Home Blog Page 195

‘හමාර බණවරට’ පසු පැවරෙන කාව්‍යමය අභියෝගය සුළු පටුද? – ‘නිල්තරා’

0

ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ ගැන කතා කරාවි. නමුත් සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන යම් අදහසක් කියලා ඉරේෂාගේ පොත ගැන පොදු අදහසක් දක්වන්නම්, ඉඩක් තිබ්බොත් කවියක් දෙකක් එක්ක.

විශේෂයෙන් ම මම කැමතියි අපේ කිවිඳියන් කවි ලියූ යුග දෙකක් මතු කර දක්වන්න. ඒ සිගිරිය සහ මාතර යුගය.
පළමුවෙන් ම ලාංකේය කාව්‍ය ඉතිහාසයේ කිවිඳියක් හමු වන්නේ ක්‍රි.පූ 6 වැනි සියවසේ අග්බෝ රජ දවස බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එවකට විසූ දොළොස් මහා කවියන් අතර කිවිඳියන් දෙදෙනෙකු සිටී බැව් දැක්වෙන අතර දළ බිසෝ සහ බාදිරියා එකී කිවිඳියන් දෙදෙනා කියලයි සඳහන් වෙන්නේ.

සීගිරි කිවිඳියන්

‘සීගිරි කුරුටු ගීය’ සිංහල කවියේ මඟහැර යා නොහැකි පරිච්ඡේදයක්. සීගිරි ගී විමසීමේ දී ගී ලියූ කිවිඳියන් කීප පොළක් ම අපට හමුවෙනවා. ඇතැම් විට ඔවුන් පූර්ණකාලීන කිවිඳියන් නොවීමට ද පුළුවන්. සීගිරිය බැලීමෙන් ඇති වූ ප්‍රහර්ෂය මුදා හැරීම සඳහා යමක් කුරුටු ගෑ සාමාන්‍ය කාන්තාවන් ද විය හැකි යි. කෙසේ වතුදු සීගිරි ගීය සාහිත්‍ය මූලාශ්‍රයක් සේ සළකා බලන විට ගී ලියූ කීප පොළක් ම හමු වෙනවා. මහාචාර්ය පරණවිතානයන්ගේ ‘සීගිරි ගැෆිටි’ කෘතියේ සීගිරි ගී ලියූ අයගේ නාමාවලිය දැක්වෙන අතර එහි කිවිඳියන් කීප දෙනෙකුගේ ම නම් සඳහන් කර තිබෙනවා.. දේවා, දයාල් බතී, නාල්, සෙන් බතී, නිදලු මිහිඳි අඹු, සෙව් කලී, සෙලු අඹු ආදීන් ඒ අතර වෙනව.

මේ අය ලියා ඇති බොහෝ ගී වල, තමන් අසවල් අසවල් අයගේ අඹුවන් කියල තමා සඳහන් කරලා තියෙන්නේ. සිය ස්වාමිපුරුෂන් හා සීගිරිය බැලීමට එන ගමනේ දී ඔවුන් මේ කවි ලියන්න ඇති. මෙහිදීත් එවකට පැවති පුරුෂ මූලික සමාජය ගැන අපට අදහසක් ගන්න පුළුවන්. මොකද මේ අය කිසිවෙක් තමන්ගේ නම විතරක් ලියා ස්වාධීනව පෙනී නොසිට අහවලාගේ අහවාගේ බිරිඳ, අඹුව යැයි දැක්වීම එක්තරා විදියට ප්‍රශ්නාර්ථයක්. මෙය එවකට පැවති පුරුෂ මූලික සමාජය ගැන යම් ඉඟියක් ද?
මේ ගී අතර බොහෝමයක් හමු වන්නේ සීගිරි ලියන්ගේ රූප ශ්‍රීය සහ තමන්ගේ රූපය සන්සන්දනය කර ලියූ ගීත. සීගිරි ලියන්ට ඇති මන බඳින රූපය නිසා තමන්ගේ රූපයට ඇති වටිනාකම නැති වේදෝ යන ඊර්ෂ්‍යාවෙන් ලියා ඇති බවක් තමා පෙන්නේ. මේ බලන්න..

මහමත අම්බු දෙවාමි.
මන මෙසි නැගි බෙයන්ද්හි ලෙණැසි සියොවැක් මැය්
අති මුතු වැළ ගත බැලුමැ සෙපත අපහය ගත’
(152 ගීය)

‘මහමත ගේ අඹුව දෙවා යැයි තමන් හඳුන්වා දෙන ඇය කියන්නේ ‘ මුව ඇස් ඇති සීගිරි රූමතියන් තමන් තුළ කෝපය ඇති කරවන බව ය. මුතු වැලක් අතින් ගත් ඇය ඒ තරම් රූමත් ය. ඇය අප සමඟ රූපය අතින් තරඟයක වැදී අති සෙයකි.’ සපත්තියක වී ඇති සෙයකි.

  • සහකාර අඹු වීම.

‘නිදලු මිහිදඹු සෙව් මෙග්
මහනෙල බර වරල ගෙල හුණ පිහිරල රසන්
ඇදිනි තමා මෙබැලුම වෙක වී අප නුයුන ගතා’
(14 ගීය)

මා නිදලු මිහිදු අඹු වන සෙව් ය. මහනෙල් මල් ගැවසුණු ඔබේ වරලස ද ඔබේ ඇසි කොන් බැල්ම ද අප සමඟ තරඟ කරන්නා සේ ය.

‘සවබරණීන් සැජී ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළි කියා මො නුමුත අප හිමි (බ)න්දු (දෙf)ස ලූ නෙත්”

ස්වර්ණාභාරණයෙන් සැරසී පර්වත මස්තකයෙහි කුමට සිටින්නෙහිද? ඇය අප ස්වාමියා වැනි කෙනෙකු දෙස නෙත් ලා සිටින්නී යැයි මගේ මේ යෙහෙළිය එකදිගටම කියයි.
(සීගිරි ගී නිර්මාණ, කේ.ජයතිලක)

මේ සියලු කවිවල බැලු බැල්මට පෙන්නේ අර ‘ස්ත්‍රිය, ස්ත්‍රියට ඊර්ෂ්‍ය කරනවා කියන සාම්ප්‍රදායික කතාව. මන් දන්නේ නැහැ ඒක එහෙමද? එක ඇත්තක්ද කියලා. නැත්නම් ඒක පිරිමි විසින් හදපු කතාවක් ද කියලා. කෝම හරි සමාජේ එහෙම කතාවක් තියනවා. අන්න ඒකම තමා මේ කවිවල තියෙන්නේ.
හැබැයි මේ අදහය අභිබවා යන පරිකල්පනයක් සහිත ගී නිර්මාණ ඒ අතර හමු වෙනවා.. හුදෙක් රූපය සන්සන්දනය කිරීමට ඔබ්බට ගොස් සීගිරි ලියන් කෙරෙහි මානව දායා පෙරදැරි කර ගත් දෘෂ්ටියෙන් ලියැවුණ ගීතයක් ද මට හමුවුණා. තව තියද කියලා හොයලා බලන්න වටිනවා. එහිදී මතුපිටට පෙනෙන සෞන්දර්යට එහා එකී සෞන්දර්යට හසු නොව දෑ මතු කර ගැනීමට දරන ප්‍රයන්තයක් පේනවා.. 247 වැනි ගීය බලන්න,

‘උතුරා අඹු සිව්කල බද් ගියි
බෙයෙන්ද්හි රන්වනු නිරින්ද් (ඉ)සිරා වියෙව්හි
මෙසිනි මියෙම්හයි ගල් අගැන හෙන යුන් වැන්නේ”

මෙහි තේරුම සඳහන් වෙන්නේ මෙසේ,

‘මම සිව්කාලා වෙම්. උතුර්ගේ අඹු වෙම්. මේ කතුන් මට පෙනෙන්නේ කෙසේ ද? නිරිඳු මිහිගේ වියොවින් කම්පනයට පත් වී ගල මුදුනින් පහළට පැස සිය දිවි හානි කර ගැනීමට යත්න දරන්නියන් සේ ය.

