළමයින් නැති බවයි.

මේ අතර සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා පැමිණිලි 11ක් රහස් පොලිසියට යොමු කළේය. ඔහු ඒ පැමිණිලි යොමු කළේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව කළ විමර්ශනයකින් පසුවය. මීට පෙර සඳහන් කළ පරිදි විමර්ශනය කළ චන්දන කැඳන්ගමුව සමග වෛද්‍ය සාෆි ඊට පෙර බහින්බස් වීමක්ද සිදුව තිබිණි. වෛද්‍ය සාෆි අතින් යූරීන් නාල කැපීම, වෛද්‍ය සාෆි දරුවකු මාරු කිරීම, සාෆි වෛද්‍යවරයා සැත්කම් කළ පසු බඩේ ගෝස් කැබැල්ලක් තිබීම, වෛද්‍ය සාෆි බලහත්කාරයෙක් එම්එල්ටී සැත්කම් කිරීම යන චෝදනා එම පැමිණිලි 11 තිබිණි.

රෝහල් අධ්‍යක්ෂගේ ‘බොරු’ පැමිණිලි

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (දැන් අධ්‍යක්ෂ) කළ විමර්ශන වාර්තාවට අදාලව සාෆිට චෝදනා කළ ද එහි ඇති පැමිණිලි කිහිපයක් මෙසේය. (උපුටා ගැනීම වාර්තාවෙන්)
‘බඳින්න කලින් ඔසප්වීමේ අක්‍රමිකතාවක් මත ශල්‍යකර්මයක් කළා. විවාහ වුණේ 2013 වර්ෂයේදී. ලැපරටොමි ශල්‍යකර්මය කර එක නාලයක් අයින් කළා. එම ශල්‍යකර්මය කළෙත් වෛද්‍ය ෂාපි මහතායි. මට සාමාන්‍ය පරිදි දරුවන් ලබන්න බැරි බව වෛද්‍යවරු කියනවා. නල දරු උපතක් මගින් දරුවෙකු ලබා ගැනීමට අවස්ථාව ඉල්ලා සිටිමි.’
‘උදරයේ ඩිම්බකෝෂවල ගෙඩියක් හටගෙන තිබූ බැවින් ශල්‍යකර්මයක් මඟින් ඉවත් කරන ලද අතර, ඉන් පසු ඇතිවූ ශාරීරික අපහසුතා සම්බන්ධ ගැටලුව සහ දරුවකු නොලැබේද යන ගැටලුව’
‘එක් දරුවකු සිටින අතර, බඩේ ගෙඩියක් ඇති බව පවසා ශල්‍යකර්මයකට භාජනය කරන ලදී. ඉදිරියේදී දරුවන් නොමැතිවේද යන ගැටලුව’
‘ගර්භාෂයේ කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඉදිරියේදී දරුවන් ලබා ගැනීමේ ගැටලු’
‘ඩිම්බකෝෂවල වතුර ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු විවාහයෙන් පසු ඉදිරියේදී දරුවන් ලබාගැනීමේ හැකියාව පිළිබඳ ගැටලු’
පැමිණිලි කළ බොහෝ කාන්තාවන් දරුවන් හදා ගැනීම සදහා උත්සාහ කළ අයවත් නොවෙති. ඔවුන් පැමිණිලි කර ඇත්තේ ජනමාධ්‍ය මගින් ඇතිකළ බිය නිසාය.
සරත් වීරබණ්ඩාර යොමු කළ පැමිණිලිවල සඳහන් සියලු දෙනාගෙන් සහ එම සිදුවීම්වලට සම්බන්ධ වෙනත් පාරශ්වවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පැමිණිලි 11න් පැමිණිලි 09ක්ම බොරු පැමිණිලි බවට අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
යූරීන් නාල කැපූ බවට කළ පැමිණිල්ල විමර්ශනය කළ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ යූරීන් නාල කැපුනේ සාෆි අතින් නොව තමාගේ අතින් බවට විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ දුන් බවයි. එම මව අසාධ්‍ය තත්ත්වයේ සිටිය දී ඇය බේරා ගැනීම හදිසියේ කැපුම යොදද්දී අත්වැරදීමකින් එය සිදුවූ බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළ බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.

දරුවකු මාරු කළැයි කියන සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කළ රහස් පොලිසිය දැනුම් දුන්නේ ස්වාමි පුරුෂයා විදේශ ගතව සිටින කාන්තාවක දරු ප්‍රසූතිය සඳහා කරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති බවයි. හමුදා සෙබළකු සමඟ පැවැති අනියම් සම්බන්ධයක් නිසා මෙම දරුවා ලැබී ඇති බවත්, දරුවා සමඟ නිවසට ආවොත් තමා මරා දමන බව සැමියා ප්‍රකාශ කර ඇති බවත්, එම රෝහලේම එම්.එල්.ටී නිලධාරිනියක් මෙම දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්ත දැක්වා ඇති බවත් එම කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශවලින් අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම දරුවා උපන් වෙලාව ගෙන කේන්දරකරුවකුට දුන් විට මොහු අනාගතයේ වෛද්‍යවරයකු වන බව කීවේයැයි ද, එබැවින් මෙම දරුවා හදා ගැනීමට තීරණය කළේයැයි ද, මේ සම්බන්ධයෙන් මානුෂිකව සලකා බලා අනාගතයේ දී තමා වෙනත් මවකගේ යැයි දැන ගැනීමෙන් දරුවාට වෙන අපහසුතාවය මග හැරීමට දරුවාගේ මවගේ නම වෙනස් කර දෙන ලෙසත් ඉල්ලා සිටියේයැයි එම කාන්තාව කියා තිබිණි.

ඉන්පසු වෛද්‍ය සාෆි එසේ නම් එලෙස කරන ලෙස දැනුම් දුන් බවට ඇය ප්‍රකාශ කළ බවත්, තමා එලෙස දැනුම් දුන් බව සාෆි ප්‍රතික්ෂේප කළ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත්ට එරෙහිව පැමිණිලි

මව්වරුන් 147 දෙනාගේ පැලෝපීය නාලවලට හානි විදුවීදැයි සෙවීමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ලිඛිතව උදව් ඉල්ලූ බවත්, ඉන් පසු ඔහු ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු වන අජිත් තෙන්නකෝන්, අජිත් පතිරණ සහ ජානකී කරුණාසිංහ පත් කළ බවත්, ඊට අධිකරණයේ ද අවසරය ලැබුණු බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

මෙම මව්වරුන්ගේ පැලෝපීය නාලවලට හානි සිදුවීදැයි සොයා බැලීමට එස්එච්ජී නම් පරීක්ෂණය සිදු කළ යුතු බවත්, ඒ සඳහා කොළඹ කාසල් රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් සපයන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තේය. ඒ අනුව ජුනි 30 වැනි දා කුරුණෑගල දී මෙම පරීක්ෂණය ගැන මව්වරුන් දැනුම්වත් කිරීමට සායනයක් පැවැත්වීමට වෛද්‍ය මණ්ඩලය තීරණය කළ අතර එම සායනයට මව්වරුන් යොමු කිරීම සඳහා රහස් පොලිසිය ජුනි 27 වැනි දා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියත් අධිකරණය එය තාවකාලිකව අත්හිටුවීය. ඊට හේතුව කුරුණෑගල රෝහලේ එවකට අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා කළ කරුණු දැක්වීමකි.
නඩුවේ පාරශ්වකරුවකු නොවන දන්ත වෛද්‍යවරයාගේ එම කරුණු දැක්වීම නඩු වාර්තාවලට ඇතුළත් කර නොතිබිණි.

ඒ ගැන රහස් පොලිසියත්, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් මහේස්ත්‍රාත්වරයාට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය. පැමිණිලිවල සඳහන් වූයේ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක බවයි.
ප්‍රසව හා නාරිවේද විෂයේ ප්‍රවීණයෙකු නොවන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ එස්.එච්.ජී පරීක්ෂණය ආසාත්මිකතා ඇතිවන මාරාන්තික විය හැකි පරීක්ෂණයක් බවයි. ඔහුගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍ය බව බැලීමට එස්එච්ජී පරීක්ෂණයෙන් ආසාත්මිකතා ඇතිවීම ගැන පසුගිය වසර පහක තොරතුරු ලබා දෙන ලෙස ප්‍රධාන රෝහල් කිහිපයකට රහස් පොලිසිය දැනුම් දුන්නේය.

රෝහල් අධ්‍යක්ෂගේ තවත් බොරුවක්

රජයේ ශික්ෂණ රෝහල් 12කින් හා පුද්ගලික රෝහල් හතරකින් එච්එස්ජී පරීක්ෂණයට අදාල දත්ත රහස් පොලිසිය ගෙන්වාගෙන තිබුණු අතර ඒවා පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එම රෝහල් නවයේ අදාල කාල වකවානුවේ එච්එස්ජී පරීක්ෂණ 12,000ක් පමණ සිදු කර ඇති බවයි. එයින් කිසිවකු මිය ගොස් නැති බවත්, බරපතල සංකූලතා ඇතිවී නැති බවත්, හතර දෙනකුට පමණක් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඒ මොහොතේම දැනුනත් එය පසුව හරි ගොස් ඇති බවත් පෙනී ගොස් තිබේ.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් පිටු 210ක බී වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාලව වෛද්‍යවරුන් 47 දෙනකුගෙන්, හෙදියන් 71 දෙනකුගෙන් සහ සුළු සේවකයන් 18 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

නාල මිරිකීම ගැන සාක්කි නෑ

වෛද්‍යවරුන් 47 දෙනාගෙන් වෛද්‍යවරුන් 43 දෙනකුම සාෆිට එරෙහිව කිසිම චෝදනාවක් නඟා නැත. එක් නිර්වින්දන වෛද්‍යවරියක සාෆිගේ සැත්කම් සැකසහිත බවට වෙනත් අය කීවේයැයි ප්‍රකාශයක් දී ඇති අතර මෙම වෛද්‍යවරිය හා සාෆි අතර මීට ඉහත බහින්බස්වීමක් වී වෛද්‍යවරියට එරෙහිව සාෆි රෝහල් අධ්‍යක්ෂට පැමිණිලි කර තිබිණි. තවත් වෛද්‍යවරයකු කියා ඇත්තේ සිසේරියන් සැත්කම අවසන් වෙද්දී සාෆි සෙසු වෛද්‍යවරුන්ව වෙනත් වැඩවලට යවන බවයි.

