මල්ලිකා මේ හරියෙ මහ වැවක් තියෙන්නැති
වැහි කාලයට වැවේ ළය මඬල පිරෙන්නැති
නිල් දියේ ඉහිරෙමින් හඳ එළිය ගලන්නැති
කෙකටියා සුදු සිනා පිපී අත වනන්නැති
කුරුල්ලෝ ඇවිල්ලා කැරකිලා බලන්නැති
තරුණ දියකාවුන් ද ජබොග් ගා පනින්නැති
පඳුරකට විදිනකොට සාවුන් ද දුවන්නැති
තාවුල්ල දිගේ රෑ කිරලුන් ද හඬන්නැති
වෑ දියෙන් සියොළඟ ම පිරී කිතිකැවෙන්නැති
වාන් දමනා වැවෙන් ආදරය ගලන්නැති
වාන් ඇලවල් දිගේ ජීවිතය දුවන්නැති
පහල නිම්නය පුරා ආදරය බෙදන්නැති
නියං කාලෙට දැවෙන පොළෝ පපුවෙහි නහර
තෙමාගෙන ගලනකොට ප්‍රේමයේ දිය දහර
පුරන් කෙත් බිම් පුරා දැවුණ ඉපනැලි අතර
ඉරිතලා ගිය මතක බලා ඉන්නැති වැතිර
සොරොව්වේ කටහඬින් මුදු සුළඟ සුලලිතව
ගලන්නැති වෑ දියේ සිහිලසට අවනතව
ගොම්මනේ ගලන බිංකරුවලට අනුගතව
නොකියනා දේ ද ඇති පපුව යට ලෙන්ගතුව
වෑ කණ්ඩිය ද බිඳී වැව සිඳී ගිය පසුව
ඉරිතලා හඬන්නැති වැවේ සීතල පපුව
රොන්මඩේ ගිලී ගිය දැව අරටු සිහි නැතුව
දිරා නොගොසින් සිටී තෙතක නිදහන් සතුව
බිඳී ගිය වැව් බැම්ම දිගේ කඩතොළු අතර
සිඳී ගිය පෙඳ පාසි හිනාවෙනවැති නිතර
බැඳී හෙවනැලි පුරා අතීතය බිම වැතිර
රැඳී හඳ එළිය යට ගිලානව ඇති පැතිර
ඉරිතලා ගිය වැවක මුඩුබිමේ ඇවිද යමු
දැදුරු වී ගිය මතක තෙතමනය විඳ ගනිමු
පිදුරු ඉපනැලි අතර ජීවිතය අහුලගමු
නිස්සාර මුඩුබිමක සුන්දරත්වය විඳිමු