මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය “වසිලිස්සා වැස්සේ” නමි. ඇගේ පළමු කවි එකතුව “හත්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්” කෘතිය ඇගේ කවිය ශ්‍රී ලාංකික කාව්‍යක්ෂේත්‍රයේ යම් තැනක් සලකුණු කරන බව අපි එදා කීවෙමු. ඇය එම ප්‍රකාශයට සාධාරණයක් ඉටුකරනු දෙවන කෘතියෙන් පෙනේ.
ඇගේ කවියේ දකින මූලිකම දෙය නම් ඇගේ කවි බසයි. දියුණු කවි බසකට ඇය මව වී තිබේ. පුරාතන පද්‍ය බසද, නූතන ව්‍යවහාර බසද මුසුකරගත් ප්‍රගීතික කවිබසක් ඇය උපයා ගනී. එය මෙම කෘතියේ ආලෝක ප්‍රභවයකි. දෙවනුව ඇය තෝරාගන්නා අනුභූතීන් ප්‍රකාශකරන පඨිතාලංකාරයයි. එය අපට සුපුරුදු අනුභූතියක් වුව නුපුරුදු සැවැන්දරා සුවඳින් ඉදිරිපත් කිරීමකි.
කෘතියේ එන “වසිලිස්සා” කව අමල්බිසෝ කතාවද සිහිකරමින් ගලායයි.
ඕනෑය ඇයට ගින්දර
මොර සූරන වැහි යටින්
ගෙන යා යුතුය ඒ ගිනි
අරණ පසු කර නුවරට
මොර සූරන වැස්සක් යටින් ගැහැනියක ගින්දර රැගෙන යාම යනු අතිශය වෙහෙසකර වියනොහැක්කක් විය හැක. ඒ ගැහැනු ජීවිතයයි. මේ දුෂ්කරක්‍රියාවට සමාජයෙන් එල්ල විය හැකි අර්ථකථනය ඇය පවසන්නේ මෙලෙසිනි.
හමු වුවද එහි පිරිවර
දිය යටින් ගින්දර
ගෙනයන්නියක යැයි
කියනු ඇත නෙක වර
ඇය කවිය අවසන් කරන්නේ නූතන විශ්ව ගම්මානය තුල සංස්කෘතිය විසින් තත්වාරෝපණය කරන ලද ගැහැනුන් වලංගු නොවන බව පවසමිනි.
පොටෑසියම් වාගේ
දැල්වෙන ගුණය දියෙහිද
දිනිය යුතු වෙද ඇය
නොහැර තෙත් ගුණයද ළය
ප්‍රගීතිකා ගේ කෘතිය නිදහස් කවි ආරෙන් මෙන්ම සඳැස් කවි ආරෙන්ද පෝෂිතය. ඇය සඳැස් කවියට ද දක්වන්නෙ බුහුටි ශූර කමකි. එහිදී ඇය භාවිතා කරන කවි බස ඕජෝ ගුණයෙන් පොහොසත් ය.
මතකද ඔබට කඳු තුඩු මත මල් ගොමුව
වලාකුළු දෙතොල නැඹුරුව මල් තෙමුව
පැහැනද මදාරා මුවරද සිඹ හැමුව
මනනඳ සුවඳ වැසි මිණිමුතු අප හමුව
(පෙම් පුරාවතක්)
මේ කව තුළ පුරාතන සඳෙස් කවෙහි රුවගුණ ඇය උකහා ගන්නේ අප තුළ තියුණු ආහ්ලාදයක් ගොඩ නගමිනි. මේ කවද එබන්දකි.
ලෙයින් මසින් නොව සිය මොළයෙන් මොළවා
කෙනෙක් ලියත් කවි උස් අසුනක හිඳුවා
තවත් කෙනෙක් යහනට පහන ඇල්ලුවා
මෙමා හැර ලියෝ ලෙව් තුළ නැද්ද තවා.
(යසෝදරා)
“මඳ සිනාරණ්‍යය” අපූරු කවකි. එහි මැයද අප බැඳ තබයි.
නොකිලිටි දියැති
කැටබිත සෙ බබළන
මේ තමයි ඒ පොකුණ
ඉර හඳ වැටෙන
එනමුත් කාටවත්
මේ කියා පෙන්වන්න නොසිතෙන
තනිව හිමිකර ගැනීමේ ගැහැනු චිත්තාභ්‍යන්තරය ඇය විවරණය කරන්නේ මෙලෙසිනි.
දුටොත් අනෙකෙකු
දිය තලය සසැලෙතියි
පිළිබිඹු කෙලෙසෙතියි සිතන
හුදකලා වන්දනාකාරිය මම
ප්‍රගීතිකා ගේ කවි බසෙහි හා මගෙහි සංකේත’රුත් බහුලය. “වලාකුළී” එයට මාහැඟි නිර්මාණයකි. එහිදී ඇය වලා මේඝය මිතුරියකට සංකේතාරූඪ කරයි.
“අතින් අල්ලන තරම්
ළඟපාත නොහිටියට
ඔබ තමයි ඇසුවේ මගේ හිත
විශ්වයේ සොඳුරුම
පැහැ එකට කලතා
තැවරුවේ ඔබයි මා ඇස
කවියේ කූඨප්‍රාප්තිය කෙමෙන් කෙමෙන් ගොඩනගන ඇය එය පරිපාකයට ගෙනෙන්නේ අප තුල සියුම් අපූර්වත්වයක් ජනිත කරමිනි.
