Home Blog Page 248

සිව්වැනි ආණ්ඩුවේ හෙලුව : කශෝගී – රිල්වාන් සහ ෆර්ම් !

0

ටෘමන් සහ ෆර්ම් මාදිලිය

එන්රික් ෆර්ම් යනු ප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ඔහු ප්‍රථම පරමාණු බෝම්බය නිෂ්පාදනය කළ කුප්‍රකට මෑන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධානියෙකි. ඇමරිකන් රජය විසින් ඔහුට සියලු වරදාන-වරප්‍රසාද ලබා දී තිබිණි. නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්යවරයා වූයේද ඔහු ය. ඕනෑම දෙයක් කළ හැකි මට්ටමේ බලයක් රජය විසින් ඔහුට ලබා දී තිබිණි. ඒ විනාශයට පොට පෑදූ නිසා ය. එහෙත් ඔහු විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බය නිපදවීමේ ඇමරිකානු තීරණයට බලවත් විරෝධය පළ කළේය. එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ හැරී ටෘමන්ට විරෝධය පළ කරමින් ඔහු කියා සිටියේ මෙමගින් මානව සංහාරයක් සිදු වන බවයි.

එහෙත් ඇමරිකානු රජය එය පිළිගත්තේ නැත. ඔහු ප්‍රමුඛ කණ්ඩායමට හයිඩ්‍රජන් බෝම්බය නිෂ්පාදනය කරන ලෙස බල කෙරිණි. එම පර්යේෂණ ක්‍රියාවලිය හරහා ඇමරිකාව යුද අවි ක්ෂේත්‍රයේ ඉදිරියටම ගියේය. ලෝක සංහාරකයා බවට පත් විය.

මාධ්‍ය කියන්නේද හරියටම ෆර්ම් වගේ ය. රටේ මතය හසුරුවන ඔවුන්ට විශාල බලයක් තිබේ. සිව්වැනි ආණ්ඩුව කියන්නේද ඒ නිසා ය. ඒත් ඔවුන් ෆර්ම් වගේ න්‍යෂ්ඨික බෝම්බ හදන්නේය. ඒවායින් විනාශයක් සිදු වන බව ඇතැමුන් දන්නේ නැත. තමන්ට සිව්වැනි ආණ්ඩුව ලෙස ඇති බලය පිළිබඳ අභිමානයෙන් දෑස් වසාගෙනය, ඔවුන් සිටින්නේ. බහුතරයක් ෆර්ම් වගේම හයිඩ්‍රජන් බෝම්බ හදා, මානව සංහාර සිදු කිරීමේ තීරණ වලට විරුද්ධ ය. ඒත් හැරී ටෘමන් වගේ මාධ්‍ය හිමිකරුවන් හයිඩ්‍රජන් බෝම්බ හදන්නටම බල කරන්නේය.

එහිදී කරන්නට දෙකක් තිබේ. එකක් එය වෙනස් කිරීමට තරම් ශක්තියකින් විරෝධය පළකිරීම ය. අවංකව තමන් විශ්වාස කරන සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමය. එහිදී රැකියාව අහිමි වීම දක්වා වන අභියෝගවලට මුහුණ පෑමට සිදු වේ. අනෙක නම් ෆර්ම් වගේ කටයුතු කිරීමයි. විරෝධය දැක්වුවද, රජයට තවදුරටත් පක්ෂපාතී බව කියමින් අකමැත්තෙන් වුවද වැඩේ හරියටම කරදීමයි.

අහ්මද් රිල්වාන් මාදිලිය

මාලදිවයිනේ මාධ්‍යවේදී අහමද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වුයේ මීට මාසයකට පෙර ය. ආණ්ඩුවේ වංචා-දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙකු වූ ඔහුව පැහැරගනු ලැබුවේ 2014 අගෝස්තු මාසයේදී ය. ඉස්ලාමීය සටන්කාමීන් විසින් මේ ඝාතනය සිදු කළ බව මීට පෙර සඳහන් විය. ආණ්ඩුවේ අවශ්‍යතාව මත ඔවුන් රිල්වාන් ඝාතනය කරන්නට ඇතැයි දැන් සැක පහළ වී තිබේ.
මාලදිවයිනේ ඝාතන සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ඔහුගේ අතුරුදන් වීමෙන් වසර පහකට පසු මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. රිල්වාන්ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ වූ පිරිසකගෙන් සාක්ෂි ලබා ගැනීමට හැකි වූ බවත්, ඔවුන්ගේ සාක්ෂි මත ඉදිරි විමර්ශන සිදු කරන බවත් කොමිසමේ සභාපති හුස්නු සූද් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අනාවරණය කිරීම විමර්ශන වලට බාධාවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අබ්දුල්ලා යමීන්ගේ පාලනය පසුගිය වසරේ අවසන් විය. ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර, ඔහු විසින් කළ මුලික කටයුතු අතර මේ කොමිසම පත් කිරීමද විය. කෙසේ වෙතත් රිල්වාන්ගේ ඝාතනය ඉස්ලාම් අන්තවාදීන් පිටින් තබා අවසන් කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට එරට මානව හිමිකම් සහ සිවිල් සංවිධාන චෝදනා කරයි. ඝාතනය සිදු කර ඇත්තේ අන්තවාදීන් වුවද, ඒ පිටුපස යමීන්ගේ ආණ්ඩුව සිටි බව පැහැදිලි යැයි ඔවුන් අවධාරණය කර තිබේ.
සිය නිවස ආසන්නයේදී පැහැර ගැනුණු රිල්වාන්ව මාලදිවයිනේ සංචාරක පාරාදීසයක් වන හුල්හුමාලේ දුපතට ගෙන ගොස් ඇති බවත්, ඉන්පසු බෝට්ටුවකින් මුහුද මැදට ගෙන ගොස් ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ. සංචාරකයන් බහුලව ගැවසෙන නිසා හුල්හුමලේ දුපත ආශ්‍රිත කලාපය යනු රජයේ ආරක්ෂක අංශ මගින් නිරන්තරව විමර්ශනයට ලක් කරන කලාපයකි. එවැනි තත්වයක් තුළ රිල්වාන් ඝාතනයට ලක්වීමත්, හුල්හුමාලේ ප්‍රදේශයටම ඔහුව ගෙන යෑමත් යමීන්ගේ ආණ්ඩුවට චෝදනාවට සාක්ෂියකි.
2014 සැප්තැම්බර් මාසයේදී රිල්වාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත්, ඔවුන් දෙදෙනා සතියක් තුළ නිදහස් වී තිබේ. එවකට සංචාරක කටයුතු පිළිබඳ ඇමති ධුරය දැරූ අහමද් අඩිබ් මේ පුද්ගලයන් දෙදෙනා නිදහස් කර ගැනීමට සෘජුව මැදිහත් වී ඇතැයි ද විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේ. එම සිද්ධියෙන් වසරකට පසුව ඔහු මාලදිවයිනේ උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ජමාල් කශෝගී මාදිලිය

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස අදාළ ඝාතනයට නියෝගය ලබා දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විදෙස් රටවල් වලට තර්ජනය කළේය.

එංගලන්තයේ ලන්ඩන් නුවර මුලික කරගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන asharq al-awsat පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මීට අදාළ සියලු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් රටවල් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් ඔහු පවසා තිබේ. තම රටට ලෝකයේ දෙවැනියට හිමි තෙල් බලය සම්බන්ධයෙන්ද මෙහිදී සෞදි කුමාරයා අවධාරණය කර ඇත.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02 දා ජමාල් කශෝගී ඝාතනය කෙරිණි. මේ පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශ යි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න’ යනුවෙනි.

මෙම ඝාතනය සිදු වූ විගස සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම රටේ පුරවැසියෙකු වන ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි. ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතා කරන්න ගියේ නැත. සෞදි අරාබි ආයෝජන සමුළුව හෙවත් ඩාවෝස් ඉන් ද ඩෙසර්ට් සඳහා සහභාගී නොවන බවත්, කිසිවෙකුට ජමාල්ගේ ඝාතනය අනුමත කළ නොහැකි බවත් ලෝකයේ බිලියනපති ව්‍යාපාරිකයන් රැසක් පෙර පැවසුහ. එහෙත් ඔක්තෝබර් 23 දා ආරම්භ වූ සමුළුවට එසේ පැවසු ව්‍යාපාරිකයන්ගෙන් අති බහුතරයක් සහභාගී වූහ. දැන් සල්මාන් නිදහස් ය.

ඇමරිකාව – මාලදිවයින – සවුදිය සහ ලංකාව

පළමුවැන්න සමග ලංකාවේ වර්තමාන මාධ්‍ය භාවිතාව, මැතිවරණවලදී මාධ්‍ය ආයතන හිමිකරුවන් තම-තමන්ගේ පැත්ත නිවැරදිව තීරණය කරගන්නා ආකාරය සහ ඒ අස්සේ රස්සා කරන සිව් වැනි ආණ්ඩුවේ ඛේදවාචකය එකිනෙකට ගලපා ගත හැකිය.

දෙවැන්න සමග ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති ඝාතන සහ අතුරුදන් කිරීම් පිළිබඳචෝදනා, ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂිත කලාපයකදී ඝාතනය වීම මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ මුහුද මැදට ගෙන ගොස් දැමීම ඇතුළු අපරාධ එකිනෙකට ගලපා ගත හැකිය.

තුන්වැන්න සමග අපරාධකරුවන්ට අපේ වගේ සමාජයක ඇති බලය, අපරාධකරුවන් ආරක්ෂා කරමින් ඔවුන් සමග ඩිල් දමමින් ගත කරන දේශපාලක ජීවිත එකිනෙකට ගලපාගත හැකිය.

තෝරාගන්නා පාර කුමක්ද ?

