Home Blog Page 218

මම සාම්ප්‍රදායික කතාවක් කරන්නෙ නෑ : අපිට අහිමි වූ නිදහස දිනාගත යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

0

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ, 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ඊයේ (04) ජාතිය අමතමිනි.

රට අද වන විට පත්ව ඇති තත්ත්වය සම්බන්ධව සහ ඉන් ගොඩ ඒම සඳහා ගත යුතු පියවර සම්බන්ධව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

මම අද පවත්වන්නේ සම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙමෙයි. මම කතා කරන්නේ අද අපිට අහිමි වී තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. අද අපි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මින් පෙර මෙවැනි බරපතළ තත්ත්වයකට අපි මුහුණ දී නැහැ. අපිට එහෙම වුණේ ඇයි. අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරලා වරද පටවන්න බැහැ. අපි මුල සිටම වරද්ද ගත්තා.

නිදහසින් පස්සේ අපි බෙදුනා. සැකය වෛරය ඇතිවෙන තෙක්ම බෙදුනා. බලය වෙනුවෙන් තව තව බෙදීම් ඇති කළා. අපි ඒ අයව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒ අයටම බලය ලබා දුන්නා. දේශපාලනයේදී ඇත්ත වෙනුවට බොරු කිව්වා. ඇත්ත කිව්ව දේශපාලකයින්ව ජනතාව ප්‍රතික්ෂේප කළා. රටේ සැබෑ තත්ත්වය පෙන්වාදී පිළියම් සොයන අයට තැනක් ලැබුණේ නැහැ.

අපි පොරොන්දු දේශපාලනයක සිර වුණා. අපිට අයිති නැති ණයට ගත්තු සම්පත් මත යැපුනා. වැඩි වැඩියෙන් ණය ගත්තා. රැකියා, උපකරණ, මුදල් බෙදුවා. අපි වැඩි හරියක් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් රස්සාවක් ගන්න. දරුවෙක් පාසලට දාගන්න, ටෙන්ඩරයක් පාස් කරගන්න වගේ පුද්ගලික වාසි බලාගෙන අපි වැඩ කළා.

අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවේ රට වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් බලය ලබාගන්න. වරප්‍රසාද භුක්ති විඳින්න. වැඩිපුර ටිකක් හම්බකර ගන්න. අපි පොරොන්දුවලට හිර වුණා. අපි සටන් පාඨවලට හිර වුණා.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්න පටන් ගත්තා. අපි දේශපාලන පොරොන්දු ඉටුකිරීම සඳහා වැඩි වැඩියෙන් ණය ගත්තා. අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පරිභෝජනයට මිස ආයෝජනයට නෙමෙයි. අපි බුදුන් වදාළ ධර්මයට පිටින් ගියා.

සිංගප්පූරුව ගොඩනගන හැටි ඉගෙන ගන්න ලංකාවට ආපු ලී ක්වාන් යූ අවුරුදු ගණනකට පසුව මෙහෙම කිව්වා. ඔබේ රටට මේ තත්ත්වය ඇති වුණේ අනවශ්‍ය ලෙස දේශපාලනයට මුල්තැන දීපු නිසයි. ඔබේ රට ආදර්ශයට ගත්තා නම් සිංගප්පූරුවත් අද විනාශයි.

ඇත්තටම අපි දැන් විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. නමුත් මම ඒකට කැමති නැහැ. අමාරුයි, වේදනාකාරී, දුෂ්කරයි.. නමුත් ඒ තුවාලය අපි හොඳකර ගමු. වේදනාව කෙටි කාලයකට වින්ඳොත් තුවාලය නිට්ටාවටම සුව කරගනන්න පුළුවන්.

සමහර දේශපාලන පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න බැහැ. සැබෑ ආර්ථික නිදහසක් ලබා ගන්න නම් අපිට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරාවලෙන් ගොඩ එන්න අපිට තිබෙන්නේ එකම එක ඉනිමඟයි. දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉනිමඟ ඇදලා පැත්තකට දැම්මොත් අපිට රටක් නැහැ. හෙටකුත් නැහැ.

මේ අවුරුද්දේ මුල් මාස 06 පමණ කාලය අතිශය දුෂ්කර වන බව මම කල්ඇතිවම කිව්වා. අකමැත්තෙන් වුවත් ඊට මුහුණ දෙන්න අපිට සිදුවෙනවා. රට වෙනුවෙන් ඒක විඳගන්න අපිට සිදුවෙනවා. දේශපාලන සීනිබෝල කතාවලින් මේ තත්ත්වයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා මේ රටේ විශාල පිරිසක් දුගී භාවයෙන් මිදී මධ්‍යම පන්තිය වෙත පිවිසියත් මේ රට ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි බිමක් බවට පත්වී තිබෙනවා.

වැඩබිම්වල උරෙන් උ ගැටිය යුතු තරුණයින් විදේශගතවීම සඳහා පෝලීම්වල තෙරපෙන හැටි මම දකිනවා. අපි එය වෙනස් කළ යුතුයි. එසේ නම් අපි මේ ආර්ථිකය නවීකරණය කර ලෝකයට විවාත කළ යුතුයි. ජනතාව රැවටීමට ලක්කරමින් ඔවුන්ව සදාතනික යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන පක්ෂ කල්ලිවාදයත් පරාජයට පත්කළ යුතුයි. එය මේ රටේ තරුණ පරපුර බලාපොරොත්තුවෙන් සිටි සිස්ටම් චේන්ජ් වෙනසයි. ඒ සඳහා මාගේ රජය නව ප්‍රතිසංස්කරණ මාවතකට යොමුවී තිබෙනවා. ඒ වෙනුවෙන් ගනු බලන තීරණ යම් වේදනාකාරී ස්වරූපයක් ගනු ලැබුවද අපිට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපිට ඒ පිළිවෙත අනුගමනය කළ යුතුව තිබෙනවා.

මේ අර්බුදය ජය ගන්න නම් පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අභියෝගය ජය ගැනීමේ මාවත ශක්තිමත් කිරීමට හැකි උපරිමයෙන්ම දායක විය යුතුයි. රටට අවශ්‍ය මූලික පියවර සහ පදනම දැන් සකස් කර අවසන්.

IMF සහාය ලබාගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අපි සාර්ථකව අවසන් කරගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබාගැනීමට අපි අපේක්ෂා කරනවා. ආර්ථිකය ශක්තිමත් කරගැනීමෙන් විතරක් අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අපි සමස්ත ක්‍රමයේම වෙනසක් සිදුකළ යුතුයි. මේ දේශපාලන ක්‍රමය, පාර්ලිමේන්තුව, විධායකය, රාජ්‍ය යාන්ත්‍රනය ආදී සියලු ක්ෂේත්‍ර යුගයට ගැලපෙන විදියට වෙනස් කළ යුතුයි. ඒ වෙනස අපිටත් රටටත් දැනෙන යහපත් එකක් විය යුතුයි.

