තරිඳුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් පාරක යන හැඩක් !

Share post:

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (ඔක්තෝබර් 07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එසේ ඉල්ලා සිටියේ, 2023 ජුලි 28 වැනිදා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් වාර්තා කිරීමෙන් පසු ත්‍රීරෝද රියකින් ගමන් කරමින් සිටියදී එයින් එළියට ඇද, පහර දී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට එරෙහිව ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරනවාද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය. අචල වෙංගප්පුලි, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ නඩුව විභාගයට ගැනිණි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ප්‍රකාශ කළේ, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම, සිදුවීමෙන් මාස දහයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර ඇති බවත්, එය නිත්‍යානුකූල කාල රාමුවෙන් පිටත ගොනු කර ඇති බවත් ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (1) වගන්තිය ප්‍රකාරව මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ අවස්ථාවක මූලික අයිතිවාසිකම් කඩවීමෙන් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකි අතර, 126 (5) වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ගොනු කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත ඒ පිළිබඳ විභාගය නිම කළ යුතුය.
1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 13 (1) වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් මාසයක් ඇතුළත පැමිණිල්ලක් අතෘප්තියට පත් පාර්ශ්වයක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට කර ඇති අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (2) වන ව්‍යවස්ථාව ප්‍රකාර ඒ තැනැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතු කාලය වශයෙන් දක්වා ඇති එක් මාසයක කාල පරිච්ඡේදය ගණන් බැලීමේදී යට කී පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණය කොමිෂන් සභාව ඉදිරියේ පවත්නා කාල සීමාව ගණන් නොගත යුතුය.
කෙසේ වෙතත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට අදාළ ව ආරම්භ කර ඇති විමර්ශනය එම කොමිෂන් සභාව විසින්ම ආරම්භ කළ එකක් බවත්, එය පැමිණිල්ලක් මත ආරම්භ කරන ලද එකක් නොවන බවත් ය. ඔහු එහිදී තර්ක කළේ මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කරන ලද විමර්ශනයකදී මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 13 (1) වගන්තිය යටතේ ආවරණක් නොලැබෙන බවයි. ඒ අනුව සිදුවීමෙන් මාස 10කට පසුව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් වන නිසා එය ප්‍රතික්ෂේප කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, මාධ්‍යවේදී උඩුවරගෙදර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 13 (1) වගන්තියෙන් ඍජුවම සඳහන් නොකරන බව සැබෑවක් වන නමුත්, එකී වගන්තියෙන් සහනයක් ලබාගැනීමට නම් මානව හිමිකම් කොමිෂන් සභාවම යම් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ගැන විමර්ශන පටන් ගත් අවස්ථාවක, දැනටමත් විමර්ශනනයක් තිබියදී වින්දිතයාට තවත් පැමිණිල්ලක් කරන්නට සිදු වීම විකාර සහගත බවයි. ඒ අනුව 13 (1) වගන්තියේ බලතල සීමා කරමින් එවැනි අර්ථකතනයක් ලබා දීම නුසුදුසු බවට ඇය තර්ක කළාය.
එමෙන්ම මෙවැනි තාක්ෂණික කරුණුවලට ඉහළින් යම්කිසි මූලික අයිතිවාසිකම් කඩවීමකදී එම මානව හිමිකම් කඩකිරීමේ බරපතළකම සහ සිදුවීම පිළිබඳ කුමනාකාරයෙන් මහජනතාවට වැදගත් වන්නේදැයි සලකා බැලිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
කෙසේ වෙතත් නඩුව විභාගයට ගත හැකිද යන්න තීන්දු කිරීම ඉදිරි දිනයකදී සිදුකිරීමට විනිසුරුවරුන් තීන්දු කළ අතර, නොවැම්බර් 07 දිනට පෙර නඩුව පිළිබඳ ලිඛිත කරුණු දැක්වීම් සිදුකරන ලෙස දෙපාර්ශ්වයට දැනුම් දෙන ලදී.
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීමට එරෙහිව ඔහු විසින් 1994 අංක 22 දරන වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකරන ලද අතර, එම පැමිණිල්ල විභාග නොකළ නිසා 2024 ජුනි 11 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන මොහොත වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වමින් සිටියේය.

Related articles

” ‘කන්ද උඩ ගින්දර’ නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා”

නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි...

“සෘතු සංහාරය” -(පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුන ඇති අදහසක් වනුයේ සාහිත්‍ය...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ !

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන්  වෙයි !

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career...