බලය ලබා ගැනීම සහ ඒ ලබා ගත් බලය පවත්වා ගැනීම වෙනුවෙන් ලෝකය පුරා ගහන ගේම් මෙයාකාර ය. එහිදී ජීවිත වැදගත් නැත. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන, ඔවුන්ට අනුව හිතන මිනිසුන් නොව, තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන, තමන්ට අනුව හිතන මිනිසුන් ය. එවැනි මිනිසුන් ඉදිරියේ දේශපාලකයන්ගේ අධිපතිවාද සියල්ල දිය වී යන්නේය.

  

සිර දඬුවම් නියම වූ හිටපු මහේස්ත්‍රාත් රට හැර ගිහින් – වහාම අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

0

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කෙරිණි.

මෙම වරෙන්තුව ඊයේ (02) නිකුත් කරන ලද්දේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසිනි. ගාල්ල මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරමින් සිටින අතරතුර සිදුකරන ලද වරදකට අදාළ ව මෙරිංචිආරච්චිට දඬුවම් නියම කර තිබිණි. හිටපු මහේස්ත්‍රාත්ට වසර 5ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබුණේ පොදු දේපොළ පනත යටතේ ය.

වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම මගින් රජයට පාඩු සිදුකිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් මෙරිංචිආරච්චිට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි. 2000 වසරේ අප්‍රේල් 04 – 05 දිනවලදී සුරාබදු ආඥා පනත යටතේ වන නඩු දෙකකට අදාළ ව අඩු තක්සේරු කිරීම සම්බන්ධයෙන් මෙරිංචිආරච්චිට එරෙහිව චෝදනා ගොනුකොට තිබිණි.

මෙහිදී අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ චූදිතයා රට හැර ගොස් ඇති බවටයි.

ගල්වලයාය – වටවලකණ්ඩිය : වනාන්තර අක්කර 16,770ක ඉරණම !

0

කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග අහිමි කර, ඔවුන් සමාගම්වල සේවකයන් බවට පත්කරමින් වනාන්තර විනාශ කිරීම සාධාරණ බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව මහඔය, පොල්ලෙබැද්ද, සේරන්කඩ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව පවසති.

ජනතාවට රැකියා ලබාදීම සඳහා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව දැනටමත් ආණ්ඩුවේ නියෝජිතයන් පවසන බවත්, මේ ප්‍රදේශවල ජනතාව කිරි ගව කර්මාන්තයෙන් සාර්ථකව ජීවත් වූ බවත් පෙන්වා දෙන අදාළ ගොවියෝ, වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ පරිසරය විනාශ කරන මේ ව්‍යාපෘති වහාම නතර කරන ලෙසයි. මේ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි ගල්වලයාය රජයේ වනාන්තරයේ අක්කර 5,400 ක් මහා පරිමාණ සමාගම්වලට බදුදීමට අදාළ කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති අතර, එයින් අක්කර සිය ගණනක් දැනටමත් එළි-පෙහෙළි කර තිබේ. එතැනින් එහාට ද විහිදෙන අක්කර 16,770ක සමස්ත වනාන්තර ඉඩම්වල අනාගත ඉරණම පිළිබඳව ද මේ වනවිට අනතුරුදායක සංඥා නිකුත් වෙමින් තිබේ.

නිල්ගල – දානිගල කඳුවලින් සහ ගොරකාන – සීතලවන්නිය කඳුවලින් වටවී ඇති මේ වනාන්තරයේ අදාළ සමාගම් විසින් බඩඉරිඟු වගා කිරීම ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් කිසිදු පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නැත.

කෝටි ගණනක ආදායමක්

සේරන්කඩ කිරි ගොවීන්

‘එදා මම කිරිපඩිය අරගෙන ගෙදර යනකොට හිනාවෙලා බලපු මගේ නෝනා දැන් එහෙම බලන්නෙ නෑ. ඇත්තටම දැන් එයාට එහෙම බලන්න බෑ.’

ඔහු ඉන්නේ ආවේගයෙන් ය. පිටින් ගොස් දවසක්-දෙකක් තුළ ඔවුන්ගේ ප්‍රශ්නය කතා කරන්නට හැකිය. ඔවුන්ගේ ප්‍රශ්නයේ අලගිය-මුලගිය තැන් හොයා බලන්නට හැකිය. ඒත් මේ ආවේගයේ තරම තේරුම් ගන්නට ඒ දවස-දෙක සෑහෙන්නේ නැත.

‘අපි පෝසත්තු නෙමෙයි. ඒ වුණාට අපි ළමයි එක්ක කාලා-ඇඳලා හිටියා. හදිස්සියකට ගන්න අතෙත් ගාණක් තිබුණා. ඉස්සරහට ඒව කරන්න වෙන්නෙ නෑ. ඒව ඔළුවට එනකොට එයාට හිනාවෙන්න පුළුවන්ද?’

මහඔය, සේරන්කඩ කපිලරත්න කියන ඒ කතාව ප්‍රදේශයේ සියල්ලන්ගේ කතාව ය. මහඔයට මාසිකව රුපියල් කෝටි පහක-හයක ආදායමක් ගෙනෙන, මෙහි ප්‍රදේශ ගණනාවක ජනතාව ජීවත් වන කිරිගොවි කර්මාන්තය අද ඔවුන්ගේ හිනාව නැතිකරමින් තිබේ. පෞද්ගලික සමාගම් හතරක් මේ සේරන්කඩ ප්‍රදේශයේ පමණක් කිරි මිලදීගන්නට පැමිණ තිබේ. මිල්කෝ, නෙස්ට්ලේ, කාගිල්ස් සහ පැල්වත්ත ඒ සමාගම් වේ. දිනපතා ම ඒ සමාගම්වලට අයත් ලොරි කිරි පුරවාගෙන ප්‍රධාන නගරය දෙසට යයි. මේ තරගකාරීත්වය විසින් කිරි ගොවීන්ට හොඳ මිලක් ලබාදුන්නේය.

‘අපේ ගමේ මේ හරියෙ විතරක් කිරි හරක් හයදාහක් විතර ඉන්නවා.’‍

මහඔය කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයට වැඩිම කිරි ප්‍රමාණයක් සපයන්නේ සේරන්කඩින් ය. එහෙත් දැන් ඔවුහු තමන්ගේ කිරි හරක් අඩු මිලට විකුණා දමති.

සතුටක් නෑ – දුකක් විතරයි !

පොල්ලෙබැද්ද පිටුපස විනාශ කර ඇති වනාන්තර කොටසක්

‘මාම කැච්චක් කොඳමයි කියන්නෙ සතුටුයි කියන එක. ඒත් සතුටක් නෑ. අපිට දුකක් තියෙන්නෙ.’

සෙරන්කඩින් එහාට ගිය පසු හමුවන පොල්ලෙබැද්දේ ගුණවර්ධන කියන්නේ එහෙම ය. පොල්ලෙබැද්දේ ගුණවර්ධන යනු පොල්ලෙබැද්ද ආදිවාසී නායකයා ය. තලාවරිගයේ තලාබණ්ඩාරලාගේ ගුණවර්ධන ය. තලාබණ්ඩාරලාගේ ගෝබාගේ පුත්‍රයා ය. තම මුනුපුරා වන තලාබණ්ඩාරලාගේ මිතුන් ළඟින් තියාගෙන ඔහු කියන්නේ රතු ඉන්දියානු නායක සියැටෙල්ගේ වර්තමාන කතාවයි.

ඇමරිකාවේ ආණ්ඩු බලය අතට ගත් සුදු මහත්තුරුන් එරට ආදිවාසී රතු ඉන්දියානුවන්ගේ ඉඩම් මිලදී ගන්නටත්, ඒවායේ ව්‍යාපෘති කරන්නටත් සූදානම් බව දැනුම් දුන් පසු එවකට රතු ඉන්දියානු නායකයා වූ සියැටෙල් ලිව්වේ මෙහෙම ය.

‘අපි කැමැති වුණත්, අකමැති වුණත් අපේ ඉඩම් තුවක්කු බලයෙන් ගන්න බව අපි දන්නවා. අපිට තේරෙන්නෙ නෑ, පණ තියෙන හරකෙකුට වඩා යකඩ දුම්රියක් වටින්නෙ කොහොමද කියලා. දුම්රියට යටවෙලා මැරුණු හරක් අපි දැකලා තියෙනවා. ….. මතක තබාගන්න, මේ ගස්වැල් අපේ සහෝදරයන්. මේ වතුර කියන්නේ අපේ මුතුන්මිත්තන්ගෙ රුධිරය….’

ගුණවර්ධන ආදිවාසී නායක ඇත්තන් කියන්නේත් ඒ වගේම කතාවකි.

‘මේ කැලේ තියෙන්නෙ නිල්ගල-දානිගල කන්දෙන් පෙරිලා එන වතුර. ඒ කියන්නෙ ඖෂධ පෙරිලා එන වතුර. අපි බිව්වෙ එව්වා. අපේ සත්තු බිව්වෙ එව්වා. නිල්ගල කියලා කියන්නෙ ඖෂධ වනාන්තරයක්. රඹකැන්ඔය පටන්ගන්නෙ එහෙන්. මේව කැලෑවලට වෙන්කරලා තිබුණෙ ඒකයි.’

වසර 2කින් වකුගඩු රෝග

ආචාර්ය ශම්මික ලියනගේ

නායක ඇත්තන්ගේ කතාව තහවුරු කරන පරිසරය පිළිබඳ පර්යේෂකයෙකු වන රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ පවසන්නේ මේ රක්ෂිත කපා බඩඉරිඟු ඇතුළු වාණිජ බෝග වගාකිරීම නිසා මේ ජනතාවට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී වකුගඩු රෝග වැළඳීමේ බරපතළ අවදානමක් ඇති බවයි. වනාන්තරයේ අක්කර දහස් ගණනක බඩඉරිඟු වගාකරන්නට සැලසුම් කර ඇති අතර, දැනටමත් අක්කර සිය ගණනක වගාව ආරම්භ කර තිබේ. වර්තමානයේ භාවිත කරන වැඩිදියුණු කළ බඩඉරිඟු සඳහා අවස්ථා ගණනාවකදී පොහොර යෙදිය යුතු වේ. කෘමිනාශක ද එසේම ය.