අලුත් ක්‍රමවේදය තුළ තරුණ සහ කාන්තාවන්ගේ නියෝජනය සඳහාත් වැඩි ඉඩක් ලබාදිය යුතුයි. මේ ක්‍රම වෙනස සඳහා අවශ්‍ය අණ පනත් ගණනාවක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. උතුරු නැගෙනහිර ජනතාව මුහුණදෙන ගැටලු ගැන කඩිනම් පියවර ගත යුතුයි. ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කළා. ඉඩම් මුදාහැරීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු සඳහා අපි ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නවා. නමුත් කිසිවිටෙක මේ රට බෙදෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

මා මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දෙන්නේ නැහැ. රෝග නිදානයට පිළියම් කිරීමට. එය දුෂ්කරයි. අසීරුයි. ජනාධිපති ධුරයට පත්වූ දා පටන් මට ගන්න වුණු තීරණ බොහෝමයක් ජනප්‍රිය තීරණ නෙමෙයි. නමුත් ඒ තීන්දු නිසා අද මේ රටේ කිසිඳු පුද්ගලයෙකු තෙල් පෝලිම්වල මිය යන්නේ නැහැ. ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නැහැ. කවුරු කවර බාධක නිර්මාණය කළත් මම මේ රටට ආදරය කරන බහුතර ජනතාව සමග එක්වී මෙම නව ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යනවා.

එකමුතුව ඉදිරියට ගියොත් 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යක් බවට පත්වෙන්න පුළුවන්. සැබෑ නිදහස උදා කරගන්න පුළුවන්. අනාගතයට අලුත් රටක් නිර්මාණය කිරීම අපි සැමගේ වගකීම. ඒ වෙනුවෙන් එක්වෙන ලෙස මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි වසර 25 සඳහා අපි සකස් කර ඇති සැලසුම් සමගින් අපි එක්සත් ගමනක් යමු. ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද මේ ගමනට උර දිය යුතුයි.

නිදහස් දින කොළඹ – යාපනය – මඩකලපුව : හර්තාල් සමග ජනතාව පාරට බසී !

0

නිදහස් දිනය යෙදී තිබුණු ඊයේ (04) කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් උත්සවය පැවැත්වෙන අතරතුර, කොළඹ, යාපනය සහ මඩකලපුව ප්‍රදේශවල දැවැන්ත විරෝධතා කිහිපයක් පැවැත්විණි.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිවිල් සංවිධාන විසින් යාපනය නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක කරන ලෙස එහි වෙළෙඳ ප්‍රජාවගෙන් කළ ඉල්ලීමට ද ඔවුන් ප්‍රතිචාර දක්වා තිබිණි. යාපනයේ වෙළෙඳසැල් රැසක් ඊයේ වසා තිබුණු අතර, දහවල් පැවති විරෝධතා රැළියට ද විශාල පරිසක් එක්ව සිටියහ.

මඩකලපුවේ විරෝධතා පැවැත්වුණේ දෙමළ ජාතික සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මූලිකත්වයෙනි. මෙම විරෝධතා සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

මෙම විරෝධතාවලදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම, අසාධාරණ ලෙස සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආරක්ෂක අංශ විසින් පවරාගෙන ඇති ජනතාවගේ ඉඩම් මුදාහැරීම, ආණ්ඩුවේ මර්දනය වහාම නතර කිරීම, ජනතාවගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම ඇතුළු සටන් පාඨ රැසක් අඩංගු විය.

කොළඹදී ද ඊයේ විරෝධතා කිහිපයක් පැවති අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන කිහිපයක් එම විරෝධතා සංවිධානය කර තිබිණි.

මඩකලපුව විරෝධතා
මඩකලපුව විරෝධතාවලට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
යාපනයේ විරෝධතා
යාපනයේ විරෝධතාකරුවන් එන තුරු සිටි පොලිසිය
යාපනයේ හර්තාල් : ඡායාරූපය – www.newscutter.lk
කොළඹදී පැවති විරෝධතාවක්
යාපනයේ විරෝධතා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව

පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’

0

චිරන්තන පැදි බසින් නොමද පෝෂණ ලබන, එකවි තම අතට ගෙන නව අරුත් පණ පොවන, රික්තකය නොතියාම කොහෙන්දෝ පද උණන, මැෂිමකින් සැදෙන්නා සේ ය කවි ගොඩගසන, කුමාර හෙට්ටිආරච්චිගෙ නිර්මාණ, ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’ ගෙවන තැනට එද්දී, එකතැන නොසිට ඉසිරි විසිරි ඉතිරි පැතිරී යයි.

කවිවලට මාතෘකා නොවන කිසිවක් නොවෙයි. පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි. වත්මන් මේ මොහොත මත පය තියා සිටිද්දී සියල්ලෙන් පීඩාවිඳින දහසක් මිනිසුන්ගේ අඳෝනා ඇසෙයි. සිනාසලන සැටි පෙනෙයි. ඇතැම් කවි, කවියාගේ අනන්‍යතාවය දරන ඒවා මෙන් නොවෙයි. වෙනස් වෙයි. බුත්සරණේ ආලවක දමනයේදී ‘ගල් මට ගල් නොවෙයි’, ‘ගිනි මට ගිනි නොවෙයි’ කියූ බුදුන් සේ, ‘වචන මට වචන නොවෙයි’ කියන්නාක් මෙන් ඒවා සමඟ සෙල්ලම් කරයි. හැබැයි, පද යොදන සැටි ගැන අපව පුදුම කරවයි. ඒවා අතින් පූට්ටු කළාක් මෙන් නොපෙනෙයි. කොහේදෝ ඇති පදයක් තවත් කොහේදෝ ඇති පදයක් එක්ක මෙසේ පූට්ටු කරන්නෙ කොහොමදැයි අපිට නොතේරෙයි.

මේ පොතේ එක කවියක් වෙයි. එය ඔහුගේ ලකුණින් මිදුණු එකක් බැවින් එහි වෙනසක් පෙනෙයි. සරල කවියක්. දෙපද ගානෙ ලියැවුණක්. නමුත් මෙහි ඇත යමක්. මේ සටහන, ‘ජනේලය සහ බිත්තිය’ කවිය ගැන.

‘වංගුවේ ඒ ගෙදර හුරුබුහුටි ජනේලය
පාන්දර දෙපැත්තට කටපුරා ඇරී ඇති
පැද්දි පැද්දී තියෙන නිල් පාට ජනෙල් පලු
මැදින් හිටගෙන ඉන්න හීනි පිත්තල කූරු
මා දෙපා නතර වෙයි ගිඩිස් ගා මොහොතකට’

කවියා පාරේ යද්දී වංගුවේ ගෙදර පෙනෙයි. එහි නිල්පාට ජනේලයක් ඇත. ජනෙල් පලු මැදින් පිත්තල කූරුය. කන්තෝරුවට කඩිමුඩියේ දුවන කවියාට බ්‍රේක් වදින්නේ මේ නිවස ළඟදිය. මෙය ‘මනලෝල කවුළුවක්’ බව ඔහුම පවසයි.

