“සිනමාව” ( A Cinema) වූ කලී ගෙවීගිය විසිවැනි සියවසේ දී ලොවට බිහිවූ ඉතා ප්‍රබල කලා මාධ්‍යයකි . එය සංගීතය, නාට්‍ය, චිත්‍රය හා සාහිත්‍යය යනාදි කලාවන් සංකලන කොට ගනිමින් අවසානයේ දී තාක්ෂණය සමගින් මෙකී සියලුම කලාවන්ගෙන් වෙනස්ව නැගී සිටි ස්වතන්ත්‍ර අති-ප්‍රබල කලාවකි.
සිනමාකරුවකු නියත වශයෙන්ම සංගීතඥයකු, නාට්‍යකරුවකු, චිත්‍රශිල්පියකු හා සාහිත්‍යයකරුවකු නොවිය යුතු වුවද, මෙම කලා මාධ්‍යයන් පිළිබඳව යම් හැදෑරීමක් නොඑසේනම් කිසියම් වූ අවබෝධයකින් පසුවීම ඔහු පරිපූර්ණ සිනමාකරුවකු බවට පත් කිරීමට වෙසෙසින්ම ඉවහල් වන්නේ ය.
එසේම කලා මාධ්‍යයන් කිහිපයකම තම ප්‍රතිභාව ප්‍රකට කළ සිනමාකරුවන් ලෝක සිනමා තුළ ඉතා විරලය. එවන් වූ සිනමාකරුවකු ඉන්දියානු සිනමාවෙන් බිහි වී විශ්ව සිනමාව තරණය කොට අවසානයේ දී විශ්ව සිනමාවේ අති දැවැන්තයකු සේ නැගී සිටියේ ය. ඒ අන් කවරෙකු වත් නොව, විශිෂ්ට ඉන්දියානු සිනමාකරු “සත්‍යජිත් රායි” ( Satyajit Ray 1921 – 1992 ) ය.
ඔහු හා ඔහුගේ දිවිපවත කෙබඳුද ?
1921 මැයි මස 02 වැනි දින කල්කටා නගරයේ දී මෙලොව එළිය දුටු රායි පාරම්පරික බ්‍රාහ්මණ පවුලකට අයත් විය. කුඩා සංදියේදී එනම්, 1923 දී සිදුවූ තම පියා වූ සුකුමාර් රායිගේ ( Sukumar Ray 1887 – 1823 ) අකල් මරණය කුඩා රායිට මහත් චිත්ත පීඩාවක් ගෙන දුන්නේ ය. මෙමගින් මහු හුදෙකලා බවින් පිරීගිය ලොවක තනි වූවේය. එනමුත් තම ඥාති සොහොයුරන් හා අසල්වැසි සම වයසේ මිතුරන් කුඩා රායිගේ ළමා ලෝකය පරිපූර්ණය කළේය. ඡායාරූපකරණයේ බොහෝ දේ ඔහු තම කුඩා සංදියේදීම නිවසේදී අත් වින්දේය. ඒ ඔහුගේ මාමණ්ඩියකු වූ නිතින් බෝෂ් ( Nitin Bose ) ජර්මනියට ගොස් ඡායාරූපකරණය හා සිනමාකරණය හදාරා තම මව්බිමට පැමිණ (බෙංගාලි) වාර්තා චිත්‍රපටකරුවකු වූ බැවිනි. මෙම ආභාෂය නිසාදෝ කුඩා රායි ද “මතුයම් දිනක තමා ද සිනමාකරුවකු වෙනවා” යැයි සිතමින් කල් ගෙවීය.
රායිගේ සීයා වූ උපේන්දර්කිෂෝර් රායි ( Upendrakishore Ray 1865 – 1915 ) ද සංගීතඥයකු, චිත්‍රශිල්පියකු,කවියකු හා පුවත්පත් කලාවේදියකු විය.එසේම බෙංගාලයේ පළමු ළමා සගරාව වූ සංදේශ් ( Sandesh ) හි සංස්කාරකවරයා ද වූයේ මොහුය.
රායි ට මූලිකව සිප්සතර කියාදෙන ලද්දේ තම මව වූ “සුප්‍රබා” ( Suprabha ) විසිනි. ඇය තම පුතුට ලෝක ඉතිහාසය, භූගෝලය,ගණිතය, හා ඉංග්‍රීසි භාෂාව යනාදී විෂයයන් මහත් ඕනෑකමින් ඉගැන්වූවාය.