ආචාර්යවරයා පවසන්නේ දළ වශයෙන් ගණන් හදා බැලුවහොත් පොල්ලෙබැද්ද ආශ්‍රිත ගල්වලයාය වනාන්තරය කපා අක්කර සිය ගණනක වගා කරන බඩඉරිඟු නිසා පමණක් පොළොවට එකතුවීමට නියමිත රසායනික පොහොර ප්‍රමාණය කිලෝ ලක්ෂ දහයකට ආසන්න බව ය. තවදුරටත් ඒ ජනතාවට ඖෂධ පෙරාගෙන එන වතුර බොන්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට වකුගඩු රෝගවලට බෙහෙත් ගන්නට සිදුවනු ඇත. වකුගඩු බද්ධ කිරීම්, ඩයලයිසිස් හෙවත් ලේ මාරුකිරීම් වැනි බරපතළ ප්‍රතිකාරවලට යොමුවන්නට සිදු වනු ඇත.

‘ඔය වනාන්තරයත් එක්ක තියෙන අක්කර දාහෙ කොටස කියන්නෙ ආදිවාසීන්ට වෙන්කරපු කොටස. අද වෙනකම් මේවා එකලාසයක් කරලා දුන්නෙ නෑ. අපිට කැලේ වැඩ තහනම් කළාට පස්සෙ, මාදුරුඔය ජලාශෙට අපේ කුඹුරු යටවුණාට පස්සෙ අලුතින් කුඹුරු දෙන්න පොරොන්දු වුණා. එකසිය විසි දෙකකට අද වෙනකම් ඒවා නෑ. අද අපේ මිනිස්සු වට්ටක්කා පන්සීය ගේන්නෙ මහඔය පොළෙන්.’

බොරුකාරයන්ගේ විජිතය

ටුහිරා කයාපෝ (ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

මේ ඛේදවාචක විසින් මිනිසුන්ගේ ජීවිත සහ හැසිරීම් වෙනස් කරන ආකාරය ගැන ද අප තේරුම් ගත යුතුය. අමතර කතාවක් වුවද මෙය ද, විනාශයට අදාළ වන්නකි.

‘උඹ බොරුකාරයෙක්. උඹලාගේ විදුලිය අපට එපා. අපේ ගංගාවන්ට නිදහසේ ගලන්නට ඉඩ දීපල්ලා. උඹලාටත්, අපිටත් ජීවත් වන්නට ලැබෙන්නේ එවිටයි. එහෙම නොවුණොත් අපි ඔක්කොටම පණ පිටින් මිය යන්නට සිදු වෙනවා. ඒත් උඹලාට ඒක තේරෙන්නෙ නෑ. උඹලා අන්ධ මිනිස්සු. උඹලාගේ මේ යන්ත්‍ර-සූත්‍රත් අරගෙන වහාම පිටවෙයල්ලා.’

මේ තර්ජනය කරන ලද්දේ ඇමසන් වනාන්තරයේ ආදිවාසී නායිකාවකි. කයාපෝ ආදිවාසී සමූහයේ ටුහිරා කයාපෝ මේ ආකාරයට තර්ජනය කරන ලද්දේ ඇමසනය හරහා ගලන ෂිංගු ගංගාවේ ජලය හරස් කරමින් දැවැන්ත වේල්ලක් තනා, ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට පැමිණි ඇමරිකාව ප්‍රමුඛ කරගත් දැවැන්ත සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයාට ය. අන්තර්ජාතික මාධ්‍ය ඉදිරියේ ඇය කළ තර්ජනය ලෝකය පුරා පිහිටි එවැනි දැවැන්ත සමාගම් සලිත කරන්නට සමත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරනු ලබන ණය මුදලක් හරහා මේ ව්‍යාපෘතිය සිදු කරන්නට සැලසුම් කර තිබිණි. එහෙත් කයාපෝගේ අභීත නායකත්වයෙන් එක් වන ජනතාව දුටු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වහාම ණය දීම අත්හිටුවීය.

1989 වසරේ තම ව්‍යාපෘතිය එසේ අකුළා ගත්තද, ඔවුන් 2011 වසරේදී එය නැවත ආරම්භ කළේය. 2016 දී අවසන් කළ මේ ව්‍යාපෘතිය නිසා ඇමසන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් 440 ක් යට විය.

මේ ආකාරයටම ඇමසනයේ දෙවැනි සටනට මුල් වන්නේ වරෝනි ආදිවාසී ජනතාවයි. ලෝකයේ විශාලතම තෙල් සමාගමකට එරෙහිව නඩු කී ඔවුහු, 2019 ජූලි මාසයේදී නඩුවෙන් දිනූහ. අක්කර මිලියන හතක් පුරා පැතිරුණු තෙල් නිධි කට්ටි 20 කට ආසන්න ප්‍රමාණයක් අදාළ සමාගමට පවරා දීම නීතිවිරෝධී බවට අධිකරණය තීන්දු කළේ ඉක්වදෝර ආණ්ඩුව, ආදිවාසීන් ඉදිරියේ අන්ත පරාජයකට පත් කරමිනි. මෙය 2012 වසරේ සිට ඇදි-ඇදී ආ නඩුවකි. ඉක්වදෝර් ආණ්ඩුව අවස්ථා දෙකකදී මීට එරෙහිව අභියාචනා ගානු කළද, ඵලක් නොවීය. නඩුව දිනූ පසු වරෝනි ආදිවාසී නායක නෙමොන්තේ මෙසේ කියා තිබිණි.

‘වැසි වනාන්තර කියන්නෙ අපේ ජීවිතය. අපේ ජීවිතය රැඳිලා තියෙන වැසි වනාන්තරවල සිද්ධ වෙන්නෙ මොකක්ද, කරන්න ඕනෙ මොනවද කියලා තීරණය කරන්නෙ අපි. අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණලා, විනාශ කරන්න අපිට කිසිම අදහසක් නෑ. ආණ්ඩුව අපේ අනුදැනුමකින් තොරව, රහසිගතව මේ සම්පත සමාගම්වලට විකුණන්නයි සූදානම් වුණේ. අද උසාවිය තීරණය කරලා තියෙනවා, වරෝනි ජනතාව ඇතුළු සමස්ත ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව. ඒක ඉතාම වැදගත්. ආණ්ඩුවට වටින්නෙ තෙල්. අපිට වටින්නෙ අපේ ජීවිත.’

මේ විදිහටම පොල්ලෙබැද්දේ තලාබණ්ඩාරලාගේ ගුණවර්ධන ගල්වලයාය වනාන්තරය ඩෝසර් කරන්නට පැමිණි සමාගම් නියෝජිතයන්ට පහරදෙන්නට කෙටේරිය අරගෙන, පන්නාගෙන ගොස් ඇත. ඔවුන් වාහනවලට නැග පළාගොස් තිබේ. ඉන්පසු සිදුවූයේ කුමක්ද? එහෙම පැන්නුවේ ඇයි කියන එක ගැන විමසා බලන්නට සමත් ආණ්ඩු අපට නැත. සමාගම් නියෝජිතයන් විසින් තමන්ට ඉඩම් දෙන ආණ්ඩුවේ නියෝජිතයන් දැනුවත් කිරීමෙන් පසු, ඔවුන් මහඔය පොලිසියට නියෝග කර ඇත්තේ වහාම ආදිවාසී නායකයා සහ ඔහු සමග සිටි පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසයි.

අත්අඩංගුවට ගැනිණි. පොලිස් කූඩුවට දැමිණි. එහෙත් හදිසියේම නිදහස් කෙරිණි. එය ද සිදු වී ඇත්තේ ආණ්ඩු‌වේ තවත් පාර්ශ්වයක් විසින් මේ වෙලාවේ මේ ජනතාව තරහ කරගත යුතු නැති බවට ගත් තීරණයක් නිසා ය. කයාපෝ හෝ වරෝනි හෝ පොල්ලෙබැද්දේ හෝ ප්‍රතිචාර එකිනෙකට ගලපන්නට අපට අවශ්‍ය නැත. එහෙත් මේ සිදුවීම් සියල්ල පෙළගැසී ඇත්තේ එක දිශාවකට ය.

මේ ප්‍රදේශවල ජනතාවගේ ජීවිතය ය, මේ අහිමි කරමින් සිටින්නේ.

‘මේ සේරනක්ඩ ටිකෙන් විතරක් දවසකට කිරි ලීටර් හයසීයකට වැඩිය අපි පැටෙව්වා. දැන් සමහර දවස්වලට දෙසිය පනහක්වත් එන්නෙ නෑ.’

කාගිල්ස් ආයතනය වෙනුවෙන් ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ සමිතියේ ලේකම්වරිය වන නාලිකා කුසුම් එසේ කියන්නීය. ඇය කියන්නේ ප්‍රදේශයේ ජනතාව දැන් විකල්ප සොයමින් සිටින බවයි. එනම් ස්වාධීනව කරගෙන ආ කිරි ගව ව්‍යාපාර වෙනුවට කොළම රැකියා සොයාගෙන යෑම, විවිධ කම්පැනිවල සේවා සඳහා යෑම ය.

සැලසුම් කළ විනාශය

විනාශ කළ වනාන්තර ඉඩම්වල සිදුකරන වාණිජ වගාවක්

කිරි ගොවීන් තම කිරි ගවයන්ට තණකොළ සැපයූවේ මේ පොල්ලෙබැද්ද, සේරන්කඩ ආශ්‍රිතව පිහිටි ගල්වලයාය වනාන්තරයෙන් ය. දැන් එහෙම කරන්නට නොහැකිය. මහවැලි අධිකාරිය නීතියක් දමා තිබේ. ඒ ඔවුන් කිරි ගවයන්ට තණ කැවූ භූමිය තවදුරටත් ඔවුන්ට භාවිත කළ නොහැකි බවත්, ඒවා දැන් සමාගම්වලට අයිති බවත් ය. සමාගම්වලින් එහි බඩඉරිඟු වගාකරමින් සිටී. පේන තෙක් මානයේ වනාන්තරය ඩෝසර් කර, බඩඉරිඟු පැළ වගා කර ඇත.