‘ඒ ජනෙල් කූරු මැද යටිහිතට කිති දැනෙන අමුතු කළුවරක් ඇත,
බලා හොරැහින් එදෙස බත්ගෙඩිය වඩාගෙන දුවමි ඉස්ටේසමට’

කවියා දුවන සැටි අපට මැවී පෙනෙයි. ඔහු මේ ජනේලේ දිහා බලාඉන්නට පටන් ගනී. මෙය ඒ නිවසට වැටහීදෝ ටිකෙන් ටික, එහි කොටස් ඉවත් වෙයි. අතුරුදන් වෙයි. වැසෙයි. අවසානේ ජනෙල් පියන් කූරු මුකුත් නැති කවුළුවක් අසළ පෙදරේරුවෙක් බ්ලොක් ගල් දමා ඒ කවුළුව තිබූ තැන රෙපයාර් කර වසාදමනු කවියාට පෙනෙයි. ඔහු මෙසේ කියයි.

‘කොට කලිසමක් ඇඳන් බ්ලොක් ගලෙන් වැසුවාට පෙර මතක,
රෙපයාර් කළ නොහැක කිඳා බැස තිබෙන දේ බිත්තියක’

මේ කවිය අප කියවාගත් සැටි මෙසේයි.
මේ කවුළුව අන් අයෙකුගේ නිවසක එකකි. කවුළුවෙන් එහා පැත්තේ ගැහැනු මුහුණක් තිබුණා විය හැකිය. එබැවිනි ඔහුට ජනේලය සුරතල්ව පෙනුනේ. නැතිනම්, ජනේලේ අඬ අඳුර කවියාගේ අතීතයට ඇමතුවා විය හැකිය. අඳුරු, තෙත, නොපෙනෙන ගුහාමය තැන් බැලීමට එහි ගොස් හිඳීමට මිනිස් සිත් දක්වන ආශාවක් ඇත. හෙම්බත් වුණු, ඉක්මනින් දුවන, එක තැන කැරකෙන, කාර්යබහුල දිවියෙන් සැඟවෙන්නට, අඳුරු තැනක් කදිම එකකැයි කවියාගේ යටි හිතෙන් පණිවිඩයක් ආවා වන්නටද පුළුවන. එහි යාමට නොව එදෙස බලා හිඳීම ම ඔහුට සැනසුමකි. ඔහුගේ ගැලවුම් ස්ථානය එයයි.
දැන් මේ කතාව දිගටම කරගෙන යන්නට ඔහුට ඉඩ නොලැබේ. නිවැසියෝ මෙය දැකගෙන, ජනේලය වසනවා වෙනුවට ජනේලය තිබුණු තැනත් සමගම නැති කරදමත්. මේ පෙදරේරුවා අනෙකෙකු නොව නිවැසියෙක්ගේ ම වේශාන්තරයකි. දිනපතා තම නිවසේ කවුළුව දෙස බලන නොදන්නා මිනිසෙකු ගැන අවධානයෙන් ඉන්නා නිවසේ ප්‍රමුඛයා, හිමියා නොඑසේනම් ස්වාමියා ජනේලය බ්ලොක් ගලින් වසාදමන්නේ යලි කවියාට නොබලන්නටය. මේ තැනැත්තාට ‘කොට කලිසමක් ඇඳන්’ යැයි කවියා ඇනුම්පදයකුත් කියයි. ඔහු තමාට වඩා ලාබාල අයෙකු විය හැකි බව අපට සිතෙයි. සද්ධර්මරත්නාවලියේ පටාචාරා රැගෙන යන තැනැත්තාට ‘කොලූ’ යන නම දී, එයින් ඔහුගේ අත්දැකීම් මද බව, අඩු වයස් අයෙකු බව ඈ සියල්ල ධර්මසේන හිමි හැඟවූවාක් මෙනි.

“රෙපයාර් කළ නොහැක කිඳා බැස තිබෙන දේ බිත්තියක”

‘ජනේලේ අතුරුදන් කළාට, (හද)බිත්තියේ තියෙන දේ රෙපෙයාර් කරල අයින් කරන්න බෑ. ඔය ජනේලෙන් මා දිහා බැලූ කෙල්ලගෙ හිත දැනටමත් මා ළඟ, මගෙ හිත ඈ ළඟ’යි කවියා අවසන් අවියෙන් දමා ගසයි. නොකියා කියන හැටි අප තේරුම්ගත්තේ එහෙමයි.

ඩිල්ශානි චතුරිකා දාබරේ

ආරාධිතයන් නෑ – පොල්තෙල් පහන් නෑ : අරගලයේ කලා ප්‍රදර්ශනය – ‘අර්බුදය සහ අරගලය’ 7දා සිට !

0

සුජිත් රත්නායකගේ ‘අර්බුදය සහ අරගලය‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8දා සිට 15දා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, 7දා පස්වරු 4ට විවෘත කෙරේ. ප්‍රධාන ආරාධිතයකු නැත. පොල් තෙල් පහන් පත්තු කිරීම, පීත්ත පටි කැපීම, කතා බතා …..මේ මොකවත් නැත. මේ අරගලයේ කලා ප්‍රදර්ශනයයි. ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ ‘ගෝල්ෆේස් චිත්‍රාගාරයේ අපි’ සාමූහිකය විසිනි.
ප්‍රදර්ශනය කියුරේට් කරනු ලබන්නේ ‘ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරයේ’ සාමාජිකයින් කිහිපදෙනෙකු සහ ඔවුන්ගේ ආරාධනයට ලක් වූ ආරාධිත සාමාජිකයින් කිහිපදෙනෙකුගෙන් සමන්විත ප්‍රදර්ශන කමිටුවක් විසිනි.

නොරටුන්ට ණය වෙලා, කොතෙක් කල් උන්නා ද

0

ගාලු මුවදොර අහසෙ
ගුවන් කරණම් ඇතේ
වෙඩිමුර ම මහ ගොඩක්
ගිගුම් දෙයි හිතුමතේ
උත්සවාකාරයෙන් සමරන්නෙ
මගෙ හිතේ
සිංහයා පන අදින
එක වෙන්න ඇති පුතේ

නොරටුන්ට ණය වෙලා
කොතෙක් කල් උන්නා ද
මුතු ඇටේ අමුතු දේ
විඳ දරා ගත්තා ද
අන්තිමේ දරු පැටවු
හාමතෙන් මිය යාද
ඉස්සුවම කොඩිය
අභිමානයක් දැනුනා ද

සුද්දටත් වඩා
මේ රටට වින කළ එවුන්
එක්ව පලවාහරිමු ,
ඒක කළයුතු බැවින්
වහල් බැමි ලිහන්නට
බැරිව තවමත් සොවින්
සැවොම දැන් අවදිවව් !
ඉන්න බොරුවට නිදන්

විශාකා අබේරත්න

කිසි තැනෙක ලියැවේද, කුරුල්ලෙකු පිළිබඳව, ගුවන් කරණම් අතර ඇදවැටුණු?