තවත් වෛද්‍යවරයකු කියා ඇත්තේ සාෆි නොදන්වා එම්එල්ටී සැත්කමක් කළ බවයි. එම තිදෙනාද ඇතුළුව වෛද්‍යවරු 47 දෙනාම සාෆි පැලෝපීය නාල මිරිකනු දැක්කේ නැති බව ප්‍රකාශ කර තිබේ.
හෙදියන් 71 දෙනා සහ සුළු සේවකයන් ද සාෆිට පැලෝපීට නාල මිරිකූ බවට ප්‍රකාශ ලබාදී නැත.
මේ අතර සාෆි අත්අඩංගුවට ගැනීම ගැන රහස් පොලිසිය කුරුණෑගල එවකට පොලිස් අධිකාරී මහින්ද දිසානායකගෙන් සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවූ අතර 10 දෙනකුගේ සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් මැයි 26 දින SP/PA/4368/19 යටතේ කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එවනු ලැබ තිබිණි.

පොලිසිය කූඨ ලේඛන හදලා

පළමු සාක්කිකරු රූපසිංහ ආරච්චිලාගේ චලිතා මධුමාලි රූපසිංහගෙන් 2019 මැයි 24 දින උදේ 9ට (සාෆි අත්අඩංගුවට ගත්දින පෙරවරුවේ) කුරුණෑගල රෝහලේදී ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් අධිකාරීවරයාගේ වාර්තාවේ සඳහන් වෙන බවත්, මුත්‍රා නාල දෙක කැපීම ගැන ඇගේ ප්‍රකාශයේ සඳහන් වන බවත්, මුත්‍රානාල කැපුණේ සාෆි අතින් නොවන බව විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රකාශයෙන් සනාථ වූ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම ප්‍රකාශය සටහන් කිරීමට ගිය කුරුණෑගල පොලිස් නිලධාරීන් පිටවීමේ සහ පැමිණීමේ සටහන් තබා නොමැති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

ජයලත්ගේ නාමල් බණ්ඩාර ජයලත්ගෙන් 2019 මැයි 24 දින සවස 4ට නාවුල රෝහලේ දී ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එල්ආර්ටී නොකර ඒ බවට සටහන් ඇතුළත් කිරීමට උපදෙස් දී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වන බව කුරුණෑගල පොලිස් අධිකාරීවරයා වාර්තා කර තිබිණි. නමුත් රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ එදින නොව ඊට පසු දින එනම් මැයි 25 දින සවස 4ට නාවුල පොලිස් ස්ථානයේ දී බවයි. මේ අනුව ව්‍යාජ දින සහ ස්ථාන යොදා කූඨ ලෙස පොලිස් ලේඛන සකස් කර ඇතැයි රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
ප්‍රියානි ප්‍රියංගියා නන්දසේන නම් විශේෂඥ වෛද්‍යවරියගෙන් 2019 මැයි 24 වැනිදා කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සවස 7ට පැමිණිල්ල සටහන් කරගත් බව කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා වාර්තා කර ඇතත් රහස් පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ 2019 මැයි 26 වැනි දා සවස බත්තරමුල්ලේ ඇගේ නිවසේදී බවයි. එම ප්‍රකාශයේ ව්‍යාජ දින යොදා ව්‍යාජ ස්ථාන යොදා පොලිස් සටහන් ව්‍යාජ ලෙස සකසා ඇතැයි රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සීසීටීවී දර්ශන මගින්ද මෙය සනාත කරගෙන තිබිණි.
හපුආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනීගෙන් 2019 මැයි 24 දහවල් 12ට කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සාක්කි සටහන් කර ගත් බවත්, 2007 වසරෙන් පසු ඇයට දරුවකු නොලැබුණු බව එම ප්‍රකාශයේ ඇති බවත් කුරුණෑගල පොලිස් අධිකාරීවරයා වාර්තා කර තිබේ. ඒ ගැන සොයා බලද්දී රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඇගේ ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ 2019 මැයි 25 දින දහවල් 12ට කුරුණෑගල පොලිස් ස්ථානයේදී බවයි. ඒ අනුව එම ප්‍රකාශය ද ව්‍යාජව සකස් කර ඇතැයි රහස් පොලිසිය කියයි.

අබේවර්ධන මුදියංසේලාගේ චාන්දනී නයෝමිකා අබේවර්ධනගෙන් මැයි 24 වැනි දා දහවල් 12.30ට ප්‍රකාශ සටහන් කර ගත් බවත්, 2011 වසරෙන් පසු දරුවන් නොලැබීම ගැන ඇය පැමිණිලි කර ඇති බවත් පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නද එම පැමිණිල්ල සටහන් කරගෙන ඇත්තේ ද මැයි 25 වැනිදා බව රහස් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජයලත්ගේ ප්‍රසන්තිකාගෙන් මැයි 24 ප්‍රකාශ සටහන් කර ගත් බවත්, 2010 වසරෙන් පසු ඇයට දරුවන් නැති බව ප්‍රකාශ කළ බවත් පොලිස් අධිකාරීවරයා වාර්තා කළ ද එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේද මැයි 25 දින බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අතපත්තු මුදියන්සේලාගේ ගංගානි දේවිකා මැයි 24 ප්‍රකාශයක් දෙමින් 2009 වසරේ සිට ළමයින් නැති බව ප්‍රකාශ කළේයැයි පොලිස් අධිකාරී වාර්තා කළ ද ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ මැයි 25 දින දවල් 1.30ට බව රහස්පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

මේ අනුව සාෆි අත්අඩංගුවට ගැනීමට පෙර සටහන් කර ඇති බවට මූලිකව විශ්වාස කළ හැක්කේ එක් පැමිණිල්ලක් පමණක් බවත්, ඉතිරි පැමිණිලි නවයම සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු සටහන් කරගෙන ඇති බවත්, සාෆි අත්අඩංගුවට ගැනීමට පෙර කළැයි කියන පැමිණිල්ල වන්නේ මුත්‍රානාල කැපීම බවත්, ඊට අදාලවද පොලිසිය විමර්ශනය කර නැති බවත්, විමර්ශනය කළේ නම් එය සිදුවී ඇත්තේ සාෆි අතින් නොවන බව අනාවරණය වන බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
මේ අනුව කුරුණෑගල පොලිස් ස්ථානය මගින් සාෆි අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කූඨ ලේඛන සකසා ඇතැයි රහස් පොලිසිය අනාවරණය කර ගත්තේය.

මිනී මැරුමකට යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නම් යම් පුද්ගලයකු මිය ගොස් ඇති බව මුලින් සනාථ විය යුතු අතර එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයාගේ ක්‍රියාවක් හේතුවෙන් බවට සාක්කි තිබිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහ පනතේ 311 යටතේ බරපතල තුවාල සිදුකිරීමට වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට නම් කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානියක් සිදු කර ඇතැයි මුලින් අනාවරණය කරගෙන සිටිය යුතු අතර ඉන් පසු එම හානිය කළේ සාෆි විසින් බව අනාවරණය කර ගත යුතුය.

එසේ නැතිව එම චෝදනාවට වෛද්‍ය වරයා අත්අඩංගුවට ගත නොහැකිය. එහෙත් එය සිදු විය. ඊට අදාළ ව පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදුන්නේය. ඔහුගේ පවුලට සැඟවී හෝ ජීවත්වීමට අසීරු තත්ත්වයක් උද්ගත විය.

එම නිසා ඔහුගේ දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් වරින්-වර පාසල් මාරු කරන්නට සිදු විය.

දැන් සියල්ල අවසන් ය. ෂාෆි නිදහස් ය. ඔහුට රජයෙන් හිඟ වැටුප් පවා ගෙවා අවසන් ය. සමස්ත සමාජයක් නැටවූ වගකිවයුත්තන් ද නිදහසේ ය.

‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ ගැන කතා කරන්න, කළුවරට බය නොවී අද රෑ අටට එන්න

0

කසුන් සමරතුංග රචනා කළ ‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ කෙටිකතා සංග්‍රහය පිළිබඳ සූම් සංවාදයක් නොවැම්බර් මස 28 වන සඳුදා එනම් අද රාත්‍රී 8.00ට පැවැත්වේ. ‘කෙටිකතා ගැන කෙටිකතා’ නම් සහෘද සංවාද පෙළෙහි එක් අදියරක් ලෙස පැවැත්වෙන මෙය සංවිධානය කරන්නේ සාහිත්‍යවේදී අනිල් හේරත් ප්‍රමුඛ සහෘදයන් කණ්ඩායමකි. සංවාදය මෙහෙයවනු ලබන්නේ කිවිවර, විචාරක වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල විසිනි. පහත සබැඳි ඔස්සේ ඔබට මෙම සංවාදය සමඟ සම්බන්ධ විය හැකිය.

Zoom –

Meeting ID: 846 0718 4136
Passcode: keti1234

Youtube –

@readdotlk

‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ වෙනුවෙන් ප්‍රවීන ලේඛක මංජුල වෙඩිවර්ධන රචනා කළ පෙරවදන පහතින් දැක්වේ.

කාමර කළුවර කරන හිච්හයිකිං නිමේෂ

ජීවිතය නම් ‘මරඋගුල’ විශ්ලේෂණය කර ගන්නට මිලාන් කුන්දේරා තරම් සාහිත්‍යයිකව උගුල් ඇටවූ ලියන්නකු මා සන්තානය තුළ නිධන්ගතව නැත. 1974 තරම් ඈතක, ‘ලාෆබල් ලව්ස්’ කෘතියේ ‘ද හිච්හයිකිං ගේම්’ නම් කෙටිකතාව හරහා මෙම ‘චෙක්’ ලියන්නා මනුෂ්‍ය සන්තානය ‘චෙක්’ වන හැටි පෙන්නන්නට ප්‍රේමවන්තයන් දෙදෙදෙනෙක් සති දෙකක ‘වැකේෂනයක්’ සඳහා සාහිත්‍යයික සවාරියක් යැවීය. මේ සවාරිය තුළ උත්පාද වූ ‘හිච්හයිකිං නිමේෂ’ සමකාලීන සමාජ ජීවිතය වෙලාගෙන ඇත. කවර සමාජාර්ථික, දේශපාලනික හෝ සංස්කෘතික සන්දර්භයක වුව මා ‘හිච්චයිකිං නිමේෂ’ ලෙස නම් කරන අඩමාන සෙල්ලක්කාරකම්, දෛනික ජීවිතය තුළ අනවරත ය. අප පසු කරන මේ නිශ්චිත නිමේෂයේ එය ගෝලීය වන්නේ වෙයි; විශ්වීය වන්නේ වෙයි.