ස්වභාවෝක්තියෙන් ඔබ්බට ගොස් සීගිරි ලියන් සම්බන්ධ යම් සමාජ දේශපාලන ඛේදවාචකයක් ඇති බැව් මෙහි ඉඟි කරනව. අධිපතිවාදී රාජ නියෝගය නිසා සිය සැමියා හෝ පෙම්වතා අතැර රජවාසලට එන්නට සිදු වූ ස්ත්‍රියන් සිටින්නට ඇති. සිව් කලා නම් කිවිඳියට හසු වන්නේ එකී කටුක යථාර්ථය නොවේ ද? නිරිඳු සැමියා යනු කවුද කියන ප්‍රශ්නේ එක පාරටම එනවා. මේ රජතුමාගෙන් වෙන්වීම ගැන කියනවද කියලා. නමුත් මේ කියන්නේ තමන්ගේ සැමියාගෙන් වෙන්වෙලා රජවාසලේ අන්තපුරයට එන්න වුන ස්ත්‍රියකගේ වේදනාව කියල අපට හිතන්න බැරිද?
ඒ අර්ථයෙන් ගත්තම සිංහල කවියේ ප්‍රබලම කිවිඳියන්ගේ නියෝජනය පටන් ගන්නේ මෙතැනින්. සිගිරි කවියෙන්. කවිය සඳහා වඩාත් සාධනීය දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශයකට එළැඹ තිබෙන බව පේනවා.

මාතර යුගය

සිංහ කාව්‍ය ව්‍යාපාරයේ හමුවන ප්‍රබල කිවිඳියක් තමයි පෙරුමාල් දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා. ගජමන් නෝනා, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා, විජේකෝන් මැතිනිය වැනි අය මාතර යුගයේ කිවිඳියන් අතර ප්‍රමුඛ වෙනවා.. ඔවුන් ඇතැම් විට හිටිවන කවි ස්වරූපයෙනුත් නැතිනම් සංවාදය කවියේ හැඩයකින් නිර්මාණ කරණයේ යෙදී තිබෙනවා.
ඒ වගේ ම මාතර යුගයේ දේශපාලනික පසුබිම විමසා බලද්දී කාව්‍යකරණයට පමණක් නොව කලාව සඳහා කාන්තාවගේ දායකත්වය අවම වීමට හේතු වූ කාරණා හමු වෙනවා, එම යුගය තුළ කාන්තාවට අධ්‍යාපනය ලැබීමට තිබුණ ඉඩ, සමාජය තුළ ලැබුණ පිළිගැනීම සමඟ කාන්තාවට හිමිව තිබුණේ යම් යම් සීමිත දේවල් පමණයි. ගජමන් නෝනා රහසිගත ලෙස තරුණයකු සේ වෙස් වලාගෙන ගොස් කරතොට හිමියන්ගෙන් අධ්‍යාපනය මෙන්ම කාව්‍ය කරණය ඉගෙනගත්තා යැයි සඳහන් කතා පුවත් ඊට දෙස් දෙනව.

මෙසේ වෙස්වලාගෙන ඉගෙන ගන්නා ජගමන් නෝනාට විවිධ කතා ද නිර්මාණය වුණා. කෙසේ හෝ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කවිකාරියක් වන ඇය ප්‍රදේශයේ උගතුන් ශාස්ත්‍රවන්තයින් සමීපව ඇසුරු කළා. එකල රුහුණේ සුප්‍රසිද්ධ භිකක්‍ෂුවක වූ සිටිනා මළුවේ ධම්මජෝති හිමි සමඟ අනියම් ඇසුරක් ඇතැයි කට කතාවක් ප්‍රචාර වූ අතර ඇය ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නේ ද කවියෙන්. මේ ඔස්සේ මාතර යුගයේ කිවිඳියන්ගේ දායකත්වය කෙසේදැයි අසහසක් ලබා ගන්න පුළුවන්.

වටිනා කියන මේ මගෙ තුරුණු තුනු විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කළෙමි බොල
සිටිනා මෙ ගම දන අවට ගම් වල
තුටිනා එපින් අනුමෝදන වව් සියල”

ඇළපාත මුදල සහ ජගමන් නෝනා අතර සිදු වූ සංවාදයන් ද මාතර යුගයේ කවි අතර ප්‍රචලිතයි, මේ කවි වඩාත්ම සෘංගාරය මුසු වූ ඒව.

ඇලපාත මුදලි-

චන්ද සූරියා වැනි එළඳගෙන උවන
ඉන්ද කීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහන නිදියන්නේ නෝන

ගජමන් නෝනා-

බැන්ද හිමි මගේ පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුන
කින්ද තමුසේට විමසන්න කාරණ

රංචාගොඩ ළමයා වුණත් සුවිශේෂයි, එයා ඇහුවේ ‘දුකට කියන කවියට මොන අක්ෂරද?’ කියලා. මේ සමහර කවි බැලුවම මට හිතෙන්නේ මේ කිවිඳියන් පුරුෂත්වය ප්‍රශ්නකර තිබෙනවා කියලා. ස්ත්‍රී කාරකත්වය සිංහල කිවිඳියන්ගේ පටන් ගන්නේ මේ තැන්වලින්. ඒ කියන්නේ සමාජය ප්‍රශ්නකිරීමේ, විමසා බැලීමේ ගුණය.

ඊට පස්සේ අපි දන්නවා සිංහල කවියේ නූතන යුගය තුළ 70 දශකයේ අපට හමුවන ප්‍රබල කිවිඳිය වන්නේ මොනිකා රුවන් පතිරණ. මම ඇය ගැන හෝ ඇගේ කවි ගැන අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. ඇගෙන් පස්සේ අපිට යම් සැලකිය යුතු මැදිහත්වීමක් කරපු සහ කරමින් ඉන්න කිවිඳියන් පිරිසක් මුණ ගැහෙනවා. නිකන් නම් වශයෙන් මතක් කළොත්, යමුනා මාලනී පෙරේරා, සජීවනී කස්තුරිආරච්චි, විපුලි නිරෝෂණී, සුහර්ෂනී ධර්මරත්න, පද්මිණි ශ්‍රියාලතා, සීතා රංජනී, ශ්‍රියානි මිහිඳුකුලසූරිය, සුනන්දා රණසිංහ, සන්ධ්‍යා කුමුදුනී, මාලතී කල්පනා, අනුරාධා නිල්මිණි, එරාධිනී හසිනි ලංකා, සරෝජණී දැරණියගල, තනූජා ලුම්බිණී, ඒඩ්නා මල්කාන්ති, අනෝමා රජකරුණා, පුෂ්පා රම්ලානි, ප්‍රභා මාධවී, වරුණි කෝකිලා,තක්‍ෂිලා ස්වර්ණමාලි, නිසංසලා ගම්ලත්, නිදීරා රෝෂණී නල්ලපෙරුම, සුරේඛා සමරසේන, කාංචනා අමිලානි, පද්මිණි ශ්‍රියාලතා මේ ආදී බොහෝ කිවිඳියන් ප්‍රමාණයක් හමු වෙනවා.

