ඩිල්ශානි චතුරිකා දාබරේගේ – ‘මව්වත් හදවත්’

Share post:

මිග්‍රේන් කඳු පුපුරලා ඔළුව පුරා වේදනාවෙ කියත් ඒ මේ අතට හැරෙද්දි පැනඩෝල් පෙත්තකට එහා ගිය සහනයක් ගෙනල්ලා දෙන්න පුළුවන් ආදරණීය වැළඳගැනීමකට හරි උණුසුම් පිරිමැදීමකට හරි විතරයි .ඉතින් කතාව කියවන්න පටන්ගත්ත මොහොතෙ ඉඳලා අවසානය වෙනකන්ම වරින් වර මාව විස්මයට පත්කරමින්, තුවාල පාරවල්වල කැළැල් මතුකරමින්, ආයෙමත් සුවපත් කරමින් සම්පූර්ණ කතාව පුරාවටම මාව තදින් ඇඳ බැඳ තබාගන්න ඩිල්ශානි චතුරිකා දාබරේගේ ‘මව්වත් හදවත්වලට පුළුවන් වුනා. විශේෂම දේ තමා මන් මේ අවුරුද්දට කියවලා සම්පූර්ණ කරපු එකම පොතත් මව්වත් හදවත් වීම…

‘මව්වත් හදවත්’ පොතේ චරිත සම්පූර්ණයෙන් ම මගේ ජිවිතයට වඩා වෙනස් වුනෙ බෝම සුළු තැන් කිහිපයකදි විතරයි. මහගෙදර ආච්චි අම්මා අම්මා පුංචි අම්මා කතාව කියන දෝණියන්දලා ඇතුළු සියල්ලෝම මගේ ජිවිතෙත් ඉන්නවනේදො කියලා හිතේ පුරවගෙනයි මන් මේ කතාව කියෙව්වෙ. මට මේ කතාව පුරාම දැනෙන්නෙ මගෙ ජිවිතය තුළින් මතුවෙන සුපුරුදු හැගීම කියලත් වෙලාවකට නොහිතුනා නෙවේ. වෙනසකට තිබුනෙ ඒ මහගෙදර නොවුණු පිරිමි පරාණ දෙකක් මේ මහගෙදර ඉඳීමයි සීත කුස්සියක් ඉදිකරන්න තියා සීයා කෙනෙක්ගෙ ආදරය මොනවගේද කියලවත් විඳින්න වරම් නැතිවීමයි, අපේ වතුර බොන ළිඳ එක්ක හරි හරියට ආදරෙන් අත්පටලගන්න මා එක්ක රහසින් මුමුණන්න අතු ඉති විහාදාගත්ත දෙල් ගහක් නැතීවීමයි විතරයි.

“ආච්චි යි මිනිබිරියි අතරෙ තිබුණෙ අලුත සෝදපු කපු රෙද්දක සුවඳ හමන බැඳීමක්. මුදු සුමුදු බැඳීමක්. දෙන්නාට දෙන්නවම දරාගන්න අමතර වෙහෙසක් දරන්න උවමනා වුණෙ නැහැ. දෙන්නාට දෙන්නාව කොහොමත්ම නැතිව බැරි වුණා”

මේ ලෝකෙ හිටිය හැම ආච්චි කෙනෙක්ම ජීවත්වුණෙ දෙවිදියක විලාසෙන් කියන්නා වගෙ අපෙ ආච්චි මෙ මොහොතෙ ඉන්නෙත් යහපත් ආච්චියෙක් කියන ලකුණු ඉතිරිකරන්න උත්සහ කරමින් වගේම පරම්පරාවෙ කිසි කෙනෙක් නොකළ වෙනස් එඩිතර දේවල් කරන්න උත්සහ කරමින් ..අපේ ආච්චි ට වෙන්වුණු සීත කුස්සියක් නැතත් හැම රෑකම ඇයට ගුලිවෙලා නිදාගන්න ලැබීමම මට දැනෙන්නෙ ග්‍රිස්මෙ අස්සෙත් සිහිල් හුළං රැල්ලක් මැද්දෙ පාවෙලා යන්ඩ ලැබෙනවා වගෙයි.අදටත් ඉතින් ඔළුව කැක්කුම්,බඩෙ අමාරුකම් එකී නොකී සුවහසක් ලෙඩ සුවවෙන්නෙ ඇගෙ පපුවෙ උණුහුම ගාවයි කියලා දැනෙනකොට ඇයම මට සීත කුස්සියක් විදිහට දැනෙන එක පුදුමයක් නෙවේ.