කුන්දේරාගේ කතාවේ එන තරුණිය සතු හදවත ලැජ්ජාභරිත ය; ආත්මය ඊර්ෂ්‍යායාකාරී ය; ස්වකීය මනස ස්වකීය සිරුරට වෛර කරයි. ඉදින් ඇයට, නා කියා ගන්නා කුටියෙහි වන කණ්නාඩි කැඩපත පේන්නට බැරි ය. සිය කෙසඟ සිරුර පරාවර්ථනය කර පෙන්වනා බැවිනි. ඒත් ඇය ස්වකීය ප්‍රේමවන්තයා විශ්වාස කරයි. ඔහු ඇගේ සිරුර ආත්මයෙන් ව්‍යුක්තව නො ගන්නා තරමට බරපතලකම් පානා මිනිසකු බව ඇය හිතයි.

මෙම වැකේෂනීය සවාරිය යමින් ගමන සබකෝලී, හීනමානී, ඊෂ්‍යක්කාර තාරුණිය වහා චිත්තාකර්ෂනීය ‘හිච්හයික්කාරියක’ බවට පත්වේ. සිල්ලර ආදර සබඳතා රැසක් සහ නො දැමුණු සංවාස රැසක් අත්විඳ ඇති නමුත් සිය ප්‍රේමවන්තියගෙන් ‘ශුද්ධවරභාවය’ පතන තරුණ මානවකයා හිච්හයික්කාරියට වාහනය නවත්වන නාඳුනන වාහනකරුවා බවට පත්වෙයි.

නාඳුනන වාහනකරුවාගේ ‘චරිතය’ ක්‍රියා කරන්නේ ‘හිච්චයික්කාරිය’ විමෝහනයට පත් කර ඇඳට රැගෙන යාමේ චේතනාවෙන් ක්‍රියා කරන්නකුගේ භූමිකාවයි. ඔහුට එය නිරූපනය කිරීම එතරම් අමාරු නැත.

ඒත් මෙම අඩමානී ‘සෙල්ලම’ තුළ අර්බුදයට යන ස්ත්‍රී අධ්‍යාත්මයේ පදනම, තරුණියකගේ ලෛංගික කල්කරියාව සාම්ප්‍රදායිකව ‘හොඳ’ සහ ‘නරක’ ලෙස වර්ගීකරණයට ලක් කළ, අතීත ‘කන්‍යා-වෛශ්‍යා ද්විධාකරණය’ තුළ ව්‍යංගය දැනවීම දක්වා විහිදෙයි. ක්ෂණික තීන්දුවක් මත ලැබුණු චරිතය නිසා සබකෝලී තරුණිය මුළුමනින් ම ප්‍රතිවිරෝධී විවෘත ලෛංගික ප්‍රවේශයක් අරගන්නා බැවිනි.

කෙසේ හෝ ක්‍රමයෙන්, මෙම අඩමානකර සෙල්ලමේ ෆැන්ටසිමය වස්තුමාත්‍ර යථාර්ථය මත ගැටෙන්නට ගනියි. එතෙක් පැවති ආදර සම්බන්දයේ, දරුණු භාවාත්මක සහ චෛතසික ප්‍රතිවිපාක අත්පත් වී, අධ්‍යාත්මයන් මත ලේ ගලන්නට වෙයි.

මා හිච්හයිකිං නිමේෂ මෙම සංක්ෂිප්ත රචනාවේ පෙර බිමට කැඳවීම සහේතුක ය. කවිය උරගල කරගත්, පත්තරකාර භූමිකාව සිය හෘදය සාක්ෂිය කර ගත් කසුන් සමරතුංග නම් තරුණ ලියන්නා, වචන මත වචන ගටමින් කාලය සහ අවකාශය සංයෝජනය විසංයෝජන කරන්නට ශ්‍රමය වගුරන අයුරු කාලාන්තරයක් තිස්සේ මගේ නිරීක්ෂණයට හසු විය. අවසන, කාලය මේ නිමේෂය ලෙස නතර කරලන අවකාශයක ඔහු අපට ඔහුගේ කෙටිකතාව මුණ ගැසෙන්නට සලස්වයි.

“අපේ පළවෙනි හමුවීම සිද්ධ වුණේ මනුස්ස ලෝකෙදි. හැන්දෑවක්. ඇනෙක්ස් එකක්. එයා ඒ දවස්වල නැවතිලා හිටපු ඇනෙක්ස් එක.”

‘අපි ආපහු හම්බ වුණා’ නමින් එන පළමු කෙටිකතාවේ පිවිසුම් වැකිය එයයි. ‘ඉස්සර ගියපු පස්සෙ සීට් එක’ නමින් එන දෙවැනි කෙටිකතාවේ පිවිසුම මෙයාකාර වෙයි.

“මං මගේ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා.”

මෙසේ සිය ප්‍රබන්ධයන් අපූර්ව නාමකරණයන්ට ලක්කරන්නටත්, ඒවාට ආකාර්ශනීය ලෙස පිවිසෙන්නටත් එහෙමට ලියන්නකු ම විය යුතු ය. එහෙමට ලියන්නකු වන්නට නම් ඔහුට, ස්වකීය වාග් පරිහණය පිළිපඳ අතිශය බලගතු අන්තර් ඥානයක් තිබි යුතු යැයි මම තදින්ම විශ්වාස කරමි. සාහිත්‍ය පාඨනය කරන්නේ පඨිතය වෙත කෙසේ අවතීර්ණ වුවද ලියන්නා සිය සෑම වචනකටම තමන්ට වගකිව යුතු ය.

ජීවිතය, සමස්ථයක් ලෙස ගතහොත් එය ඥානනය කළ නොහෙන තරම් උත්ප්‍රාසයෙන් පිරුණේ වෙයි. උත්ප්‍රාසය විසින් වේදනාව ලෙළවන්නේ සංතුෂ්ටිය යනු කවරක්දැයි අවධාරණය කරන්නට ය. එසේම සංතුෂ්ටිය ලෙළවන්නේ වේදනාවේ පරිකල්පනය වෙත පිවිසෙන ද්වාර මඟක් සොයා පහදා ගන්නට ය. ලියැවිල්ලක ගැලී අප ශබ්ද නඟා හිනාවෙන හැම මොහොතකම නිශ්ශබ්දතාවය පිළිබඳ හෘදය සාක්ෂිය උත්ප්‍රාසාත්මක ඇසකින් අප දිහා බලා සිටිනා බව ඉදින් ඔබට පවසන්නට අවසර ! නිශ්ශබ්දතාවයේ ගැලී සිටීම සහ හඬ නැඟීම දේශපාලනිකව කියවා ගත යුතු ප්‍රවේශයන් ය. මනසේ ස්වස්ථතාව කොච්චර හොඳින් වැඩ කරනවාද කියන එක දැන ගන්නේ උත්ප්‍රාසය තේරුම් යන ප්‍රමාණයට බව මම සිතමි.

නාට්‍යක්කාර උත්ප්‍රාසය වනාහී කසුන් සමරතුංගගේ මෙම ප්‍රබන්ධ ගොඩනැංවීමේ ප්‍රබන්ධ කාර්යයේ භාවිතයට ගන්නා මුඛ්‍ය ප්‍රයෝගයයි. ඔහු එමඟින් කෘතියට ඒකමිතියක් ගෙන එයි. නාට්‍යක්කාර උත්ප්‍රාසය අත්‍යන්තයෙන්ම තේමාත්මක මානය හා ඒකාබද්ධ විය යුතු ය. උත්ප්‍රාසාත්මක වාගාලාප පඨිතය උත්කර්ෂයට නඟයි. දෙගිඩියාව හෝ අවිනිශ්චිතභාවය තනන්නටද, රොමාන්තික සාහිත්‍යාතිය පවත්වාගන්නට ද, සහකම්පනය උපද්දන්නටද, කොමඩිමය හෝ ට්‍රැජඩියමය නිමේෂ සනිටුහන් කරන්නටද නාට්‍යක්කාර උත්ප්‍රාසය නිශ්චිත මාත්‍රවෙන් පරිහරණය කළ යුතු ය.

“මුලින්ම අපි දෙන්නගෙ ඇස් එකට ගැටුණෙ හරකෙක් ‘උම්බෑ’ කියන වෙලාවට සමාන්තරව.”

කසුන් සමරතුංග එසේ ලියයි. ඉදින් මේ තරුණ ලියන්නාගේ උත්ප්‍රාසය ළෙලවීම ගැන කැට තියන්නට මට හැකිය. ඒත් ඔහු කෙටිකතාකරණය තුළ කවර ගැඹුරු මානයන් කරා එළඹෙන්නේදැයි විමසා බලන්නට සහෘද ඔබට ඉඩ තබමි. නො ගැඹුරු කවියකුගේ ඉගැඹුරු ජීවිතය ගැන ළෙලවා පෙන්වන්නට ඔහු ‘ස්ක්‍රීට් ෂොට්ස්’ යොදා ගනියි. එකී නමින් එන කෙටිකතාව මෙකී ස්ක්‍රීන් ෂොට්ස් ඉක්මවා නො යන්නේ දැයි කෙටිකතාකරුවා අපෙන් අසයි. මම එය ඔබෙන් අසමි. උත්ප්‍රාසයම උරගල කරගත් ලියන්නකු වෙනුවෙන් උත්ප්‍රාසයම යොදාගන්නට ලැබීම පරම සහනයකි.