ඒ කියන්නේ දැන් වනාන්තරයත් නැත. කිරි ගොවීන්ගේ ආදායම් මාර්ගත් නැත. ඔවුන්ගේ වාණිජ අරමුණත් ඉටුවන බවක් පෙනෙන්නේ නැත.

කිරි ගවයාගේ ඉරණම

ඒ.අයි. කමලාවතී

‘දැන් අපි ඔක්කොටම අක්කර තුන්දාහක් දෙන්න හදනවා හරක්ට කවන්න. ඒක හැරෙන්නවත් මදි. මේ ගමේ අයට විතරක් කිරි හරක් හය-හත්දාහක් ඉන්නවා.’

ඒ.අයි.කමලාවතී කියන්නේ එසේය.

‘දැන් අපිට කියනවා, පිටරටින් ගේන හරක් සල්ලි දීලා ගන්නලු. ඒ හරකෙක් ලක්ෂ පහක්ලු. ලක්ෂ දෙකහමාරකට දෙනවලු. කොහෙ තියෙන සල්ලිද. අපි ඔක්කොම ළඟ ඉන්නෙ දේශීය හරක්. මේ හරක්ට ලෙඩත් අඩුයි. ලෙඩක් හැදුණත් අත්බෙහෙතක් කරන්න අපි දන්නවා. මෙහෙ වසම් දාහතකට ඉන්නෙ එක පශු වෛද්‍ය මහත්තයයි. හරකෙකුගෙ ලෙඩක් ගැන කියන්න ගියාට වැඩක් නෑ. එන්න වාහනයක් නෑ කියනවා. බේත් ලියලා දෙනවා, පාමසියෙන් ගන්න කියලා. ඉන්ජෙක්ෂන් ගහන වැඩත් අපිටම කරගන්න කියනවා. ඒ මහත්තයගෙ වැරැද්දක් නෙමෙයි. ඒ මහත්තයටත් රජයෙන් එව්වා දෙන්න එපැයි. ණය වෙලා හරි ඔය රට හරක් ගත්තත්, ඔ්ක වෙනස් වෙන්නෙ නෑ. එතකොට ණය ගෙවාගන්න වෙන්නෙත් නෑ. හරක් ටිකත් නිකම්ම මැරිලා යයි.’

ඩබ්ලිව්. කරුණාරත්න

ඩබ්ලිව්.කරුණාරත්න කියන ඒ කතාව සහ සේනා දළඹුවාගේ කතාව අතර සමානකමක් ඔබට නොපෙනේද?

‘දැන් ඒ මහත්තුරු ඇවිත් කියන්නෙ අලුත් තණකොළ වවන්නලු. ඒව හරක්ට කන්න දෙන්නලු. සීඔ්ත්‍රී කියන ඒ වර්ගෙ තණකොළ දණ්ඩක් රුපියල් තුනයි. අපේ හරක් ඒවා කන්නෙ නෑ. උන්ට ඒවා පුරුදු නැති හින්දා වෙන්න ඇති. ඒගොල්ලො කියන්නෙ අක්කරයක් මේවා වැව්වම හරක්ට කන්න දෙන්න ඇති ලු’

සරත් කුමාර කියන මේ කතාව තේරුම්ගන්නට නම් ඔවුන් මේ මහ පොළොවේ පයගසා සිටිය යුතුය. එහෙත් ඒ උපදෙස් දෙන බොහෝ මහත්තුරුන් ඉන්නේ කොළඹ පර්චස් දහයේ ඉඩම්වල ය. එය ඔවුන්ගේ වරදක් නොවේ. එහෙත් වරද ඇත්තේ ඔවුන් මේ පොළොවට නොපැමිණ, කාගේ හෝ අවශ්‍යතාවකට මේ උපදෙස් දීමට කටයුතු කිරීමේ ය.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් සියයට 85ක් පමණ සපයන්නේ කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් ය.

නීතියේ ආධිපත්‍යය ඩෝසර්

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට යෝජිත හෙක්ටයාර් 6,790ක වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තරය ද ඇතුළුව හෙක්ටයාර් 2,233ක් නැතහොත් අක්කර 5,400ක් මෙසේ දැනට පෞද්ගලික සමාගම් සතුකරමින් සිටී. එතැනින් මේ විනාශය නවතින්නේ නැති බව පැහැදිලි ය.

අක්කර 5,400ක් පමණ වන මෙම බදුදී ඇති භූමි ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා ඌවපතන් බිම් නැතහොත් සැවානා තෘණ භූමිවලින් සමන්විත ය. මෙම ප‍්‍රදේශය ආදිවාසී ජනතාව ජීවත්වන මුල්ලේගම, ගල්වලයාය හා පොල්ලේබැද්ද යන ගම්මානවලට සහ සේරන්කඩ ඇතුළු ගම්මාන රැසකට යාබදව පිහිටා ඇත. මෙම ප‍්‍රදේශයේ නිල්ගල සැවානා තෘණභූමි පද්ධතිය අලි-ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වේ. රඹකැන්ඔය ජලාශයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් ද වන මෙය, ප‍්‍රංශ රජයේ ආධාර යටතේ ඇල්ලේගොඩ ප‍්‍රදේශයේ වේල්ලක් සකස් කර ඉදිකිරීමට යෝජිත මුන්දෙනිආරු ජලාශයේ ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශය ද වේ.

මෙසේ සමාගම්වලට ඉඩම් ලබාදීමේදී ආණ්ඩුව විසින් පාරිසරික අණ-පනත් රැසක් උල්ලංඝනය කර තිබේ. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් මෙම වනාන්තර ඉඩම් අදාළ සමාගම්වලට ලබා දී ඇත. මෙසේ සමාගම්වලට ලබා දුන් ඉඩම්වල වනාන්තර එළි-පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර් ග සකස් කිරීම, ස්ථීර හා තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම යන සියල්ල නීතිවිරෝධී වේ. මෙම ඉඩම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා සමාගම්වලට ලබාදීමට පෙර, ඉන් සිදු වන හානිකර බලපෑම් හඳුනාගැනීම හා ඊට පිළියම් යෙදීම, ව්‍යාපෘතියේ යෝග්‍යතාව නිවැරදිව හඳුනාගැනීම මෙන්ම ව්‍යාපෘතියේ තිරසර පැවැත්ම හඳුනා ගැනීම ද කළ යුතුය. ඒ සඳහා සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය වැදගත් වේ. ඒ අනුව හෙක්ටයාර් එකකට වැඩි වනාන්තර ඉඩම් එළි-පෙහෙළි කර, වනාන්තර නොවන වෙනත් සංවර්ධන ක‍්‍රියාවලියක් සඳහා යොදාගැනීමට හෝ අක්කර 50කට වැඩි භූමියක් එළි-පෙහෙළි කර සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට පෙර පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතියක් ලබා ගත යුතුය. මේ සියලු නීති මෙහිදී ආණ්ඩුව උල්ලංඝනය කර තිබේ.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස කටයුතු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක‍්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණව සිදු විය යුතුය යන්න උල්ලංඝනය කිරීමකි. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) හා (ඌ) උප ව්‍යවස්ථාවල සඳහන් පරිදි නීත්‍යනුකූල වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ අයිතිය හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ජනතාව සතු ය. එම අයිතිය ද ආණ්ඩුවේ මේ අත්තනෝමතික තීන්දුව මගින් අහිමි කර ඇත. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ.

කනගාටුවෙන් වුවද තේරුම් ගත යුතුය. ජනතාවගේ සිනහව මේ ආණ්ඩු කරන්නන්ට අදාළ නැත. එම නිසා සිනහව වෙනුවෙන් වන අරගලයක් අත්‍යවශ්‍ය ය.

පාසල් වොලිබෝල් ක්‍රිඩාවේ මෞලි මංගල්‍යය අදයි !

0

20 වැනි වරටත් පැවෙත්වෙන DSI පාසල් වොලිබෝල් ශුරතාවයේ අවසන් මහා තරග අද සහ හෙට ( දෙ 3 සහ 4 ) පෙව 0800 පැයේ සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි ආරමිභවිමට නියමිතය.

2000 වසරේදි කංඩායමි 204 ගේ සහභාගිත්වයෙන් ආරමිභවු DSI පාසල් වොලිබෝල් තරගමාලාව අද වනවිට කංඩායමි 5000 සිමාව පසු කරමින් සිටියි.

ව්‍යාපාරික අරමුණුවලින් බැහැරව හුදෙක් දැයේ දරුවන්ගේ සහජ දක්ෂතා ජාතික තලයට ගෙන ඒමෙ සැබැ අරමුණින් පුරා දශක දෙකක් මෙම තරග මාලාව අඛණ්ඩව පවත්වාගෙන යැම සදහා පුර්ණ අනුග්‍රාහය ලබාදෙන දේශමාන්‍ය නන්දාස රාජපක්ෂයන් ප්‍රමුඛ DSI ආයතනයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

පාසල් කෙළිබිමෙ විශිෂ්ඨයන් සොයා යන මෙම අපුර්ව තරග මාලාව වසරින් වසර අඛණ්ඩව ඉදියට පවත්වාගෙන යැමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ඒ හා සමිබන්ධ සියලු දෙනා වෙත ලැබෙන්නට ශ්‍රි ලාංතේය වොලිබෝල් පවුලේ උණුසුමි සුභපැතුමි.

