සිව්වැනි ආණ්ඩුවේ හෙලුව : කශෝගී – රිල්වාන් සහ ෆර්ම් !

Share post:

ටෘමන් සහ ෆර්ම් මාදිලිය

එන්රික් ෆර්ම් යනු ප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ඔහු ප්‍රථම පරමාණු බෝම්බය නිෂ්පාදනය කළ කුප්‍රකට මෑන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධානියෙකි. ඇමරිකන් රජය විසින් ඔහුට සියලු වරදාන-වරප්‍රසාද ලබා දී තිබිණි. නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්යවරයා වූයේද ඔහු ය. ඕනෑම දෙයක් කළ හැකි මට්ටමේ බලයක් රජය විසින් ඔහුට ලබා දී තිබිණි. ඒ විනාශයට පොට පෑදූ නිසා ය. එහෙත් ඔහු විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බය නිපදවීමේ ඇමරිකානු තීරණයට බලවත් විරෝධය පළ කළේය. එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ හැරී ටෘමන්ට විරෝධය පළ කරමින් ඔහු කියා සිටියේ මෙමගින් මානව සංහාරයක් සිදු වන බවයි.

එහෙත් ඇමරිකානු රජය එය පිළිගත්තේ නැත. ඔහු ප්‍රමුඛ කණ්ඩායමට හයිඩ්‍රජන් බෝම්බය නිෂ්පාදනය කරන ලෙස බල කෙරිණි. එම පර්යේෂණ ක්‍රියාවලිය හරහා ඇමරිකාව යුද අවි ක්ෂේත්‍රයේ ඉදිරියටම ගියේය. ලෝක සංහාරකයා බවට පත් විය.

මාධ්‍ය කියන්නේද හරියටම ෆර්ම් වගේ ය. රටේ මතය හසුරුවන ඔවුන්ට විශාල බලයක් තිබේ. සිව්වැනි ආණ්ඩුව කියන්නේද ඒ නිසා ය. ඒත් ඔවුන් ෆර්ම් වගේ න්‍යෂ්ඨික බෝම්බ හදන්නේය. ඒවායින් විනාශයක් සිදු වන බව ඇතැමුන් දන්නේ නැත. තමන්ට සිව්වැනි ආණ්ඩුව ලෙස ඇති බලය පිළිබඳ අභිමානයෙන් දෑස් වසාගෙනය, ඔවුන් සිටින්නේ. බහුතරයක් ෆර්ම් වගේම හයිඩ්‍රජන් බෝම්බ හදා, මානව සංහාර සිදු කිරීමේ තීරණ වලට විරුද්ධ ය. ඒත් හැරී ටෘමන් වගේ මාධ්‍ය හිමිකරුවන් හයිඩ්‍රජන් බෝම්බ හදන්නටම බල කරන්නේය.

එහිදී කරන්නට දෙකක් තිබේ. එකක් එය වෙනස් කිරීමට තරම් ශක්තියකින් විරෝධය පළකිරීම ය. අවංකව තමන් විශ්වාස කරන සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමය. එහිදී රැකියාව අහිමි වීම දක්වා වන අභියෝගවලට මුහුණ පෑමට සිදු වේ. අනෙක නම් ෆර්ම් වගේ කටයුතු කිරීමයි. විරෝධය දැක්වුවද, රජයට තවදුරටත් පක්ෂපාතී බව කියමින් අකමැත්තෙන් වුවද වැඩේ හරියටම කරදීමයි.

