ඇත ජෝතිලා ගීයෙන් හෙන ප්‍රශ්න අසා

Share post:

එක්වී සිටින මොහොතක මධු සාදයක
රස තැන් ලියද්දී තව දිවි ජේදයක
පැටලී සවන් ජෝතිගෙ ගී නාදයක
වැටුණා යාළුවෙක් හා මම වාදයක

ජෝතිගෙ දහසකුත් නෙක ගී අතර එන
තියෙනව නේද එක එක මාදිලියෙ පැන
හිතුනද දන්නෙ නෑ මෙය කිසිවෙකුට වෙන
බලපං ටිකක් මේ කිව් කාරණය ගැන

ඇහුවත් කොතෙක් මේ ගී අප්පුඩිද ගසා
දැනුනෙම නැනෙ මේවා නම් ගැටලු ලෙසා
විපරම් කළොත් උඹ කිව් දේ නොවෙයි මුසා
ඇත ජෝතිලා ගීයෙන් හෙන ප්‍රශ්න අසා

මේ වැනි ප්‍රශ්න ඇති ගී අපි ගියොත් සොයා
මතකෙට නගා ගත හැක වැඩි දුරක් නොයා
මේ ගීතයෙන් අමතා මගෙ පනයි කියා
ඇහුවේ අඬන්නේ ඇයි සුදු මැනිකෙ ඔයා

තිබුණත් නොයෙක් වර මේ ගී කණට ඇසී
පැනයක් ලෙසින් දැනිලා නැත කලෙක කිසී
අහුවේ ජෝතිපාලත් මෙය සිනහසිසී
බඳ ලෙලවලා කොයි යන්නේ ගමනෙ ලැසී

ලෝකයෙ වෙනස්වුණෙ ඇත්තට දෙවියාද
නැත්නම් වෙනස්වුණෙ අපි වගෙ මිනිසාද
අපගේ පිටම පවරා මේ ගැන වාද
ජෝතිල සුරලොවේ දානව ඇති සාද

පටලා සොබාදම හා ආදරය සරූ
ඇහුවේ ප්‍රශ්න වැලකින් විදියටයි මරූ
ඇයි හිනැහෙන්නෙ පායා නිල් ගුවනෙ තරූ
යනුවෙන් ජෝති ගීතය ආරම්බ කෙරූ

තියෙනව ගීතයක් මිනිහගෙ ගී යායේ
මීටර් වෙන්න එක්කල අහමුද ආයේ
විමසන පැනය මේකයි ඔහු එම ගීයේ
කොතනකදෝ එදා පෙර දින හමුවූයේ

ගී සෑයක්ම මිනිහා කදිමට තැනුවෙන්
අරගමු තවත් ගීයක් එම ගී ගොණුවෙන්
කොහෙදෝ යන්නෙ කවුදෝ දන්නේ යනුවෙන්
ඇහුවේ දුලිකා ගැන ඔහු අප වෙනුවෙන්

මැරිලත් දශක ගණනක් නම ඇත තියලත්
ගී ලොව සූරයෙක් ලෙස කවදත් ජය ලත්
ගැයු ගී ටික ඉතිං ඇත ලෙසටම ගයලත්
ඇහුවා කවුද ඔබ කවුරුන්දෝ කියලත්

මරු අයිඩියා එයි බොනවිට මධුපානේ
මිතුරා කියයි දැන් ගැලවිල්ලක් නැනේ
මේ ගැන තව තවත් විමසන්නම ඕනේ
මේ ගී කාටදැයි ජෝතිම ඇසුවානේ

ගී ගැන වාදයෙදි අපෙ නැත පසුබැස්ම
මේ වගෙ කතා මී විතකට කටගැස්ම
ජෝතිගෙ සිංදු නම් කොයිකවදත් “ඉස්ම”
අහතැකි යනතුරා අපෙ අවසන් හුස්ම

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...