සුසිල් රණසිංහ

පරාගයක් තිබේ තාම මගේ ගාව

0

දරා ගන්න බෑ බතීගෙ මල් හිනාව
විරාගයේ අරවින්දගෙ කඳුළු නෑව
සරාගයේ පතුලෙන් උතුරන ඉනාව
පරාගයක් තිබේ තාම මගේ ගාව

කොක්ගල ඔය බඩ ලගිනා කොක්කු ගාව
පොල් රුප්පා හෙවනැලි වැතිරෙන ලතාව
තිබ්බටු සිතුවිලි කටු ලැහැබට ගෙනාව
නිබ්බුත පදයකි ජිනදාසගෙ හිනාව

ගම්පෙරළියෙ නන්දාගේ කඳුළු නැව්ව
නිම්මා නැති කඳුලක් සිංහලේ යැව්ව
ආදරයේ කඩතොළු අපටත් කෙලෙව්ව
මේ කවියත් පෙම්වතුන්ගෙ පලහිලව්ව

මඩොල්දූව දැක දැක මූදට පැදෙව්ව
කඩොල් පඳුරු මන්දස්මිතයෙන් නැළෙව්ව
ගම්පෙරළිය ඉලකූඩුව උඩ හෙලෙව්ව
ආලය ම යි ගින්දර දෙන මළ ඉලව්ව

ගොළු හදවත අතින් ගෙනා සුගත් ගාව
දම්මි එදා ඉස්කෝලෙ දි පෑ සුබාව
පුන් සඳවත වෙරළු අහුර මට ගෙනාව
කවියෙන් වත් කියන්ට බැරි වේදනාව

ජීවිතයේ තනිමංසල ළඟට ආව
ගෑණුන්ගේ කිලිපොලනා භාවනාව
පිරිමින් පිටපොට ගහනා විලිරුජාව
ඉහිලුම් නැති පරාගයකි මගේ ගාව

ඉපනැල්ලේ අම්බරුවන් සමඟ හෑව
ගොඩ පීනා හෙළුවැල්ලෙන් ගෙදර ආව
අසමජ්ජාති ම පාළුව මට ගෙනාව
පරාගයක් තිබේ තාම මගේ ගාව

කුමාර හෙට්ටිආරච්චි

කාලයක් තිස්සේ දැඩි ආතතියකින් හිටියොත් Emotional Exhaustion ඇතිවෙන්න පුළුවන්

0

පුද්ගලයෙක් කාලයක් තිස්සේ සහ දැඩි ලෙස ආතතියෙන් නම් ඉන්නේ, ඒ නිසා ගොඩක් අහිතකර බලපෑම් පුද්ගලයා තුළ ඇතිවෙනවා. අද ලිපියෙන් කතාකරන්නේ ඒ විදිහට කාලයක් තිස්සේ ආතතිය තිබීම නිසා, එහෙමත් නැත්නම් දැඩි ආතතිය නිසා ඇතිවන අහිතකර තත්ත්වයක් ගැන.

ඒ තමයි Emotional Exhaustion.

පෞද්ගලික ජීවිතයේ හෝ රැකියා ජීවිතයේ හෝ මේ දෙකෙහිම හෝ ඇතිවෙන්න පුලුවන් විවිධ ගැටලු හේතුවෙන් පවතින ආතතිය නිසා කාලයත් එක්ක ඇතිවන දෙයක් තමයි මේ Emotional Exhaustion. සරළ අදහසක් මේ ගැන දෙනවා නම්, මානසික වශයෙන් සහ කායික වශයෙන් ලොකු වෙහෙසකර බවක්, පවතින තත්ත්වයන් තමන්ට පාලනය කරන්න නොහැකි බවක් පුද්ගලයාට මෙහිදී දැනෙනවා.

බොහෝ වෙලාවට එදිනෙදා ජීවිතයේ තිබෙන මානසික පීඩනයන්ට නිසි විසඳුම් ලබාගන්න පුද්ගලයන් එතරම් යොමුවන්නේ නැහැ. ඇතැම් වෙලාවට වෙන දෙයක් වෙයි කියලා හෝ කරන්න තවත් බොහෝ වැඩකටයුතු තිබෙන නිසා මානසික ආතතියෙන්ම ඉන්නවා. අවසානයේ කාලයත් එක්ක මානසික වශයෙන් මෙන්න කායික වශයෙන්ද අහිතකර දේවල් ආතතිය නිසා ඇති වෙනවා.

Emotional exhaustion කියන්නේ මානසික රෝගී තත්ත්වයක් නොවෙයි. නමුත් මේ නිසා වෙනත් මානසික සහ ශාරීරික ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්.

Depression, Anxiety, Insomnia, Burnout, වැනි තත්ත්වයන් මෙන්ම අධි රුධිර පීඩනය, නිතර නිතර අසනීප ඇතිවීම, බර වෙනස් වීම, වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

මුලින්ම අපි බලමු මේ emotional exhaustion ඇතිවීමට බලපාන පුලුවන් හේතූන් මොනවාද කියලා.

⁃ පවුල් ආරවුල් සහ දික්කසාද වීම්

⁃ ආර්ථික ගැටලු

⁃ අකමැති රැකියාවක නියලීම

⁃ රැකියාවේ අධික කාර්‍ය්බහුලත්වය

⁃ වැඩ කරන රැකියා පරිසරයේ විවිධ ගැටලු

⁃ කුඩා දරුවෙක් සිටීම

⁃ හුදකලා බව සහ අන් අයගේ සහයෝගයක් නොමැති වීම

⁃ නිසි නිවසක් හෝ වාසස්ථානයක් නොමැති වීම

⁃ අධ්‍යාපන වැඩකටයුතු සමඟ කාර්‍ය්බහුලත්වය

⁃ විවිධ ශාරීරික රෝගාබාධ නිසා පීඩා විදීම

⁃ සබඳතා වල නිතර ගැටලු ඇතිවීම සහ පීඩා විදීම

එම තත්ත්වයන් ඔස්සේ පීඩනය ඇතිවන විට පුද්ගලයාට හිතෙනවා, තමන්ට කිසිම දෙයක් පාලනය කරගන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා. වෙන කරන්න දෙයක් නැහැ, තමන්ගෙ ජීවිතය යමකට කොටුවී/ සිරවී කටයුතු කරනවා වගේ හිතෙනවා. ඒ ඔස්සේ ලොකු ආතතියකට පත් වෙනවා.

දැන් අපි බලමු එම කාරණා නිසා ඇතිවිය හැකි emotional exhaustion තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද කියලා.

⁃ අභිප්‍රේරණයක් නොමැති බව
⁃ නුරුස්නා බව
⁃ උදාසීන බව
⁃ තෙහෙට්ටුව
⁃ එතරම් සතුටක් නොමැති වීම
⁃ නොසැලකිලිමත් බව
⁃ මතකය සම්බන්ධ ගැටලු
⁃ අවධානය යොමුකිරීමේ ගැටලු
⁃ ඍණාත්මක සිතුවිලි
⁃ අතාර්කික කෝපය
⁃ යම් බියක් වැනි හැඟීම්
⁃ හිසරදය
⁃ නින්ද ආශ්‍රිත ගැටලු
⁃ ආහාර රටාව වෙනස් වීම

එම තත්ත්වයන් නිසා,

⁃ එදිනෙදා කාර්‍යය සාධනය පහත වැටීම

⁃ රැකියාට යාමට අකමැති වීම

⁃ රැකියාවේ විටින් විට නිවාඩු ගැනීම

⁃ අන් අය සමඟ යහපත් සබඳතා පවත්වාගන යාමට අපහසු වීම

⁃ ආත්මාභිමානය අඩුවීම

⁃ නිතර විවිධ ගැටලු ඇතිවීම

⁃ විවිධ අසනීප තත්ත්වයන් ඇතිවීම

වැනි දේවල් ඇති වෙන්න පුලුවන්.

දැන් මම සඳහන් කරන්නම්, emotional exhaustion තිබෙනවා නම් ඉන් මිදීමට සහ දැනට එය නොමැති අයට මින් ඉදිරියට එය ඇති නොවීමට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා.

⁃ මූලිකම දෙය තමයි තමන් පීඩා විදින් ගැටලු වලට නිසි විසඳුම් ඉක්මනින් ලබාගන්න. වෙන දෙයක් වෙයිනේ වගේ දේවල් හිතමින් පීඩනයෙන් ඉන්න එපා.

⁃ ජීවිත් වීමට, කැමති දේවල් කරන්න අපිට අනිවාර්යෙන්ම මුදල් ඕන වෙනවා. නමුත් මුළු ජීවිතයම මුදල් නොවෙයි කියන එකත් අපි අවබෝධ කරගන්න ඕන.

⁃ හැකි හැමවිටම පෝෂ්‍යදායි ආහාර සහ ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගන්න

⁃ ප්‍රශ්න වලට විසඳුම් ලෙස හෝ සහනයක් අපේක්ෂාවන් දුම්පානය හෝ මත්පැන් පානය කරන්න එපා

⁃ ව්‍යායාම කිරීමට පුරුදු වෙන්න

⁃ තමන් කැමති විනෝදාංශයක නියලෙන්න

⁃ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම

⁃ මනසට සැහැල්ලුවක් ලැබෙන ක්‍රියාකාරකම් වල නියලීම. (yoga, meditation)

⁃ හොඳ සමීප සබඳතා පවත්වාගැනීම සහ සබඳතා එක්ක කාලය ගතකිරීම.

⁃ ධනාත්මක ලෙස ජීවිතය දෙස බැලීමට හුරුවීම

⁃ රැකියාව සහ තමන්ගෙ පෞද්ගලික ජීවිතය සමබරව ගෙනයාමට හුරුවීම
තමන්ට තනිවම කරන්න පුලුවන් දේවල් තමයි මම ඒ සඳහන් කළේ.