ළපටි කල හිත රිදී
ඔබ සේම ඉබාගාතේ යමියි සිතන විට
බය හිතෙන රූ මවා
තදින් තරවටු කොට
ඇරලුවා ඔබ මා
යළි දෙමාපිය සෙවනට
මගෙ දෑස් බර වී – තෙමා වැටෙනා වෙලාවට
මටත් හයියෙන් හඬා
සැඟෙවුවා ඔබ මගේ කඳුළු කැට
උරාගෙන මා සිතේ සන්තාප
නිවා දැමුවා ගොසින් – අන් දෙසක සරතැස
රැස් කරන තරමටම හිස් කර
ඔබ ලෙස
රිසි සේ සරන්ටය
මගේ අදහස.
නූතන සන්නිවේදන තාක්ෂණය මානව සබැඳියාවන් වලට රැගෙන එන්නා වූ නවමු හැඩය ඇය කවියකට හසුකරගන්නේ මෙලෙසිනි.
ඕනෑකමේ නෑකම
ගිලිහී ගොස්ය ඔබ’තින්
හසක හද ලකුණක
තෙතක් නොරැඳුණු බිත මත
මකන ලද සටහන්ය
පිළිවදන් නැතියෙන්
නිවී යයි කොළ එළි තිත
මා සිනාවක සැණෙකින්
ඕනෑකමේ නෑ කම
ගිලිහී ගොස්ය ඔබතින්
කටයුතු කම්කටොලු මැද
නිවසේ තැනක හැලුණිද
මෙහෙවරට යන මග
බැල්මක දිය වුණිද
සුපුරුදු කොළ එළියක
දෑස ගිනිකණ වැටුණිද
“ඉඩ” කවද මිනිස් සබඳතා වල හැඩය අපට මතක් කර දෙන්නකි.
හැම විටම අප අතර
ඉඩක් වෙයි නොපිරවෙන
විටෙක ගලා යයි
සිහින් දිය සීරාවක්
වසා ඒ ඉඩ
සඟවාගෙන පත්ල
මැරුණු පත් රොඩු මඩ
ඇතැම් විට
ඈත් වෙයි
අයිස් යුගයේ ලේන හද බැඳගත්
ඕක් ඵලයෙන් දැදුරු වන
අයිස් කන්දක් සේ දැදුරු වෙයි
ඔබ රහස් සමුදාය
ඒ ඉඩෙහි රළ නගයි
පරතරය වැඩි කරයි
තව තවත් වැඩි කරයි
මානව සම්බන්ධතාවක කල් ඉකුත් වීමෙන් හටගන්නා දුරස් බව ඇය පවසන ආකාරය අපූරුය.
ඝනව ශාඛා වැඩුණු
මූල මණ්ඩල කිඳුණු
මහා තුරු වෙසින් ළතැවුල් වැවෙයි
එහිම ඵලයක් මවා
තුඩ තබා ගිම් නිවූ
අතීතය පවා මා කොනිත්තයි
හැම විටම අප අතර ඉඩක් වෙයි
එය ඉතා සුළු වුණේ ඉඳහිටයි.
“හිස්ය ඔබ සිටි තැන” කවිය පරිසරය හා මානවයා අතර ඇති සබැඳියාව අපූර්වත්වයට නගන කවියකි. සංකේතාර්ථ බසකින් පිරිපුන් මේ කව නැවුම් චිත්තරූප රැසක් මවන්නකි.
“තේරෙන තේරවිල්ලක්” කවියෙන් ඇය අන්‍යාර්ථයෙන් මවන ආසියාතික ගැහැනු රුව බලන්න.
ඉබ්බෙකු ගොළුබෙල්ලෙකු නොවුණට මම
ගෙයක් උරින් ගෙන යන්නේ හැම තැන
උදයේ හිරු පරදන රෑ පැරදෙන
කියන්න ඔබ දන්නවාද මගෙ නම?
“ප්‍රේමය නම අසෙනිය කුසුමක්” කවිය භාෂාවෙන් පෝෂිත අපූරු කවකි. “කැට මුගුරු පහණින් සීරෙන” කවියද මිනිස් සම්බන්ධතා වල ශෝචනීය ස්වරූපය මතු කරන්නකි.
නූතන විශ්‍රාම දිවියක හැඩතල වලින් ප්‍රදීපිකා ඉතාමත් අපූරු ලෙස සිය “විශ්‍රාම” හැඩගන්වයි.
දරුවන් නොවෙයි මගෙ විශ්‍රාම සැලසුම
කියවලා ඉවර නෑ ගත්ත පොත් ඔක්කොම
පාළුවක් නැතුවාම නොවෙයි ළඟ නිතරම
ඒත් බෝ අය මැදත් මං උන්නෙ තනියම.
ඇතැම් කවියක පාරප්‍රාප්තිය විසිරුණු ස්වරූපයක් ඉසිලුවද, ප්‍රගීතිකා ගේ කවිය තුළ ඇයටම අනන්‍ය සුලකුණු මතුව එන ආකාරය කෘතියේ සමස්තය තුළ දකින්නට ලැබීම රසිකයෙකු ලෙස අපගේ බලාපොරොත්තු ඉහළ නංවන්නකි. බස තෝරාගෙන, සකසාගෙන හැසිරවීම පිළිබඳ ඇගේ ශක්‍යතාවත්, වෙනස් පර්යාලෝකයන්ගෙන් අනුභූතීන් ට නව්‍ය පණ නල දැල්වීමට සමත්වීමත් ඇගේ කව් මගෙහි ප්‍රදීපස්ථම්භයන් ලෙස දැල්වෙන බව සටහන අවසානයේ පැවසිය යුතුය.