මා පුද්ගලිකව සිතන්නේත්, අත්දකින්නේත් දුෂ්කර ම සාහිත්‍යයික තාක්ෂණික ක්‍රමවේද අතපත්ව ලියන්නන් කෙටිකතාකරුවන් බවයි. එය අසීරු ක්‍රියාවලියකි. කෙටිකතා කෘති වාර්ෂිකව මුද්‍රණය වුව ද, තමන්ගේ සාහිත්‍යයික පියලකුණ සාහිත්‍ය වපසරියේ සළකුණු කළ ලියන්නන් අප සතුව සිටින්නේ අතිශය අල්පයකි. නවකතාකරුවන් කී විට අපට විශාල මුහුණු ප්‍රමාණයක් සිහිපත් වුව ද, කෙටිකතාකරුවන් කී විට මතකයට එන්නේ මුහුණු කිහිපයකි. එසේ වන්නේ මා පෙර කී පරිදිම අසීරුතම සාහිත්‍යයික ක්‍රියාවලිය කෙටිකතා රචනය නිසයි.

මෙම කෘතියට රමණීය නාමකරණයක් ගෙන එන කේන්ද්‍රීය කතාව, කසුන් සමරතුංග නම් කතාකරුවා අවසන් කරන්නේ මෙලෙසිනි.

“දැන් පුතා අපි දෙන්නා මැද්දෙන් නිදා ගන්නවා. ඌ හැමදාම මහා රෑට ඇහැරෙන්නෙ මර හඬ දීගෙන. මට නිදාගන්නත් නෑ. වරුණිට පොත් කියවන්නත් නෑ. හැබැයි ඒකට කමක් නෑ. මට දැන් පවුලක් කියලා දෙයක් තියෙනවා. ඒකෙ තව දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නෙ ආපහු කවදාවත් මම මේ කාමරේ ඇතුළෙ කළුවරට බය වෙන්න ඕනෙ නෑ. ඉස්සර වගේ නිතරම නිදාගන්න බැරි වෙයි තමයි. ඒත් ඒ නිදාගන්න ටික මට දැන් කිසි බයක් නැතුව නිදා ගන්න පුළුවන්.”

කළුවරට බය කාමරය තුළ සෙල්ලම, එයම උගුලක් බව, කළුවරට බය තැනැත්තේ, එනම් එහි කථකයා, තේරුම් නො ගන්නේ හෝ නො තේරුම් නො ගන්නේ කතුවරයා එය තේරුම් ගන්නා හෝ නො ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව බව අවධාරණය කරමි.

නිදහසට, අවසානයේ, ඊටම අනන්‍ය මිලක් පවතින බව ‘හිච්චයිකියානු නිමේෂ’ හරහා කුන්දේරා අපට පවසයි. සෙල්ලම, එය තුළම ‘උගුලකි’. ඉදින්, කෙටිකතා සෙල්ලම ද එයාකාර නො වෙතැයි කාට නම් කිව හැකි ද?

මංජුල වෙඩිවර්ධන
ලියොන් – ෆ්‍රන්සය
2021 පෙබරවාරි 20

ඇගේ කවිය සමග ඇවිද යා හැකි දුර බොහෝ ය ‘සහස් කඳු තරණ මං පෙත්’

0

‘සහස් කඳු තරණ මං පෙත්’ – කෞශල්‍යා ජයලත්

ළදැරියකි හස නගා සරන. ඇය ජීවිතයෙහි තුටු උල්පත් අතර සරන්නී ය. එහෙත් ඒ කඳු හිසක ය. මේ ඇගේ සැරියෙහි විස්තරයයි.

ගගන ගෑවෙන කඳුහිස
සරමි රිසි සේ මැද තොස
නාඳුනන විහඟුන් පසුපස
දුවමි මත් වෙමි මියුරු ගී අස

ජීවිතයේ මියුරු නද විඳිමින් මත් වෙමින්, කුසුම් නෙලා මුහුලස ගවසමින් යන්නට ඇත්නම් ඒ කවර ආහ්ලාදජනක සැරුමක් ද? කෞශල්‍යා කිවිඳිය සිය කවි සිත මුදා හැර තුටු වෙයි. එහෙත් ඒ ගමන නිදැල්ලේ යාමක් සේ පෙනුන ද මුළුමනින් ම අනතුරුවලින් මිදුනේ ද නොවෙයි. ඇගේ බිය එහෙයිනි.

සිතු තැනිතලාවෙක ළදැරිය
ඇවිදින්නීය කඳු ශිඛරය
අසීරු සැරිසැරුම ලිස්සා
ප්‍රපාතෙට වැටේදැයි හද බිය

ඉදින් ඇගේ සැරිය අතරෙහි ඇය ජීවිතයේ සුඛ දුක්ඛ පක්ෂයන් මෙන්ම සමාජ දේහයෙහි ආලෝකමත් මෙන්ම අන්ධකාරයෙන් යුත් කලාපයන් ද විනිවිදින්නී ය. විවිධ ජීවිත තුළට එබී බලා එහි අහුමුළු විවර කරන්නී ය. ඒ විවර කිරීම් හරහා අපට හමුවනුයේ අප සමාජයෙහි කඩතොළුව ගිය මං පෙත් ය.

මේ ඇයට ඒ අතර මග හමුවන පතිනියකගේ දවසයි. එහි ඇති යෙදුම් කුටුම්භයෙහි බර අදින කතගේ භූමිකාවෙහි විවිධ පැති විදහයි. ඇය උදෑසන ඇඳෙන් බසින්නී සිය නින්ද බිඳගෙන ‘ඉරට‘ තවත් නිදියන්න ඉඩදී ඇතිරිල්ල ද පොරවමිනි.

ඉරට තව පැය දෙකක් සනීපෙට නිදියන්න පේවී
ඇතිරිල්ල පොරවලා සෙමෙන් යහනෙන් බසින සාවී
පෙර රැයෙහි තීරු කැපු නොයෙක එළවළු කැබලි යාවී
ඇතිලිවල නටන හොදි නිවා බත්මුල් බඳින දේවී

ඇය සයනයෙන් බසින්නී සෙමෙනි. ඒ ඉරට තවත් මද වෙලාවක් සුව නින්ද සදන්නට ය. ඉන්පසු ඇරඹෙනුයේ දෛනික යුද්ධයයි. ඇය සිය කවියෙහි භාවිතා කරනා යෙදුම් හරහා ගෘහණියකගේ පොදු අත්දැකීම නාටකීය බවකින් විදහයි.දරුවන් සැමියා සමග දවස ඇරඹීම, මග තොට ඇති අනතුරු, යළි නිවෙසෙහි දරුවන් සමග සටන මෙන්ම නිවසෙහි කුදු මහත් කටයුතු ඈ ඉදිරිපිට ය. මේ කිසිවක් වටිනාකමක් ලබනා කාර්යයන් නොවේ. එහෙත් ඇය දිනපතා එහි නියැලිය යුතු ය.
ඒ අතර ඇයට හමුවන තම වර්ගයාගේ ඛේදය ඇගේ ඇස් පාරයි. ඉදින් ඇය සොවින් නැගෙන්නී ය. සමාජයට අභියෝග කරමින් ම. ශුද්ධවන්ත ලෝකයක පාපී කතුන් සුධවල මිනිසුන්ට අසුබ ලකුණු ය. ඇය ඔවුන් වෙනුවෙන් නැගෙන්නී ය.

දෙව් මැදුරු දොර අබියස
ඉටි පහන් විකුණන ලඳ
උර මත නිදන දෙනයන
ඇගෙද නැතිනම් කාගෙද?

දෙවියන් බැහැ දකින්නට යන අයට ඉටිපහන් ඇවැසි ය. එහෙත් ඒ ඉටි පහනෙහි ආලෝකය දල්වන්නා වෙතම ගලා යන්නේ ද නැත. එහෙයින් ඔහු ආලෝකය සොයනු වෙනුවට ඉටිපහන් විකුණන කතගේ තෝම්බුව හාරා අවුස්සයි. දිගටම ඇයට හමුවන්නේ එවන් කතුන් ය. ඉඳින් එවන් කතුනට කළ යුත්තේ කුමක්ද? ඇය සාධු සමාජයට අභියෝග කරයි. ඒ පාපී කතුන්ට ගල් ගසන්නට ය. එහෙත් ඒ ගල යනු පෙරලා තමන් වෙතම එන්නකි.

සුදු ඇඳි සාධු ජන මැද
ළඳකට මෙලෙස විය හැකි වෙද?
සෙරක් විය යුතුම ය මේ ළඳ
ගල් ගසන්නට වරෙව් රොද බැඳ

දැන් ඇය ඉදිරිපිට සිටින්නී සිය රටෙන් නොරටට පුදන ලද දැරියකි. ඇය අපට පානුයේ දයාසේන ගුණසිංහයන් ලියූ එතෙර ගිය පොඩි දුවට කවියෙහි නූතන පරිච්ඡේදයයි. ඇය අමතන්නී තම පියාට ය. එය හද රිදවන චෝදනාවකි.

තාත්තේ
කතාවේ කළු අප්පු වාගේ
නොඑව්වත් අස්පයා කම් නැතී
තනාදී ලෑලි අස්පයෙක්වත්
සරම් ඔංචිල්ලාවේ
නැළෙව්වේ නැති වුවත් දුක නැතී
සූදුවේ ඔබ තේරු අස්පයා පදින්නී
ඔබ නොතේරූ ඔබේ ලොකු එකී

මෙහි එන “ඔබ නොතේරූ” යන යෙදුම නොරටට දුන් දැරියගේ පියා තුළ දියණිය කෙරේ පැවති සෙනෙහසෙහි දිග පළල කියයි.
ඉදින් ඒ අතර ඇයට හමුවනුයේ ලියන්ගේ අකල්හී නැසී යන කවි කලලයන් ය. කිවිඳියක බිහිවීම මේ පුරුෂ ලෝකය තුළ ඇගේ බර බද්දල් මැද කෙතරම් අසීරුදැයි ඇය විමසා බලයි. කිවිඳියක බිහිවීම යනු අසිරියකැයි ඇය ව්‍යංගයෙන් පවසයි.