නමුත් emotional exhaustion තත්ත්වය තමන්ට තනිව කළමනාකරණය කරගැනීමට නොහැකි නම්, කරන්න ඕන දේවල් තේරෙන්නේ නැතිනම්, ඔබට පුලුවන් මනෝ උපදේශන සේවාවක් ලබාගැනීමට යොමුවෙන්න.

අවිශ්ක පියුමාල්

BOOKMARK හා සාහිත රසවිත

0

පහුගිය දවස් ටිකේ හුරු පුරුදු සාහිත ක්ෂේත්‍රය නාය ගිහින් තිබ්බ නිසා පැත්තකට වෙලා හිටියත්, චුට්ට චුට්ට නැගිටින් පටන් අරගෙන නිසා ඒවා ගැන ආයෙ හොයල බැලුවා.

ඔය අස්සේ දැකපු මේ වැඩසටහන් දෙක ගැන මුකුත් නොකියාම බැරිවුණා.

අපේ රටේ සාහිත්‍යය වෙනුවෙන් මුලින්ම වැඩසටහනක් කරේ ස්වාධීන රූපවාහිනිය. ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහත්තය ඒ කාලෙ කරායින් පසුව ජාතික රූපවාහිනිය ඒ වැඩේ අපුරුවට කරගෙන ගියා. ඒ කාලෙ ඒවා කරේ එච්.එම් ගුණසේකර, ප්‍රේමකීර්ති, පාලිත පෙරේරා, ජැක්සන් ඇන්තනී ඉඳන් අතුල පීරිස්, ජනක කුඹුක්ගේ සහ නදී වාසලමුදලිආරච්චි වෙනකං ඒක ආවා. හැබැයි ඒවා පසුගිය අවුරුදු 10ක විතර කාලයේ විකාශය වුණේ එපා වාහෙට හොදි බෙදනව වගේ. අතරින් පතර කුමන හෝ වැඩසටහනක් විකාශය වුණා. හිරු නාලිකාව සහ සිරස රූපවාහිනියත් නින්දෙන් නැගිටල වගේ ටික කාලයක් ඇතැම් වැඩසටහන් කරත් ඒවා ඇදගෙන ගියේ නෑ. ස්වර්ණවාහිනිය ඉතාම හොද වැඩසටහන් මාලාවක් කරා තාරකා වාසලමුදලිආරච්චි මහත්මිය එක්ක. ඒක සෑහෙන කල් කරා. නමුත් මොනවා හෝ එකකින් ඒකත් හබක්…! චරණ කියන කේබල් නාලිකාව තමා අදටත් සාහිත්‍ය කලා වැඩසටහන් අතින් අංක එකට ඉන්නෙ.

නමුත් එතෙක් එහි ආධිපත්‍ය ගත්තෙ ඒ කාලය පුරාවටම දෙරණ රූපවාහිනිය. වසන්ති නානායක්කාර මහත්මිය හරි අපූරුවට වැඩේ ඇදගෙන ගියා. ලේඛක-ලේඛිකාවන්ට අති විශාල සහයෝගයක් ලැබුණා. ඒක දැවැන්ත සාහිත්‍ය ව්‍යාපෘතියක් එම නාලිකාවේ විකාශය වුණු. නමුත් දැන් ඒක පේන්න නෑ.

නැවතත් ජාතික රූපවාහිනිය තමුන්ගේ නැතිවී ගිය ආධිපත්‍යය හෙමින් ගොඩ නගමින් යනවා. රූපවාහිනිය කාපු උන්ට බනිනවා වුණාට රූපවාහිනියට බනින්නැත්තේ අපි පොත් කියෙව්වේ සහ රටට බරක් නැතුව ඉන්න පුරුදු කෙරෙව්වෙ ජාතික රූපවාහිනිය නිසා.

අලුත් වැඩ දෙක ඉතා ලස්සනයි. බුක්මාර්ක් ගත්තොත් කල් යල් බලල, මහන්සි වෙලා ඉවසීමෙන් කරන වැඩ සටහනක්. සුවිශේෂම කාරණාව තමා තාරකා වාසලමුදලිආරච්චි, වසන්ති නානායක්කාර, සුමුදු චතුරානි ජයවර්ධනගෙන් පස්සේ වැඩේට මහන්සිවෙලා, පොත කියවල, රෙඩි වෙලා වැඩේ කරනව දැක්ක නිවේදිකාවක් තමා පාරමී රණසිංහ. ඇය ජාතික රූපවාහිනිය තියාගත යුතු, රැක ගත යුතු සම්පතක්.

අනෙක් වැඩසටහන ‘සාහිත රසවිත’ සාහිත්‍යයේ විවිධ ඉසව් ගණනවක් ආවරණය වන පරිදි ලේඛකයින්, විද්වතුන් ගෙනැල්ලා කරන සාකච්ඡා මාලාව. ඒක පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්ටත් පාඨකයන්ටත් එකසේ වැදගත් වේවි. ඒකෙ එක වැඩසටහනක් ලහිරු කිතලගම සහ නවෝද්‍යා පවනි විසින් ද අනෙක කාංචනා ප්‍රියකාන්ත සහ නලින් කාරියවසම් මෙහෙයවනව.
එතනදි නවෝද්‍යා සහ කාංචනා ආධුනික වුණාට ඉතාම ලස්සනට වැඩේ කරනවා. ඒ අයව කැමරාවට මුහුණ දීම, හඬ පාලනය හා මුහුණේ ඉරියව් පවත්වාගැනීම් ආදිය පුරුදු පුහුණු කරල ගන්න එක රූපවාහිනියට ලොකු ආයෝජනයක් වෙයි. දෙන්නම පොතපත කියවන අය.. දෙන්නම රහක් තියෙන අය.. ඒ වගේම දෙන්නම අඩුපාඩු හදාගෙන ඉදිරියට යන නිහතමානි අය… පෞද්ගලිකව දන්න නිසා කියන්නෙ.. මුන් ලොකු වැඩක් ඉස්සරහට කරාවි. ලහිරු සහ නලින් ගැන කියන්නෑ. ලහිරු සම්මානිත ලේඛකයෙක් ඔහුට ඕක කරත් නැතත් ඔහුට වෙන මාවතක් තියෙනව යා යුතු. පෞද්ගලිකව ඔහු නිවේදකයෙක් වෙනවට මම ආසත් නෑ.

වැඩසටහන ගැන කිව්වොත් සංවර්ධන කරගතයුතු පැති තියෙනවා. විද්වතුන් හා ලේඛකභවතුන් ගෙන්වද්දි නිතර වැඩසටහන් වල නොදකින මුහුණු ගෙන්වීම සිදුකරනව නං හොදයි, ඒ වගේම ඇතැම් අය කොච්චර ජ්‍යෙෂ්ඨ වුණත් ඒ අයගේ දැනුම තාම ඒ අයගේ විශ්ව විද්‍යාල හෝ පාසල් පංති කාමරයේ ලැබු සාහිත්‍ය දැනුමට වඩා ශතයක් වැඩිවෙලා නෑ,.. ඉතින් දැන් සාහිත්‍ය ලෝකය පරිගණක ජාලකරණය වගේ වේගවත්ව වෙනස් වෙනවා. කවිය, කෙටිකතාව, නවකතාව අලුත් ආකෘති හොයාගන්නවා. බටහිර රටවල පර්යේෂණ වෙනවා. ඉතින් ඒවා ගැන කතාකරන්න සුදුස්සෝ රටේ ඉන්නවා. ඒ අය ගෙන්වන්න. ලංකාවේ මේ සාහිත්‍යංග තුන තාම දහනමවැනි සියවසේ ඉන්නේ ඇයි කියල විවාදාත්මකව අදහස් ප්‍රකාශ කළ හැකි, උණුසුම් මත ගැටුම් ඇතිවන වැඩසටහනක් කරොත් දැනුම ඇවිස්සිලා ප්‍රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් ලැබෙයි.
ඉතින් සුබපතනව හරිම ආදරෙන්.. වැඩසටහන් දෙකටම ඒ වගේම යෙනුක ඇතුළු පිරිසටත් කළමනාකාරීත්වයටත් ආචාර කරන්න ඕනි මේවා කරන්න දෙනවට. මොකද අර ගුරු තරුවෙ කියනව වගේ සාහිත්‍යය කරන්නේ ලොකු මෙහෙවරක්. ඒක එක පාර දිස්වෙන්නෑ..

දුරගමනක් යන්න. මේක කමර්ෂල් නෑ තමා. ලොස් ඇති.. ඒත් වැඩසටහන් නවත්වන්න නම් එපා.. එකම ඉල්ලීම එච්චරයි.

මනෝරම වීරසිංහ

නියුට්‍රල් වර්ණ, සාරිය සහ විකල්ප ඇදුම්

0

සාරියේ බලහත්කාරයට එරෙහිව විකල්ප ඇදුම් වෙනුවෙන් පෙනී හිටින ගුරුවරියන් සිය විකල්ප ඇදුම් පරාසය සාය සහ හැට්ටය, සල්වාර්, ගවුම, කලිසම සහ ජැකට්, ලුන්ගි…..ආදී වශයෙන් විහිදුණු පරාසයක පෙන්නුම් කරනවා. ඒ අනුව විකල්ප ඇදුම සාරිය වගේ නෙමි වචනයෙන් ඒකාත්මික කරන්න බැහැ. මේ විසිරුණු බව තව පැත්තකින් බැලුවම වර්ණ හැටියටත් රටා මෝස්තර හැටියටත් තවත් සංකීර්ණයි. සාරිය යන විලාසිතාව තුලත් වර්ණ හා රටා මෝස්තර හැටියට සංකීර්ණයි. ඇදුම කුමක් උවත් වෘත්තියේ හැටියට ඇදුමේ පැටර්න් එකත් වර්ණ පටිපාටියත් ඒ වගේ ම රටා මෝස්තරයත් තෝරා ගන්න ලංකාවේ මිනිස්සුන්ට ඒ හැටි වැටහීමක් නැති බවයි මටනම් පේන්නෙ. මේ කාරණයේදී වෛද්‍යවරුන්නම් ප්‍රශංසනීයයි. වෛද්‍යවරු සිය ඇදුම් සදහා තෝරා ගන්නේ මෙහි දක්වා ඇති නියුට්‍රල් වර්ණ පටිපාටියි. නියුට්‍රල් වර්ණ යනු ශීත වර්ණ සහ උණුසුම් වර්ණ යන ආන්තිකත්වයට අයත් නොවන උදාසීන, අපක්ෂපාත, මධ්‍යස්ථ වර්ණ යි. කායික සහ මානසික යන රෝගී තත්ත්වයක පසු වන රෝගීන්ට සිය රෝගී තත්ත්වය මානසිකව තව දුරටත් පීඩාවකට පත් කරන්න මේ ශීත සහ උණුසුම් යන ආන්තික වර්ණ ප්‍රභේද උත්තේජනයක් ඇති කරනවා. මේ නිසා සුවපත් වීමට අදාල උත්තේජනයක් ඇති කරන නියුට්‍රල් වර්ණ පටිපාටි තිබෙන ඇදුම් තමයි වෛද්‍යවරු තෝරා ගන්නෙ. ඒ වගේ ම මේ ඇදුම් Informel තත්ත්වයට වෙනස්ව Formel තත්ත්වයෙයි පවතින්නෙ.

