පහුගිය දිනෙක කියැවීම් හෝරා කීපයක් ඉන් අනතුරුව තවත් දින කීපයක් සිතීම් සඳහා හොරා ගත්ත යොවුන් නවකතාවක් සමඟ ගෙවුණි. පොත ජාජා ඩි ය; කතු කසුන් සමරතුංග විය.
“ඇත්තටම අහම්බෙන් මුණගැහෙන ඒ මිනිස්සු අපිට ආයෙමත් ජීවත් වෙන්න ආරාධනා කරන එක කොයිතරම් අපූරුද? එයාලා ගැන මතකය, බලාපොරොත්තුවක් විදියට සදාකාලිකව ජීවත් කර තබා ගනීවි.”
- මිමි නොවික්
(Guidebook To Your Heart)
ජීවිතය නොනිමවෙන්නෙ , හෝ නිම වෙන්නෙ ‘මිමි නොවීක් ‘ කියන්නාක් වගේ අහම්බකාරක මොහොතවල් මත තමයි. ජාජා ඩිං අමුත්තක් දැනෙන නාමකරණයෙන්ම මේ වගේ අහම්බයක්, යෞවනයෙකු වටා කරකවනවා වගේම ඒතුළින් සාමාන්‍යයෙන් අප අස්පර්ශනීය කියවීම් කළාපෙකටත් ඇරලවනවා. මේ කියවීම් ස්ව රසඥතාව අනුව විවිධ යි.
යම් යම් සීමාවීම් වගේම ප්‍රමුඛ ඉලක්කගත පාඨක ප්‍රජාවක් පිළිබද නිරන්තර සාවධාන වීමක් බලාපොරොත්තු වෙන නිසාම වඩාත් අභියෝගාත්මක සාහිත්‍ය ශානර 2 ක් ලෙස යොවුන් නවකතාව හා ළමා සාහිත්‍ය හඳුන්වාදීම වැරදි නෑ. ජාජා ඩිං ලියවෙන පසුබිම මේකයි.එහෙම පසු බිමක සිට නිරන්තරයෙන් ම සාවධාන විය යුතු වයස් සීමාවක , අසංවාදාත්මක තේමාවක් තමයි ජාජා ඩිං වලින් හසුවෙන්නෙ. යොවුන් නවකතා කී සැනින් සිහි ගැන්වෙන, වීර කතා , ත්‍රාසජනක කතා වලින් බැහැරව තත්‍ය සමාජ වටපිටාවක යෞවනයන්, තමන්ගෙ ජීවිත වෙනස් කරගැනීම වගේ තේමාවන් දැන් ලාංකීය යොවුන් නවකතාවේ දකින්නට හැකිවීම සුබ ලකුණක්. ඒකී තේමාත්මක පටුත්වයෙන් මිදී, අනෙකාවෙත අනුකම්පාව වෙනුවට සහකම්පනය , මිත්‍රත්වය ප්‍රදානය කිරීමේ වටිනාම තමයි මේ නවකතාව රසවත් ප්‍රබන්ධයක් ආශ්‍රයෙන් අපට දනවන්නෙ.එතනදිත් නිරන්තරයෙන් යොවුන් නවකතාවේ වස්තුවෙන, ගම හෝ ග්‍රාම්‍යත්වයේ වගේ දේකින් මිදිලා , ස්මාර්ට් ෆෝන් , අන්තර්ජාලයේ කරක්ගහන නූතන යෞවනයා මේ තුලින් මතුවීම විශේෂත්වයක්. මනුජ සහ සඳරු කියන මිතුරන් දෙදෙනාගේ අපූරු මිතුදම ගැන කතාව යටතින් දක්වලා තියෙන කියමන සනාථ කරන්නෙ එම නිසා.
“ඔබ එදිනෙදා වීදිවල දකින එම මුහුණු සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු විරහිතව නිර්මාණය වූ ඒවා නොවේ; ඔවුන්ට කාරුණික වන්න.”
- චාල්ස් බුකොව්ස්කි
සාමාන්‍ය යෞවනයෙක් වෙන සඳරු හා මනුජගෙ සම්බන්ධය පටන්ගන්නෙ,බරපතළකමකින් ම නෙවෙයි, සඳරු තුළ තිබෙන සෙල්ලම්කාරී බවකින්. මනුජ පිළිබද විශේෂ මිත්‍රත්ව්‍යක් ඇතිව නෙවෙයි. මනුජගෙ පිටසක්වල කතා මුලින්ම සඳරුටත් එවෙලෙට සිනහ ගේන කතා මිස ඊට වඩා දෙයක් උනේ නෑ. නමුත් ඔහු පසුව වෙනස් වෙනවා. එසේ ඇති වෙන සම්බන්ධය කුතුහලයකින් යුතුව ගලා යනවා වගේම සංවේදී අවසානයක් එකතු කරන්නත් සමත්වෙනවා.