අමු මිරිස් ළූණු ලියනාතර
අබ මාළු දැලි පෙරී අත්වල
තැලී ඇඹරී ගැබ් නැසි
ලිය කවි කලල අපමණ

සැමියන් සැක සැතින් සිදුරුව
රුහිරු වගුරා දිවි හල
කවි ඉලන්දාරී කැල
සරති හද තුළ අඳුරු ගුල්වල

ඉදින් විලි ලා බිහිකෙරන කතුන්ගේ කවියෙහි ඉරණම කුමක්ද?

ජනිත වීම ම කව් බිළින්දෙකු
ඉතිරි හද විළිරුදා විඳ විඳ
අරුම කවියකි වියතුනි
සිඳිනු ගෙල කිම සැතකිනි?

මේ සමාජය ගැන ලියවෙන සාහිත්‍ය අතර නම් අප වනාහී, සිනාමුසු මුහුණින් පසුවන, හද වෙඬරු මෙන් හුණුවන, දෑසට කඳුළු හිඟ නැති, අනෙකා වෙත නැමී ගත් මිනිස් යායකි. පින්කෙත හෙල රන් දෙරණකි. මිණි යායකි. වෙණ නාදෙකි. එහෙත් ඇයට හමුවනුයේ කිසිදු හැඟුමක් නැති රූ පෙලකි. දුම්රියකට පැන දිවි නසා ගත් කතක දකිනා මිනිස් රූ තෙපලනා බස් හරහා ඇය අපේ අසංවේදී මෙන්ම මුග්ධ ස්වභාවය එළියට ඇද දක්වයි. සෑම මොහොතක් ම සේයාරුවක දවටා මුහුණු පොතේ බෙදා ගන්නා සමාජයක් මරණයට පත් කතක දකින ආකාරය;

යකෝ මේකි
මැරෙන්න යන්නෙත්
මේකප් දාලනෙ
ඇසුණි රසික හඬක්
දුම්රිය හූ කීවේ කාටද?

“රසික හඬක්!” ඒ නම් කදිම යෙදුමකි.

මේ ඇය පිහි ගැන කරනා අර්ථ විවරණයයි.

රුහිරු ඉහිරුම පමණද?
පිහියකට උරුම මිතුරේ
ආදරේ තැවරී නැතිවද?
පිහි දාර අතර පතරේ

දෝණියැන්දෑ ආස හින්දම
පියඹා අඹ තුරේ
අඹ නෙලා අච්චාරු සෑදු
අප්පච්චිගේ අත් අතරේ
ආදරේ තැවරුණු පිහියකි
අද ද නෙත තුටු කඳුළු පැතිරේ

ඇය තම කවියට නිමිති සොයා ගැනීමේදී වෙනස් කියවීම් කරා එළඹෙන්නී ය. පිහි හරහා ඇය දකින ආදරය ඇය අවසන් කරනුයේ මෙලෙසිනි.

පිරිමැද කතන්දර
ආදරේ පිරි පිහි අතරේ
හද සිදුරු කළ පිහි ගැන
අමතක කරමි නිතරේ

ඉදින් ඇගේ කවිය සමග ඇවිද යා හැකි දුර බොහෝ ය. එහෙත් ඒ දිගු ගමන ඔබට පවරා මෙතනින් නතර විය යුතු යයි සිත කියයි. ඒ ඇය සමග එකඟ වෙමිනි.

තරණය නොකර තනිවම
කපමු කඳු
බිමට ම සමතලා වන්නට
එවිට හැක අප සැමට ම
සමබිමක ඇවිද යන්නට

චූලානන්ද සමරනායක

ජාජා ඩිං : දඩිං බිඩිං ගා (නො)කියවීම

0

පහුගිය දිනෙක කියැවීම් හෝරා කීපයක් ඉන් අනතුරුව තවත් දින කීපයක් සිතීම් සඳහා හොරා ගත්ත යොවුන් නවකතාවක් සමඟ ගෙවුණි. පොත ජාජා ඩි ය; කතු කසුන් සමරතුංග විය.
“ඇත්තටම අහම්බෙන් මුණගැහෙන ඒ මිනිස්සු අපිට ආයෙමත් ජීවත් වෙන්න ආරාධනා කරන එක කොයිතරම් අපූරුද? එයාලා ගැන මතකය, බලාපොරොත්තුවක් විදියට සදාකාලිකව ජීවත් කර තබා ගනීවි.”

  • මිමි නොවික්
    (Guidebook To Your Heart)

ජීවිතය නොනිමවෙන්නෙ , හෝ නිම වෙන්නෙ ‘මිමි නොවීක් ‘ කියන්නාක් වගේ අහම්බකාරක මොහොතවල් මත තමයි. ජාජා ඩිං අමුත්තක් දැනෙන නාමකරණයෙන්ම මේ වගේ අහම්බයක්, යෞවනයෙකු වටා කරකවනවා වගේම ඒතුළින් සාමාන්‍යයෙන් අප අස්පර්ශනීය කියවීම් කළාපෙකටත් ඇරලවනවා. මේ කියවීම් ස්ව රසඥතාව අනුව විවිධ යි.

යම් යම් සීමාවීම් වගේම ප්‍රමුඛ ඉලක්කගත පාඨක ප්‍රජාවක් පිළිබද නිරන්තර සාවධාන වීමක් බලාපොරොත්තු වෙන නිසාම වඩාත් අභියෝගාත්මක සාහිත්‍ය ශානර 2 ක් ලෙස යොවුන් නවකතාව හා ළමා සාහිත්‍ය හඳුන්වාදීම වැරදි නෑ. ජාජා ඩිං ලියවෙන පසුබිම මේකයි.එහෙම පසු බිමක සිට නිරන්තරයෙන් ම සාවධාන විය යුතු වයස් සීමාවක , අසංවාදාත්මක තේමාවක් තමයි ජාජා ඩිං වලින් හසුවෙන්නෙ. යොවුන් නවකතා කී සැනින් සිහි ගැන්වෙන, වීර කතා , ත්‍රාසජනක කතා වලින් බැහැරව තත්‍ය සමාජ වටපිටාවක යෞවනයන්, තමන්ගෙ ජීවිත වෙනස් කරගැනීම වගේ තේමාවන් දැන් ලාංකීය යොවුන් නවකතාවේ දකින්නට හැකිවීම සුබ ලකුණක්. ඒකී තේමාත්මක පටුත්වයෙන් මිදී, අනෙකාවෙත අනුකම්පාව වෙනුවට සහකම්පනය , මිත්‍රත්වය ප්‍රදානය කිරීමේ වටිනාම තමයි මේ නවකතාව රසවත් ප්‍රබන්ධයක් ආශ්‍රයෙන් අපට දනවන්නෙ.එතනදිත් නිරන්තරයෙන් යොවුන් නවකතාවේ වස්තුවෙන, ගම හෝ ග්‍රාම්‍යත්වයේ වගේ දේකින් මිදිලා , ස්මාර්ට් ෆෝන් , අන්තර්ජාලයේ කරක්ගහන නූතන යෞවනයා මේ තුලින් මතුවීම විශේෂත්වයක්. මනුජ සහ සඳරු කියන මිතුරන් දෙදෙනාගේ අපූරු මිතුදම ගැන කතාව යටතින් දක්වලා තියෙන කියමන සනාථ කරන්නෙ එම නිසා.

“ඔබ එදිනෙදා වීදිවල දකින එම මුහුණු සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු විරහිතව නිර්මාණය වූ ඒවා නොවේ; ඔවුන්ට කාරුණික වන්න.”

  • චාල්ස් බුකොව්ස්කි

සාමාන්‍ය යෞවනයෙක් වෙන සඳරු හා මනුජගෙ සම්බන්ධය පටන්ගන්නෙ,බරපතළකමකින් ම නෙවෙයි, සඳරු තුළ තිබෙන සෙල්ලම්කාරී බවකින්. මනුජ පිළිබද විශේෂ මිත්‍රත්ව්‍යක් ඇතිව නෙවෙයි. මනුජගෙ පිටසක්වල කතා මුලින්ම සඳරුටත් එවෙලෙට සිනහ ගේන කතා මිස ඊට වඩා දෙයක් උනේ නෑ. නමුත් ඔහු පසුව වෙනස් වෙනවා. එසේ ඇති වෙන සම්බන්ධය කුතුහලයකින් යුතුව ගලා යනවා වගේම සංවේදී අවසානයක් එකතු කරන්නත් සමත්වෙනවා.

සඳරු සාමාන්‍ය යෞවනයෙක් උනත් මනුජ කුඩා කළ සිටම තිබුණ ශාරීරික රෝගාබාධ වගේම තනිකම නිසාම සමාජ ආශ්‍රයෙන් බැහැරව හුදකලාවට ප්‍රිය කළ කෙනෙක් කියල කියන්න පුලුවන්. ඔහු තුලින් introvert කෙනෙක්ගෙ ගති ලක්ෂණ තමයි ස්මතු වෙන්නෙ, සඳරු එහි අනෙක් පැත්ත extrovert ගති ලක්ෂණ වලින් යුක්තියි කියල කියන්න පුලුවන්. මනුජ මේ තමන්ගෙ හුදකලා කාන්සාමය ස්වභාවය සමාජ ජීවිතය යටපත් කරගන්න දීලා, පරිකල්පනීය ලෝකෙක මනෝභාවයන් සමඟ විසූවෙක් කියල , ඔහුගෙ පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාසය කියවපු විට දැනෙනවා.

මේ මනෝභාවයන් ගැන කතා, කවුරුහරි විශාදය වගේ මානසික රෝගයක් හැදිලා මියගියාට පසුව සතියක් දෙකක් කතා වෙනවා විනා තවමත් මහ පොළවෙ අපි අපි අතර හරිහැටි වටහා ගැන්මක් තියේද කියන ප්‍රශ්නාර්ථය එන්නෙ ඒ සමඟයි. අනෙකා කිසිවිටකත් තමන් උදෙසා වෙනස් නොකොට ඔහු සමඟ සම ගෞරවයෙන් මිත්‍රත්වයන් පවත්වාගැනීම මේ කතාව පුරා සඳරුගෙන්, මුලු සමාජයටම කියවාගන්න පුලුවන් දෙයක්. මේ යෞවනයන් දෙදෙනා ගැන කතාව යෞවනත්වයේ දකින්න පුලුවන් විශේෂතා ගැනත් මේ විදිහට කතා වෙනවා.