ගුරුවරුනගෙ පැත්තෙන් බැලුවාම වෛද්‍යවරු වගේම ගුරුවරුනුත් අනුගමනය කරන්න ඕනය කියලා මම හිතන්නෙ මේ නියුට්‍රල් වර්ණ පටිපාටියමයි. මොකද පාසල් ශිෂ්‍ය – ශිෂ්‍යාවන් රෝගීන් නොවුණත් බාලවයස්කාරන්. බාලවයස්කාරයන් මේ ආන්තික වර්ණ ප්‍රභේද වල උත්කර්ශවත් බවේ සංජානනය සමග චිත්තාවේගික අගතිගාමීත්වයට පත් වෙනවා. කිසියම් ලමයෙක් ලේ හෝ ගින්දර දැකීම නිසා කම්පනයකින් සිටීනම් එවැනි ලමයෙකුට රතු සාරියක් ඇදගෙන පීරියඩ් දෙකක් උගන්වන ගුරුවරියක පීඩාවක් වෙනවා. ඒ වගේම වියෝගී තත්වයක් මත සාංකාවෙන් පෙලෙන ලමයෙක්නම් Yellow Orker වර්ණයේ සාරියක් ඇදගෙන සිටින ගුරුවරියක් ඉස්සරහ සිය සාංකා තත්වය සමහර විට කාංසාව යන රෝගී තත්ත්වයට ඔඩු දුවන්න පවා පෙළඹවීමක් ඇති කරනවා. ලංකාවේ පිරිමි ගුරුවරුන්නම් සිය ඇදුම formel සහ neutral තත්වයේ පවත්වාගෙන ගියත් ගුරුවරියන්ගෙ තත්ත්වය සපුරාම වෙනස්. ඉතා තරගකාරීව විචිත්‍රත් සාරි තමයි ඔවුන් පුද්ගලනුබද්ධ විදියට තෝරා ගන්නෙ. කොටින්ම ගුරුවරුන් වගේ නෙමි ගුරුවරියන් සිය සාරිය සැණකෙළි මනෝභාවය කයි පවත්වාගෙන යන්නෙ. දැන් විසිරුණු විකල්ප ඇදුම් පරාසය තුල ඒ තත්ත්වය ඊටත් වඩා සංකීර්ණයි. කොටින්ම පාසල ෆැෂන් ෂෝ පෙන්වන කානිවල් තත්ත්වයකට තමයි මාරු වීමට යන්නෙ. මේ යන විදියට සුදු පාට, ක්‍රීම් පාට හැටියට formel සහ නියුට්‍රල් තත්වයේ පවත්වාගෙන යන බිත්ති පවා දම් පාට, කහ පාට, රතු පාට, නිල් පාට, තැඹිලි පාට වගේ informel පුද්ගලනුබද්ධ ආන්තිකත්වයන්ට යාම වලක්වන්න බැහැ. අපේ අය ඒ තරමටම සමාජ පර්යාය හෙවත් Social Order කෙලසලා පොදුබව පුද්ගලනුබද්ධ කර ගන්න හරිම ආසයි.

අවසානයේ පාසල් පන්ති කාමරය, යකඩ දැල්, යුනිෆෝම් එක, පාසල් තාප්පය….ඔය හැම එකකින්ම කොටු වෙලා ඉන්න ලමයින්ට බලහත්කාරී කානිවල් විලාසිතා ඉස්සරහ හූල්ල හූල්ල හිරකාරයින් වෙන්න තමයි සිදු වෙන්නෙ. සාරිය සහ කුමන විකල්ප ඇදුමක් භාවිතා කරත් අධ්‍යාපන මනෝ විද්‍යාත්මකව සිය වෘත්තියට ගැලපෙන ඇදුම් සහ වර්ණ පටිපාටි තෝරා ගැනීම ගුරුවරියන්ගෙ වගකීමක්. වර්ණ කියන්නෙත් එක්තරා හෙජමොනියක්.

සුජිත් රත්නායක

සිව්වතාවක් ලෝක ශූරයින් වූ ජර්මනිය සහ ප්‍රබල බෙල්ජියම ඉවතට

0

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බෙල්ජියම් කණ්ඩායම සහ ක්‍රොඑශියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

නමුත් මෙවර ප්‍රබල බෙල්ජියම් කණ්ඩායමට පළමු වටයෙන්ම ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.

මේ අතර කැනඩාවට එරෙහිව පැවති තරගයෙන් 2ට 1ක් ලෙස ජයගත් මොරොක්කෝව මෙවර පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එසේම ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව පැවති තරගය 2ට 1ක් ලෙස ජපානය ජය හිමිකරගැනීමට සමත්වූ අතර එම කණ්ඩායම් දෙකම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

කෙසේ වෙතත් සිව්වතාවක් ලෝක ශූරයින් වී ඇති ජර්මනියට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලීක වටයෙන් ඉවත්වීමට සිදුවිය.

ඔවුන්ට සිය අවසන් බලාපොරොත්තුවත් අතහැර දැමීමට සිදුවුවේ ඔවුන් කොස්ටරිකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය 4ට 2ක් ලෙස ජයගැනීමට සමත්වුවද ජපාන කණ්ඩායම ඊයේ පැවති තරගය ජයගැනීමත් සමඟය.

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරම : අලි – මිනිස් ගැටුම හා ජල අර්බුද උග්‍ර වී මී ඔය ව්‍යාපාරයේ ගොවීහු අවතැන් වෙති !

0

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව වගා බිම් අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක කරයි. මේ ජාවාරම සඳහා දේශපාලන රැකවරණය චමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු හා විමල් වීරවංශ ගේ ලේකම්වරයකු විසින් ලබා දෙන අතර අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ඉඩම් ජාවාරම සඳහා නීතිමය රැකවරණය ලබා දේ.

වර්තමානයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසින් වලත්වැව රාහුල හිමියන්ට මෙම ඉඩම් ජාවාරම සඳහා ව්‍යාජ සන්නසක් සකසා දී ඇති අතර එය භාවිත කර මෙම දැවැන්ත ඉඩම් ජාවාරම සිදු කරනු ලැබේ.

ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අවසාන ගම් සිතියම් පරීක්ෂා කිරීමේ දී තහවුරු වූයේ සන්නස් ඉඩම් මෙම ප්‍රදේශයේ නොමැති අතර සියලු ඉඩම් රජයට අයත් වන බව ය. මේ සියලු තොරතුරු දන්නා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරීවරුන් විසින් සැබෑ තොරතුරු ජනතාවගෙන් සඟවා වලත්වැව රාහුල හිමිට හා වලත්වැව සුනන්ද හිමිට මෙම ඉඩම් ජාවාරම අඛණ්ඩ ව සිදු කිරීමට සහය ලබා දේ.

ඩෙල්මෝ සමාගම හා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු බොහෝ පිරිසක් ඉඩම් ලබා ගෙන

වලත්වැව රාහුල හිමියන් ගල්කඩවල මහා විහාරය, නාකොළගනේ පුරාණ රජ මහ විහාරය, අතරගල්ල ශ්‍රී විජයාරාමය, කෝන්වැව විහාරය හා දේවගිරිපුර විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති ධූර දරමින් අතරගල්ල ශ්‍රී විජයාරාමයේ වැඩ වාසය කරන අතර රාහුල හිමියන් ගේ බෑණනුවන් වන වලත්වැව සුනන්ද හිමි නාකෙළගනේ පුරාණ රජමහ විහාරයේ වැඩ වාසය කරයි.

වලත්වැව රාහුල හිමි අතරගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ උප විදුහල්පති ලෙස කටයුතු කළ සමයේ දී පාසැලට අයත් අක්කර දෙකක භූමියක් ඩෙල්මෝ සමාගමට අඹ වගා කිරීම සඳහා බදු දී තිබේ. මීට අමතර ව නාකොළගනේ පුරාණ රජමහ විහාරයට අයත් අක්කර 20 ක භූමියක් ද ඩෙල්මෝ සමාගමට බදු දී ඇති අතර එම විහාර භූමියේ මෙම සමාගම විසින් අඹ වගා කර තිබේ.

නාකොළගනේ එක්සත් මරණාධාර සමිතියේ සභාපති ජයකොඩි ආරච්චිලාගේ සියාතුහාමි නැතහොත් ආරියපාල විසින් පාලුකඩවල වැවේ ඉහත්තාවේ අක්කර 5 ක භූමියක් නීති විරෝධී ව වගා කරන අතර විවිධ ව්‍යාපාරිකයන්ට රජයේ වනාන්තර ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය රාහුල හිමියන් හා එක් ව සම්බන්ධීකරණය කිරීම මොහු විසින් සිදු කරයි.

