හුරු පුරුදු පෙරහැරකි
බොහෝ දුර අතීතෙක සිට පැමිණි
ලෙයින් යකඩින් තැනූ
මළබැඳුණු සමරු සටහන් පමණි
අභිමාන පෙරදැරිව
දෙපස ඇහිරී පිරුණු හිතවතුනි,
දුටුවෙහිද කිසි දෙයක්
මෙයින් පෙර
මෙ’පෙරහැර තුළ නොදිටි?
හිරුරැසින් බබළමින්
පදක්කම්, වීරයන් වෙත පිදුණු
සිනාසෙන හඬ ඇසේ මග දිගට,
දෑස් ගිනිකන වැටුණු
කිසි තැනෙක ලියැවේද
කුරුල්ලෙකු පිළිබඳව
ගුවන් කරණම් අතර ඇදවැටුණු?
සන්නාහ සන්නද්ධ මතක
එකිනෙක ගැටී
නැගී එන හිස බමන කිරිකිරිය
වෙර සිඳී ගිය හදින්
කල්පයක් දරා ඉහිලිය හැකිද?
බොහෝ ඉපැරණි මතක
මගහැරුණ සිහින කඩතොලු අතර
නිදහසය කියන්නේ
පෙළපාළි – ආචාර වෙඩිමුර ද?
සෞම්‍ය සඳරුවන් ලියනගේ
© Photo by Wendy Wei from Pexels