‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ ගැන කතා කරන්න, කළුවරට බය නොවී අද රෑ අටට එන්න

Share post:

කසුන් සමරතුංග රචනා කළ ‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ කෙටිකතා සංග්‍රහය පිළිබඳ සූම් සංවාදයක් නොවැම්බර් මස 28 වන සඳුදා එනම් අද රාත්‍රී 8.00ට පැවැත්වේ. ‘කෙටිකතා ගැන කෙටිකතා’ නම් සහෘද සංවාද පෙළෙහි එක් අදියරක් ලෙස පැවැත්වෙන මෙය සංවිධානය කරන්නේ සාහිත්‍යවේදී අනිල් හේරත් ප්‍රමුඛ සහෘදයන් කණ්ඩායමකි. සංවාදය මෙහෙයවනු ලබන්නේ කිවිවර, විචාරක වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල විසිනි. පහත සබැඳි ඔස්සේ ඔබට මෙම සංවාදය සමඟ සම්බන්ධ විය හැකිය.

Zoom –

Meeting ID: 846 0718 4136
Passcode: keti1234

Youtube –

@readdotlk

‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ වෙනුවෙන් ප්‍රවීන ලේඛක මංජුල වෙඩිවර්ධන රචනා කළ පෙරවදන පහතින් දැක්වේ.

කාමර කළුවර කරන හිච්හයිකිං නිමේෂ

ජීවිතය නම් ‘මරඋගුල’ විශ්ලේෂණය කර ගන්නට මිලාන් කුන්දේරා තරම් සාහිත්‍යයිකව උගුල් ඇටවූ ලියන්නකු මා සන්තානය තුළ නිධන්ගතව නැත. 1974 තරම් ඈතක, ‘ලාෆබල් ලව්ස්’ කෘතියේ ‘ද හිච්හයිකිං ගේම්’ නම් කෙටිකතාව හරහා මෙම ‘චෙක්’ ලියන්නා මනුෂ්‍ය සන්තානය ‘චෙක්’ වන හැටි පෙන්නන්නට ප්‍රේමවන්තයන් දෙදෙදෙනෙක් සති දෙකක ‘වැකේෂනයක්’ සඳහා සාහිත්‍යයික සවාරියක් යැවීය. මේ සවාරිය තුළ උත්පාද වූ ‘හිච්හයිකිං නිමේෂ’ සමකාලීන සමාජ ජීවිතය වෙලාගෙන ඇත. කවර සමාජාර්ථික, දේශපාලනික හෝ සංස්කෘතික සන්දර්භයක වුව මා ‘හිච්චයිකිං නිමේෂ’ ලෙස නම් කරන අඩමාන සෙල්ලක්කාරකම්, දෛනික ජීවිතය තුළ අනවරත ය. අප පසු කරන මේ නිශ්චිත නිමේෂයේ එය ගෝලීය වන්නේ වෙයි; විශ්වීය වන්නේ වෙයි.

කුන්දේරාගේ කතාවේ එන තරුණිය සතු හදවත ලැජ්ජාභරිත ය; ආත්මය ඊර්ෂ්‍යායාකාරී ය; ස්වකීය මනස ස්වකීය සිරුරට වෛර කරයි. ඉදින් ඇයට, නා කියා ගන්නා කුටියෙහි වන කණ්නාඩි කැඩපත පේන්නට බැරි ය. සිය කෙසඟ සිරුර පරාවර්ථනය කර පෙන්වනා බැවිනි. ඒත් ඇය ස්වකීය ප්‍රේමවන්තයා විශ්වාස කරයි. ඔහු ඇගේ සිරුර ආත්මයෙන් ව්‍යුක්තව නො ගන්නා තරමට බරපතලකම් පානා මිනිසකු බව ඇය හිතයි.

