දරා ගන්න බෑ බතීගෙ මල් හිනාව
විරාගයේ අරවින්දගෙ කඳුළු නෑව
සරාගයේ පතුලෙන් උතුරන ඉනාව
පරාගයක් තිබේ තාම මගේ ගාව
කොක්ගල ඔය බඩ ලගිනා කොක්කු ගාව
පොල් රුප්පා හෙවනැලි වැතිරෙන ලතාව
තිබ්බටු සිතුවිලි කටු ලැහැබට ගෙනාව
නිබ්බුත පදයකි ජිනදාසගෙ හිනාව
ගම්පෙරළියෙ නන්දාගේ කඳුළු නැව්ව
නිම්මා නැති කඳුලක් සිංහලේ යැව්ව
ආදරයේ කඩතොළු අපටත් කෙලෙව්ව
මේ කවියත් පෙම්වතුන්ගෙ පලහිලව්ව
මඩොල්දූව දැක දැක මූදට පැදෙව්ව
කඩොල් පඳුරු මන්දස්මිතයෙන් නැළෙව්ව
ගම්පෙරළිය ඉලකූඩුව උඩ හෙලෙව්ව
ආලය ම යි ගින්දර දෙන මළ ඉලව්ව
ගොළු හදවත අතින් ගෙනා සුගත් ගාව
දම්මි එදා ඉස්කෝලෙ දි පෑ සුබාව
පුන් සඳවත වෙරළු අහුර මට ගෙනාව
කවියෙන් වත් කියන්ට බැරි වේදනාව
ජීවිතයේ තනිමංසල ළඟට ආව
ගෑණුන්ගේ කිලිපොලනා භාවනාව
පිරිමින් පිටපොට ගහනා විලිරුජාව
ඉහිලුම් නැති පරාගයකි මගේ ගාව
ඉපනැල්ලේ අම්බරුවන් සමඟ හෑව
ගොඩ පීනා හෙළුවැල්ලෙන් ගෙදර ආව
අසමජ්ජාති ම පාළුව මට ගෙනාව
පරාගයක් තිබේ තාම මගේ ගාව