• යොවුන් වියේදී තමන් දකින – අසන දේවල් සඳහා තමන්ගෙම වූ නිර්මාණාත්මක හේතු කතා ගොඩ නංවාගැනීම.

• අව්‍යාජ මිත්‍රත්වය ; සහකම්පනය.

• නිරීක්ෂණ තමන්ගෙම ආකාරෙකට නැවත කියවා ගැනීම.
සඳරුගෙ ;- උත්සාහවන්තයා ණය ගැනීම.
මේ කීපයක් විතරයි.

එසේම මහේල සර්ගේ චරිතයත්, තවමත් ඇඳුම ගැන සංවාද (සංවාදවලට වඩා ගුටි කෙළි) කෙරෙන අධ්‍යාපන පද්ධතියක් තුළ විශේෂයෙන් කියවිය යුතුයි හැගෙනවා. මොකද නිදහස් කාරක අධ්‍යාපනයක් , සිසුවා කේන්ද්‍රගත සේම සිසුවාට සමීපව ඔහුව තේරුම්ගත් අධ්‍යාපන පද්ධතියකට අනුරූපී මොඩලය ඔහු තුලින් ස්මතු වූ බව කියන්න පුලුවන්. ඒ වගේම ඔහු තුළ ප්‍රගතිශීලී , අනාගත පුරවැසියන්ගේ කොඳු මාන්සිකවම ශක්තිමත් කළ යුතුයි සිතන තැන් දකින්න හැකියි.මේ ඒවගේ තැනක් , මහේල සර්ට සඳරු වඳින්න ගිය වෙලාවක ඔහු මෙහෙම කියනවා.

“කාට වුණත් දකින දකින තැන වඳින්න තියාගන්න එපා සඳරු. ඒක විශේෂ අවස්ථාවකට විතරක් තියාගන්න. එතකොට තමයි ඒ වැඩේ හරි වටිනාකමක් ලැබෙන්නෙ. හරි, දැන් පන්තියට යන්නකො.” (පිට 55)

ඒ වගෙම පොදුවේ නවකතාවේ අවුලක් වෙන, සිද්ධි ගොඩක ‘රසකතා’ එකතුවක් ගෙනෙමින් තේමාත්මක අගයෙන් බැහැර කර ගැනීම මෙම යොවුන් නවකතාවේ දක්නට නොලැබෙන තරම්. පිටු 130ක ගැන ප්‍රමාණයක් තුළ නොකිවයුතු යි හැගෙන කිසිත් නොමැතිව කතාව සංග්‍රහ වී තිබීම ඊටම අයත්. එසේම කවිය, සංග්‍රහ කීපෙයකින් තරණය කළ පැමිණීමත් සමඟ ලේඛකයා ගෙනා දඟකාර වගේම කාව්‍යාත්මක භාශා භාවිතය, යොවුන් කියවන්නන්ගේ කියවීම් බන්ධුතා දිගටම තවත්වාගෙන යන්නත් සමත් වෙනවා. ඊට උදාහරණ ලෙස දිය හැකි උද්ගෘත නම් බොහෝයි.

Ex :

…ඒ වෙලාවට මූණ ගෝල් එකක් ගහපු ෆුට් බෝලයක් වගේ. බලන් ඉන්න සිරියාවයි… (පිට 30)

…මුහුද හත් ගව්වක් තියෙද්දි අම්ම මට ස්විමිං ට්‍රන්ක් අන්දවනව. ඕකනෙ ඉතින් කරන්න බැරි… (පිට 40)

…අම්ම ඊජිප්තු පිරමීඩයක් දිහා බලනව වගේ පුදුමෙන් මගෙ දිහා බලල ඇහුවා… (පිට 38)

ලෝකයේ සදහටම රැඳී සිටින්නන් නැහැ.ඒ නිසා මේ මොහොතේ හමුවෙන අහඹු මිනිසෙක්ට වුව ඔබේ ආදරය නොදී සිටින්න එපා.එය පසුතැවිල්ලක් ඉතිරි නොවන සැනසිල්ලක් ඇති කරාවි. සඳරු සනුජ මිත්‍රත්වය ඊට කදිමට දෙස් දෙන්නක්.
නූතනත්වයෙ, තාක්ෂණය හෝ භෞතිකව විඳිය හැකි සැප සියල්ලක්ම විඳිය හැකි වුවත්, මිනිසෙකුගෙ ආත්මය නොනැවතී ඉල්ලාසිටින ආදරය, මිත්‍රත්වය නොවෙන්නට අපි කොයි මොහොතෙ තනි හිස් මිනිසෙක් වේය යන්න, සැබෑ මිත්‍රත්වයන් සමඟ බැඳුන සාමූහිකත්වය තවදුරටත් මිනිස් සමාජයට අවශ්‍ය බව යටිපෙළින් මේ කතාව කියවන්නෙක්ට දනවනවා. යෞවන කලාපයේ සරන්නන් මේ හැඟීමෙන් මුක්ත නැහැ. නමුත් එය දැඩි විය යුතු යි යන සිතුවිල්ලෙන් ජාජා ඩිං කියවීමට සියල්ලන්ටම ආරාධනා කරනවා.

Fifa පාපන්දු උන්මාදෙන් ඇවිලුන මේ ගෙවෙන දින කීපය අස්සෙ, ජාජා ඩිං ගැන දැන ගන්න නම් වෙන්නෙ මේ පොත ඇතුළෙන්ම තමයි !

සුභාෂිත ලක්මිණ

මෙම ලියවීම පිළිබඳව ‘ජාජා ඩිං’ කතුවරයා වන කසුන් සමරතුංග තබන ලද ෆේස්බුක් සටහනක් පහතින් පළවේ.

සුභාෂිත ලක්මිණ කියන්නෙ බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයෙ, 12 වසර ජීව විද්‍යා පන්තියෙ ඉගෙනගන්න ශිෂ්‍යයෙක්. නූතන ම පරම්පරාව නියෝජන කරමින් ලියන – කියවන යෞවනයෙක්. පහළින් තියෙන්නෙ ‘ජාජා ඩිං’ යොවුන් නවකතාව ගැන ඔහුගෙ කියැවීම. විශේෂයෙන් ම මේක උපුටල දක්වන්න හිතුණෙ යෞවනයන් වෙනුවෙන් ලියපු නවකතාවකට යෞවනයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාම වැදගත් නිසා. ස්තුතියි සුභාෂිත !

ඩයනාට අධිකරණයෙන් නියෝගයක්

0

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබීය.

එමෙන්ම වගඋත්තරකාර ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සබැඳි පුවත්

උප්පැන්නය – හැඳුනුම්පත – පාස්පෝට් සියල්ල ව්‍යාජයි : ඒක ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නෙමෙයි – ඇමති ඩයනා ගමගේ

ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

”ඕයි…ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?”

0

විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ.

ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච් එකක් තිබ්බේ. ඉතිං ටයිමිනුත් අවුල් කවුරුත් වැඩිය දන්නෙත් නැති ආධුනික විවියන් රිචර්ඩ් ඒ මැච් එකේ බැටින් ක්‍රීස් එකට එනවා.

අනිත් පැත්තේ බෝලෙ තියෙන්නේ ග්‍රෙග් තෝමස් අතේ. ග්‍රෙග් තෝමස් බෝල් කරන්නේ අකුණු ගහනවා වගේ කියල තමයි කට්ටිය කියන්නේ. ඒ තරම් වේගවත්.

එදා මැච් එකේ ඔන්න ග්‍රෙග් තෝමස් යකා වගේ බෝල් කරනවා. පළවෙනි බොලේ විවියන්ගේ ඇඟේ වදිනවා. විවියන්ට තේරෙනවා එයා ඒ බෝලේ ඉස්සරහා පැරදුණා කියල. ඉතිං එයා කරබාගෙන හිටිය. රිදුණේ නැහැ වගේ ඊළඟ බෝලෙට සුදානම් වුණා.

තෝමස් කාරය නෙවෙයි නිකම් හිටියේ. පිටියට සහ ක්‍රීඩාවට අලුත් කළු හමක් තියන විවියන්ගේ මොරාල් බස්සන්නත් එක්ක පොර මෙහෙම කියනවා. නක්කලේට. ”මේ හලෝ, පේන්නේ නැද්ද…ඕක රතුපාට අවුන්ස පහක් බර රවුම් බෝලයක්. හොඳට බැලුවොත් පේනවා”.

මේ නක්කල් කරන්නේ අපි එවන බෝලෙවත් හරියට පෙන්නේ නැති උඹට මොන ක්‍රිකට්ද කියන තේරුමෙන්.
විවියන් සද්දයක් නැහැ. කරබාගෙන ඉන්නවා.

ඔන්න එනවා ඊළඟ බෝලේ. ඒක අරිට හපන්. වෙඩිල්ලක් වගේ කණ ළඟින් කීං ගාල ගියා. ගහන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ.

තෝමස් කාරය ආයෙත් උගේ සද්දේ දාන්න ගත්ත. ”ඕයි…ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?” විවියන් ආයෙත් කරබාගෙන ඉන්නවා. බිම බලාගෙන.

තුන්වෙනි බෝලේ ආව. ඒකට උස්සල ගහපු ගැහිල්ලට බෝලේ ක්‍රීඩාගාරයට උඩින් පියාඹල ගිහිල්ල ඊට පිටිපස්සෙන් ගලන ඇලට වැටුණ.

මෙච්චර වෙලා කරබාගෙන හිටපු විවියන් ග්‍රෙග් තෝමස්ට මෙහෙම කිව්වා. ”උඹ බෝලේ පාටයි හැඩෙයි බරයි ඔක්කොම දන්නවනේ… දැන් ගිහිල්ල අහුලාගෙන වරෙං”.

ඒක තමයි ක්‍රිකට් වල ශ්‍රේෂ්ටයෙක්ගේ ආරම්භය…ගොඩක් වෙලාවට බොහොමයක් ශ්‍රේෂ්ටයින්ගේ ආරම්භය.