මෙම වැකේෂනීය සවාරිය යමින් ගමන සබකෝලී, හීනමානී, ඊෂ්‍යක්කාර තාරුණිය වහා චිත්තාකර්ෂනීය ‘හිච්හයික්කාරියක’ බවට පත්වේ. සිල්ලර ආදර සබඳතා රැසක් සහ නො දැමුණු සංවාස රැසක් අත්විඳ ඇති නමුත් සිය ප්‍රේමවන්තියගෙන් ‘ශුද්ධවරභාවය’ පතන තරුණ මානවකයා හිච්හයික්කාරියට වාහනය නවත්වන නාඳුනන වාහනකරුවා බවට පත්වෙයි.

නාඳුනන වාහනකරුවාගේ ‘චරිතය’ ක්‍රියා කරන්නේ ‘හිච්චයික්කාරිය’ විමෝහනයට පත් කර ඇඳට රැගෙන යාමේ චේතනාවෙන් ක්‍රියා කරන්නකුගේ භූමිකාවයි. ඔහුට එය නිරූපනය කිරීම එතරම් අමාරු නැත.

ඒත් මෙම අඩමානී ‘සෙල්ලම’ තුළ අර්බුදයට යන ස්ත්‍රී අධ්‍යාත්මයේ පදනම, තරුණියකගේ ලෛංගික කල්කරියාව සාම්ප්‍රදායිකව ‘හොඳ’ සහ ‘නරක’ ලෙස වර්ගීකරණයට ලක් කළ, අතීත ‘කන්‍යා-වෛශ්‍යා ද්විධාකරණය’ තුළ ව්‍යංගය දැනවීම දක්වා විහිදෙයි. ක්ෂණික තීන්දුවක් මත ලැබුණු චරිතය නිසා සබකෝලී තරුණිය මුළුමනින් ම ප්‍රතිවිරෝධී විවෘත ලෛංගික ප්‍රවේශයක් අරගන්නා බැවිනි.

කෙසේ හෝ ක්‍රමයෙන්, මෙම අඩමානකර සෙල්ලමේ ෆැන්ටසිමය වස්තුමාත්‍ර යථාර්ථය මත ගැටෙන්නට ගනියි. එතෙක් පැවති ආදර සම්බන්දයේ, දරුණු භාවාත්මක සහ චෛතසික ප්‍රතිවිපාක අත්පත් වී, අධ්‍යාත්මයන් මත ලේ ගලන්නට වෙයි.

මා හිච්හයිකිං නිමේෂ මෙම සංක්ෂිප්ත රචනාවේ පෙර බිමට කැඳවීම සහේතුක ය. කවිය උරගල කරගත්, පත්තරකාර භූමිකාව සිය හෘදය සාක්ෂිය කර ගත් කසුන් සමරතුංග නම් තරුණ ලියන්නා, වචන මත වචන ගටමින් කාලය සහ අවකාශය සංයෝජනය විසංයෝජන කරන්නට ශ්‍රමය වගුරන අයුරු කාලාන්තරයක් තිස්සේ මගේ නිරීක්ෂණයට හසු විය. අවසන, කාලය මේ නිමේෂය ලෙස නතර කරලන අවකාශයක ඔහු අපට ඔහුගේ කෙටිකතාව මුණ ගැසෙන්නට සලස්වයි.

“අපේ පළවෙනි හමුවීම සිද්ධ වුණේ මනුස්ස ලෝකෙදි. හැන්දෑවක්. ඇනෙක්ස් එකක්. එයා ඒ දවස්වල නැවතිලා හිටපු ඇනෙක්ස් එක.”

‘අපි ආපහු හම්බ වුණා’ නමින් එන පළමු කෙටිකතාවේ පිවිසුම් වැකිය එයයි. ‘ඉස්සර ගියපු පස්සෙ සීට් එක’ නමින් එන දෙවැනි කෙටිකතාවේ පිවිසුම මෙයාකාර වෙයි.

“මං මගේ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා.”

