‘මතක මග මගහැර’- සන්ධ්‍යා කුමුදිනී ලියනගේ

Share post:

කාව්‍ය කෘති දෙකක් සහ කෙටිකතා එකතුවක් තම නිර්මාණ පැසෙහි තබාගෙන සිටිනා සන්ධ්‍යා මතක මග මගහැර යනුවෙන් තෙවන කාව්‍ය කෘතිය එළි දක්වන්නීය. ඇය කාලයක පටන් කවියද සමගින් අපට මුනගැහෙන්නියකි. මෙවර මට ඇගේ කවි කියවන්නට ලැබෙනුයේ අන්ධකාර කාලගුණයක් පලාත පිටින් වෙලාගෙන මහා ගංවතුරක සහ නාය යාම් පෙලක තර්ජනයන් එල්ල කර අප තැන තැන කොටු කරන පසුබිමකය. ඉදින් මට සන්ධ්‍යාගේ කවි කියවන්නට පෙළඹුම එන්නෙ ඇගේ කෘතියේ පළමු කවියද සමගිනි. එය එක් අතකට අපේ මේ බිහිසුණු මෑත දින කිහිපය හා සෘජුව ගැටගැහෙන්නකි. ඇය ඒ කව නම් කරන්නී තෙත බරිත රාත්‍රිය නමිනි.

ඇය තම කවියට විෂය කරගන්නී සොබා දමෙහි බියකරු දඬුවමක අත්දැකීමයි. සොබා දහමේම විවිධ සංකේත ගකිමින් ඇය ධාරාණිපාතයක් සමග වන නාය යාමක් මිනිස් සිතෙහි චංචලභාවය සහ භීතිය සමගින් එකට වෙලා ලයි. ඒ අතරම අපට ඒ කවිය නායයාමක් ලෙස මෙන්ම සිතේ ඇති සසලවීමද සමගින් ගෙන කියවන්නට හැකිවෙයි. ඒ කවිය අඳුරු පැහැයෙන් සිත්තම් කරන ලද තිත්තක රස දනවන නිර්මාණයකි. ඇගේ කවියෙහි රිද්මය පාඨකයා ඇද බැඳ ගනියි.

දරාගන්නට නොහැකි සීතලට ගුලි වෙවී
හෙන්දිරික්කා පඳුර මල් පෙඟෙන්නට නොදී
ඈත කඳු නොවතින වැසි දියෙන් තෙමි තෙමී
විසල් ගස් ඇද වැටෙන විට භීතියෙන් සැලී

සන්ධ්‍යා සිය කවියෙහි වැඩි ආශක්තබවක් දක්වන්නී අහිමිවන ස්නේහයේ සිහින් රිදුම් ස්පර්ශ කරන රිසියෙනි. එහෙත් ඒ අතරම ඇය ජීවන අරගලය හමුවේ තූ තූ ව යන මිනිස් ආත්මයන්හී සසැලීම මෙන්ම වේදනාවද එකවිට අපට ගෙන එයි. දිළින්දා හට රැය බියකරුය. පිරිමි රැකවරණයක් නැති විට ඒ රැය අති බිහිසුණු ය. සන්ධ්යා මේ රැයෙක තනිවුන පතිනියකගේ හෘදස්පන්දනය කවියට කැටි කරන්නීය.

රෑ මුරයෙ නිදිබරව මහා මැදුරක් රකින
පියාණන් ළඟ පාත නැති බවම දැන නිතින
නන් දොඩන නුහුරුවූ වදන් හඩ හිත දවන
පුතේ නුඹෙ හැඬුමමයි ඉතින් මගෙ රැකවරණ