0

හුරු පුරුදු පෙරහැරකි
බොහෝ දුර අතීතෙක සිට පැමිණි
ලෙයින් යකඩින් තැනූ
මළබැඳුණු සමරු සටහන් පමණි

අභිමාන පෙරදැරිව
දෙපස ඇහිරී පිරුණු හිතවතුනි,
දුටුවෙහිද කිසි දෙයක්
මෙයින් පෙර
මෙ’පෙරහැර තුළ නොදිටි?

හිරුරැසින් බබළමින්
පදක්කම්, වීරයන් වෙත පිදුණු
සිනාසෙන හඬ ඇසේ මග දිගට,
දෑස් ගිනිකන වැටුණු

කිසි තැනෙක ලියැවේද
කුරුල්ලෙකු පිළිබඳව
ගුවන් කරණම් අතර ඇදවැටුණු?

සන්නාහ සන්නද්ධ මතක
එකිනෙක ගැටී
නැගී එන හිස බමන කිරිකිරිය
වෙර සිඳී ගිය හදින්
කල්පයක් දරා ඉහිලිය හැකිද?

බොහෝ ඉපැරණි මතක
මගහැරුණ සිහින කඩතොලු අතර
නිදහසය කියන්නේ
පෙළපාළි – ආචාර වෙඩිමුර ද?

සෞම්‍ය සඳරුවන් ලියනගේ

© Photo by Wendy Wei from Pexels

පොලිසිය වෙන ම පාරක : අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් හමුවීම වළක්වයි – පහරදීම්වලට ලක්වූවන්ට – ක්ලාන්ත වූ අයට ප්‍රතිකාරත් නෑ !

0

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥ සහාය ලබාදීම පොලිසිය මගින් දිගින් දිගටම අවහිර කිරීම බරපතළ තත්ත්වයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරු අවධාරණය කරති.

කොමිසමත් නොසලකා හරී !

ඊයේ (03) රාත්‍රී සහ අද (04) උදෑසන මෙසේ නීතිඥවරුන්ට සිය සේවාදායකයන් වෙත ප්‍රවේශ වීම මෙසේ පොලිසිය මගින් අවහිර කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් මීට මැදිහත් වුවද, කොමිෂන් සභාවේ උපදෙස් ද පොලිසිය පිළිපැද නැත. විරෝධතාකරුවන් සිව්දෙනෙකු වරාය පොලිසියේ මෙසේ රඳවාගෙන සිටී.

මොරින් නූර්, පියත් නිකේෂල, සහන් කෞෂණ පෙරේරා, සුගත් අර්ජුන් පෙරේරා මෙසේ රඳවාගෙන සිටින විරෝධතාකරුවන් වේ.

‘පහරදීම් – ප්‍රතිකාර නොකිරීම්’

මෙම පිරිස මුණගැසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ නීතිඥ ස්වස්තිකා අරුලිංගම්ගෙන් thetime.lk කළ විමසීමේදී ඇය පැවසුවේ අද දහවල් අදාළ පිරිස මුණගැසීමට හැකි වූ බවයි. ඒ අතරින් සුගත් අර්ජුන් පෙරේරා පහරදීම් නිසා බරපතළ තත්ත්වයෙන් අවස්ථා කිහියකදී ක්ලාන්ත වී තිබුණද, පොලිසිය ඔහුව කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමුකර නැති බව ද නීතිඥවරිය සඳහන් කළාය. මොරින් නූර්ට ද පහරදී ඇති බවත්, අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සියල්ල පහරදීම්වලට ලක්වී ඇති බවත් පැවසූ ඇය, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත තමන්ව යොමුකිරීමට අදාළ කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි බව ද අප කළ විමසීමේදී පැවසීය.

නිහඬ පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිසියේ මෙම අත්තනෝමතික හැසිරීම සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, ඔහු දිගින්-දිගටම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

නීතියේ ආධිපත්‍යය ?

මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා පෙන්වා දෙන්නේ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා වීමේ අන්තර්ජාතික සම්මුති පනතේ 15(2) වගන්තියට අනුව අත්අඩංගුවට ගැනීමකින් පසු සෑම පුද්ගලයෙකුටම නීතිඥ සහාය ලබාගැනීමේ සහ ඥාතීන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව සැලසීම අනිවාර්යෙන් කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද අවධාරණය කළේ මෙම අයිතිය අහිමි කිරීම බරපතළ තත්ත්වයක් බවයි.

විරෝධතාකරුවන් අත්අඩංගුවේ…
මොරින් නූර් අත්අඩංගුවේ…

මිත්‍රවරුනි, අපි නිදහස් විය යුතුය !

0

අද ශ්‍රී ලංකා රජය 75 වැනි නිදහස් සැමරුම සුපුරුදු උත්කර්ෂවත් අයුරින්ම පවත්වමින් සිටියි. බ්‍රිතාන්‍ය කිරීටය ශ්‍රී ලංකාවේ පාලනය නිල වශයෙන් අතහැර දැමූ දිනය තවදුරටත් සැමරීමට වඩා ජාතික දිනයක් සැමරීමේ වැදගත්කම මීට වසර ගණනාවකට පෙර පටන්ම මතුකර තිබිණි. එහෙත් වාර්තා සඳහන් කරන පරිදි රුපියල් මිලියන 200කට වැඩි මුදලක් වැයකර මෙවරද නිදහස් සැමරීමක් සිදුකිරීමට රජය කටයුතු කරන්නේ ජනතාවගෙන් සැලකියි යුතු පිරිසක් එය ප්‍රතික්ෂේප කරන වාතාවරණයකදී ය.

රට තුළ ඇත්තේ බරපතල ආර්ථික අර්බුදයකි. රෝහල්වල ඖෂධ හිඟවීම හේතුවෙන් රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද පත්ව ඇත්තේ ඉතා ඛේදජනක ඉරණමකට ය. ඉහළ උද්ධමනය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල හතර පස් ගුණයක් ඉහළ ගොස් අති බහුතරයක් ජනතාව බඩට බත්නැති තැනට පත්ව ඇත. ව්‍යාපාර ක්ෂේත්‍රයද පිරිවැය වැඩිවීම නිසා අර්බුදයකට ලක්ව ඇත, ඒ අතරම ඉතා විශාල ප්‍රමාණයක් මෙරට නිදහස් අධ්‍යාපනය ලද්දාවූ පිරිස විදෙස් රැකියා සඳහා පිටව යාම නිසා බුද්ධිගලනයේ බලපෑම සැබෑලෙසම දැනෙන්නේ තවත් වසර කිහිපයකිනි.

එවැනි වාතාවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රජය ඉතාම උද්දච්ඡ ආකාරයෙන් නිදහස සැමරීම සුපුරුදු ලෙසටම පැවැත්වීම සම්බන්ධයෙන් සාධාරණිකරණය කර සිටියේ එසේ නිදහස සැමරීම සිදුකලේ නැතිනම් ‘ලංකාවට ලැජ්ජයි’ යන ස්වරයෙන් ය.