සඳරු සාමාන්‍ය යෞවනයෙක් උනත් මනුජ කුඩා කළ සිටම තිබුණ ශාරීරික රෝගාබාධ වගේම තනිකම නිසාම සමාජ ආශ්‍රයෙන් බැහැරව හුදකලාවට ප්‍රිය කළ කෙනෙක් කියල කියන්න පුලුවන්. ඔහු තුලින් introvert කෙනෙක්ගෙ ගති ලක්ෂණ තමයි ස්මතු වෙන්නෙ, සඳරු එහි අනෙක් පැත්ත extrovert ගති ලක්ෂණ වලින් යුක්තියි කියල කියන්න පුලුවන්. මනුජ මේ තමන්ගෙ හුදකලා කාන්සාමය ස්වභාවය සමාජ ජීවිතය යටපත් කරගන්න දීලා, පරිකල්පනීය ලෝකෙක මනෝභාවයන් සමඟ විසූවෙක් කියල , ඔහුගෙ පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාසය කියවපු විට දැනෙනවා.
මේ මනෝභාවයන් ගැන කතා, කවුරුහරි විශාදය වගේ මානසික රෝගයක් හැදිලා මියගියාට පසුව සතියක් දෙකක් කතා වෙනවා විනා තවමත් මහ පොළවෙ අපි අපි අතර හරිහැටි වටහා ගැන්මක් තියේද කියන ප්‍රශ්නාර්ථය එන්නෙ ඒ සමඟයි. අනෙකා කිසිවිටකත් තමන් උදෙසා වෙනස් නොකොට ඔහු සමඟ සම ගෞරවයෙන් මිත්‍රත්වයන් පවත්වාගැනීම මේ කතාව පුරා සඳරුගෙන්, මුලු සමාජයටම කියවාගන්න පුලුවන් දෙයක්. මේ යෞවනයන් දෙදෙනා ගැන කතාව යෞවනත්වයේ දකින්න පුලුවන් විශේෂතා ගැනත් මේ විදිහට කතා වෙනවා.
• යොවුන් වියේදී තමන් දකින – අසන දේවල් සඳහා තමන්ගෙම වූ නිර්මාණාත්මක හේතු කතා ගොඩ නංවාගැනීම.
• අව්‍යාජ මිත්‍රත්වය ; සහකම්පනය.
• නිරීක්ෂණ තමන්ගෙම ආකාරෙකට නැවත කියවා ගැනීම.
සඳරුගෙ ;- උත්සාහවන්තයා ණය ගැනීම.
මේ කීපයක් විතරයි.
එසේම මහේල සර්ගේ චරිතයත්, තවමත් ඇඳුම ගැන සංවාද (සංවාදවලට වඩා ගුටි කෙළි) කෙරෙන අධ්‍යාපන පද්ධතියක් තුළ විශේෂයෙන් කියවිය යුතුයි හැගෙනවා. මොකද නිදහස් කාරක අධ්‍යාපනයක් , සිසුවා කේන්ද්‍රගත සේම සිසුවාට සමීපව ඔහුව තේරුම්ගත් අධ්‍යාපන පද්ධතියකට අනුරූපී මොඩලය ඔහු තුලින් ස්මතු වූ බව කියන්න පුලුවන්. ඒ වගේම ඔහු තුළ ප්‍රගතිශීලී , අනාගත පුරවැසියන්ගේ කොඳු මාන්සිකවම ශක්තිමත් කළ යුතුයි සිතන තැන් දකින්න හැකියි.මේ ඒවගේ තැනක් , මහේල සර්ට සඳරු වඳින්න ගිය වෙලාවක ඔහු මෙහෙම කියනවා.
