කඳුළු ගෑස් : විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකයි – පවුලේ ඥාතීන් : අපරාධයක් සිදු වී තිබේ නම් සුදුසු නියෝග ලබාදීමට සූදානම් – මහේස්ත්‍රාත්

Share post:

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකසහිත බව ඔහුගේ පවුලේ ඥාතීහු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසූහ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ මෙම මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේ සාක්ෂි දෙමින් එම ඥාතීන් සඳහන් කළේ අදාළ ආරක්ෂක නිලධාරියාට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ බවයි.

මියගිය ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ, දියණිය, පුතා සහ විශ්විද්‍යාල ශිෂ්‍යාවක් මෙහිදී සාක්ෂි ලබාදුන්හ.

‘කිසිදු රෝගයක් නෑ’

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සඳහන් කළේ තාම ස්වාමිපුරුෂයාට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ බවයි. ඔහු 2018 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස දිගටම සේවය කළ බව ද ඇය සඳහන් කළාය. ඔහු කිසිදු ඖෂධයක් දීර්ඝ කාලීනව භාවිත නොකළ බවත්, මිය ගිය දින දුරකතනයෙන් තමන්ට කතා කොට කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූයේ යැයි පැවසූ බවත් මෙහිදී ඇය පැවසුවාය.

කඳුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දුන් දින පස්වරුවේ මෙම ඇමතුම ගත් බවත්, කඳුළු ගෑස් නිසා ඇස් දැවිල්ල සහ ඇඟ දැවිල්ල ඇතැයි ඔහු සඳහන් කළ බවත් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සාක්ෂිදෙමින් කීය.

‘පපුව හිරවෙන බව කිව්වා’

ඉන්පසු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්ෂි දෙමින් ආරක්ෂක නිලධාරියාගේ දියණිය සඳහන් කළේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු පපුව හිරවන බවක් දැනෙන්නේ යැයි පියා තමන්ට දුරකතනයෙන් පැවසූ බවයි.

‘වොෂ් රූම් යන්න කතාව නතර කළා’

තමන් සමග දුරකතනයෙන් කතා කරමින් සිටින අතර, ‘වමනෙ යන්න එනවා, වොෂ් රූම් යන්න ඕනෙ’ යනුවෙන් පවසා සිය පියා දුරකතනය විසන්ධි කළ බවත්, ඉන්පසු ඔහුට කතා කිරීමට හැකියාවක් නොලැබුණු බවත් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සහ දියණිය මෙම මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් පැවසීය.

‘අසාධ්‍යයි’

පසුදා අලුයම විශ්වවිද්‍යාලයේ සේවය කරන වෙනත් ආරක්ෂක නිලධාරියෙකු දුරකතනයෙන් කතා කොට සිය ඥාතියා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බව දැන්වූයේ යැයි ද ඔවුහු සඳහන් කළහ.

‘මරණය සැකයි’

ප්‍රමිතියෙන් තොර කඳුළු ගෑස් භාවිත කර ඇති බවත්, කොළඹ විශ්වවිද්‍යාලය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවත් මාධ්‍ය මගින් දැනගත් නිසා මෙම මරණය සැකසහිත බව ආරක්ෂක නිලධාරියාගේ පවුලේ සියලුදෙනාම මරණ පරීක්ෂණයේදී සඳහන් කළහ.

‘අපරාධයක්’

මියගිය ආරක්ෂක නිලධාරියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් පෙරේරා මෙහිදී සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති අවම බලයේ සීමාව ඉක්මවා යමින් කඳුළු ගෑස් ආයුධයක් ලෙස භාවිත කිරීමට පොලිසිය කටයුතු කරන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් මේ පිළිබඳව නිකුත් කර ඇති නිර්ණායක පිළිපැදීමට පොලිසිය කටයුතු නොකරන බවත්, විරෝධතාකරුවන් පිටුපස එලවමින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පසුගිය කාලය පුරා සිදු වූ බවත් නීතිඥවරයා මෙහිදී පැවසීය.

මෙම මරණය අපරාධයක් බව ද ඔහු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අවධාරණය කළේය.

‘ඇතුළට ගැහුවද?’

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විමසුවේ කොළඹ විශ්වවිද්‍යාලය තුළ ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ද යනුවෙනි.

‘ඔව්’

එහිදී සාක්ෂි දෙමින් එම විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ තුන්වැනි වසර ශිෂ්‍යාවක වන තිරුවන්දි එදිරිසිංහ පැවසුවේ දේශනයක් අවසානයේ පුස්තකාලයට යමින් සිටින අතරතුර, දෙවරක් තමන්ට කඳුළු ගෑස් වැදුණු බවයි. එසේ ම විශ්වවිද්‍යාලය තුළ සිටි තමන්ගේ මිතුරෙකු වන අශාන් නමැති ශිෂ්‍යයාට කඳුළු ගෑස් කැනිස්ටරයක් වැදීමෙන් තුවාල වූ බව ද ඇය සඳහන් කළාය. ඉන්පසු ඔහු රෝහල්ගත කළ බවත්, කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ විශ්වවිද්‍යාලය තුළ සිටි සිසුන් රැසක් ඇති බවත් ඇය වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් පැවසුවාය.

‘සුදුසු නියෝග දෙන්න සූදානම්’

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටී නම්, ලබන 27දා කැඳවන ලෙසයි. මෙහිදී අපරාධයක් සිදු වී තිබේ නම්, ඊට අදාළ නියෝග ලබාදීමට සූදානම් බවත්, ඊට පෙර කඳුළු ගෑස් එල්ල කළ ආකාරය තහවුරු කරගත යුතු බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

වාර්තා මගින් තහවුරුයි !

පසුගිය මාර්තු 07දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කළ විරෝධතා පගමනකට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරිණි. එහිදී පොලිසිය මගින් විශ්වවිද්‍යාලය තුළට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව මාධ්‍ය මගින් විකාශය කළ වීඩියෝ සහ වෙනත් වාර්තා මගින් තහවුරු විය.

වගකිවයුත්තන්?

මේ පිළිබඳව පොලිසිය සමග සාකච්ඡා කළ බවත්, නැවත එවැනි සිදුවීම් සිදු නොවන බවට පොලිසිය සහතිකයක් ලබාදුන් බවත් මේ පිළිබඳව අදාළ සිදුවීමට පසු දින අප කළ විමසීමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති එච්. කරුණාරත්න පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ තමන්ට ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.

මෙහිදී මියගිය ආරක්ෂක නිලධාරියා වූයේ අනුරාධපුර, නොච්චියාගම, කඳු වැව පාරේ පදිංචිව සිටි ප්‍රියන්ත වන්නිනායක නම් 56 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතන තුනක් ?

විරෝධතා මර්දනය කිරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලට සෘජු ව නිරාවරණය වූ තිදෙනෙකු ආසන්න කාලය තුළ මියගොස් තිබේ. ඒ අතරින් පසුගිය පෙබරවාරි 26දා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දැක්වුණේ හර්දයාබාධයකි.

එහෙත් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදෙන්නේ මරණයට හේතුව වෙනස් වුවද, ඒ සඳහා කඳුළු ගෑස්වල බලපෑම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

Related articles

‘අපි ලංකාවේ පුරවැසියන් නෙමෙයි ද?’ – ආණ්ඩුවලට නොපෙනෙන උතුරේ දූපත් ධීවරයන්ගේ විඳවන ජීවිත !

උතුරේ දූපත්වල ජනතාව ජීවත්වන්නේ කෙසේද? යාපනය අර්ධද්වීපයේ වෙරළට එහායින් පිහිටි කයිට්ස්, අනලතිව්, එළුවතිව්, නයිනතිව්, මන්ඩතිව් සහ පුංකුඩුතිව් දූපත්වල...

අලුත්ගම බොදුබල සේනා භීෂණය මැද මුස්ලිම් මිනිසුන් බේරාගත් තෙවරප්පෙරුම !

‘එදා ඒ ගමන යනතුරුම දිගින් දිගටම අපට පහර දුන්නා. මා ඒ අය නාගොඩ රෝහලට අරගෙන ගියා. මා හිතුවා...

ඉන්දියාවේ ඡන්දය ඇරඹෙයි : ලොකු අයියා සහ පොඩි මල්ලී හවුලේ කන ඡන්ද අයිතිය !

මිලියන 70ක කැමැත්ත විමසීම ඉන්දියාව සැලකෙන්නේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙසයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ලෝක් සභා මැතිවරණය 2024 අප්‍රේල්...

කවදා හරි පුළුවන් වෙනකම් අපි සාකච්ඡා කරනවා – ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා ගැන මුදල් ඇමැති කතා කරයි !

ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී තවත් සාකච්ඡා වටයක් පවතින නිසා ඒ පිළිබඳ සුබදායී...