ජීවිතය යනු ස්මරණයන්හී ගබඩාවකි. විටෙක අපට ඒ ස්මරණයන් අමතක කර දමන්නට සිදුවෙයි. මිනිසා නිරායාසයෙන්ම තම පරිසරය, ගහ වැල මෙන්ම නෙක සිහිවටන එකතු කරයි. එහෙත් නූතන සංවර්ධන මාවත යනු එයවන් ස්මරණයන් නොතකන්නකි. සන්ධ්‍යා අහෝ පල ඇති රුක මැයෙන් අපට ගෙන එන්නී තමන්ගේ දිවිය හා බැඳුන අඹ තුරක අවසානයයි. ඒ සංවර්ධනය වෙනුවෙන් අප ගෙවනා වන්දියයි. මාවත අද්දර ඇති කපුටු බෝ රුකක සිවුරු රෙද්දක් ඔතා රැකගත හැකි වුවද අපේ මතකයන් දරා සිටිනා වෙනත් රුකකට ඒ වරම හිමි නැති. ඇය තම කවිය අවසන් කරනුයේ මේ අයුරිනි.

එහෙත් මේ අඹ ගස හැර
වෙනත් ගස් නැත
මතක සැමරුම් දැරූ මේ දරුවනට

කිවියර ආරියවංශ රණවීර වරෙක ලිපි ගොනුවක් කතා කරන අයුරින් අපූර්ව කතවියක් රචනා කළේය. ඔහු ඒ ලිපිගොනුව හරහා කාර්යාලයක ප්‍රධානියාගේ භූමිකාවෙහි විෂමතාවන් උපහාසාත්මක පෙස ඉදිරිපත් කරයි. සන්ධ්‍යාද මේ කලාපය ආවරණය කරමින් කවියක් රචනා කරන්නීය. එහෙත් ඒ ආයතන ප්‍රධානියකුගේ මුදු සටහනක් මැයෙනි. ඒ කව අවධානය යොමු කළ යුත්තකි. කවියෙහි කේන්ද්‍රය වනුයේ කන්තෝරුවක ලොක්කෙකි. කන්තෝරුවේ ඇති ගෝසාව දකිනා ඔහු ඒ කුමක්දැයි විපිලිසර වෙයි. ඒ සියළු බර බිම තබා සැහැල්ලුව විඳින තම යටත් සේවකයන්ගේ කච බචයයි. ලොක්කා ගේ යටි සිත බලකරනුයේ ඒ පිරිස සමග එකතුව සැහැල්ලුව විඳින්නටය. එහෙත් මේ වැඩවසම් කන්තෝරු පද්ධතිය ඇත්තේ එවන් හැඟුම් පුබුදුවන්නට නොව මරා දමන්නටය. එහෙයින් ලොක්කා යනු ඒ හමුවේ අසරණ සත්වයෙකි.

තුටු කාරණා නැති වුව
දුක සැඟවුමද යෙහෙකිය
මගේ හිස මත ඇති බරට
නැ.ත සැහැල්ලුවකට අවසර

වා සමනය කළ කුටිය තුළ
සුසුමක්ද නොඒ ළය සනහන
රෙගුලාසි අණ පනත් අතරත
හිතේ ලියමි මේ ලොග් සටහන

නීතිය යනු සර්ව සාධාරණ දෙයකැයි අපට කුඩා කල උගන්වනු ලැබේ. එහෙත් මේ කොදෙව්වේ මිනිස්සු අවි පෙන්වන්නට ගොස් අත් අඩංගුවේදී මියෙති. සාකකරු නොමැති විට නිවසේ සිටිනා කවුරුන් හෝ අත්අඩංගුවට පත් වෙති. සමාජයද කරනුයේ ඒ අවභාවිතාවන් උත්කර්ෂයට නැංවීමය. සන්ධ්‍යා ඒ දෝණී නම් කවෙහිදී සමාජ විරෝධියෙකු යයි සම්මත පුද්ගලයෙකු අල්ලා ගන්නට නොහැකි තැන ඇපයට කොටු කරගන්නා මවක ගේ මුව විවර කරවයි.

පොලීසියෙ මහතුන්ගෙ ඇසි වලින් වහන්වී
තාත්තා පැන ගියෙන් පසු දොරෙන් නොපෙනී
ඊට වාඩුව ලෙසට විලංගුව වැටුණී
දෝණි නුඹ තනිකරන් ජීප් රිය ඇදුණී

සන්ධ්‍යා සිය කවියෙහි විටෙක පවත්නා සමාජ සම්බන්ධතා කොන්දේසි විචාරයට ලක් කරන්නීය. ඒ අතරම වෙන්වීම නැතිනම් අහිමිවීම සමීප කරගන්නීය. එහෙත් ඇය ඒ අතරම ඒ ගැන කිසියම් දාර්ශනික ඇසකින් ඒ බලන්නටද උත්සුක වන්නීය.