” අපි දන්න කියන හැම පුංචි කෙනෙක්ම නොසෑහෙන කාලයක් තිස්සෙ තමන්ටත් වඩා,තමන්ගෙ පවුල් වෙනුවෙන් හොඳ කළ මිනිස්සු” කිව්වම මට මතක් වෙන්නෙ පුංචියෙක් නොවුණු අපේ අම්මලගෙ පවුලෙ වැඩිමලාව.ඉස්සර ලොකු අම්මගෙ ගේ කොටස පුරාම නේක නේක විදියෙ ලස්සන ලස්සන විච්චූරණ පිරිලා තිබ්බ විදිහ මට එතකොට මතක් වෙනවා.

” කිසිදාක කිසිතැනක දැක නැති සේද සළුපිළි ඇය වටා දැවටුණා.රිදී තෝඩු,පබළු මාල,අරුමෝසම් ඇය නමින් දිලිසුණා.”
ඊළඟට මට කතාවෙ තදින්ම දැනුනු චරිතය අම්මා. තාත්තගෙ හැසිරීම් ඒ සිදුවීම් හැරෙන්න අම්මගෙ චරිතයෙ හැම සියුම් දෙයක්ම මන් වරින් වර මගෙ ජිවිතෙ ඇතුළෙ විඳලා තිබුනා.

” හැම පවුලකම වගේ, අම්මයි දුවයි අතරෙ තිබුණා අමුතු බැඳීමක්, ආදරෙයි කරුණාවයි එක්කම, නුරුස්නාවයි මුරණ්ඩුකමයි මුහුවුණු බැඳීමක්. ඒ දෙන්නාට දෙන්නා ඇතුවත් බැරි , නැතුවත් බැරි බැඳීමක්.සිරි සිරියක හිරිපොදයයි, බිරුසන් දෙන අනෝරාවයි දෙකම තිබුණ බැඳීමක්.”

” ඇයට ලොකුවෙලැ අම්මාව දැනුනු විදිය ගැන මතක් කරද්දි,පළවෙනි වගේම දැනෙනම මතකය,අම්මගෙ වැලමිට ගාවින් අල්ලගෙන ගමන් යන හැටියි.අම්මාට පුළුවන්කම තිබුණා ඇගේ වේගයටම අඩිය තියන්න. අනික ඇය අම්මා ගානටම උසයි.ඇය අඩිය තිබ්බෙත් අම්මා වගේම කඩිසර විලාසෙන්. ඉතින් ගමනක් යන්න තව මුකුත් උවමනා වුණේ නැ. අම්මා එක අතකින් කුඩේ ඉහළගෙන ඉද්දි අනෙක් අතේ ඈ එල්ලුණා.පොඩි කාලෙ නම් ඇය අල්ලගත්තෙ , අම්මගෙ ඇඟිලි. ලොකුවෙන්න ලොකුවෙන්න ඇඟිලි ගාවින් උඩට ඇවිත් වැලිමිට ගාවින් ඇය නතරවුණා.”
” අම්මාගෙ කාලෙ අම්මා හිටියෙ මෝස්තර නිරූපිකාවක් වාගෙ..”

ඉතින් මේ හැම වාක්‍යයක් අස්සෙම මට මගේ අම්මව දැනෙන්න පටන්ගත්ත එක හරිම ආදරණීයයි.ඒක කොච්චර ආදරණීයව දැනුනද කියනවනම් සමහර ඡේද කියවන් යද්දි මටත් නොදැනි මගෙ ඇස් අස්සෙ කදුළු බෝල හිරවෙන්න ගත්තා.

” අම්මට උවමනා වුණේ, තමන්ට නොලැබුණු දේවල් ඇයට දෙන්න…ඇය වෙනුවෙන් අම්මා කතා කළා. ඇයට සතුට දෙන්න දුක් වින්දා.අම්මාවත් එක්කගෙන එළියට සවාරියක් යන්න.කෑමබීමක් අරන් දෙන්න,ඇදුම් පැළදුම් ගන්න ඇයට කොච්චර උවමනා උනත් ඒ දේවල් සිද්ධ වුනේ සීමිතව…”

ඉතින් කතාවෙ අන්තිම හරිය වෙද්දි මාව නිවීගෙන නිවීගෙන නිවීගෙන යනවා දැනුනෙ නිකන්මත් නෙවෙ.මේ කතාව පුරාවටම මහගෙදර පුංචි කෙල්ලව මට දැනුනෙ මම විදිහටම.

” ජිවිතේ කවදාවත් ඇයට පාරවල් මතක තිබුණෙ නැ. පාර වැරදුණා මිසක්.වැරදි වැරදි තමයි ඇය හරි පාරවල් හොයාගත්තෙ..ඒ තරමට යන්න පාරවල් ගොඩක් ජිවිතේ ඇය වෙනුවෙන් ඉතිරි කරලා තිබුණා. ඇය දැනගෙන හිටියෙ එක දෙයයි .වැරදුනොත් වීරිය දමලා කොහොමහරි හොයාගෙන යන්න පුළුවන් තරමට හිත හයිය බව විතරයි…”

ඒ හිතේ හයිය එක්ක මහගෙදර එකම ටයිල් අල්ලපු කාමරය හිමි මහගෙදරට ඉපදුණු මුරණ්ඩු නාහෙට නාහන ඇත්තිය තමන්ගෙ නිල් පාට ඇඳ ඇතිරිල්ලෙ සුවපහසුවෙ ඉඳගෙන මේ හෑල්ල ඉවරකරන විදිහක් කල්පනා කරන ගමන්.

ඇයට මේ පොත දැනෙන්නෙ නවකතාවකට එහා ගිය අභිප්‍රේරක ග්‍රන්ථයක් විදිහට,හිත් සුවපත් කරන් ඔසුවක් හැටියට.ජිවිතේ නිමාවක් නැති හීල්ලුම් පිරිමදින උණුසුම් දෑතක් විදිහට..ඒ එක්කම ඇයට මතක් වෙනවා මේ පොත ලියපු ඇත්තියත් ඇයගෙ ජිවිතයට ඉසින ආශිර්වාදය ගැන.ඒ ආශිර්වාදය කොයිතරම් ඇයගෙ හදවත සුවපත් කරනවද කියලත්.

ඉතින් ඒ නාහෙට නාහන ඇත්තිය සන්තෝසයෙන් මේ ගමන යන ගමනුයි ඉන්නෙ.ඊළගට මේ පොත ඇයට පොත් කියවන්න පුරුදු කරපු සීත කුස්සියක් වගෙ ආච්චි ට කියවන්න කියලා යෝජනා කරන්නයි ඉන්නෙ.ආච්චිට ඒක කොහොමෙන් දැනෙවිද කියල දැනගන්නත් ඇය විස්මයෙන් ඉන්නෙ.

අමන්දි ධර්මරත්න (FB)

Related articles

බානුගේ කතා ආවෙ කොතැනින්ද? – Heart Lamp ගැන නිරීක්ෂණ කිහිපයක්

බානු මුෂ්ටාක් කර්නාටක වැසි, කන්නඩ සුහුරු ලේඛිකාවක්. බානුගේ දෙපා තිබුණේ, භූගෝලීය වශයෙනුත් සාහිත්‍යයික වශයෙනුත් විචිත්‍ර බිමක වුණත් ඇය...

රසිකා, මායාකාර කිවිඳියක්

කවියෙ හි ජීවය ලෙස සලකන්නේ එහි උපයුක්ත බස. කවිය ඍජු ලෙස නැගී සිටින්නාවූ සැකිල්ල වන්නේ එහි ආකෘතිය. නමුත්...

‘ඊස්ට්‍රජන්’ – සුරේඛා සමරසේන

ස්ත්‍රී ආශාව විවිධ අවස්ථාවල, විවිධ පරිසරයන් හා විවිධ සමාජ පංති තුළ වර නැගෙනුයේ එකම ආකාරයට නොවේ. එහෙත් එය...

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...