වැඩවසම් පාලනයෙන් ගැලවීම

ගල් යුගය සහ දඩයම් යුගය යන කාල සීමාවෙන් පසුව මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත්වීම ආරම්භකළ තැන පටන් කණ්ඩායමට නායකයෙක් පත්කර ගැනීම හෝ ඉබේම පත්වීම සිදුවීම ඇරඹිණී. එයට හේතුව වන්නේ කණ්ඩායම තුළ සාමූහික තීරණ ගැනීමේදී, අභ්‍යන්තර ගැටළු නිරාකරණයේදී මෙන්ම බාහිර අතුරු ආන්තරාවලදී අවශ්‍ය මූලිකත්වය සැපයීමට නායකයෙක් අවශ්‍යයැයි ඔවුන් සිතූ නිසා වන්නට ඇත.

පසුකාලීනව වැඩවසම් ක්‍රමය බවට පත්වන්නේ මෙකී නායකත්ව සංකල්පය රාජ්‍ය හෝ දේශය නැමති සංකල්පය සමග සම්මිශ්‍රවීම නිසා වන්නට ඇත. ජනගහනය වර්ධනය වීම, ජන ව්‍යාප්ති සීමාව වර්ධනය වීම සමග රජෙකු පත්කරගැනීම දක්වා නායකත්වය සීමාව ඉක්මවා ගිය බව සැබෑය.

භාණ්ඩ හුවමාරුවේ සිට මුදල් හුවමාරුව දක්වා වෙළඳාම වර්ධනය, පොදු එකඟතා අනුව රාජ්‍ය පාලනය වැනි දේශපාලනික සහ ආර්ථික වෙනස්වීම් හමුවේ රාජ්‍යත්වය යන්න තව තවත් තහවුරු විය. පසුව ඒ ඒ රජවුරුන්ගේ පවුල් පරපුරු බවට පත්වීම නිසා පවුලෙන් හෝ පරපුරෙන් පිටතට රාජ්‍යත්වය නොදෙන්නට ඔවුන් ඉතාම සූක්ෂම විය. ජනතාවගෙන් බදු අයකරන, ජනතාවට ඉතා දරුණු දඬුවම් ලබාදෙන, රාජ්‍යත්වය වෙනුවෙන් සමූල ඝාතන සිදුකරන, සියලුම රාජය දේපල රජුගේ දේපල ලෙසටත් ජනතාව එහි වහල් ශ්‍රමය සපයන පිරිසක් බවටත් පත්වූ වැඩවසම් ක්‍රමයක් ලංකාවේදී පැවතිනි.

එක් අතකින් වැඩවසම් ක්‍රමය අද පවතින ජනපති ක්‍රමයෙන් වෙනස් වෙන්නේ එදා වැඩවසම් ක්‍රමය මහළු හෝ විශ්‍රාම ගිය රජවරුන් නඩත්තු කරන්නට ජනතාවගේ බදු මුදල් වැය නොකර නිසාය. බොහෝවිට තවත් රජකෙනෙක් පත්වෙන්නේ එක් රජෙක් මියගිය හෝ මරාදැමූ වටපිටාවක නිසා විශ්‍රාම ගිය රජවරුන්ට විශ්‍රාම දීමනා ගෙවන බරද ජනතාව මට පැටවුණේ නැත.

එහෙත් වැඩවසම් ක්‍රමයේ පැවති ඉතා කටුක සහ දරුණු තත්වය ජනතාවට කොතරම් බරක්  වූයේද යත් රටේ රජු විදේශිකයන්ට පාවා දී පාලනයේ වෙනසක් අපේක්ෂා කරන තරමට ජනතාව පත්වෙන්නේ වැඩවසම් ක්‍රමය සම්බන්ධයෙන් තිබූ වසර දහස් ගණනක ඉතා අමිහිරි අත්දැකීම් නිසාය.

විදේශීය පාලනයන්ගේ නිදහස

16 වැනි සියවසේදී ශ්‍රී ලංකාව පෘතුගීසි පාලනයට යටත්වීමේ සිට විසිවැනි සියවසේදී බ්‍රිතාන්‍ය ලංකාවේ පාලනය අතහැරීම දක්වා වසර හාරසීයකට වැඩි යටත් විජිත පාලන සමය වැඩවසම් පාලන කාලය මෙන්ම මෙරට අඳුරු පරිච්ඡේදයක් වූවාට සැකයක් නැත.

එක් පැත්තකින් ආක්‍රමණිකයන්ගේ කුරිරු සහ අසාධාරණ බදු නිසා වැඩවසම් ක්‍රමය හා සමානවම ජනතාව පිඩාවට පත්විය. අනෙක් පැත්තෙන් වැඩවසම් රජ පරපුරු විසින් ජනතාව නැවත රජෙක්ගේ අවශ්‍යතාව පෙන්වා මුලා කිරීම වැනි කාරණා නිසා ද ජනතාව විදේශීය පාලනයන්ට එරෙහිව අවි අතට ගැනීම සිදුවිය.

1818 මෙන්ම 1848 ඇතිවූ ස්වදේශීය කැරළි හේතුවෙන් යටත් විජිත පාලකයන්ට දැඩි හානි සිදුවූ අතර නිදහස පිළිබඳ අපේක්ෂාවෙන් මෙන්ම නැවත වැඩවසම් පාලනයක් අපේක්ෂාවෙන් සිදුකල මෙකී කැරළි යටත් විජිත පාලකයන් අතුගා දැමූවේ සමූල ඝාතනයන් මගින් ය. සැබෑ ලෙසම එක් පැත්තකින් විදේශීය පාලකයන්ට එරෙහිව කොන්දක් ඇතිව සටන්කල පරපුරු ගණනාවක් ඝාතනයට ලක්විය.

1948 නිදහස ලැබීම දක්වා බ්‍රිතාන්‍ය රාජ්‍යට පක්ෂපාතීව සහ යටහත්ව සිටින තැනට ජනතාව පත්වන්නේ බ්‍රිතාන්‍යයන්ට පක්ෂව මෙරට නිර්මාණය වූ කළුසුද්දන්ගේ පරපුරුවල ආධිපත්‍යවාදයෙන් ය. මෙරට පාලන බලය ඉන්පසු අතට ගන්නේ එකී පවුල් කිහිපය විසින් ය. වසර 75ක් පුරාවට මෙරට පාලනය බලය දැරූ අති බහුතරයක් දේශපාලනඥයින්, ව්‍යාපාරිකයන්, සමාජ ව්‍යාපාර ප්‍රධානීන් අයත්වන්නේ එකී පවුල් කිහිපයටම ය.

අපි නිදහස් ද?

බ්‍රිතාන්‍යය ඇතුළු විදේශීය පාලනයන්ගෙන් සංකේතාත්මකව මීට වසර 75කට පෙර නිදහස ලැබූවද ඉන්පසු කාල පරිච්ඡේදයේදී මෙරට පාලනය සිදුකලේ ස්වදේශීය පාලකයන් වූවත් නූල තිබුණේ බොහෝවිට විදේශ රටවල ආණ්ඩු අතේය. කාලයෙන් කාලයට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය, ඉන්දියාව වැනි රටවල් අතරේ මේ බලය හුවමාරු වීම මෙරට දේශපාලන ඉතිහාසය ඉතා සූක්ෂමව අධ්‍යයනය කරන්නෙක්ට පැහැදිලිව අවබෝධකරගත හැකිය.