පරවී වැටෙන කල් ම පිපී නොසිට
මලකට වුව නටුවෙන්
ගිලිහී යා හැකිය ඊට පෙර
අනපේක්ෂිත චණ්ඩ මාරුතයකට
හෝ වෙනත් යම් හේතුවකට
අයිතියක් හෝ භුක්තියක්ද නැත
මල් දරා සිටි ගසට
බලෙන් විකසිත් වන්නටත්
තුති පිදුම් දෙන්නටත්

ස්නේහය කෙතරම් සුන්දර වුවද මේ තරගකාරී දිවිය තුළ එය විඳීමද දුෂ්කර කටයුත්තකි. පෙම්වතුනට අරුණැයි කියනා දිනය වුව වෙළඳ දඩබිමක් මිස සැබෑ පෙමට විකසිත වන්නට ඉඩ දෙන තැනක් නොවේ. සන්ධ්‍යා පෙම්වතකුගේ කවක් නම් නිර්මාණයෙහිදී පෙමට විකසිත වන්නට නොදෙන පෙම්වතුන්ගේ දිනයේ ශ්රාම වෙළඳ පලෙහි ගොදුරක් බවට පත් පෙම්වතකු අප හට මුණ ගස්වන්නීය. ඔහුගේ කවිය මෙපරිදිය.

ආදරය තව තවත් වැඩිපුරම උපයමි
වැඩපොලේ අදද අතිකාල කරනෙමි
දාදියෙන් ඝනකමැති රන් දමක් ගොතන්නෙමි
සියොවැ නුදුරු දින එය රැගෙන එන්නෙමි

සන්ධ්‍යාගේ කවිය හැඟුම් විවරණයට වඩා ආශක්තය. එසේම ඇය වදන් භාවිතා කරන්නීද සැලකිල්ලෙනි. එහෙයින් ඇගේ කවිය ට විෂය වන අත්දැකීම පොදු එකක් වුවද එය වෙහෙසකර නොවී කියවන්නට ඉඩ සැලසෙයි. කෙසේ වෙතත් අප කිවිඳිය කවියට විෂය කරගන්නා නිමිති තව තවත් විවිධත්වයෙන් යුතුව තෝරා ගන්නී නම් ඇගේ කවිය වඩාත් වර්ණවත් වනු ඇත්තේය.

චූලානන්ද සමරනායක

Related articles

නිහාල් පීරිස් “මහ රෑ”

නිහාල් පීරිස් කියන්නෙ, අන්තර්ජාලය වගේ මාධ්‍ය හරහා දැනුම ප්‍රජාතන්ත්‍රීකරණය වෙන්න පටන් ගැනීම ආරම්භ වෙන්නට කලින් යුගයෙ මතවාදී අවකාශවල...

” මම අකමැතිම දේ තමයි ” හිමිකම ” ඒ කියන්නෙ කාට හරි අයිතිවෙලා ඉන්නවයි කියන එක ” – කැතරින් ක්ලිෆ්ටන්

අන්තෝනි මින්ග්හෙල්ලාගේ The English Patient - මට ඒක චිත්‍රපටියක් නෙවෙයි . සට සට ගාල කදුලු වැක්කෙරෙන දිගම දිග දුක්බරම...

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් 14,988ක නිල ලැයිස්තුවක් : වින්දිතයන්ගේ විශ්වාසය රකින්න අතුරුදන්වූවන්ගේ කාර්යාලය සමත් ද?

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට (අදට) යෙදී තිබේ. 2018 වසරේදී පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද අතුරුදන්...

පැරණි වම සහ දකුණ විසින් හඳුනා නොගත් අලුත් වම..

ශ්‍රී ලංකාවට මාක්ස්වාදී සහ කොමියුනිස්ට්වාදී මතවාදය හඳුන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය ය. ඒවා...