කාලය ගෙවී යත්ම,ඈ තම පුතු උසස් අධ්‍යාපනය පිණිස බැලිගන්ජි හි රජයේ උසස් විද්‍යාලයට ඇතුළත් කළාය.1936 දී ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වූ රායි 1939 දී ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තේ ය. එනමුදු රායි පසුකලෙක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කීවේ ය.
“ආර්ථික විද්‍යාව මං පුදුමාකාර විදියට අප්පිරියාවක් දක්වපු විෂයයක්. ඒක අදටත් එහෙම්ම යි.”
රායි පාරම්පරික බ්‍රාහ්මීය පවුල් පරිසරයක ඇතිදැඩි වුවද, හෙතෙම බ්‍රහ්මණ ආගම, ඵහි වත්පිළිවෙත් යනාදිය පිළිබඳව දැඩි විවේචනයකින් පසුවූයේය. ( ඒ බව ඔහුගේ ඇතැම් චිත්‍රපට තුළින් ද දැකගත හැකිය – කර්තෘ. )
ඉක්බිතිව රායි කල්කටා ( එනම් නූතන කොල්කටා ) නගරයේ සිට කිලෝමීටර් දෙසියයක් පමණ දුරින් පිහිටි වංග මහාකවි රබින්දුනාත් තාගෝර්තුමාගේ ( Rabindranath Tagore 1861 – 1941 ) “ශාන්ති නිකේතනය” ( එනම් නූතන විශ්ව භාරතී විශ්ව විද්‍යාලය ) ඇතුලත්ව චිත්‍රශිල්පය හැදෑරීය. තාගෝර්තුමා හා රායි පවුල අතර දිගු කාලයක පටන් ඉතා සමීප මිත්‍රත්වයක් පැවතුණි. එහෙයින් රායිගේ මව තම පුතු ශාන්ති නිකේතනය වෙත යැවීමට එකපයින්ම තීරණය කිරීමට එම කාරණාව මූලිකවම බලපෑවේ ය.
ශාන්ති නිකේතනයේ දී රායි ලැබූ අධ්‍යාපනය ඔහුට බෙංගාලි ජනදිවියේ රිද්මය විනිවිද දකින්නට අවැසි බුද්ධිය වර්ධනය කර ගැනීමට මහත් සේ මහෝපකාරී විය. ( මෙය පසුකලෙක රායිට තම විචිත්‍ර සිනමා ගෛලය බිහිකර ගනුවස් මහත් සේ ඉවහල් වූ බව පෙනේ. – කර්තෘ. )
ශාන්ති නිකේතනයේ රායිගේ චිත්‍රකලා ගුරුවරයා වූයේ ප්‍රකට චිත්‍රශිල්පියකු වූ නන්දලාල් බෝෂ් ( Nandalal Bose ) ය. දිනක් ඔහු රායි ට මෙසේ කීය. “බුදුන්ගේ ප්‍රතිරූපය සාමාන්‍ය මිනිසෙකුනගේ ප්‍රතිරූපයට වඩා බෙහෙවින් වෙනස්. එය ධ්‍යානය පිළිබඳ සංකල්පයේ ප්‍රතිරූපය යි. නර්ථන ශිවගේ ප්‍රතිරූපය සර්වව්‍යාපී රිද්මය පිළිබඳ සංකල්පයේ ප්‍රතිරූපය යි.”
ශාන්ත නිකේතනයෙන් ලද අධ්‍යාපනයෙන් ඉක්බිතිව 1943 දී රායි කල්කටාවේ පිහිටි ඩී.ජේ ක්‍රේමර් නැමැති ප්‍රචාරක ආයතනයට බැදී ඵහි සහය සැලසුම් චිත්‍රශිල්පියකු ලෙස සේවය කළේ ය.ඔහුගේ මුල්ම වැටුප වූයේ රු 85 /= කි. තම රැකියාව මහත් උනන්දුවකින් හා මහත් කැපවීමකින් කළ ඔහු නොබෝ කලකින්ම එහි නිර්මාණය අංගයේ විධායක අධ්‍යක්ෂවරයා බවට පත්වීමට සමත්විය.