අද වනවිට ද මෙරට බලය ඇමරිකාව සහ චීනය අතරේ හුවමාරුවෙන්නේ ඉන්දියාව එකී බලපොරයේ අතරමැදියෙක් බවට පත්කරමින් ය. අද උපදින දරුවා පවා ණයගැතියෙක් බවට පත්කරමින් මෙරට ඩොලර් බිලියන ගණනක් විදේශ රටවල් සහ සංවිධානවලට ණය වී තිබේ. අපේ ආන්ඩුව අපේ රටේ බැංකුවලට පවා ණයවි පොල්ල තබා ඇතිබව කියන්නට හිරිකිතය.

ණය ගෙවාගන්නට බැරිව ‘බුන්වත්භාවයට’ පත්ව ඇති අපේ රට නිදහස සමරා ආඩම්බරයට පත්වීම කෙසේ වෙතත් මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ඉතා පටු මනසක් සහිත කළුසුදු අසාර්ථක දේශපාලනඥයෙක්ගේ සහ තක්කඩි දේශපාලන පවුල් කිහිපයක වුවමනාවන් නිසා දවසින් දවස මේ රට වලපල්ලට යමින් තිබේ.

සැබෑ ලෙසම රටක් විදිහට නිදහස සමරන්නට ජනතාවට හැකියාවක් නැත්තේ ආර්ථීක අහේනිය නිසා පමණක්ම නොව දශක ගණනාවක් තිස්සේ මෙරට සාරය සූරාකමින්, තමන්ගේ බඩවඩාගන්නා, පවුල් තරකරගන්නා, සුර සැප විඳින්නාවූ පාලකයන් පිරිසක් මේ රට අත්තනෝමතිකව පාලනය කරමින් සිටින අතරතුර ජනතාවගේ හුස්ම හිරවෙන තරමට බදු පනවා තිබේ, විරෝධතා දැක්වීමේ නිදහස පමණක් නොව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද අමු අමුවේ උල්ලංඝනය කරමින් තිබේ.

විරෝධතා දක්වන්නන් අසාධාරණ නීති යටතේ මාස ගණන් අවුරුදු ගණන් සිරගත කරමින් තිරිසන් පියවර අනුගමනය කරන ආන්ඩුවක් සහ දශක ගණනාවක් තිස්සේ මේ රට අපායක් බවට පත්කරන තැනට කටයුතු කරන පාලක පන්තියක් සහ ඔවුන්ගේ අතවැසියන් යටතේ සැබෑ මිනිසුන්ට නිදහසක් සැමරිය හැකිවේද?

මිත්‍රවරුනි, අන්න ඒ නිසාවෙන් අපි නිදහස් විය යුතුය. ඒ නිදහස්වීම උදෙසා ඇරඹෙන දීර්ඝ ගමන ආරම්භයට අද දවස වුවද වරදක් නැත.

පොලිසිය අධිකරණය ඉක්මවා යයි : සත්‍යග්‍රහයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර : පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් : හමුදාවෙන් නව මාර්ග බාධක !

0

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී ඊයේ (03) ආරම්භ කළ සාමකාමී සත්‍යග්‍රහය නාඳුනන කණ්ඩායමක් පැමිණ කඩාකප්පල් කිරීමෙන් පසු, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට පොලිසිය විසින් විදුරුවා හරින ලදි.

ඉන්පසු මේ මොහොත වන විට (රාත්‍රී 12.00) පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කර තිබේ. ඔවුන් රැගෙන ගොස් තිබුණේ කොළඹ වරාය පොලිසියටයි. අත්අඩංගුවට ගත පිරිසට නීතිඥ සහාය ලබාදීමට ගිය නීතිඥවරුන්ට ද පොලිසිය දිගින් දිගටම බාධා කරනු දක්නට ලැබිණි.

ඔවුන් දිගින් දිගටම සත්‍යග්‍රහය නීතිවිරෝධී බව පෙන්වාදීමට උත්සාහ දැරූ අතර, සත්‍යග්‍රහයට සහභාගි වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ තීන්දුවට අනුව සත්‍යග්‍රහයට බලපෑමක් ඇති නොවන බවයි.

අධිකරණ නියෝගය

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් ලබාදී තිබූ නියෝගයේ මෙසේ ද සඳහන් විය.

‘කෙසේ වෙතත් මෙම නියෝගය මගින් අදාළ නියෝගයේ ඇතුළත් මාර්ගයන් කිසිදු ලෙසකින්වත් අවහිර නොවන පරිදි දැනටමත් සිදුකරනු ලබන සාමකාමී සත්‍යග්‍රහයක් තහනම් කොට නොමැති බව දැනුම් දෙනු ලබන අතර, එසේ වුවද සත්‍යග්‍රහය යන්නෙහි සාමකාමීභාවය අවසන් වීම සහ මාර්ගයන් අවහිර වී පෙර සඳහන් කළ පරිදි බාධා පැමිණවීමත් සමග ම අවසන් වන බවට ද, එයින් පසු නීතිවිරෝධී රැස්වීමක් බවට පත්වන බව ද…’

අධිකරණ නියෝගයේ සත්‍යග්‍රහය පිළිබඳ සඳහන් කොටස

හදපු ගැටුමක් ?

සත්‍යග්‍රහය සාමකාමී ලෙස පැවැත්වුණු අතර, හදිසියේ ම පංචිකාවත්ත දෙසින් පැමිණි කණ්ඩායමක් එහි වාඩි වී සිටි පිරිස සමග ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ දරනු දැකිය හැකි විය. ඇසින් දුටු පිරිස් සඳහන් කළේ හෙට (04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් දින උත්සවයට අදාළ ව මරදාන මංසන්ධිය සරසමින් සිටි පිරිසක් ද මුලින් කී පිරිසට එක්වූ බවයි.

පහරදීම් / අත්අඩංගුවට ගැනීම්

ඉන්පසු මෙතෙක් තරමක් දුරින් සිටි පොලිසිය, සිද්ධිය සමථයකට පත්කිරීමට එම ස්ථානයට පැමිණි බවත්, පසුව ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඇසින් දුටුවෝ පැවසූහ. පහරදීම් කිහිපයක් මෙහිදී සිදුවූ බව ද ඔවුහු සඳහන් කළහ.

මෙහිදී පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට ඇම අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

සිද්ධියේදී පහරකෑමට ලක්වූ සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මූලික ප්‍රතිකාර ලබමින්

හමුදාවෙන් නව මාර්ග බාධක

මේ අතර ලංකා ගුරු සංගමයේ කාර්යාලය පිහිටි ලේක්හවුස් අසල මාවතේ යුද හමුදා මාර්ග බාධකයක් මේ වන විට ස්ථාපිත කරමින් සිටින අතර, එම මාර්ගය සම්පූර්ණයෙන් වසාදමන බව එහි යුද හමුදා සාමාජිකයෝ මේ පිළිබඳව විමසන ජනතාවට පවසමින් සිටිති.

පොලිසිය අධිකරණය ඉක්මවා යයි ?