මහේෂ් හපුගොඩ

උදාර මවකගේ යශෝරාවය:Till-2022

0

1955 වර්ෂයේ දී තම එකම පිරිමි දරුවා ( Emmie Till ) ඇමෙරිකානු මිසිසිපි ප්‍රාන්තයේ ( State of Mississippi) දී සුදු ජාතිකයන් විසින් ඉතා සහාසික හා කෲර අන්දමින් ඝාතනය කිරීමත් ඊට නීතියේ සාධාරණය ඉෂ්ට සිද්ධ කර ගැනීමට අපමණ වෙහෙසක් දැරීමත් එසේම එම සිද්ධිය හේතු කාරණා කොටගෙන සුදු-කළු භේදයට එරෙහිව ක්‍රියාකරන වන සමාජ ක්‍රියාකාරිණියක් බවට පරිවර්තනය වන උදාර කළු ජාතික මවකගේ ( Mamie Till Mobleys ) යශෝරාවය Till – 2022 චිත්‍රපටයට වස්තු විෂය වී ඇත්තේ ය.
මෙරට සෑම පියෙකු සේම මවක් ද එසේම සෑම දරුවකුම නැරඹිය යුතු ඉතා වැදගත් චිත්‍රපටයක් වශයෙන් Till – 2022 චිත්‍රපටය පළමුව හදුන්වා දීමට කැමති වන අතර මෙමගින් මාතෲත්වයේ උදාරතරත්වය කොතරම්ද යත් මෙම සිනමාත්මක ප්‍රකාශනය තුළින් ප්‍රේක්ෂකයාගේ මනස්කාන්තයේ සදා සනිටුහන් වන බව විශේෂයෙන්ම සදහන් කළ යුතුය. එය චිත්‍රපටය නරඹා ඉහළින්ම කියවා ගත් ප්‍රේක්ෂකයකු වශයෙන් මෙහිලා සහෘද .. ඔබට විශේෂයෙන් අවධාරණය කරනු කැමැත්තෙමි.

කළු ඇමෙරිකානු ජාතික තුරුණු ප්‍රතිභාපූර්ණ සිනමා අධ්‍යක්ෂවරියක් වන Chinonye Chukwn විසින් සත්‍ය කතාවක් පදනම් කරගෙන තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද Till – 2022 නැමති මාහැඟි චිත්‍රපටය 2022 ඔක්තෝබර් මස14 වැනි දින සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි.

Whoopi Goldberg, Keith Beauchaup, Barbara Broccli , Thomas Levine යනාදීන්ගේ නිෂ්පාදනයෙන් ද Bobby Bakowski ගේ කැමරාකරණයෙන් ද Abel Korzeniowski ගේ සංස්කරණයෙන් ද Danielle Deadwyler, Jalyn Hall , Whoopi Goldberg, Haley Bennett, Jayme Lawson , Sean Patrick Thomas, Jaylin Webb යනාදී නළු නිළියන්ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් Till චිත්‍රපටය හැඩවැඩ ගැන්වී තිබේ.

පුරා පැය 2 කුත් විනාඩි 10 පුරා දිවෙන මෙම චිත්‍රපටය මවිසින් මෑතකදී නරඹන ලද මවකගේ දාරක ප්‍රේමය පිළිබඳව ඉතා ගැඹුරින් සාකච්ඡාවට බදුන් කරන චිත්‍රපටයක් වන්නේ ය.

තරු පහේ ( Five Star ) චිත්‍රපටයක් වශයෙන් වර්ගීකරණය කරන ලද Till චිත්‍රපටයට මේවනවිට යුරෝපීය ප්‍රදර්ශනය තුළින් උපයාගෙන ඇති බොක් ඔෆීස් වාර්තාව ඩොලර් මිලියන 8.7 කි.

න්‍යයාත්මක කියවීම ——

Till චිත්‍රපටය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාත්මක සිනමා ප්‍රකාශනයක් වන්නේ ය. සමස්තයක් වශයෙන් ගත් කල්හි චිත්‍රපටය තුළින් අවධාරණය කෙරෙන්නේ උදාර දාරක ප්‍රේමය හා එතුළින් ජනිත වන්නා වූ නොපසුබස්නා වීර්යයි. එහෙත් අවසාන ජවනිකා කීපයෙන් ඉතා පුළුල් ජීවන දෘෂ්ටියක් ප්‍රකට වන්නේ ය.

එපමණක් නොව Till චිත්‍රපටය දාරක ප්‍රේමයේ උත්තරීතරභාවය හා එය සදාතනික වටිනාකමකින් යුත්තක් බවත් වර්ගවාදීත්වයෙන් නොව මිනිසත්කම හා ආදරය පිළිබඳව ඉතා සුබවාදී ආකල්ප රැසක් ප්‍රේක්ෂකයාගේ මනස් සන්තානයේ සිනමාත්මකව සදා තැම්පත් කරන මාහැඟි චිත්‍රපටයක් ද වන්නේ ය.

මෙහි කැමරාකරණය, කලා අධක්ෂණය , සංගීත අධ්‍යක්ෂණය හා සංස්කරණය චිත්‍රපටයේ කතාව හා එහිලා බැදී ඇතී රූප- රාමු ඉල්ලා සිටින සාධාරණත්වය ඉතා ඉහළින්ම ඉෂ්ට සිද්ධ කරනු පිණිස දක්වා ඇති දායකත්වය වෙසෙසින්ම අගය කළ යුතු වන්නේ ය. විශේෂයෙන් මෙහිලා කලා අධ්‍යකෂණය පිළිබඳව කතා කළ යුත්තේවය. මෙම කතා පුවත දිවෙන 1950 දශකයේ කාලවකවානුව එලෙසින්ම ප්‍රේක්ෂකයාගේ දෙනෙත් අභියස ප්‍රති – නිර්මාණය කිරීමට කලා අධ්‍යක්ෂකවරයා වෙසෙසින්ම සමත් වී ඇත්තේය. එය සමස්ත චිත්‍රපටයේ සාර්ථකත්වයට වෙසෙසින්ම බලපා ඇති ආභරණයක් බව කිව යුතුය.

Danielle Deadwyler

මෙහි ප්‍රධාන චරිතය වන ප්‍රකට කළු ජාතික සම්මානනීය චරිතාංග සිනමා නිළියක් වන Danielle Deadwyler තම සිනමාරංගන ජීවිතය මෙතෙක් ඉහළම රංගනය සනිටුහන් කරන බව පෙනේ. චිත්‍රපටය පුරාම ඇය රංගන පෞරුෂය ඉතා ඉහළින් කැපී පෙනෙන බව විශේෂයෙන්ම සදහන් කළ යුතුය. එපමණක් නොව එළැඹෙන වසරේ පැවැත්වෙන Academy Awards හි වසරේ හොදම නිළිය ( Best Actress of the Year ) ට හිමි සම්මානය සදහා ඇයගේ නම අනිවාර්යෙන්ම යෝජනාවිය යුතු බව මෙම චිත්‍රපටය නරඹන සිනමා රංගනය යනු කුමක්ද යන්න පිළිබඳව දත් ඕනෑම අයකු මා සමගින් එකඟවනු ඇත.

Academy Awards


මෙහි අධ්‍යක්ෂණය පිළිබඳව විශේෂයෙන් සදහන් කළ යුතුය. ඇමෙරිකානු කළු ජාතික තුරුණු අධ්‍යක්ෂකවරියක වන Chinonye Chukwn ගේ ප්‍රතිභාව, නිර්මාණශීලීත්වය හා සිනමා මාධ්‍යය හා එහිලා සිනමා අධ්‍යක්ෂණය යනු කුමක්ද යනාදිය කොතරම් දුරට ග්‍රහණය කරගෙන ඇතිදැයි කියා උදාහරණ සහිතව චිත්‍රපටයේ සෑම රූප රාමුවක් තුළින් මැනවින් ප්‍රකට වන බව නොකියාම බැරිය. මෙම කරුණු කාරණා Till චිත්‍රපටයට සිනමා කාව්‍යයක් බවට පත් කිරීමට වෙසෙසින් සමත් වී ඇති බව මෙය නරඹන බුද්ධිමත් සෑම ප්‍රේක්ෂකාගාරයට අවබෝධ වනු ඇත.

විශේෂ සටහන —

Till චිත්‍රපටයට උදාර මවකගේ දාරක ප්‍රේමයේ ගැඹුර කොතරම්ද යත් සිනමාත්මකව විවරණය වන අපූරු සිනමා කාව්‍යයක් බැවින් මෙය තම පවුල සමගින් නැරඹීම “පවුල” නැමති සමාජයේ කුඩාමවූත් එසේම ඉතා වැදගත්වූත් ඒකකයේ ඒකාත්මික බැඳීමට වෙසෙසින්ම ඉවහල් වන්නේ ය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

හය දෙනෙකුගෙ දෘශ්‍ය ශාක්ෂරතා හයක්

0

Hexa නමින් මේ ගෙනාපු චිත්‍රාවලිය මෑත කාලයේ කලාගාර අවකාශයක් රසිකයන්ගෙන් පිරවූ ප්‍රදර්ශනයක්. බහුවිධ අනන්‍යතා ඔස්සේ මේ සස්ශ්‍රීක වන්නේ දෘශ්‍ය කලා කෙතයි. එකිනෙකා කලාවේ භාෂාව ලිහා ගනිමින් ගමන් කරන බවක් පේන ප්‍රදර්ශනයක්. හොඳ නරක හෝ උසක් පහත් බවක් නැතුව විවිධ වෙනස්කම් ඔස්සෙ මේ ප්‍රදර්ශනය කියවා ගන්න පුලුවන්. සමහර කෘති විසින් හදන පඨිතයන් critical වන ගමන්ම සමහර කෘති විසින් ගේන්නෙ භාවය එක්ක ගමන් කරන ආත්මීය දේවල්. දැනුම පාදක, සිද්ධි පාදක සහ ආත්ම පාදක ලෙසින් සංකල්පගතව ගේන චිත්‍ර අතේ පයේ හැකියාව සහ සංකල්පිය කාරණාවක් ලෙස දකින්න ලැබුනා. Visual art ඇතුළෙ තියෙන විවෘතකම තුළම මේ ප්‍රදර්ශනය ඇතුළෙ ආර්ට් එක්ක ගේන craft එක හරිම වැදගත් එකක්. මොකද වචන ඇතුළෙ 90 දශකයේ ගෙනා උත්තරාරෝපිත කලා භාවිතය අන්තිම කාලයේ සාරයක් නැති මතුපිටක් බවට පත්වෙලා මේ craft එක මගහැරුනා. නිදහස ලෙස ආර්ට් ඇතුළෙ ඕනම දෙයක් passion එකෙන් fashion දක්වා ගමන් කරන විදිය තමයි 90 දශකයේ බොහෝ විට සිදු වුනේ. මහාචාර්‍ය ජගත් වීරසිංහ 90 දශකය තුළ සිදු කළ මැදිහත්වීම මේ සමග අහෝසි වන බවක් මෙයින් අදහස් වෙන්නෙ නෑ.