නූතන ම පරම්පරාව සළකා බැලූ බැලුවම මුහුණු පොතේ කවි ලියන පිරිසද ඇතුළුව බලාපොරොත්තු දැල්විය හැකි කිවිඳියන් බොහෝමයක් වෙති. වර්ණ රසිකා,උපෙකලා අතුකෝරාළ, ධරණි උපේඛා, යශෝධා ප්‍රේමරත්න, තරුරැසී ප්‍රනාන්දු, උපේක්‍ෂා ඉමාලි, දිනූ රාජගුරු, ඉරේෂා මධුවන්ති, කසුන්සලා ගිම්හානි, සුබද්‍රා ජයසුන්දර, සසාංකා විතාන, කාංචනා ප්‍රියකාන්ත, නවෝද්‍යා ජයවික්‍රම, දමයන්ති ගල්පායගේ, අනූපමා ගනේගොඩ, ප්‍රගිතිකා ජයසේකර, ආදීන් ක්ෂණයෙන් මතක් වුණ නම් කීපයක්. මේ ලිස්ට් එක දිගයි.

කොහොම හරි මට කියන්න අවශ්‍ය වන්නේ මේ වගේ කිවිඳියන් වැඩ කරමින් ඉන්න තැනක තමා ඉරේෂා පය තියන්නේ. මේ ඉරේෂාගේ දෙවැනි කවි පොත වෙලත් ඒ කාරණය සුවිශේෂ කරලා කියන හේතුව තමයි, ඉරේෂා ලංකාවේ සහෘද සමාජය කිවිඳියක් විදියට හඳුනාගෙන නැතිවීම. මම හිතන්නේ මෙතැන සිටින බොහෝ අයද ඇතුළුව රසික සමාජය ඉරේෂා හඳුන්නගේ ‘හමාර බණවර’ ගීතයෙන් මිස ඒ කවි පොතෙන් නෙමේ. එතකොට ඉරේෂා දන්නේ ගීත රචිකාවක්, නැත්නම් ‘හමාර බණවර’ වැනි වයිරල් වුණ, මිනිසුන්ගේ හෘදය කම්පා කළ අපූරු ගීයක් ලියූ රචිකාවිය හැටියට. එතකොට ඉරේෂාට අභියෝගය තියෙන්නේ ඉරේෂා එක්කම තමා.

‘කවිය’ කියන ශානරය ඇතුළේ විවිධ දේ අත්හදා බැලීම් කරමින් කරමින්, විවිධ ඉසව් ඔස්සේ , විවිධ හැඩතල ඔස්සේ ලියන බරපතල කිවිඳියන් පිරිසක් අපට ඉන්නවා. ඒක සතුටට කරුණක්. අන්න ඒ තැනට කවි පොතක් දානවා කියන්නේ යම් අභියෝගාත්මක දෙයක්. කුමන හෝ දෙයක් ලිවිම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා කවිය අභ්‍යාස කිරීම, කාව්‍ය සංරචනයන් ගැන, භාෂාව ගැන නැවත නැවත සිතා බැලීම අවශ්‍යයි.

සහෘද සමාජයක් ආකර්ෂණය කරගැනීමේ ගුණය ඉරේෂා ගේ කවිවල කොහොමත් තියෙනවා. ජන මනස ආමන්ත්‍රණය කරමින්, ඒ තැන්වලට සියුම්ව ලියන්න ඉරේෂට පුළුවන්.. විශේෂයෙන් ම ප්‍රේමය, විරහව වැනි විෂයන් වලදී එය අපූරුවට ඉරේෂා කරනවා. මේ එවැනි සිත්ගත් කවක්.

විරහව

සමන් පිච්ච ගාර්ඩිනියා
සුවඳ මිශ්‍ර කෝපි මලක
මිහිරි සුවඳ විඳ ගනිමින්
අතීතයක ඇවිදන් යමි

මතක හඬකින් කණිනෙමි

සිරි සිරි ගා පා ගැටෙනා
හඬට සවන් දී හිඳිමි
පුරුදු නුඹේ පා හඬදැයි
දසවෙනි වරත් බලමි

තවම ඔබ එතැයි සිතමි

කොපි අවන්හල පසු කර
නව පෙම් යුවලක් ඇදෙති
පැරණි මතක අමතක කොට
කෝපි අවන්හල වසාමි

කෝපි බිබී නිදිවරමි.

නමුත් අවසන් වරට මට කියන්න තියෙන්නේ, ඉරේෂා කියන ‘හමාර බණවර’ ලියූ ගීත රචිකාවට තියන අභියෝගය ඒ හමාර බණවර අභිබවා ලිවිම. විශේෂයෙන් එය අභිබවා කවි ලිවිම කියලයි. ගීතය ඔස්සේ හඳුනාගත් ඉරේෂාගේ සුවහසක් සහෘදයින් ඒ ගීතය නිසාම මේ පොත , කවි කියවන්න ගන්නකොට, විශේෂයෙන් ම යම් සක්‍රීය කවි පාඨකයෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ කඩක් තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඉරේෂා කවිය නැවත නැවත අභ්‍යාස කරමින් ලිවීම ඉරේෂා කියන කිවිඳිය මතුකර ගැනීමට හේතු වෙනවා.

ලහිරු කිතලගම

වනාන්තර විනාශ කිරීමේ ගෝඨාභය ප්‍රමුඛ කැබිනට් මණ්ඩල තීරණය අත්හිටුවයි – ශ්‍රේෂ්ඨාධිකරණයේදී තවත් ජයග්‍රහණයක් !

අවශේෂ වනාන්තර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මගින්  ගන්නා ලද තීරණයක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

මෙම වනාන්තරවලට ආරක්ෂාවක් ලබාදී තිබූ 05/2001 සහ 02/2006 චක්‍රලේඛවල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා පසුගිය 14දා එම තීරණය ගෙන තිබිණි. මෙමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කරන ලද්දේ එම කැබිනට් මණ්ඩල තීරණය තුළ ම සඳහන් වන භූමි හඳුනාගැනීම සහ සිතියම් සකස් කිරීමේ කටයුතුවලට මෙමගින් බාධාවක් නොවිය යුතු බවයි.

යසන්ත කෝදාගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලුණු මෙම පෙත්සමේ පෙත්සම්කරු වූයේ Environmental Foundation Ltd ය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සමග නීතිඥ චරිත් ගල්හේන, ලසන්ත විතානගේ සහ සචිනි ජයසූරිය මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.

2020 ඔක්තෝබර් 12 දිනැති කැබිනට් තීරණය සම්බන්ධයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ. මෙම තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කරු සඳහන් කරයි.

අදාළ ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.

‘නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.’

අභියාචනාධිකරණ තීන්දුව !

මීට පෙර ද මෙම අවශේෂ වනාන්තර විනාශ කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මගින් නිකුත් කරන ලද 01/2020 චක්‍රලේඛය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකෙරිණි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එය අර්ධ සත්‍යයකි.

පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ අදාළ චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එහෙත් අදාළ චක්‍රලේඛය සංශෝධනය කරමින් වනාන්තර භූමි අක්කර ලක්ෂ 12ක් සුරක්ෂිත වන ආකාරයේ තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කළේය.

එහිදී සිදු වූයේ කුමක්ද?

දැනට අවශේෂ වනාන්තර යනුවෙන් හඳුන්වනු ලබන රජයේ වෙනත් වනාන්තර ලෙස නම්කර ඇති භූමි පමණක් නොව, වනාන්තරමය වටිනාකමක් සහිත භූමි, ජෛව විවිධත්වයෙන් පොහොසත් භූමි සහ ජලාධාර භූමි ද සුරක්ෂිත වන ආකාරයට නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද වනජීවී සහ වන සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙහිදී  අධිකරණයෙන් නියෝග කරන ලදි.

ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුව

එම නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මගින් නිකුත් කරන ලද 1/2020 චක්‍රලේඛය හරහා බරපතළ අවදානමක තිබූ වනාන්තර භූමි, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ වෙනත් රජයේ ඉඩම් කළමනාකරණය කරනු ලබන ආයතනවලට අවශ්‍ය පරිදි ආයෝජන ව්‍යාපෘති සඳහා නිදහස් කිරීමට සකස් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැත.

CA/Writ/502/2021

CA/Writ/502/2021 අංක යටතේ මෙය විභාග කෙරිණි. විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව පෙත්සම්කරුවන් 06 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

පෙත්සම්කරුවන්

01. පරිසර යුක්ති කේන්ද්‍රය

02. එහි අධ්‍යක්ෂ හේමන්ත විතානගේ

03. එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ

04. සමස්ත ලංකා බීට්ටු වන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එඩ්වින් එඩ්වඩ් රාගල්

05. සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක බණ්ඩාර

06. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් රණවක

වගඋත්තරකරුවන්

01. ඉඩම් කොමසාරිස් ජනරාල්

02. ඉඩම් ඇමති

03. එම අමාත්‍යංශයේ ලේකම්

04. වනජීවී සහ වන සංරක්ෂණ ඇමති

05. එම අමාත්‍යංශයේ ලේකම්

06. වන සංරක්ෂක

07. පරිසර අමාත්‍යංශයේ ලේකම්

08. ජනාධිපති ලේකම්

09. පොලිස්පති

10. නීතිපති

අධිකරණ අපහාස

අදාළ ඉඩම් සම්බන්ධ තීරණ ගැනීමේ බලය ඉඩම් කොමසාරිස්වරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා තිබූ 1/2020 චක්‍රලේඛයේ තුන් වන වගන්තියට මීට පෙර අභියාචනාධිකරණයෙන් තහනමක් ද පනවා තිබිණි.

එසේ තිබියදී ස්ථාන ගණනාවක එවැනි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මීට පෙර මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

105(3)

‘ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදී ම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කිරීමේ බලය ….’

වෙනත් රජයේ වනාන්තර (Other State Forests) ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතට ලබානොදෙන බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම නඩුවේදී අභියාචනාධිකරණයට තහවුරු කරන ලදි.

තහනම් නියෝගයක්

01/2020 චක්‍රලේඛය මගින් සිදුකිරීමට අපේක්ෂිත දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරන ලද මෙම නඩුවේදී අදාළ චක්‍රලේඛයේ 03 වගන්තියට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ද මීට පෙර අභියාචනාධිකරණය තීන්දු කළේය.

01/2020

2020 නොවැම්බර් 04 දින වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ එවකට ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර විසින් MWFC/01/2020 අංක දරන මෙම චක්‍රලේඛය නිකුත් කරන ලදි.

එහි 03 වගන්තියේ මෙසේ සඳහන් වේ.

03 වගන්තිය

‘මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමත් සමග ම මෙම අවශේෂ කැලෑ ඉඩම් වෙනුවෙන් වඩාත් සුදුසු ප්‍රයෝගික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම ඇතුළත් චක්‍රලේඛයක් ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට / පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට / ඉඩම් කොමසාරිස්වරුන් සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.’

05/2001

රජයට අයත් සියලුම කැලෑ කළමනාකරණය සහ පාලනය සඳහා 2001 වසරේදී නිකුත් කරන ලද 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම මෙමගින් සිදු විය. 2001 වසරේ චක්‍රලේඛයට අනුව රජයේ කැලෑ ඉඩමක් ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පවරන්නේ නම්, ඒ සඳහා වන සංරක්ෂණ, පරිසර, වන ජීවි, ඉඩම් ඇතුළු ආයතන ගණනාවකින් විධිමත් අනුමැතියක් ලබාගැනීම අනිවාර්ය විය.

බලය කාටද?

එහෙත් කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද උපදෙස් මත නිකුත් කෙරුණු 01/2020 චක්‍රලේඛයට අනුව එසේ අදාළ ඉඩම් පැවරීමේදී ආයතන ගණනාවකින් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ. එය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට තනි ව කළ හැකි කරුණක් ලෙස දක්වා තිබේ.

‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා ……. අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් …….. හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිතා කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට මෙමගින් ඉඩ ලැබේ.’

හෙක්ටයාර ලක්ෂ ගණනක්

මෙම චක්‍රලේඛය ඉදිරිපත් කිරීමත් සමග අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, මොණරාගල, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක හෙක්ටයාර ලක්ෂ ගණනක වන සංරක්ෂණ ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීම ඇරඹිණි.

පරිසර වාර්තා අදාළ නැත !

වාණිජ බෝග වගා කිරීම සඳහා ඉඩම් ලබාදෙන බව පවසමින් ජනතාවට අක්කර 4-5 කොටස් ද, සමාගම්වලට අක්කර 3,000 සිට 5,000 දක්වා කොටස් ද බදු පදනම මත ලබාදෙන ලදි. මේවා අදාළ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට පෙර කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් සකස් කිරීමක් සිදු නොවූ අතර, එහි භූමියේ වැදගත්කම හෝ ජෛවවිවිධත්වය වැනි සාධක අදාළ වූයේ නැත.

වනාන්තරයක වටිනාකම

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.

‘මේවා එකින් එක සිද්ධි විදිහට හුදෙකලාව අපි බලනවද, නැත්නම් සම්ප්‍රයුක්තයක් විදිහට බලනවද කියන එකයි වැදගත් කාරණය.

හුදෙකලාව බලන කොට අපිට පේනවා, වන විනාශයට තුඩු දෙන තීරණ රැසක් බලධාරීන් මෑතකදී ගත්තා කියලා. සම්ප්‍රයුක්ත වශයෙන් බැලුවම මට තේරෙන්නෙ වනාන්තරයක තියෙන වටිනාකම සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම හෝ අනවශ්‍යකම තමයි මේ තීරණවලට හේතුවෙලා තියෙන්නෙ. රටක භූමි පරිභෝජනය පිළිබඳ සැලැස්මක් ඇති කරනවා වෙනුවට වෙලාවෙන් වෙලාවට එන අභියෝගවලට අදාළව, ඒවා තාවකාලිකව මැඩපවත්වාගන්න තීරණ ගැනීමේ ප්‍රවණතාවක් තමයි දකින්න පුළුවන්.

