පරාගයක් තිබේ තාම මගේ ගාව

449

දරා ගන්න බෑ බතීගෙ මල් හිනාව
විරාගයේ අරවින්දගෙ කඳුළු නෑව
සරාගයේ පතුලෙන් උතුරන ඉනාව
පරාගයක් තිබේ තාම මගේ ගාව

කොක්ගල ඔය බඩ ලගිනා කොක්කු ගාව
පොල් රුප්පා හෙවනැලි වැතිරෙන ලතාව
තිබ්බටු සිතුවිලි කටු ලැහැබට ගෙනාව
නිබ්බුත පදයකි ජිනදාසගෙ හිනාව

ගම්පෙරළියෙ නන්දාගේ කඳුළු නැව්ව
නිම්මා නැති කඳුලක් සිංහලේ යැව්ව
ආදරයේ කඩතොළු අපටත් කෙලෙව්ව
මේ කවියත් පෙම්වතුන්ගෙ පලහිලව්ව

මඩොල්දූව දැක දැක මූදට පැදෙව්ව
කඩොල් පඳුරු මන්දස්මිතයෙන් නැළෙව්ව
ගම්පෙරළිය ඉලකූඩුව උඩ හෙලෙව්ව
ආලය ම යි ගින්දර දෙන මළ ඉලව්ව

ගොළු හදවත අතින් ගෙනා සුගත් ගාව
දම්මි එදා ඉස්කෝලෙ දි පෑ සුබාව
පුන් සඳවත වෙරළු අහුර මට ගෙනාව
කවියෙන් වත් කියන්ට බැරි වේදනාව

ජීවිතයේ තනිමංසල ළඟට ආව
ගෑණුන්ගේ කිලිපොලනා භාවනාව
පිරිමින් පිටපොට ගහනා විලිරුජාව
ඉහිලුම් නැති පරාගයකි මගේ ගාව

ඉපනැල්ලේ අම්බරුවන් සමඟ හෑව
ගොඩ පීනා හෙළුවැල්ලෙන් ගෙදර ආව
අසමජ්ජාති ම පාළුව මට ගෙනාව
පරාගයක් තිබේ තාම මගේ ගාව

කුමාර හෙට්ටිආරච්චි