මේ 90 දශකයෙන් පසු බිහිවූ ප්‍රවණතාවල එකතුවක් ලෙස මේ Hexa ප්‍රදර්ශනය නම් කරන්න පුලුවන්. පුද්ගල කේන්ද්‍රීයව අවර වරප්‍රසාද යටතේ සංවිධාන ගත දේශපාලනය යටතේ කාන්සාවට පත් තරුණ තරුණියන්ගේ ඛේදවාචකයන් වෙනුවට මේ හයදෙනා බහුත්ව පාඨනයන් ඔස්සේ මාතෘකා ගෙන ඒම තමයි අපූර්වත්වය .මෑත කාලයේ කණ්ඩායම් ගත ප්‍රදර්ශනයක් ලෙස ඉතාමත් සංවිධිත ප්‍රදර්ශනයක් මේක. ඇකඩමික විනයත් නිදහස් ආරත් එක්ක හයදෙනා අනන්‍ය වන විදියේ එක වගේ නොවන හයදෙනෙක් තමයි අපි මේ ප්‍රදර්ශනයෙන් දකින්නෙ.

වැඩ ටික එසේ වෙද්දි මේ ප්‍රදර්ශනය curate වීමේ මොකක්දෝ අඩුවක හැඟීමක් මටනම් දැනුනා. ගැලරි අවකශය දෙකට ඉබේම බෙදිල පෙනුනා. දොරෙන් ඇතුළු වන පැත්තේ දකුණ පැත්ත ශානක, විකුම් සහ සහන් ලෙස දැවැන්ත චිත්‍ර එක්ක ඒ තිදෙනාගෙම අඳුරු වර්ණ කලාපයක් වෙනම පේන්න ගත්තා සහ ප්‍රමාණයෙන් විශාල නිසා කෘති ප්‍රමාණය වැඩි බවක් පෙනුනෙ. අනෙක් පැත්තේ කසුන්ගෙ කෘතිය හැර අනෙක් කෘති සාපේක්ෂව කුඩායි. ඒ කෘති ටික ස්ථානගත කර තිබූ ආකාරය අනෙක් පස කෘති ටිකට වඩා දැනෙන්න සහ පේන්න ගත්තා ඒ නිසා කසුන්ගේ චිත්‍රයේ ආකෘතිය විසින්ම ඉල්ලා සිටි අවකාශය මගහැරීම නිවරදි curator කෙනෙකුගේ සහාය මගහැරිමේ ප්‍රථිඵලයකි. කසුන්ගෙ කෘතිය දෙපැත්තෙ බිත්ති දෙකෙන් කුමන හෝ පැත්තක හරි මැදට ගෙනාවනම් කුමක් සිදුවෙයිද කියල ප්‍රදර්ශනය බලපු ඔබ imagine කරල බලන්න. දෙයක් කියව ගන්න act එකක් තියෙන්න ඕන. මේ එහෙම act එකක්. මගහරින්න හෝ අභිමුඛ වන්න මේ act එක පාවිච්චි කරන්න.

ප්‍රගීත් රත්නායක

කරචිචියේ වසර 10 ක් සිගමන් යැද්ද ‘‘නිශා රාඕ ‘‘

0

නිශා රාඕගේ ජීවිත කතාව සැබෑ ගැහැණියකගේ ජීවන අරගලය, නොපසුබට උත්සාහය, විඳදරාගැනීම, ඉවසීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ අවංකකම පිළිබඳ කදිම නිදසුනකි. පාකිස්තානයේ පළමු සංක්‍රාන්ති ලිංගික නීතිඥයා වී ඇය පකිස්තාන ඉතිහාස පොත් අතරටද ලෝක ජනමාධ්‍ය අතරටද ගියාය. නිශා රාඕ, තම සිහින සැබෑ කර ගැනීම සඳහා වූ ගමන විස්තර කරන්නේ වෙනස් කොට සැලකීම, නින්දාව සහ සංවේදීතාවයෙන් පිරී තිබුනු ඒ කටුක ගිරිදුර්ගයේ ජීවිතය ඇය වෙතට විසි කළ සියල්ලටම ඉහලින් ඇයට නැගී සිටීමට ශක්තිය තිබූ බවය. ඇය නැගී සිටි බවය. ඇය තුනී වීදුරුවක් මත ප්‍රවේසම් සහගතව අඩි තැබු බවය. සහ එය නොබිදිනු බවය

30 හැවිරිදි ඇය පාසැලේ වසර 9 වන විට තමා සංක්‍රාන්ති ලිංගිකයෙක් බව තේරුම් ගත්තාය. ලාහෝර්හි ඇගේ මධ්‍යම පාන්තික පවුල මේ නිසා ඇයට දුන් තාඩන පීඩණ ඇයට ඉවසිය නොහැකි විය. ඇය තම පවුලේ වධ හිංසාවලින් හා සාමාජීය ශාරීරික හිංසනයන්ගෙන් බේරීම සඳහා පකිස්තානයේ කරච්චි වෙත පලා ගියාය.

එවිට නිශා රාඕට වයස අවුරුදු 18 කි. ඇගේ මධ්‍යම පාන්තික පවුලේ නිවසින් ඇය පලාගියේ තවත් සංක්‍රාන්ති ලිංගිකයන් දෙදෙනෙක් ද සමගය. ඔවුහු කරච්චි නුවරට පැමිණියේ අනන්‍යතාවයක් සහ නව ජීවිතයක් සෙවීම සඳහා ය. එහෙත් ජීවිතය ගැට ගසා ගැනීම සදහා නිශාට එහි සිටි වැඩිමහල් සංක්‍රාන්ති ලිංගිකයන් උපදෙස් දුන්නේ හිඟාකෑමට හෝ ලිංගික සේවිකාවක් වීමටය. ඇය සිගාකෑම තෝරාගත්තාය..

රාවෝ රථවාහන නවතන සඥා එලි අතර මෝටර් රථයෙන් මෝටර් රථයට ගොස් සිගමන් යැද්දාය. තවත් වසරක් දෙකක් යනවිට සදහටම මෙි අප්‍රසන්න ක්‍රියාව තමාට කළ නොහැකි බව තේරුම් ගනිමින් සිටි අතර කරච්චි පොලිසිය සංක්‍රාන්ති ලිංගිකයන්ට සලකන කෘෘර හා අසභ්‍ය විලාසය ඇය කම්පාවට පත් කරමින් තිබිනි. මෙසේ සිගමන් යදින තරුණ ඇයට එක් දිනක්, කරුණාවන්ත ගැහැණියක් ඇයට නීතිය ඉගෙනගන්නා ලෙසත් එවිට පොලිසිය ඇයට බියවනු ඇති බවත් පැවසුවාය. මෙම අදහස ඇගේ සිත්ගත් අතර ඉන් පසුව ඇය උදේ 8 සහ රාත්‍රි 7 අතර කාලය සිගමන් සදහා යොදා ගෙන රාත්‍රි 7 සිට නීතිය ඉගෙනගැනීම සදහා වෙන් කලාය. එය මෙය ලියන තරම් පහසු නැතිවාට සැක නැත. දැන් මේ සිගන්නියට අරමුණක් තිබිනි.

නිශා රාඕ ඉන්පසු තම ඉගෙනීම වෙනුවෙන් කරච්චි නුවරතුල පුරා වසර 10 ක් සිගමන් යැද්දාය. වසර ගණනාවක වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු 2018 දී සින්ද් මුස්ලිම් නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගැනීමට රාඕ සමත් විය. ඇය 2020 වසර මුලදී නීති බලපත්‍රයක් ලබාගෙන කරච්චි නීතී Association සංගමයට බැඳුණි. 2000 වසරේ දී පමණක් ඇය ඇගේ නඩු 50 ක් ජයග්‍රහණයෙන් කෙලවර කර ඇත. තවද ඇය කරච්චි විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියද තමාගේ නම ඉදිරියෙන් එකතුකර තිබිණි.

රොයිටර් පුවත් සේවය ඇය සොයා ආවේ එවිටය.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් රාඕ පැවසුවේ “පාකිස්තානයේ පළමු සංක්‍රාන්ති ලිංගික නීතිඥයා වීම ගැන මම ආඩම්බර වෙමි.” 2017 වන විට පාකිස්තානයේ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් 500,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. පාකිස්තාන පාර්ලිමේන්තුව විසින් 2018 දී නීතියක් සම්මත කරන ලද අතර එය සංක්‍රාන්ති ලිංගිකයන් සමාන පුරවැසියන් ලෙස නීතිය යටතේ පිළිගැනීමට ලක් කර ඇති අතර වෙනස් කොට සැලකීම් සහ හිරිහැරවලින් ආරක්ෂා විය.

රාඕට අනුව, ඇගේ මේ ගමන් මාර්ගය නීතිඥ මට්ටමින් අවසන් නොවේ. ඇය දිනක පාකිස්තානයේ පළමු සංක්‍රාන්ති ලිංගික විනිසුරුවරයා වීමට අපේක්ෂා කරයි. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සඳහා එකිනෙකාට උපකාර කළ හැකි උපකාරක දුරකථන අංකයක් සැකසීමට ද රාඕ කටයුතු කරයි. සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා මහලු නිවාසයක් ඉදිකිරීමට ද ඇයට අවශ්‍යය.

අප්‍රතිහත ධෛර්යයකින් අණූන ඇයට අපි සුබ පතන්නෙමු ! ඔබ ඔබේ සිහින සැබෑකරගනු නොඅනුමානය.

උපාලි ජයසිංහ