පොලිසිය අධිකරණය ඉක්මවා යයි : සත්‍යග්‍රහයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර : පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් : හමුදාවෙන් නව මාර්ග බාධක !

Share post:

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී ඊයේ (03) ආරම්භ කළ සාමකාමී සත්‍යග්‍රහය නාඳුනන කණ්ඩායමක් පැමිණ කඩාකප්පල් කිරීමෙන් පසු, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට පොලිසිය විසින් විදුරුවා හරින ලදි.

ඉන්පසු මේ මොහොත වන විට (රාත්‍රී 12.00) පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කර තිබේ. ඔවුන් රැගෙන ගොස් තිබුණේ කොළඹ වරාය පොලිසියටයි. අත්අඩංගුවට ගත පිරිසට නීතිඥ සහාය ලබාදීමට ගිය නීතිඥවරුන්ට ද පොලිසිය දිගින් දිගටම බාධා කරනු දක්නට ලැබිණි.

ඔවුන් දිගින් දිගටම සත්‍යග්‍රහය නීතිවිරෝධී බව පෙන්වාදීමට උත්සාහ දැරූ අතර, සත්‍යග්‍රහයට සහභාගි වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ තීන්දුවට අනුව සත්‍යග්‍රහයට බලපෑමක් ඇති නොවන බවයි.

අධිකරණ නියෝගය

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් ලබාදී තිබූ නියෝගයේ මෙසේ ද සඳහන් විය.

‘කෙසේ වෙතත් මෙම නියෝගය මගින් අදාළ නියෝගයේ ඇතුළත් මාර්ගයන් කිසිදු ලෙසකින්වත් අවහිර නොවන පරිදි දැනටමත් සිදුකරනු ලබන සාමකාමී සත්‍යග්‍රහයක් තහනම් කොට නොමැති බව දැනුම් දෙනු ලබන අතර, එසේ වුවද සත්‍යග්‍රහය යන්නෙහි සාමකාමීභාවය අවසන් වීම සහ මාර්ගයන් අවහිර වී පෙර සඳහන් කළ පරිදි බාධා පැමිණවීමත් සමග ම අවසන් වන බවට ද, එයින් පසු නීතිවිරෝධී රැස්වීමක් බවට පත්වන බව ද…’

අධිකරණ නියෝගයේ සත්‍යග්‍රහය පිළිබඳ සඳහන් කොටස

හදපු ගැටුමක් ?

සත්‍යග්‍රහය සාමකාමී ලෙස පැවැත්වුණු අතර, හදිසියේ ම පංචිකාවත්ත දෙසින් පැමිණි කණ්ඩායමක් එහි වාඩි වී සිටි පිරිස සමග ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ දරනු දැකිය හැකි විය. ඇසින් දුටු පිරිස් සඳහන් කළේ හෙට (04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් දින උත්සවයට අදාළ ව මරදාන මංසන්ධිය සරසමින් සිටි පිරිසක් ද මුලින් කී පිරිසට එක්වූ බවයි.

පහරදීම් / අත්අඩංගුවට ගැනීම්

ඉන්පසු මෙතෙක් තරමක් දුරින් සිටි පොලිසිය, සිද්ධිය සමථයකට පත්කිරීමට එම ස්ථානයට පැමිණි බවත්, පසුව ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඇසින් දුටුවෝ පැවසූහ. පහරදීම් කිහිපයක් මෙහිදී සිදුවූ බව ද ඔවුහු සඳහන් කළහ.

මෙහිදී පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට ඇම අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

සිද්ධියේදී පහරකෑමට ලක්වූ සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මූලික ප්‍රතිකාර ලබමින්

හමුදාවෙන් නව මාර්ග බාධක

මේ අතර ලංකා ගුරු සංගමයේ කාර්යාලය පිහිටි ලේක්හවුස් අසල මාවතේ යුද හමුදා මාර්ග බාධකයක් මේ වන විට ස්ථාපිත කරමින් සිටින අතර, එම මාර්ගය සම්පූර්ණයෙන් වසාදමන බව එහි යුද හමුදා සාමාජිකයෝ මේ පිළිබඳව විමසන ජනතාවට පවසමින් සිටිති.

පොලිසිය අධිකරණය ඉක්මවා යයි ?

එම කාර්යාලයෙන් කිසිවකුට පිටවීමට ඉඩනොදෙන තත්ත්වයක් මේ වන විට මතුවෙමින් තිබේ. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ මෙම සත්‍යග්‍රහය විසුරුවා හැරීමේදී පොලිසිය අධිකරණය ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන්නට ඇති බවයි. මෙසේ අධිකරණය අබිබවා යෑම අනිවාර්යෙන්ම අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ යුතුව ඇති බවත්, ඊට නියෝග දුන් පාර්ශ්ව අනාවරණය කරගත යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පෙර සූදානම
ගැටුමට මොහොතකට පෙර

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...