පොරොන්දු පත්‍රයට අත්සන් කරන්න මුදල් ලේකම්ට බලය පවරයි : එකඟතා කඩිනමින් ක්‍රියාත්මක කරන්න – IMF : මොකුත් වෙනස් කරන්න බෑ – ඇමති

Share post:

අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවධාරණය කර ඇත.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මේ බව සඳහන් කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එහි විධායක කමිටු අනුමැතිය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ක්ෂය වූ සංචිත, ඉහළ උද්ධමනය, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මැද ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණදෙමින් දැවැන්ත ආර්ථික සහ සමාජයීය අභියෝගවලට ලක්ව ඇති බව ද මෙහිදී ඇය පවසා තිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දී ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණි. දිළිඳු සහ අවදානමට ලක් විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ආදායම් මත පදනම් වූ මූල්‍ය එකඟතාවක් අවශ්‍ය වන බව සහ ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යා යුතු බව ද ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ව දූෂණය මැඩලීම සඳහා අඛණ්ඩ උත්සාහයන් ගත යුතු බව ද මෙහිදී ඇය පවසා තිබේ.

ඊයේ රාත්‍රිය !

ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන් නිවේදනය කරන ලදි. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් ඊට අනුමැතිය ලබාදුන් බවයි.

මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට නුදුරේදීම ලබා ගත හැකිය. ඊට අමතරව මෙම පහසුකම ලැබීම හරහා අනෙකුත් පාර්ශ්ව මගින් අරමුදල් සපයා ගැනීමට ද ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ. මාස 48ක කාල රාමුවක් සඳහා මෙම මූල්‍ය සහනය ලබාදුන් බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ස්තූතියි !

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසරභාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු.

ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.’

පොරොන්දු පත්‍රය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ අදාළ අනෙකුත් ලේඛන සඳහා අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාට බලය පැවරීමට  ඊයේ (20) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

‘හංගන්න දෙයක් නෑ’

මෙම එකඟතා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පැවසුවේ අදාළ සියලු එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එහෙත් යම් අයෙකුගේ හෝ කිසියම් පාර්ශ්වයක විරෝධතාව මත ඒවා වෙනස් කිරීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා thetime.lk වෙත දැක්වූ අදහස් මෙසේ ය.

IMF එකඟතා ජනතාවට ඉදිරිපත් කරන්නෙ කවදද ?

අපි කලිනුත් කිව්වා අනුමැති ලැබුණු වහාම ඒවා ප්‍රසිද්ධ කරනවා කියලා. දැන් ඒක හරි. කඩිනමින් අපි ඒ එකඟතා ලියවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපිට හංගන්න දෙයක් නෑ. රට වැටිලා තියෙන තැනත් එක්ක අපිට වෙන විසඳුම් නෑ.

දැන් එතකොට ඔක්කොම හරි ද ?

මේක staff level agreement එකක්. අවසාන එකක් නෙමෙයි. ඊළඟට තමයි board level එකට එන්නෙ.

ආණ්ඩුවේ අවශ්‍යතාව මත එන එකඟතාවලට විපක්ෂය පැත්තෙන් විරුද්ධ වුණොත් මොකක්ද කරන්න පුළුවන් …?

දැනට මොකුත් කරන්න බෑ. දීර්ඝ කාලීනව අපි යම් ස්ථාවරයකට ආවට පස්සෙ ඒවා සංශෝධනය කිරීම ගැන හිතන්න පුළුවන්. එතෙක් එහෙම අවධානය යොමුකරන්න ඕනෙ කියලා මම හිතෙන්නෙ නෑ.

ඒ කියන්නෙ ආණ්ඩුව හිතකරයි කියන, පොදුවේ අහිතකර ඒවා තියෙනවා නම්, ඒවා ඉවසගෙන ඉන්න ඕනෙ ද?

නෑ. මේ එකඟතා කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. ලෝකයම පිළිගත්තු, මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් පිළිගත් ප්‍රතිපත්ති. එහෙම නැතුව ආණ්ඩුව හංගලා කරන දේවල් හරි, අමුතුවෙන් විරුද්ධ වෙන්න ඕනෙ දේවල් හරි මෙතැන නෑ.

ඒ කියන්නෙ විශ්වාසයක් තියෙනවා, සහතිකෙන්ම මේ තීරණවලින් රට ඉදිරියට යයි කියලා සහ සංශෝධනය කරන්න එකඟතා නෑ කියලා …?

වෙන අපිට විකල්ප තියෙනවද. නෑනෙ. මං දන්න තරමට නම් එහෙම විකල්ප මොකුත් නෑ. මූල්‍ය අරමුදල මේවා අපිට බලහත්කාරයෙන් දෙන්න ආවෙ නෑ. අපිටයි එතැන්ට යන්න සිද්ධ වුණේ. අපිටයි ඒක අත්‍යවශ්‍ය. ඒක හින්දා මේ වෙලාවෙ විශ්වාස කරන්න ඕනෙමයි.

Related articles

සිසුන් 200ට අඩු පාසල් 5,161ක් : අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් ගැන වගකීම බරපතළ ලෙස ප්‍රශ්න කරන සිස්ටම් ඔඩිට් එකක් !

අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සංගණන වාර්තාවලට අනුව ලංකාවේ රජයේ පාසල් 10,194කි. රජයේ නොවන පාසල් 859ක්, ජාත්‍යන්තර පාසල් 265ක්, පෞද්ගලික...

IPL තරගාවලිය අවසන්වූ පසු ලෝක කුසලානය

IPL තරගාවලිය ඉවර වුනාම ලෝක කුසලානය පටන් ගන්නවා.මන් හිතන්නේ ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා නායකයාට, කළමනාකාරීත්වයට සහ තේරීම්...

හොරොව්පතානේ තරුණයෙක් පැහැරගෙන දවස් 25ක් හිරකරලා : පොලිස් විශේෂ කාර්ය බලකායට බරපතළ චෝදනාවක් : අලුත් පනතින් පළමු නඩුව වැටෙයි !

හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පැහැරගෙන ගොස් දින 25ක් බලහත්කාරයෙන් රඳවා තබාගැනීමට...

හාස්‍යානුකරණ නිර්මාණයක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බාධා තිබේද? – ස්වයං වාරණයෙන් මිදී වැඩ කරමු !

හාස්‍යානුකරණ කලා නිර්මාණයක් සිදු කළ බවට චෝදනා කරමින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පසුගිය දිනවල දැඩි කතාබහට ලක්විය. එසේ අත්අඩංගුවට...