භයානක අවදානමක්

ඊළඟට තියෙන තවත් බරපතළ තත්ත්වයක් තමයි, පාරිසරික සැලසුම් මෙවලම් නොතකා කටයුතු කිරීම. ඒ කියන්නෙ පාරිසරික ඇගයීම් වාර්තා වගේ ඒවා. ඒවා තමයි තීරක මෙවලම්. ඒ කියන්නෙ තීරණගන්නෙ ඒවා මත පදනම්වෙලා. මේවා නිසා සම්ප්‍රයුක්ත වශයෙන්, නැත්නම් සමස්තයක් ලෙස බලන කොට අපිට භයානක අවදානමක පෙර නිමිති පේනවා. ඒත් ඒ භයානක අවදානම පේන්න ඕනෙ, ඒ අවදානම දකින්න ඕනෙ අයට තවම එහෙම එකක් පේන බවක් දකින්න නෑ.

25 වෙනුවට 17යි

ලංකාවෙ තියෙන්න ඕනෙ අවම වනගහනය සියයට 25 යි. දැන් තියෙන්නෙ සියයට 17 යි. වනාන්තරයක් කියන්නෙ ගස් ගොඩක් විතරක් නෙමෙයි. වනාන්තරයක් කියන්නෙ ශාක සහ සතුන් අතර තියෙන සංකීර්ණ සබඳතා ජාලයක්. ඒ පද්ධතිය විනාශ කරන්න පුළුවන් වුණාට, ඒ පද්ධතිය ඒ විදිහටම යළි ගොඩනංවන්න බැහැ. ගස් වැව්වම ඒක පද්ධතියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

ලෝකයේ කොතැනකවත් මිනිස්සුන්ට තවම බැරිවෙලා තියෙනවා, විනාශ කරපු පරිසර පද්ධතියක් ඒ ආකාරයෙන්ම හදන්න. ඒකට හේතුව අර සංකීර්ණ සබඳතා කියන ඒවා ආපහු හදන්න බැහැ. ඒවා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලත් නැහැ. ස්වභාවික වනාන්තරයට ආදේශක නැහැ. පැළ සිටුවීම වන ආවරණයක් විදිහට උත්තරයක්. ඒත් ඒකෙන් තිබුණු විදිහට වනාන්තරයක් හදන්න බැහැ.

ගෝඨාගේ අලුත් නම

වෙනත් රජයේ වනාන්තරවලට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අලුතින් දාගත්තු නමක් තමයි, අවශේෂ කැලෑ කියන්නෙ. ඒක භාවිතයෙ තිබුණෙ නැති වචනයක්. 2020 තමයි අවශේෂ වනාන්තර කියලා වැරදි වචනයක් හදාගෙන ආවෙ. රජයේ නියෝගයකින් ප්‍රකාශයට පත්කරලා නැති වනාන්තර සියල්ලටම අපි එදා ඉඳලම කිව්වෙ වෙනත් රජයේ වනාන්තර කියලා. මේවා අතරෙ යෝජිත රක්ෂිතත් තියෙනවා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර යෝජිත රක්ෂිත පනස්ගණන්වල ඉඳලා නම් කරලා තියෙන ඒවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉඩම් එළිපෙහෙළි කරන කොට ඒවා ඉතුරු කරලා තියෙනවා. විවිධ හේතු නිසා ඒවා රක්ෂිත විදිහට ගැසට් කරන එක දවසින් දවස කල්ගිහින් තියෙනවා.

වන සංරක්ෂණ ආඥා පනතෙන් මේ වෙනත් රජයේ වනාන්තරවලට නීතිමය ආවරණයක් තියෙනවා. ඕඑස්එෆ් කියලා තමයි මේවා හඳුන්වන්නෙ. (OSF – Other State Forests) ඒක තමයි පරිපාලනයේ, නීතියේ තිබුණු වචනය. නීතිමය වශයෙන් හෝ පරිපාලන වශයෙන් හෝ සමාජයීය වශයෙන් හෝ මෙහෙම අවශේෂ වනාන්තර කියලා වචනයක් මෙතෙක් තිබුණෙ නෑ.’

සිඳී ගිය වැව ගාව

0

මල්ලිකා මේ හරියෙ මහ වැවක් තියෙන්නැති
වැහි කාලයට වැවේ ළය මඬල පිරෙන්නැති
නිල් දියේ ඉහිරෙමින් හඳ එළිය ගලන්නැති
කෙකටියා සුදු සිනා පිපී අත වනන්නැති

කුරුල්ලෝ ඇවිල්ලා කැරකිලා බලන්නැති
තරුණ දියකාවුන් ද ජබොග් ගා පනින්නැති
පඳුරකට විදිනකොට සාවුන් ද දුවන්නැති
තාවුල්ල දිගේ රෑ කිරලුන් ද හඬන්නැති

වෑ දියෙන් සියොළඟ ම පිරී කිතිකැවෙන්නැති
වාන් දමනා වැවෙන් ආදරය ගලන්නැති
වාන් ඇලවල් දිගේ ජීවිතය දුවන්නැති
පහල නිම්නය පුරා ආදරය බෙදන්නැති

නියං කාලෙට දැවෙන පොළෝ පපුවෙහි නහර
තෙමාගෙන ගලනකොට ප්‍රේමයේ දිය දහර
පුරන් කෙත් බිම් පුරා දැවුණ ඉපනැලි අතර
ඉරිතලා ගිය මතක බලා ඉන්නැති වැතිර

සොරොව්වේ කටහඬින් මුදු සුළඟ සුලලිතව
ගලන්නැති වෑ දියේ සිහිලසට අවනතව
ගොම්මනේ ගලන බිංකරුවලට අනුගතව
නොකියනා දේ ද ඇති පපුව යට ලෙන්ගතුව

වෑ කණ්ඩිය ද බිඳී වැව සිඳී ගිය පසුව
ඉරිතලා හඬන්නැති වැවේ සීතල පපුව
රොන්මඩේ ගිලී ගිය දැව අරටු සිහි නැතුව
දිරා නොගොසින් සිටී තෙතක නිදහන් සතුව

බිඳී ගිය වැව් බැම්ම දිගේ කඩතොළු අතර
සිඳී ගිය පෙඳ පාසි හිනාවෙනවැති නිතර
බැඳී හෙවනැලි පුරා අතීතය බිම වැතිර
රැඳී හඳ එළිය යට ගිලානව ඇති පැතිර

ඉරිතලා ගිය වැවක මුඩුබිමේ ඇවිද යමු
දැදුරු වී ගිය මතක තෙතමනය විඳ ගනිමු
පිදුරු ඉපනැලි අතර ජීවිතය අහුලගමු
නිස්සාර මුඩුබිමක සුන්දරත්වය විඳිමු

කුමාර හෙට්ටිආරච්චි

ඡන්දය තියන්නේ කවද්ද?

0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන තුනක ණය සහන බේල්අවුට් (bailout) එක හම්බ වෙලා. ජනාධිපතිවරයා ජාතිය අමතල ප්‍රකාශයක් කළා දැන් අපි බංකොලොත් නැහැ කියල. රට්ටු රතිඤ්ඤ පත්තු කරනවා ගම්දනවු පුරා. හැමෝම සතුටින්. මමත් සතුටින්.