මෙසේ සිය ප්‍රබන්ධයන් අපූර්ව නාමකරණයන්ට ලක්කරන්නටත්, ඒවාට ආකාර්ශනීය ලෙස පිවිසෙන්නටත් එහෙමට ලියන්නකු ම විය යුතු ය. එහෙමට ලියන්නකු වන්නට නම් ඔහුට, ස්වකීය වාග් පරිහණය පිළිපඳ අතිශය බලගතු අන්තර් ඥානයක් තිබි යුතු යැයි මම තදින්ම විශ්වාස කරමි. සාහිත්‍ය පාඨනය කරන්නේ පඨිතය වෙත කෙසේ අවතීර්ණ වුවද ලියන්නා සිය සෑම වචනකටම තමන්ට වගකිව යුතු ය.

ජීවිතය, සමස්ථයක් ලෙස ගතහොත් එය ඥානනය කළ නොහෙන තරම් උත්ප්‍රාසයෙන් පිරුණේ වෙයි. උත්ප්‍රාසය විසින් වේදනාව ලෙළවන්නේ සංතුෂ්ටිය යනු කවරක්දැයි අවධාරණය කරන්නට ය. එසේම සංතුෂ්ටිය ලෙළවන්නේ වේදනාවේ පරිකල්පනය වෙත පිවිසෙන ද්වාර මඟක් සොයා පහදා ගන්නට ය. ලියැවිල්ලක ගැලී අප ශබ්ද නඟා හිනාවෙන හැම මොහොතකම නිශ්ශබ්දතාවය පිළිබඳ හෘදය සාක්ෂිය උත්ප්‍රාසාත්මක ඇසකින් අප දිහා බලා සිටිනා බව ඉදින් ඔබට පවසන්නට අවසර ! නිශ්ශබ්දතාවයේ ගැලී සිටීම සහ හඬ නැඟීම දේශපාලනිකව කියවා ගත යුතු ප්‍රවේශයන් ය. මනසේ ස්වස්ථතාව කොච්චර හොඳින් වැඩ කරනවාද කියන එක දැන ගන්නේ උත්ප්‍රාසය තේරුම් යන ප්‍රමාණයට බව මම සිතමි.

නාට්‍යක්කාර උත්ප්‍රාසය වනාහී කසුන් සමරතුංගගේ මෙම ප්‍රබන්ධ ගොඩනැංවීමේ ප්‍රබන්ධ කාර්යයේ භාවිතයට ගන්නා මුඛ්‍ය ප්‍රයෝගයයි. ඔහු එමඟින් කෘතියට ඒකමිතියක් ගෙන එයි. නාට්‍යක්කාර උත්ප්‍රාසය අත්‍යන්තයෙන්ම තේමාත්මක මානය හා ඒකාබද්ධ විය යුතු ය. උත්ප්‍රාසාත්මක වාගාලාප පඨිතය උත්කර්ෂයට නඟයි. දෙගිඩියාව හෝ අවිනිශ්චිතභාවය තනන්නටද, රොමාන්තික සාහිත්‍යාතිය පවත්වාගන්නට ද, සහකම්පනය උපද්දන්නටද, කොමඩිමය හෝ ට්‍රැජඩියමය නිමේෂ සනිටුහන් කරන්නටද නාට්‍යක්කාර උත්ප්‍රාසය නිශ්චිත මාත්‍රවෙන් පරිහරණය කළ යුතු ය.

“මුලින්ම අපි දෙන්නගෙ ඇස් එකට ගැටුණෙ හරකෙක් ‘උම්බෑ’ කියන වෙලාවට සමාන්තරව.”