අඹන්පොල පොලීසියේ ස්ථානාධිපති විසින් කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ කොණ්ඩගල කන්ඳ වටා පිහිටි අක්කර 8 ක වනාන්තර භූමියක් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදි කිරීම සඳහා ලබා ගෙන ඇත්තේ ද ආරියපාල ගේ සම්බන්ධීකරණය යටතේ ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් රාහුල හිමියන්ගෙන් බදු පදනම මත ලබා ගත් පාලුකඩවල වැව ඉහත්තාවේ කඳුබොඩයාගම ප්‍රදේශයේ අක්කර 5 ක පමණ භූමියක ගස්ලබු වගා බිමක් පවත්වාගෙන යන අතර ඒ ආසන්නයේ පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථානයක් වන වනාන්තර ඉඩම් අක්කර 50 ක් මේ වන විට එළිපෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. ඩෝසර් යන්ත්‍ර භාවිත කර මාර්ග සකස් කර වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් එම වනාන්තරයේ ජීවත් වූ අලි – ඇතුන් ගම් වැදීම බහුල ව සිදු වෙමින් පවතී.

නින්දගම් ඉඩම් බවට තහවුරු කළ හැකි කිසිදු නීත්‍යානුකූල ලේඛණයක් නොමැත

බදු දීම සිදු කරන ඉඩම් නාකොළගනේ පුරාණ රජමහ විහාරයට අයත් බව සඳහන් කළ ද ඒ පිළිබඳ ව කරුණු සොයා බැලීමේ දී තහවුරු වූයේ මෙම ඉඩම් මී ඔය ව්‍යාපාරය සඳහා අත් පත් කර ගත් ඉඩම් බව ය. 1948 වසරේ දී පමණ ඩී. එස්. සේනානායක මහතා විසින් මී ඔය ව්‍යාපාරය හෙවත් අතරගල්ල ව්‍යාපාරය ආරම්භ කර තිබේ. මී ඔය හරස් කර ඉදි කර ඇති අඹකොළ වැව, අතරගල්ල වැව හා පාලුකඩවල වැව පුළුල් කිරීමෙන් ආරම්භ කළ අතරගල්ල ව්‍යාපාරය යටතේ ගොවි ජනතාවට ඉඩම් ලබා දී ම 1953 වසරේ දී ආරම්භ කර ඇති අතර ඒ සඳහා අත්පත් කර ගත් ඉඩම්වලට වන්දි ගෙවීම 1968 වසරේ දී අවසන් කර ඇත.

අතරගල්ල ව්‍යාපාරය යටතේ මෙම ප්‍රධාන වැව් තුනට අමතර ව පාලුව වැව, අරසන් වැව හා වන්නිකුඩා වැව යන වැව් තුනට ද ජලය සැපයෙන අතර මේ සියලු වැව් වලින් අක්කර 4000 ක පමණ කුඹුරු ඉඩම් වගා කෙරේ. මෙම වැව් යටතේ අඹකොළ වැව, නිකවල යාය, සේරුගොඩ, අලුත් කොලනිය, වානේ කොලනිය, ඒරියාව, නාකොළගනේ, වෙහෙරගොඩයාය, යක්දෙස්සාව, පාලුකඩවල, කුරුන්දෑව, ජාගම, කට්ටකඩුව යන ගම්මානවල ගොවි පවුල් 1000 ක් පමණ වගා කටයුතුවල නිරත වේ.

නාකොළගනේ, කඳුබොඩයාගම යාය, කිරිබත්පැලැස්ස, කරඹෙයාය, පූලෑ අමුණ, උල්පතේ යාය, ගුරුගොඩ යාය, අගුරුවැල්ල, හඳුගොඩයාය, මඩදෙනිගම යාය, කිවුලේගම යාය යන ප්‍රදේශවලට අයත් ඉඩම් ඩෙල්මෝ සමාගම, අඹන්පොල දේශානි එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හිමිකරුට මෙන් ම මීගමුව ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් විකිණීම රාහුල හිමියන් විසින් සිදු කර ඇත.

පුරා විද්‍යාත්මක ව වටිනා ස්ථාන රැසක් ම මෙම ප්‍රදේශයේ පවතී. නාකොලගනේ රජ මහ විහාරය, ගුරුගොඩයාය, වෙහෙරගල, කරගස්සන රජමහා විහාරය හා ආඩිගම – කිරිබත්පැලැස්ස මෙන් ම වනාන්තර තුළ කටාරම් සහිත ගල් ලෙන් රැසක් ම පවතී. මේ ස්ථාන සියල්ල ම මෙම ඉඩම් කොල්ලයෙන් බලපෑමට ලක් වී ඇත.

අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වට පත් කර මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් කිරීම

ලංකාවේ වැඩි ම අලි – මිනිස් ගැටුමක් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස සැලකෙන වයඹ කලාපය තුළ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප්‍රදේශ මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන් විසින් වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ඉතා ම දරුණු ලෙස වර්ධනය වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතුරින් ප්‍රධාන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඊට හේතුව වනාන්තර ප්‍රතිශතය අඩු වීම හා ඉතිරී වී ඇති අලි – ඇතුන්ගේ වාසස්ථාන කුට්ටිකරණය වී පැවතීම ය. මේ නිසා අලි – ඇතුන් ගම් වැදීම හා වගා බිම්වලට පිවිසීමෙන් උග්‍ර අලි – මිනිස් ගැටුමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වේ.

2011 වසරේ දී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලි – ඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පලාතේ අලි – ඇතුන් 1189 ක් පමණ ජීවත් වන බව සොයා ගෙන තිබේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලි – ඇතුන් ප්‍රමාණයෙන් 20% කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි.

2018 වසරේ දී අවසන් වරට සිදු කෙරුණු ඉඩම් භාවිතය පිළිබඳ ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන්නේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම වනාන්තර ප්‍රතිශතයක් ඉතිරි වී ඇති බව ය. හෙක්ටයාර 481600 ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වාභාවික වනාන්තර ලෙස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ හා තෘණ භූමි ඉතිරි ව ඇත්තේ හෙක්ටයාර 66228 ක පමණ ප්‍රමාණයකි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 14% ක් පමණ වේ. වනාන්තර මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම අලි – මිනිස් ගැටුම උග්‍ර වීමට සහ වැව් හා ජල මූලාශ්‍රවල ජල පෝෂක ප්‍රදේශ ප්‍රමාණය අඩු වීමෙන් පානීය හා වාරි ජල අර්බුධ ඇති වීමට ද හේතු වී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි ම අලි – මිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ගල්ගමුව හා ඇහැටුවැව යි. නාකොලගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස පවතින වනාන්තර විනාශය සිදු කෙරෙන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර ප්‍රදේශ ඉතිරි ව ඇත්තේ මුළු භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 17500 ක් වන අතර එහි වනාන්තර ආවරණය දක්නට ලැබෙන්නේ හෙක්ටයාර 4760 ක භූමි ප්‍රමාණයක පමණි. ඒ අතුරෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලැබී ඇත්තේ 40% ක පමණ වනාන්තර ප්‍රමාණයකට පමණි. ඉතිරි බොහෝ වනාන්තර දැඩි නීතිමය රැකවරණයක් නොමැති ව පවතී. ඒවා නිරන්තරයෙන් එළිපෙහෙලි කිරීම්වලට ලක් වේ. මෙම වනාන්තර එළි කිරීම්වලට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය අලි – මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම තුළින් අලි හා මිනිසුන් ඝාතනයට ලක් වන ප්‍රමාණය වැඩි වීම හා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන්ගෙන් වගා බිම් විනාශයට ලක් කරන ප්‍රමාණය දිනෙන් දින ම වර්ධනය වීමයි. මීට අමතර ව ජල පෝෂක වනාන්තර බිම් වැව් ඇතුළු ජල මූලාශ්‍රවලට අහිමි වීම නිසා ජල අර්බුධ උග්‍ර මට්ටමකට පරිවර්තනය වේ. මේ සියල්ලේ ම අවසන් ප්‍රතිඵලය වන්නේ මී ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ වගා බිම් හානියට ලක් වීම හා ගොවි ජනතාව අවතැන් වී දැඩි අසීරුතාවයට පත් වීම ය.

රාහුල හිමියන් ගෙන් බදු වශයෙන් ලබා ගත් සියලූ ම වනාන්තර ඉඩම් මේ වන විට එළිපෙහෙළි කර ඇති අතර විදුලි වැටවල් යොදා එම ඉඩම් සියල්ල ම ආවරණය කර තිබේ. මේ නිසා පාලුකඩවල වැව ඇතුළු ව අලි – ඇතුන් ගේ වාසස්ථාන හා ප්‍රධාන ආහාර බිම් වෙත පිවිසීමට ඇති අවස්ථා අහිමි වීම හා අවහිර වීම සිදු වී ඇත. මේ නිසා මෙම සතුන් ගම් වැදීම වර්ධනය වී ඇති අතර දරුණු අලි – මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ නිර්මාණය වී ඇත. මේ තත්ත්වය පාලනය කිරීමට නම් මෙම සියලු විදුලි වැටවල් ගලවා ඉවත් කිරීම මෙන් ම නීති විරෝධී වගා බිම් සියල්ල නැවත අලි – ඇතුන් ඇතුළු සියලූ ම සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් හා ජල පෝෂක බිම් වෙනුවෙන් ආරක්ෂා කළ යුතු ය. එසේ සිදු නොකළහොත් මී ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ වගා බිම් සියල්ල ම ගොවි ජනතාවත් සමඟ ම විනාශයට ලක් වනු ඇත.

එපමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු අතර නීති විරෝධී ක්‍රියාවල නිරත සියලු පුද්ගලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්ක කළ යුතු බව ද අවධාරණය කර සිටිමු.