දැන් ඩොලර් ප්‍රශ්නේ ටිකක් එහෙ මෙහ වෙලා, බඩු ගණන් පොඩ්ඩක් අඩුවෙලා, ආයෙත් පිටරට බඩු ඇවිල්ල, ආයෙත් වාහන ඇවිල්ල, ගුවන් ටිකත්පත් අඩුවෙලා, සංචාරකයෝ ඇවිල්ල, ආයෙත් අපිට පරිභෝජන ජීවන එදිනෙදාවට යන්න පුළුවන්. අවුරුදු හැත්තෑවක් අපි එහෙම විනෝදයක හිටිය. ආයෙත් එහෙම ඉන්න කවුද අකමැති. අත් උස්සන්න බලන්න.
පරණ විදියට (විශේෂයෙන් යහපාලන කාලේ වගේ) සාපේක්ෂව බඩුමුට්ටු මිලගණන් අඩුවෙලා, බදු අඩුවෙලා, ජීවන වියදම අඩුවෙලා, මැද පංතිය පොඩ්ඩක් පණගහල ආවොත් මේ කතාකරන රනිල් සහ ආණ්ඩු විරෝධේ අඩුවෙන්න පුළුවන්. මොකද දැන් කතා කරන්නෙත් මධ්‍යම පංතිය විතරයි.

දැන් මේ බිලියන තුනෙන් මහා ආශ්චර්යයක් මේ පොළොවේ සිද්දවෙයි කියල අපි කවුරුත් හිතන්නේ නැහැ. දැන් දහ පහළොස් පාරක් මේ වගේම ණය හම්බ වෙලත් තියන එකේ, එහෙම හම්බ වෙලත් බංකොලොත් වෙච්ච එකේ මේකෙන් විතරක් මේ රට තිරසාර වෙයි කියල හිතන්න බැහැ. ඒකත් අපි හැමෝම දන්නවා.

හැබැයි අපි මෙහෙම මුල්‍ය අරමුදලේ හරි, ලෝක බැංකුවේ හරි බේල්අවුට් වලින් ගොඩයන්නේ නැහැ කියල දන්නවා උනත් අපි ආසයි එහෙම දන්නේ නැහැ වගේ ඉන්න. හා නැද්ද? මොකද අපි අවුරුදු හැත්තෑවක් එහෙම ඉඳල තියනවා. කවුරු දන්නේ නැතත් අපේ දුර්වලම නිළය රනිල් දන්නවා.

අපි හැම මොහොතේම දේශපාලනික විදියට හිතන්නේ නැහැ. ආර්ථික විද්‍යානුකූලව හිතන්නෙත් නැහැ. විප්ලවීය විදියට හිතන්නෙත් නැහැ. අපි ආසයි අර කුසීත අතාර්කික පරිබෝජන ලෝකෙට යන්න. ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ කියල මේ මොහොතේ කාල බීල රමණය කරලා ඉන්න. ඒක මිනිස් ස්වභාවය.

හැමෝම හැමදාම ගෝල්ෆේස් එකේ තියාගන්න බැහැ. එච්චර කල්හරි මිනිස්සු ගෝල්ෆේස් ආවේ ඒකේ යම් විනෝද කේන්ද්‍රයක් තිබ්බ නිසා. ගෝල්ෆේස් ගිහිල්ල නෙලුම් කුළුනටත් යන්න පුළුවන් නිසා.

අපි දැන් රට බංකොලොත් උන හැටි ගැන දාර්ශනික ආර්ථික විද්‍යා කතා අහගෙන ඉන්නවා. හැබැයි කාලය ගත වෙන්න වෙන්න ඒ දාර්ශනික දේශපාලන කතා අමතක වෙලා අපේ විනෝද මිනිස් මොහොත පැමිණෙනවා.
එදාට ඡන්දෙ තියනවා….

මහේෂ් හපුගොඩ

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි : විරුද්ධව ඡන්ද 113යි – පක්ෂව එක ඡන්දයයි !

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට පක්ෂ ව එක් ඡන්දයක් පමණක් හිමි විය.

එම යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනීසිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් 2020 වසරේ දෙසැම්බර් 30 දින නිකුත් කළ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙතෙක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වූ නීතිවිද්‍යාලයීය අධ්‍යයන පාඨමාලා සහ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයෙන් යෝජනා කර තිබිණි.

ඒ සඳහා ඡන්දයක් අවශ්‍ය බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගත්තේය.

ඡන්ද විමසීමේදී ගැසට් නිවේදනයට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරයට අලි සබ්‍රි පත්වීමෙන් පසු නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා මුලින්ම ගෙන එන ලද යෝජනාවලින් එකක් වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීම ය.

වසර 02කට පසු අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අද එය පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරිණි.

කඳුළු ගෑස් : විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකයි – පවුලේ ඥාතීන් : අපරාධයක් සිදු වී තිබේ නම් සුදුසු නියෝග ලබාදීමට සූදානම් – මහේස්ත්‍රාත්

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකසහිත බව ඔහුගේ පවුලේ ඥාතීහු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසූහ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ මෙම මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේ සාක්ෂි දෙමින් එම ඥාතීන් සඳහන් කළේ අදාළ ආරක්ෂක නිලධාරියාට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ බවයි.

මියගිය ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ, දියණිය, පුතා සහ විශ්විද්‍යාල ශිෂ්‍යාවක් මෙහිදී සාක්ෂි ලබාදුන්හ.

‘කිසිදු රෝගයක් නෑ’

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සඳහන් කළේ තාම ස්වාමිපුරුෂයාට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ බවයි. ඔහු 2018 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස දිගටම සේවය කළ බව ද ඇය සඳහන් කළාය. ඔහු කිසිදු ඖෂධයක් දීර්ඝ කාලීනව භාවිත නොකළ බවත්, මිය ගිය දින දුරකතනයෙන් තමන්ට කතා කොට කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූයේ යැයි පැවසූ බවත් මෙහිදී ඇය පැවසුවාය.

කඳුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දුන් දින පස්වරුවේ මෙම ඇමතුම ගත් බවත්, කඳුළු ගෑස් නිසා ඇස් දැවිල්ල සහ ඇඟ දැවිල්ල ඇතැයි ඔහු සඳහන් කළ බවත් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සාක්ෂිදෙමින් කීය.

‘පපුව හිරවෙන බව කිව්වා’

ඉන්පසු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්ෂි දෙමින් ආරක්ෂක නිලධාරියාගේ දියණිය සඳහන් කළේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු පපුව හිරවන බවක් දැනෙන්නේ යැයි පියා තමන්ට දුරකතනයෙන් පැවසූ බවයි.

‘වොෂ් රූම් යන්න කතාව නතර කළා’

තමන් සමග දුරකතනයෙන් කතා කරමින් සිටින අතර, ‘වමනෙ යන්න එනවා, වොෂ් රූම් යන්න ඕනෙ’ යනුවෙන් පවසා සිය පියා දුරකතනය විසන්ධි කළ බවත්, ඉන්පසු ඔහුට කතා කිරීමට හැකියාවක් නොලැබුණු බවත් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සහ දියණිය මෙම මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් පැවසීය.

‘අසාධ්‍යයි’

පසුදා අලුයම විශ්වවිද්‍යාලයේ සේවය කරන වෙනත් ආරක්ෂක නිලධාරියෙකු දුරකතනයෙන් කතා කොට සිය ඥාතියා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බව දැන්වූයේ යැයි ද ඔවුහු සඳහන් කළහ.