කසුන් සමරතුංග එසේ ලියයි. ඉදින් මේ තරුණ ලියන්නාගේ උත්ප්‍රාසය ළෙලවීම ගැන කැට තියන්නට මට හැකිය. ඒත් ඔහු කෙටිකතාකරණය තුළ කවර ගැඹුරු මානයන් කරා එළඹෙන්නේදැයි විමසා බලන්නට සහෘද ඔබට ඉඩ තබමි. නො ගැඹුරු කවියකුගේ ඉගැඹුරු ජීවිතය ගැන ළෙලවා පෙන්වන්නට ඔහු ‘ස්ක්‍රීට් ෂොට්ස්’ යොදා ගනියි. එකී නමින් එන කෙටිකතාව මෙකී ස්ක්‍රීන් ෂොට්ස් ඉක්මවා නො යන්නේ දැයි කෙටිකතාකරුවා අපෙන් අසයි. මම එය ඔබෙන් අසමි. උත්ප්‍රාසයම උරගල කරගත් ලියන්නකු වෙනුවෙන් උත්ප්‍රාසයම යොදාගන්නට ලැබීම පරම සහනයකි.

මා පුද්ගලිකව සිතන්නේත්, අත්දකින්නේත් දුෂ්කර ම සාහිත්‍යයික තාක්ෂණික ක්‍රමවේද අතපත්ව ලියන්නන් කෙටිකතාකරුවන් බවයි. එය අසීරු ක්‍රියාවලියකි. කෙටිකතා කෘති වාර්ෂිකව මුද්‍රණය වුව ද, තමන්ගේ සාහිත්‍යයික පියලකුණ සාහිත්‍ය වපසරියේ සළකුණු කළ ලියන්නන් අප සතුව සිටින්නේ අතිශය අල්පයකි. නවකතාකරුවන් කී විට අපට විශාල මුහුණු ප්‍රමාණයක් සිහිපත් වුව ද, කෙටිකතාකරුවන් කී විට මතකයට එන්නේ මුහුණු කිහිපයකි. එසේ වන්නේ මා පෙර කී පරිදිම අසීරුතම සාහිත්‍යයික ක්‍රියාවලිය කෙටිකතා රචනය නිසයි.

මෙම කෘතියට රමණීය නාමකරණයක් ගෙන එන කේන්ද්‍රීය කතාව, කසුන් සමරතුංග නම් කතාකරුවා අවසන් කරන්නේ මෙලෙසිනි.

“දැන් පුතා අපි දෙන්නා මැද්දෙන් නිදා ගන්නවා. ඌ හැමදාම මහා රෑට ඇහැරෙන්නෙ මර හඬ දීගෙන. මට නිදාගන්නත් නෑ. වරුණිට පොත් කියවන්නත් නෑ. හැබැයි ඒකට කමක් නෑ. මට දැන් පවුලක් කියලා දෙයක් තියෙනවා. ඒකෙ තව දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නෙ ආපහු කවදාවත් මම මේ කාමරේ ඇතුළෙ කළුවරට බය වෙන්න ඕනෙ නෑ. ඉස්සර වගේ නිතරම නිදාගන්න බැරි වෙයි තමයි. ඒත් ඒ නිදාගන්න ටික මට දැන් කිසි බයක් නැතුව නිදා ගන්න පුළුවන්.”

කළුවරට බය කාමරය තුළ සෙල්ලම, එයම උගුලක් බව, කළුවරට බය තැනැත්තේ, එනම් එහි කථකයා, තේරුම් නො ගන්නේ හෝ නො තේරුම් නො ගන්නේ කතුවරයා එය තේරුම් ගන්නා හෝ නො ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව බව අවධාරණය කරමි.

නිදහසට, අවසානයේ, ඊටම අනන්‍ය මිලක් පවතින බව ‘හිච්චයිකියානු නිමේෂ’ හරහා කුන්දේරා අපට පවසයි. සෙල්ලම, එය තුළම ‘උගුලකි’. ඉදින්, කෙටිකතා සෙල්ලම ද එයාකාර නො වෙතැයි කාට නම් කිව හැකි ද?

මංජුල වෙඩිවර්ධන
ලියොන් – ෆ්‍රන්සය
2021 පෙබරවාරි 20

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...