“කාට වුණත් දකින දකින තැන වඳින්න තියාගන්න එපා සඳරු. ඒක විශේෂ අවස්ථාවකට විතරක් තියාගන්න. එතකොට තමයි ඒ වැඩේ හරි වටිනාකමක් ලැබෙන්නෙ. හරි, දැන් පන්තියට යන්නකො.” (පිට 55)
ඒ වගෙම පොදුවේ නවකතාවේ අවුලක් වෙන, සිද්ධි ගොඩක ‘රසකතා’ එකතුවක් ගෙනෙමින් තේමාත්මක අගයෙන් බැහැර කර ගැනීම මෙම යොවුන් නවකතාවේ දක්නට නොලැබෙන තරම්. පිටු 130ක ගැන ප්‍රමාණයක් තුළ නොකිවයුතු යි හැගෙන කිසිත් නොමැතිව කතාව සංග්‍රහ වී තිබීම ඊටම අයත්. එසේම කවිය, සංග්‍රහ කීපෙයකින් තරණය කළ පැමිණීමත් සමඟ ලේඛකයා ගෙනා දඟකාර වගේම කාව්‍යාත්මක භාශා භාවිතය, යොවුන් කියවන්නන්ගේ කියවීම් බන්ධුතා දිගටම තවත්වාගෙන යන්නත් සමත් වෙනවා. ඊට උදාහරණ ලෙස දිය හැකි උද්ගෘත නම් බොහෝයි.
Ex :
…ඒ වෙලාවට මූණ ගෝල් එකක් ගහපු ෆුට් බෝලයක් වගේ. බලන් ඉන්න සිරියාවයි… (පිට 30)
…මුහුද හත් ගව්වක් තියෙද්දි අම්ම මට ස්විමිං ට්‍රන්ක් අන්දවනව. ඕකනෙ ඉතින් කරන්න බැරි… (පිට 40)
…අම්ම ඊජිප්තු පිරමීඩයක් දිහා බලනව වගේ පුදුමෙන් මගෙ දිහා බලල ඇහුවා… (පිට 38)
ලෝකයේ සදහටම රැඳී සිටින්නන් නැහැ.ඒ නිසා මේ මොහොතේ හමුවෙන අහඹු මිනිසෙක්ට වුව ඔබේ ආදරය නොදී සිටින්න එපා.එය පසුතැවිල්ලක් ඉතිරි නොවන සැනසිල්ලක් ඇති කරාවි. සඳරු සනුජ මිත්‍රත්වය ඊට කදිමට දෙස් දෙන්නක්.
නූතනත්වයෙ, තාක්ෂණය හෝ භෞතිකව විඳිය හැකි සැප සියල්ලක්ම විඳිය හැකි වුවත්, මිනිසෙකුගෙ ආත්මය නොනැවතී ඉල්ලාසිටින ආදරය, මිත්‍රත්වය නොවෙන්නට අපි කොයි මොහොතෙ තනි හිස් මිනිසෙක් වේය යන්න, සැබෑ මිත්‍රත්වයන් සමඟ බැඳුන සාමූහිකත්වය තවදුරටත් මිනිස් සමාජයට අවශ්‍ය බව යටිපෙළින් මේ කතාව කියවන්නෙක්ට දනවනවා. යෞවන කලාපයේ සරන්නන් මේ හැඟීමෙන් මුක්ත නැහැ. නමුත් එය දැඩි විය යුතු යි යන සිතුවිල්ලෙන් ජාජා ඩිං කියවීමට සියල්ලන්ටම ආරාධනා කරනවා.
Fifa පාපන්දු උන්මාදෙන් ඇවිලුන මේ ගෙවෙන දින කීපය අස්සෙ, ජාජා ඩිං ගැන දැන ගන්න නම් වෙන්නෙ මේ පොත ඇතුළෙන්ම තමයි !
සුභාෂිත ලක්මිණ
මෙම ලියවීම පිළිබඳව ‘ජාජා ඩිං’ කතුවරයා වන කසුන් සමරතුංග තබන ලද ෆේස්බුක් සටහනක් පහතින් පළවේ.
සුභාෂිත ලක්මිණ කියන්නෙ බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයෙ, 12 වසර ජීව විද්‍යා පන්තියෙ ඉගෙනගන්න ශිෂ්‍යයෙක්. නූතන ම පරම්පරාව නියෝජන කරමින් ලියන – කියවන යෞවනයෙක්. පහළින් තියෙන්නෙ ‘ජාජා ඩිං’ යොවුන් නවකතාව ගැන ඔහුගෙ කියැවීම. විශේෂයෙන් ම මේක උපුටල දක්වන්න හිතුණෙ යෞවනයන් වෙනුවෙන් ලියපු නවකතාවකට යෞවනයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාම වැදගත් නිසා. ස්තුතියි සුභාෂිත !