පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’

Share post:

චිරන්තන පැදි බසින් නොමද පෝෂණ ලබන, එකවි තම අතට ගෙන නව අරුත් පණ පොවන, රික්තකය නොතියාම කොහෙන්දෝ පද උණන, මැෂිමකින් සැදෙන්නා සේ ය කවි ගොඩගසන, කුමාර හෙට්ටිආරච්චිගෙ නිර්මාණ, ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’ ගෙවන තැනට එද්දී, එකතැන නොසිට ඉසිරි විසිරි ඉතිරි පැතිරී යයි.

කවිවලට මාතෘකා නොවන කිසිවක් නොවෙයි. පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි. වත්මන් මේ මොහොත මත පය තියා සිටිද්දී සියල්ලෙන් පීඩාවිඳින දහසක් මිනිසුන්ගේ අඳෝනා ඇසෙයි. සිනාසලන සැටි පෙනෙයි. ඇතැම් කවි, කවියාගේ අනන්‍යතාවය දරන ඒවා මෙන් නොවෙයි. වෙනස් වෙයි. බුත්සරණේ ආලවක දමනයේදී ‘ගල් මට ගල් නොවෙයි’, ‘ගිනි මට ගිනි නොවෙයි’ කියූ බුදුන් සේ, ‘වචන මට වචන නොවෙයි’ කියන්නාක් මෙන් ඒවා සමඟ සෙල්ලම් කරයි. හැබැයි, පද යොදන සැටි ගැන අපව පුදුම කරවයි. ඒවා අතින් පූට්ටු කළාක් මෙන් නොපෙනෙයි. කොහේදෝ ඇති පදයක් තවත් කොහේදෝ ඇති පදයක් එක්ක මෙසේ පූට්ටු කරන්නෙ කොහොමදැයි අපිට නොතේරෙයි.

මේ පොතේ එක කවියක් වෙයි. එය ඔහුගේ ලකුණින් මිදුණු එකක් බැවින් එහි වෙනසක් පෙනෙයි. සරල කවියක්. දෙපද ගානෙ ලියැවුණක්. නමුත් මෙහි ඇත යමක්. මේ සටහන, ‘ජනේලය සහ බිත්තිය’ කවිය ගැන.

‘වංගුවේ ඒ ගෙදර හුරුබුහුටි ජනේලය
පාන්දර දෙපැත්තට කටපුරා ඇරී ඇති
පැද්දි පැද්දී තියෙන නිල් පාට ජනෙල් පලු
මැදින් හිටගෙන ඉන්න හීනි පිත්තල කූරු
මා දෙපා නතර වෙයි ගිඩිස් ගා මොහොතකට’

කවියා පාරේ යද්දී වංගුවේ ගෙදර පෙනෙයි. එහි නිල්පාට ජනේලයක් ඇත. ජනෙල් පලු මැදින් පිත්තල කූරුය. කන්තෝරුවට කඩිමුඩියේ දුවන කවියාට බ්‍රේක් වදින්නේ මේ නිවස ළඟදිය. මෙය ‘මනලෝල කවුළුවක්’ බව ඔහුම පවසයි.

‘ඒ ජනෙල් කූරු මැද යටිහිතට කිති දැනෙන අමුතු කළුවරක් ඇත,
බලා හොරැහින් එදෙස බත්ගෙඩිය වඩාගෙන දුවමි ඉස්ටේසමට’

කවියා දුවන සැටි අපට මැවී පෙනෙයි. ඔහු මේ ජනේලේ දිහා බලාඉන්නට පටන් ගනී. මෙය ඒ නිවසට වැටහීදෝ ටිකෙන් ටික, එහි කොටස් ඉවත් වෙයි. අතුරුදන් වෙයි. වැසෙයි. අවසානේ ජනෙල් පියන් කූරු මුකුත් නැති කවුළුවක් අසළ පෙදරේරුවෙක් බ්ලොක් ගල් දමා ඒ කවුළුව තිබූ තැන රෙපයාර් කර වසාදමනු කවියාට පෙනෙයි. ඔහු මෙසේ කියයි.

‘කොට කලිසමක් ඇඳන් බ්ලොක් ගලෙන් වැසුවාට පෙර මතක,
රෙපයාර් කළ නොහැක කිඳා බැස තිබෙන දේ බිත්තියක’

මේ කවිය අප කියවාගත් සැටි මෙසේයි.
මේ කවුළුව අන් අයෙකුගේ නිවසක එකකි. කවුළුවෙන් එහා පැත්තේ ගැහැනු මුහුණක් තිබුණා විය හැකිය. එබැවිනි ඔහුට ජනේලය සුරතල්ව පෙනුනේ. නැතිනම්, ජනේලේ අඬ අඳුර කවියාගේ අතීතයට ඇමතුවා විය හැකිය. අඳුරු, තෙත, නොපෙනෙන ගුහාමය තැන් බැලීමට එහි ගොස් හිඳීමට මිනිස් සිත් දක්වන ආශාවක් ඇත. හෙම්බත් වුණු, ඉක්මනින් දුවන, එක තැන කැරකෙන, කාර්යබහුල දිවියෙන් සැඟවෙන්නට, අඳුරු තැනක් කදිම එකකැයි කවියාගේ යටි හිතෙන් පණිවිඩයක් ආවා වන්නටද පුළුවන. එහි යාමට නොව එදෙස බලා හිඳීම ම ඔහුට සැනසුමකි. ඔහුගේ ගැලවුම් ස්ථානය එයයි.
දැන් මේ කතාව දිගටම කරගෙන යන්නට ඔහුට ඉඩ නොලැබේ. නිවැසියෝ මෙය දැකගෙන, ජනේලය වසනවා වෙනුවට ජනේලය තිබුණු තැනත් සමගම නැති කරදමත්. මේ පෙදරේරුවා අනෙකෙකු නොව නිවැසියෙක්ගේ ම වේශාන්තරයකි. දිනපතා තම නිවසේ කවුළුව දෙස බලන නොදන්නා මිනිසෙකු ගැන අවධානයෙන් ඉන්නා නිවසේ ප්‍රමුඛයා, හිමියා නොඑසේනම් ස්වාමියා ජනේලය බ්ලොක් ගලින් වසාදමන්නේ යලි කවියාට නොබලන්නටය. මේ තැනැත්තාට ‘කොට කලිසමක් ඇඳන්’ යැයි කවියා ඇනුම්පදයකුත් කියයි. ඔහු තමාට වඩා ලාබාල අයෙකු විය හැකි බව අපට සිතෙයි. සද්ධර්මරත්නාවලියේ පටාචාරා රැගෙන යන තැනැත්තාට ‘කොලූ’ යන නම දී, එයින් ඔහුගේ අත්දැකීම් මද බව, අඩු වයස් අයෙකු බව ඈ සියල්ල ධර්මසේන හිමි හැඟවූවාක් මෙනි.

“රෙපයාර් කළ නොහැක කිඳා බැස තිබෙන දේ බිත්තියක”

‘ජනේලේ අතුරුදන් කළාට, (හද)බිත්තියේ තියෙන දේ රෙපෙයාර් කරල අයින් කරන්න බෑ. ඔය ජනේලෙන් මා දිහා බැලූ කෙල්ලගෙ හිත දැනටමත් මා ළඟ, මගෙ හිත ඈ ළඟ’යි කවියා අවසන් අවියෙන් දමා ගසයි. නොකියා කියන හැටි අප තේරුම්ගත්තේ එහෙමයි.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...