එම කාර්යාලයෙන් කිසිවකුට පිටවීමට ඉඩනොදෙන තත්ත්වයක් මේ වන විට මතුවෙමින් තිබේ. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ මෙම සත්‍යග්‍රහය විසුරුවා හැරීමේදී පොලිසිය අධිකරණය ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන්නට ඇති බවයි. මෙසේ අධිකරණය අබිබවා යෑම අනිවාර්යෙන්ම අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ යුතුව ඇති බවත්, ඊට නියෝග දුන් පාර්ශ්ව අනාවරණය කරගත යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පෙර සූදානම
ගැටුමට මොහොතකට පෙර

මේ දවස්වල සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි මේ පිංතූර පෙල, කවුද මේ වික්ටර් නොවා..? ( Victor Noir)

0

විශේෂයෙන්ම ආකර්ශණීය තරුණියක් සැතපෙන පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ආකාරයේ පින්තූර පිරිමි පක්ශය බොහොම ආසාවෙනුත් තවත් ආකාරයකට සමච්චලයෙනුත් බෙදා ගන්නව.
( මේ වගේ දර්ශණ යුරෝපීය සමාජයේ සාමාන්‍යයි එක්තරා ආකාරයකට) මේ සැතපෙන පිලිරුව ඉතා පැරණි ලෝකඩ සොහොන් කොතක් නැත්තං ලෝකඩ පිලිරුවක්.
මේ සොහොන තියෙන්නෙ පැරිස් නගරයේ විසිවෙනි අරොන්දිස්මෝ හෙවත් අංක විස්ස දරණ දිස්ත්‍රික්කයේ. ( 20em arrondissement ) සේන් ගඟේ දකුණු ඉවුරේ තියන මේ ප්‍රදේශය පැරිස් නගර සීමාවෙ තියන අකර්ශණීය කොටසක්.
වික්ටර් නොවා කියන්නෙ ඉතාම තරුණ මාධ්‍යවේදියෙක්. එයාව ඝාතනය වෙන්නෙ 1870 තරම් ඈත කාලෙක වයස අවුරුදු 21 දී.
වික්ටර් කොයිතරම් සුළු කාලයක් ජීවත් වුනත් මේ ඝාතනය ප්‍රංශයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරනව. ( ලසන්ත වික්‍රමතුංග ඝාතනය ලංකාවේ ගමන් මග වෙනස් නොකරාට තවමත් අමතක නෑ ලංකාවෙ පුරවැසියන්ට).
ප්‍රංශ විප්ලවය සිද්ධ වෙන්නෙ 1789-1799 වගේ කාලයේදී. රාජාන්ඩුව පෙරලල මහජන ආන්ඩුවක් නිර්මාණය කරන්න ප්‍රංශ පුරවැසියන් සමත් වෙද්දි මීට නායකත්වය දෙන පුද්ගලයන්ගෙන් කෙනෙක් තමයි නැපෝලියන් බොනපාට් කියන්නෙ. ( 1769 – 1821)
පලවෙනි නැපෝලියන්ගෙන් පස්සෙ දෙවනි නැපෝලියන් විදිහට ඔහුගේ පුත්‍රයා කෙටි කාලයකට බලයට එනව. ඉන්පස්සෙ තුන්වෙනි නැපෝලියන් විදිහට නැපෝලියන් බොනපාට්ගෙ ඥාති පුත්‍රයා බලයට එනව. – නැපෝලියන් III 1808 -1873.
ප්‍රංශ ජනතාව මේ කතන්දරේට ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නැත්තෙ ඒ මිනිස්සු විප්ලවයක් කරල මහජන රජයක් පිහිටෙව්වෙ එක් පරම්පරාවකට බලය දෙන්න නොවන නිසා.
තුන්වෙනි නැපෝලියන්ට වගේම ඔහුගේ පරම්පරාවට විරුද්ධව ප්‍රංශ පුරවැසියන් නැවත එකතුවෙමින් ඉන්නෙ මහජන ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුනින්.

මෙන්න මේ අතරෙ වික්ටර් නොවා රාජකාරි කරන පුවත්පත ලිපියක් ලියනව වර්ථමාන නැපෝලියන් පාලනය විවේචනය කරමින්. මේ ලිපිය කෝර්ස් දූපතේ පුවත්පත් වලත් මාර්සෙයියේ ( Marseillé) නම් පුවත් පත හරහාත් ප්‍රසිද්ධ වෙද්දි මීට එරෙහිවෙනව තවත් නැපෝලියන් කෙනෙක්. ( නැපෝලියන්ලත් රාජපක්ශල වගේම තමා එක්කෙනෙක් නායකයා වුනොත් පරම්පරාවම ‍රජ වෙන්න හදනව.. හැබැයි පලවෙනි නැපෝලියන් බොහොම දක්ශ නායකයෙක්)
ඒ තමයි වර්ථමාන පාලකයාගේ ඥාති සහෝදරයෙක් වන පියේ නැපෝලියන්. ( Pierre Napoleon)
එයා චෝදනා කරනව .. අණ කරනව වහාම මේ ලිපි අයින් කරගන්න කියලත් නැපෝලියන් නමට අගෞරව නොකරන්න කියලත්.
නමුත් මාධ්‍යවේදීන් මේකට එකඟ වෙන්නෙ නැති නිසා මේක ගැටුමක් දක්වා දුරදිග යනව.
මෙන්න මේ ගැටුමේ ප්‍රථිඵලයක් විදිහටයි පියේ නැපෝලියන් විසින් තරුණ වික්ටර් නොවා වෙඩි තියල ඝාතනය කරන්නෙ 1871 ජනවාරි 10 වෙනිද.
මේ ඝාතනය ප්‍රංශ මිනිස්සුන්ගේ දැඩි කෝපයට හේතුවෙනව.
නැපෝලියන් අධිරාජයා අණ කරනව නොවාගෙ අවමංගල්‍ය උත්සවයට විශාල පිරිස් සහභාගි නොවිය යුතුයි කියලත් පහුවදාම අවමංගල්‍ය උත්සවය රහසිගතව පවත්වන්නත් කියල.

ජනවාරි දොලොස් වෙනිදා ඒ කියන්නෙ නොවාගෙ අවමගුල්නුත්සවය දවසෙ ප්‍රංශ අග නගරය පිරිල ඉතිරිලා යනව කෝප වුනු ප්‍රංශ පුරවැසියන්ගෙන්. ලක්ශයකට අධික මිනිස්සු පැරිස් නගරයේ වීදි බහිනව සාධාරණය ඉල්ලල. මේ විරෝධයන් කොයිතරම් දුරදිග යනවද කියනව නම් විරෝධතා අරගල ප්‍රංශය පුරාම පැතිරෙනව. පියෙර් බොනපාට් අත් අඩංගුවට පත්වෙද්දි තුන්වෙනි නැපෝලියන්ගෙ බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනව.
මේ තමයි නැපෝලියන් පාලන ක්‍රම‍යේ අවසානය.