‘මරණය සැකයි’

ප්‍රමිතියෙන් තොර කඳුළු ගෑස් භාවිත කර ඇති බවත්, කොළඹ විශ්වවිද්‍යාලය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවත් මාධ්‍ය මගින් දැනගත් නිසා මෙම මරණය සැකසහිත බව ආරක්ෂක නිලධාරියාගේ පවුලේ සියලුදෙනාම මරණ පරීක්ෂණයේදී සඳහන් කළහ.

‘අපරාධයක්’

මියගිය ආරක්ෂක නිලධාරියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් පෙරේරා මෙහිදී සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති අවම බලයේ සීමාව ඉක්මවා යමින් කඳුළු ගෑස් ආයුධයක් ලෙස භාවිත කිරීමට පොලිසිය කටයුතු කරන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් මේ පිළිබඳව නිකුත් කර ඇති නිර්ණායක පිළිපැදීමට පොලිසිය කටයුතු නොකරන බවත්, විරෝධතාකරුවන් පිටුපස එලවමින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පසුගිය කාලය පුරා සිදු වූ බවත් නීතිඥවරයා මෙහිදී පැවසීය.

මෙම මරණය අපරාධයක් බව ද ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අවධාරණය කළේය.

‘ඇතුළට ගැහුවද?’

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විමසුවේ කොළඹ විශ්වවිද්‍යාලය තුළ ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ද යනුවෙනි.

‘ඔව්’

එහිදී සාක්ෂි දෙමින් එම විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ තුන්වැනි වසර ශිෂ්‍යාවක වන තිරුවන්දි එදිරිසිංහ පැවසුවේ දේශනයක් අවසානයේ පුස්තකාලයට යමින් සිටින අතරතුර, දෙවරක් තමන්ට කඳුළු ගෑස් වැදුණු බවයි. එසේ ම විශ්වවිද්‍යාලය තුළ සිටි තමන්ගේ මිතුරෙකු වන අශාන් නමැති ශිෂ්‍යයාට කඳුළු ගෑස් කැනිස්ටරයක් වැදීමෙන් තුවාල වූ බව ද ඇය සඳහන් කළාය. ඉන්පසු ඔහු රෝහල්ගත කළ බවත්, කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ විශ්වවිද්‍යාලය තුළ සිටි සිසුන් රැසක් ඇති බවත් ඇය වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් පැවසුවාය.

‘සුදුසු නියෝග දෙන්න සූදානම්’

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටී නම්, ලබන 27දා කැඳවන ලෙසයි. මෙහිදී අපරාධයක් සිදු වී තිබේ නම්, ඊට අදාළ නියෝග ලබාදීමට සූදානම් බවත්, ඊට පෙර කඳුළු ගෑස් එල්ල කළ ආකාරය තහවුරු කරගත යුතු බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

වාර්තා මගින් තහවුරුයි !

පසුගිය මාර්තු 07දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කළ විරෝධතා පගමනකට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරිණි. එහිදී පොලිසිය මගින් විශ්වවිද්‍යාලය තුළට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව මාධ්‍ය මගින් විකාශය කළ වීඩියෝ සහ වෙනත් වාර්තා මගින් තහවුරු විය.

වගකිවයුත්තන්?

මේ පිළිබඳව පොලිසිය සමග සාකච්ඡා කළ බවත්, නැවත එවැනි සිදුවීම් සිදු නොවන බවට පොලිසිය සහතිකයක් ලබාදුන් බවත් මේ පිළිබඳව අදාළ සිදුවීමට පසු දින අප කළ විමසීමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති එච්. කරුණාරත්න පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ තමන්ට ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.

මෙහිදී මියගිය ආරක්ෂක නිලධාරියා වූයේ අනුරාධපුර, නොච්චියාගම, කඳු වැව පාරේ පදිංචිව සිටි ප්‍රියන්ත වන්නිනායක නම් 56 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතන තුනක් ?

විරෝධතා මර්දනය කිරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලට සෘජු ව නිරාවරණය වූ තිදෙනෙකු ආසන්න කාලය තුළ මියගොස් තිබේ. ඒ අතරින් පසුගිය පෙබරවාරි 26දා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දැක්වුණේ හර්දයාබාධයකි.

එහෙත් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදෙන්නේ මරණයට හේතුව වෙනස් වුවද, ඒ සඳහා කඳුළු ගෑස්වල බලපෑම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

වියසිදුරට සඳමානන සැන්දෑවට එකතුවන්න

0

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලා විද්‍යාර්ථීන්ගේ
අවසන් නිෂ්පාදනය කාර්යය ලෙස නිර්මාණය කෙරුණු . ‘වියසිදුරු’ වෘතාන්ත චිත ්‍රපටය මාර්තු 23 දින පටන් දිවයින
පුරා ඊඒපී මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වනු ඇත.

මෙරට ජාතික විශ්වවිද්‍යාලයක සිනමා හා රූපවාහිනී මාධ්‍ය විෂය නිර්දේශයානුකූල අධ්‍යයන කාර්යයක් ලෙස
නිෂ්පාදනය කෙරුණු පළමු වෘත්තාන්ත සිනමා කෘතිය ‘වියසිදුරු’ වේ. සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා
පාඨමාලාවේ පළමු කණ්ඩායමේ පාඨමාලා විද්‍යාර්ථීන්ගේ නිර්මාණ දායකත්වයෙන් මෙන් ම ඊට සම්බන්ධිත
කථිකාචාර්ය භවතුන් ගණනාවකගේ මගපෙන්වීම, සුපරීක්ෂණය හා මූල්‍ය දායකත්වය යටතේ කැලණිය
විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය අනුග්‍රහය ද සහිතව නිෂ්පාදිත මෙම චිත්‍රපටය, එම පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණයය වී ඇත.

කලන ගුණසේකර, ශලනි තාරුකා,ධර්මප්‍රිය ඩයස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිදු දොඩන්තැන්න හා සංජීව දිසානායක ප්‍රධාන රංගවේදීන් ලෙස ‘වියසිදුරු’ සඳහා දායක වී ඇත. සුසන්ත මහගල්ගමුවගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, ඩොමිනික් චන්ද්‍රසාලිගේ කලා අධ්‍යක්ෂණයෙන්, ලක්‍ෂ ික සංකල්පගේ අංග ඍචනයෙන්, චලන විමලසූරියගේ සංස්කරණයෙන් ඔෂාන් යාපාගේ විශේෂ ප්‍රයෝගකරණයෙන් හා මිලින්ද තෙන්නකෝන්ගේ සංගීතයෙන් හැඩ ගැන්වුණු මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂනය හසන්ත දිසානායකගෙනි.

දේශීය සිනමාවේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් හා ප්‍රායෝගික අත්දැකීම් උරගා බැලෙන පර්යේෂණාත ්මක සිනමා කෘතියක්
වශයෙන් හැඳින්විය හැක ි ‘වියසිදුරු’ මේ වන විට ජාත්‍යන්තර සිනමා උළෙල 16 ක දී සම්භාවනාවට පාත්‍ර වූ
චිත්‍රපටයකි

ටෙස්ට් ලෝක ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයින් 11 අතරට ලංකාවෙනුත් දෙදෙනෙක්

සුප්‍රකට විස්ඩන් සගරාව මගින් 2021 – 23 වසර වලට අදාලව ලෝක ටෙස්ට් ශූරතාවලියේ විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු ප්‍රකාශයට පත් කර ඇති අතර එම කණ්ඩයමට ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුලත්ව ඇත.