අහ්මද් රිල්වාන් මාදිලිය

මාලදිවයිනේ මාධ්‍යවේදී අහමද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වුයේ මීට මාසයකට පෙර ය. ආණ්ඩුවේ වංචා-දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙකු වූ ඔහුව පැහැරගනු ලැබුවේ 2014 අගෝස්තු මාසයේදී ය. ඉස්ලාමීය සටන්කාමීන් විසින් මේ ඝාතනය සිදු කළ බව මීට පෙර සඳහන් විය. ආණ්ඩුවේ අවශ්‍යතාව මත ඔවුන් රිල්වාන් ඝාතනය කරන්නට ඇතැයි දැන් සැක පහළ වී තිබේ.
මාලදිවයිනේ ඝාතන සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ඔහුගේ අතුරුදන් වීමෙන් වසර පහකට පසු මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. රිල්වාන්ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ වූ පිරිසකගෙන් සාක්ෂි ලබා ගැනීමට හැකි වූ බවත්, ඔවුන්ගේ සාක්ෂි මත ඉදිරි විමර්ශන සිදු කරන බවත් කොමිසමේ සභාපති හුස්නු සූද් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අනාවරණය කිරීම විමර්ශන වලට බාධාවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අබ්දුල්ලා යමීන්ගේ පාලනය පසුගිය වසරේ අවසන් විය. ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර, ඔහු විසින් කළ මුලික කටයුතු අතර මේ කොමිසම පත් කිරීමද විය. කෙසේ වෙතත් රිල්වාන්ගේ ඝාතනය ඉස්ලාම් අන්තවාදීන් පිටින් තබා අවසන් කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට එරට මානව හිමිකම් සහ සිවිල් සංවිධාන චෝදනා කරයි. ඝාතනය සිදු කර ඇත්තේ අන්තවාදීන් වුවද, ඒ පිටුපස යමීන්ගේ ආණ්ඩුව සිටි බව පැහැදිලි යැයි ඔවුන් අවධාරණය කර තිබේ.
සිය නිවස ආසන්නයේදී පැහැර ගැනුණු රිල්වාන්ව මාලදිවයිනේ සංචාරක පාරාදීසයක් වන හුල්හුමාලේ දුපතට ගෙන ගොස් ඇති බවත්, ඉන්පසු බෝට්ටුවකින් මුහුද මැදට ගෙන ගොස් ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ. සංචාරකයන් බහුලව ගැවසෙන නිසා හුල්හුමලේ දුපත ආශ්‍රිත කලාපය යනු රජයේ ආරක්ෂක අංශ මගින් නිරන්තරව විමර්ශනයට ලක් කරන කලාපයකි. එවැනි තත්වයක් තුළ රිල්වාන් ඝාතනයට ලක්වීමත්, හුල්හුමාලේ ප්‍රදේශයටම ඔහුව ගෙන යෑමත් යමීන්ගේ ආණ්ඩුවට චෝදනාවට සාක්ෂියකි.
2014 සැප්තැම්බර් මාසයේදී රිල්වාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත්, ඔවුන් දෙදෙනා සතියක් තුළ නිදහස් වී තිබේ. එවකට සංචාරක කටයුතු පිළිබඳ ඇමති ධුරය දැරූ අහමද් අඩිබ් මේ පුද්ගලයන් දෙදෙනා නිදහස් කර ගැනීමට සෘජුව මැදිහත් වී ඇතැයි ද විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේ. එම සිද්ධියෙන් වසරකට පසුව ඔහු මාලදිවයිනේ උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ජමාල් කශෝගී මාදිලිය

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස අදාළ ඝාතනයට නියෝගය ලබා දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විදෙස් රටවල් වලට තර්ජනය කළේය.

එංගලන්තයේ ලන්ඩන් නුවර මුලික කරගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන asharq al-awsat පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මීට අදාළ සියලු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් රටවල් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් ඔහු පවසා තිබේ. තම රටට ලෝකයේ දෙවැනියට හිමි තෙල් බලය සම්බන්ධයෙන්ද මෙහිදී සෞදි කුමාරයා අවධාරණය කර ඇත.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02 දා ජමාල් කශෝගී ඝාතනය කෙරිණි. මේ පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශ යි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න’ යනුවෙනි.

මෙම ඝාතනය සිදු වූ විගස සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම රටේ පුරවැසියෙකු වන ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි. ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතා කරන්න ගියේ නැත. සෞදි අරාබි ආයෝජන සමුළුව හෙවත් ඩාවෝස් ඉන් ද ඩෙසර්ට් සඳහා සහභාගී නොවන බවත්, කිසිවෙකුට ජමාල්ගේ ඝාතනය අනුමත කළ නොහැකි බවත් ලෝකයේ බිලියනපති ව්‍යාපාරිකයන් රැසක් පෙර පැවසුහ. එහෙත් ඔක්තෝබර් 23 දා ආරම්භ වූ සමුළුවට එසේ පැවසු ව්‍යාපාරිකයන්ගෙන් අති බහුතරයක් සහභාගී වූහ. දැන් සල්මාන් නිදහස් ය.

ඇමරිකාව – මාලදිවයින – සවුදිය සහ ලංකාව

පළමුවැන්න සමග ලංකාවේ වර්තමාන මාධ්‍ය භාවිතාව, මැතිවරණවලදී මාධ්‍ය ආයතන හිමිකරුවන් තම-තමන්ගේ පැත්ත නිවැරදිව තීරණය කරගන්නා ආකාරය සහ ඒ අස්සේ රස්සා කරන සිව් වැනි ආණ්ඩුවේ ඛේදවාචකය එකිනෙකට ගලපා ගත හැකිය.

දෙවැන්න සමග ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති ඝාතන සහ අතුරුදන් කිරීම් පිළිබඳචෝදනා, ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂිත කලාපයකදී ඝාතනය වීම මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ මුහුද මැදට ගෙන ගොස් දැමීම ඇතුළු අපරාධ එකිනෙකට ගලපා ගත හැකිය.

තුන්වැන්න සමග අපරාධකරුවන්ට අපේ වගේ සමාජයක ඇති බලය, අපරාධකරුවන් ආරක්ෂා කරමින් ඔවුන් සමග ඩිල් දමමින් ගත කරන දේශපාලක ජීවිත එකිනෙකට ගලපාගත හැකිය.

තෝරාගන්නා පාර කුමක්ද ?

බලය ලබා ගැනීම සහ ඒ ලබා ගත් බලය පවත්වා ගැනීම වෙනුවෙන් ලෝකය පුරා ගහන ගේම් මෙයාකාර ය. එහිදී ජීවිත වැදගත් නැත. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන, ඔවුන්ට අනුව හිතන මිනිසුන් නොව, තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන, තමන්ට අනුව හිතන මිනිසුන් ය. එවැනි මිනිසුන් ඉදිරියේ දේශපාලකයන්ගේ අධිපතිවාද සියල්ල දිය වී යන්නේය.

  

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...