තුන්වෙනි නැපෝලියන් ප්‍රංශ ජනාධිපති ලෙස තමන්ව ප්‍රකාශයට පත්කරගත්තත් 1871 අවුරුද්දෙ ඇඩොල්ෆ් තියෙර් මහත්තයා (Adolphe Thiers ) ප්‍රංශ ජනරජයේ පලවෙනි ජනාධිපති විදිහට පත්වෙමින් නැපෝලියානු බලය අවසන් කරනව.
මෙන්න මේ විදිහටයි තරුණ පත්තරකාරයෙකුගේ මරණය ප්‍රංශයේ ගමන් මග වෙනස් කරන්නෙ.
වික්ටර් නෝවා කොයිතරම් ප්‍රසිද්ධ වෙනවද… ගෞරවයට පාත්‍ර වෙනවද කීවොත් ඔහු වෙනුවෙන් අළුත් සොහොනක් නිර්මාණය වෙනව 1891 අවුරුද්දෙදි.

මේ වෙද්දි ප්‍රංශයේ ආන්ඩුව සාධාරණ වගේම අළුත් ගමනක් යමින් ඉන්නෙ.
බ්‍රිතාන්‍ය වික්ටෝරියානු පාලනයෙන් සෝදාපාළුවකට ලක්වෙද්දි පැරීසිය විනෝදයේත්.. කලාවේත්… සංවාදයේත් නගරයක් බවට පත්වෙනව.
මේ සොහොන නිර්මාණය කරන්න තෝරගන්නෙ ඉතාම දක්ශ වගේම විප්ලවකාරී චරිතයක්.. කලාකාරයෙක් වෙන ජූල්ස් දලූ (Jules Dalou) මහත්තයා.

නෝවාගෙ සොහොන් පිලිරුව ඉතාම ආකර්ශණීයයි. විශේෂයෙන්ම මේ තරුණයගේ දෙතොල වගේම පුරුෂ ලිංගය සහිත ප්‍රදේශය වැඩි අවධානයක් යොමුවෙන ලෙසින් නිර්මාණය කර තිබීම විශේෂයි.
එයින් සිද්ධ වෙන්නෙ වැඩි වැඩියෙන් නෝවා ගැන ප්‍රසිද්ධ වීමත් කතාබහ කිරීමත්.

මේ සොහොන නැරඹීමට එන වැඩිදෙනෙක් තොල් සහිත ප්‍රදේශය හා පුරුශ ලිංගය සහිත ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් මේ ලෝකඩ පිලිමයේ අදාල ප්‍රදේශ දිස්නය දෙන තරමට ඔපවත් වෙනව.
ඒ එක්කම කටකතා පැතිරෙනව මේ පිලිරුව සිප ගැනීමෙන් වගේම ස්ත්‍රී ලිංග ප්‍රදේශය පිලිරුවේ ස්පර්ශ කිරීමෙන් කාන්තාවන්ට ගැබ් ගැනිමේ හැකියාව ලැබෙනව කියල.
මේ සම්භන්ධයෙන් විවිධ මතවාද… අදහස්.. කටකතා තියනව.
සමහරෙක් විනෝදයටත්… තවත් කෙනෙක් විශ්වාසය නිසාත් මේ පිලිරුව එක්ක එක එක විදිහට හැසිරෙනව.
පැරීසිය කියන්නෙ නොනිදන… විනෝදයට හා ලිංගිකාශ්වාදයට ප්‍රසිද්ධ නගරයක්.
ඒ නිසා කිසි කෙනෙක් මේ වගේ සිද්ධීන් ඒ තරම් මායිම් කරන්නෙ නෑ.

බෝධි පූජා පැවැත්වීම… ශිව ලිංගය දෝවනය කර පානය කිරීම…. කාලි හෝ ස්කන්ධ කුමාර දේව පූජා පැවැත්වීම වැනි දේ තුලින් ගැබ් ගන්න පුළුවන් කියල විශ්වාස කරන කාන්තාවන් ඕනෑ තරම් ලාංකික සමාජයේ ඉන්න බව අපි දන්නව.
ඉතින් මේ තියෙන්නෙත් ඒ වගේ තවත් එක් විශ්වාසයක් විතරයි.

මේ කතාව අවසන් කරන්න තවත් එක් විශ්වාසයක් ගැන සඳහන් කරන්න ඕනෙ කියල හිතුව.
කීරිමලේයි පොකුන තියෙන්නෙ කන්කසන්තුරේ ඉඳල පුන්ගුඩුතිව් දක්වා යන ගමන් මාර්ගයේ දකුණු පැත්තට වෙන්න මුහුදට යාබදව.

මේ පොකුණ බොහොම ලස්සනයි වගේම වතුර බොහොම පිරිසිඳුයි.
යුද්ධ කාලය නිසා 1990දශකයේත් ගැටුම් අවසන් වන තුරුත් බොහෝම සීමිත සංචාරකයන් පිරිසක් තමයි කීරිමලෙයි පොකුණ නරඹන්න එන්නෙ.

මේ පොකුණ සම්භන්ධයෙන් ලොකු විශ්වාසයක් පවතිනව ප්‍රදේශයේ දමිළ ජනතාව අතර.
ඒ තමයි උදේම මේ පොකුණෙන් ජලය ස්නානය කරොත් දරුවන් නැති කාන්තාවන් ගැබ් ගන්නව කියල.
හිනා වෙන්න අවශ්‍ය නෑ… නමුත් කොළඹ ඉඳල එන සමහර ප්‍රසිද්ධ දේශපාලකයන්ගෙ බිරින්දෑවරු කීප දෙනෙක් වගේම හමුදාවෙ ඉහල නිළධාරීන්ගෙ බිරින්දෑවරුත් මේ පොකුණෙ දිය නාන්න ආපු බව දන්නෙ ප්‍රදේශයේ සේවය කරපු අය විතරයි.
මේ පොකුණ කාන්තාවන්ට හා පිරිමින්ට වෙන් වෙන් වශයෙන් දෙකට බෙදුවත් පොකුණේ ජලය තඨාක දෙකටම පොදුයි. ඒ කාලෙත් තඨාක ප්‍රදේශය බෙදා වෙන් කරන තාප්පයේ ඇති වෙන්න සිදුරු තිබුන. සමහරු කීවෙ ඒ වෙඩි පාරවල් කියල.
මං හිතන්නෙ තවමත් ඒ විශ්වාස ඒ විදිහමයි.

ආකර්ශණීය කැලැන්ඩර්… ඡායාරූප.. පෝස්ටර් බොහොමයක් තියනව නොවාගෙ පිලිරුව හා සම්භන්ධ.
කෙනෙක් ආශ්වාදයක් ලබද්දි.. කෙනෙක් විශ්වාස කරනව.. තව කෙනෙක් හිනාවෙනව.
මොනව වුනත් ප්‍රංශ ජාතිකයන්‍ට පුළුවන් වෙනව හැම තිස්සෙම අසාධාරණ පාලනයට විරුද්ධව නැගී සිටින්න.
පැරිස් නගරයේ සංචාරයකට ගියොත් අමතක කරන්න එපා නොවාගෙ සොහොන බලන්න යන්න.

Malcolm Sang