ඒ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයිනුයි.

දිමුත් එම තරග වාරයේ තරග 12 කට සහභාගි වී ඇති අතර ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 1054 කි. ඔහුගේ ලකුණු සාමාන්‍ය 47.90, වන අතර ඔහු වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය 147 කි.

ඔහු එම තරගවාරයේ ශතක දෙකක් සහ අර්ධ ශතක 8ක් ලබාගෙන ඇත.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් තරග 10කට මුහුණු දී ලකුණු 958 ක් ලබාගෙන ඇත්තේ ලකුණු සාමාන්‍ය 68.42 අගයේ රදාවා තබා ගනිමිනි.

ඔහු වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 206 (නොදැවී) ක් වේ.
ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතක 5 ක් ලබාගෙන ඇත.

මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග සියල්ල අවසන් වී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර වන අවසන් මහා තරගය පමණක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදී ඔවුන් මෙම ක්‍රීඩකයින් 11 දෙනා නම් කර ඇත.

ඊයේ (20) ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගාවලිය නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති අතර එම තරගය ඊයේ (20) නිමා වුණේ ඊයේ ශ්‍රී ලංකාවට තරග 2 – 0 පරාජයක් අත්කර දෙමිනි.

මේ වන විට ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට ඉතිරිව ඇත්තේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය පමණි.

එම තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී ජූනි 7 වැනිදා ආරම්භ වීමට නියමිතවයි.

පොරොන්දු පත්‍රයට අත්සන් කරන්න මුදල් ලේකම්ට බලය පවරයි : එකඟතා කඩිනමින් ක්‍රියාත්මක කරන්න – IMF : මොකුත් වෙනස් කරන්න බෑ – ඇමති

අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවධාරණය කර ඇත.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මේ බව සඳහන් කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එහි විධායක කමිටු අනුමැතිය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ක්ෂය වූ සංචිත, ඉහළ උද්ධමනය, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මැද ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණදෙමින් දැවැන්ත ආර්ථික සහ සමාජයීය අභියෝගවලට ලක්ව ඇති බව ද මෙහිදී ඇය පවසා තිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දී ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි. දිළිඳු සහ අවදානමට ලක් විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ආදායම් මත පදනම් වූ මූල්‍ය එකඟතාවක් අවශ්‍ය වන බව සහ ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යා යුතු බව ද ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ව දූෂණය මැඩලීම සඳහා අඛණ්ඩ උත්සාහයන් ගත යුතු බව ද මෙහිදී ඇය පවසා තිබේ.

ඊයේ රාත්‍රිය !

ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන් නිවේදනය කරන ලදි. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් ඊට අනුමැතිය ලබාදුන් බවයි.

මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට නුදුරේදීම ලබා ගත හැකිය. ඊට අමතරව මෙම පහසුකම ලැබීම හරහා අනෙකුත් පාර්ශ්ව මගින් අරමුදල් සපයා ගැනීමට ද ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ. මාස 48ක කාල රාමුවක් සඳහා මෙම මූල්‍ය සහනය ලබාදුන් බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ස්තූතියි !

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසරභාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු.

ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.’

පොරොන්දු පත්‍රය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ අදාළ අනෙකුත් ලේඛන සඳහා අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාට බලය පැවරීමට  ඊයේ (20) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

‘හංගන්න දෙයක් නෑ’

මෙම එකඟතා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පැවසුවේ අදාළ සියලු එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එහෙත් යම් අයෙකුගේ හෝ කිසියම් පාර්ශ්වයක විරෝධතාව මත ඒවා වෙනස් කිරීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා thetime.lk වෙත දැක්වූ අදහස් මෙසේ ය.

IMF එකඟතා ජනතාවට ඉදිරිපත් කරන්නෙ කවදද ?

අපි කලිනුත් කිව්වා අනුමැති ලැබුණු වහාම ඒවා ප්‍රසිද්ධ කරනවා කියලා. දැන් ඒක හරි. කඩිනමින් අපි ඒ එකඟතා ලියවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපිට හංගන්න දෙයක් නෑ. රට වැටිලා තියෙන තැනත් එක්ක අපිට වෙන විසඳුම් නෑ.

දැන් එතකොට ඔක්කොම හරි ද ?

මේක staff level agreement එකක්. අවසාන එකක් නෙමෙයි. ඊළඟට තමයි board level එකට එන්නෙ.

ආණ්ඩුවේ අවශ්‍යතාව මත එන එකඟතාවලට විපක්ෂය පැත්තෙන් විරුද්ධ වුණොත් මොකක්ද කරන්න පුළුවන් …?

දැනට මොකුත් කරන්න බෑ. දීර්ඝ කාලීනව අපි යම් ස්ථාවරයකට ආවට පස්සෙ ඒවා සංශෝධනය කිරීම ගැන හිතන්න පුළුවන්. එතෙක් එහෙම අවධානය යොමුකරන්න ඕනෙ කියලා මම හිතෙන්නෙ නෑ.

ඒ කියන්නෙ ආණ්ඩුව හිතකරයි කියන, පොදුවේ අහිතකර ඒවා තියෙනවා නම්, ඒවා ඉවසගෙන ඉන්න ඕනෙ ද?

නෑ. මේ එකඟතා කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. ලෝකයම පිළිගත්තු, මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් පිළිගත් ප්‍රතිපත්ති. එහෙම නැතුව ආණ්ඩුව හංගලා කරන දේවල් හරි, අමුතුවෙන් විරුද්ධ වෙන්න ඕනෙ දේවල් හරි මෙතැන නෑ.

ඒ කියන්නෙ විශ්වාසයක් තියෙනවා, සහතිකෙන්ම මේ තීරණවලින් රට ඉදිරියට යයි කියලා සහ සංශෝධනය කරන්න එකඟතා නෑ කියලා …?

වෙන අපිට විකල්ප තියෙනවද. නෑනෙ. මං දන්න තරමට නම් එහෙම විකල්ප මොකුත් නෑ. මූල්‍ය අරමුදල මේවා අපිට බලහත්කාරයෙන් දෙන්න ආවෙ නෑ. අපිටයි එතැන්ට යන්න සිද්ධ වුණේ. අපිටයි ඒක අත්‍යවශ්‍ය. ඒක හින්දා මේ වෙලාවෙ විශ්වාස කරන්න ඕනෙමයි.

දිමුත් නායකත්වයට සමුදෙන්න යයි

එළඹෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු නායකත්වයෙන් ඉවත් වීම පිළිබඳව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දී ඇති බවත් එම පාර්ශවයන්ගෙන් තමාට අවසන් පිළිතුරක් ලැබී නොමැති බවද ඔහු පවසා ඇත.

මේ අතර අද (20) අවසන් වුණු ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිදුවිය.

දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 84 කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 6230 ක් ලබා ගෙන ඇත. එමෙන්ම ඔහු ලබාගෙන ඇති ශතක සංඛ්‍යාව 14 ක් වන අතර අර්ධ ශතක සංඛ්‍යාව 34 ක් වේ.

දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තරග 26 කට මුහුණ දී ඇති අතර ඉන් තරග 10 ක් ජයගෙන තරග 6ක් ජය පරජයෙන් තොරව අවසන් වී ඇත.

මේ අතර අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරග ද්විත්වය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය එළැඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිතය.

දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය.