සිඳී ගිය වැව ගාව

Share post:

මල්ලිකා මේ හරියෙ මහ වැවක් තියෙන්නැති
වැහි කාලයට වැවේ ළය මඬල පිරෙන්නැති
නිල් දියේ ඉහිරෙමින් හඳ එළිය ගලන්නැති
කෙකටියා සුදු සිනා පිපී අත වනන්නැති

කුරුල්ලෝ ඇවිල්ලා කැරකිලා බලන්නැති
තරුණ දියකාවුන් ද ජබොග් ගා පනින්නැති
පඳුරකට විදිනකොට සාවුන් ද දුවන්නැති
තාවුල්ල දිගේ රෑ කිරලුන් ද හඬන්නැති

වෑ දියෙන් සියොළඟ ම පිරී කිතිකැවෙන්නැති
වාන් දමනා වැවෙන් ආදරය ගලන්නැති
වාන් ඇලවල් දිගේ ජීවිතය දුවන්නැති
පහල නිම්නය පුරා ආදරය බෙදන්නැති

නියං කාලෙට දැවෙන පොළෝ පපුවෙහි නහර
තෙමාගෙන ගලනකොට ප්‍රේමයේ දිය දහර
පුරන් කෙත් බිම් පුරා දැවුණ ඉපනැලි අතර
ඉරිතලා ගිය මතක බලා ඉන්නැති වැතිර

සොරොව්වේ කටහඬින් මුදු සුළඟ සුලලිතව
ගලන්නැති වෑ දියේ සිහිලසට අවනතව
ගොම්මනේ ගලන බිංකරුවලට අනුගතව
නොකියනා දේ ද ඇති පපුව යට ලෙන්ගතුව

වෑ කණ්ඩිය ද බිඳී වැව සිඳී ගිය පසුව
ඉරිතලා හඬන්නැති වැවේ සීතල පපුව
රොන්මඩේ ගිලී ගිය දැව අරටු සිහි නැතුව
දිරා නොගොසින් සිටී තෙතක නිදහන් සතුව

බිඳී ගිය වැව් බැම්ම දිගේ කඩතොළු අතර
සිඳී ගිය පෙඳ පාසි හිනාවෙනවැති නිතර
බැඳී හෙවනැලි පුරා අතීතය බිම වැතිර
රැඳී හඳ එළිය යට ගිලානව ඇති පැතිර

ඉරිතලා ගිය වැවක මුඩුබිමේ ඇවිද යමු
දැදුරු වී ගිය මතක තෙතමනය විඳ ගනිමු
පිදුරු ඉපනැලි අතර ජීවිතය අහුලගමු
නිස්සාර මුඩුබිමක සුන්දරත්වය විඳිමු

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...