1950 දී රායිට තම ආයතනයේ ලන්ඩන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට මාරුවීමක් ලැබුණි. ඒ මාස තුනක් වැනි කෙටිකාලයක් සදහා ය. මෙම කෙටිකාලය තුළ දී ඔහු තම බිරිඳ වූ “බිජෝයා රායි” ( Bijoya Ray 1949 – 1992 ) සමගින් එතෙක් ලෝකයේ නිර්මාණය වුණු ශ්‍රේෂ්ඨ සිනමා කෘති නැරඹීමට ද අමතක නොකළේය. මෙම ශ්‍රේෂ්ඨ සිනමා කෘති සියල්ලෙන්ම තමා වඩාත් ආශ්වාදයක් ලැබූවේ ඉතාලි ජාතික මහා සිනමාකරුවකු වූ විටෝරියෝ .ඩී. සිකා ( Vittorio De Sica ) විසින් නිර්මාණය කරන ලද Bicycle Thieves – 1948 නැමති චිත්‍රපටය නැරඹීමෙන් බව පසුකලෙක ඔහු පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
මේ අතරතුර ලන්ඩන් නගරයේ දී රායි විසින් නිර්මාණය කරන ලද ප්‍රචාරක පෝස්ටරයක් බ්‍රිතාන්‍යය තුළ මහත් ජනප්‍රියත්වයකට පත්විය.මෙය ඔහුගේ ප්‍රචාරක නිර්මාණය කලාවට මහත් රුකුලක් වූ බව කියැවේ.
ඉක්බිතිව තම මව්බිමට පෙරලා පැමිණි රායි සිග්නට් ප්‍රකාශකයන්ට ( Signet Publisher’s – India ) පොත්කවර හා චිත්‍රපිටු නිර්මාණය කරන්නට පටන් ගත්තේ ය. මේ අතරතුර රායිට ප්‍රකට බෙංගාලි ජාතික නවකතාකරුවෙකු වූ විභූතිභූෂන් බැනර්ජිගේ ( Bibhutibhusan Benerjee 1894 – 1950 ) Pather Panchali නැමැති නවකතාව ළමුන් වෙනුවෙන් සංස්කරණය කොට එහි චිත්‍ර ඇදීමට අවස්ථාව උදාවිය. මෙම කාර්යයේ නිරතව සිටින කල්හි,මෙම නවකතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහුට සිත්විය. එපමණක්ද නොව මෙම කාර්යය නිමා වත්ම රායි මුලු තිරනාටකයම චිත්‍රසටහන් සේ සකස් කරගෙන ද තිබුණි.
මේ 1952 වර්ෂය යි.මෙකල්හි ශ්‍රේෂ්ඨ ප්‍රංශ ජාතික සිනමාකරුවකු වූ ජීන් රිනෝ ( Jean Renoir ) තමාගේ නවතම චිත්‍රපටය වනThe River හි රූගත කිරීම් සදහා බෙංගාල වෙත පැමිණ සිටියේ ය. මේ පිළිබඳව පසුකලෙක රායි Indian Today පුවත්පත්ට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙසේ කීය.
” තම නවතම චිත්‍රපටය සදහා අතිරේක නලු – නළියන් සොයමින් සිටින අවස්ථාවකදී රිනෝ මට මුණගැසුණි. බෙංගාල පරිසරයට හා මිනිස්සුන්ට ඔහු බොහෝ සෙයින් ඇලුම් කළේය. දිනක් ඔහු මට මෙසේ කීය. “චිත්‍රපටයකට මහ ගොඩක් බීජ යොදන්න ඕනේ නැහැ. ඔබ තෝරාගන්නා මූල බීජය ඉතා නිවැරදි විය යුතුයි. එසේම ඒවා ප්‍රකාශන ශක්තියෙන් පිරුණු ඒවාද වෙන්නත් ඕනෑ.” මෙය මට ප්‍රකාශනයේ සකසුරුවම්කම පිළිබඳව දුන් මහගු අවවාදයක් විය.”
සත්‍යජිත් රායි හා ඔහුගේ සිනමා කෘතීන් කෙබඳුද ?
Pather Panchali – 1955. රායිගේ කූලුදුල් චිත්‍රපටය විය.මෙමගින් බෙංගාලයේ දිවිගෙවූ අන්ත දුගී පවුලක ශෝකාන්තයක් එමගින් කියැවුණි. සුබ්‍රතෝ මිත්‍රගේ කැමරා අධයකෂණයෙන්ද, බන්සි චන්ද්‍රගුප්තගේ කලා අධයකෂණයෙන්ද , රවී ශංකර්ගේ සංගීතයෙන් හා දුලාල් දත්තගේ සංස්කරණයෙන්ද ඔපවත් වූ මෙහි ධාවන කාලය මිනිත්තු 115 කි.
මෙම චිත්‍රපටය දෙස් / විදෙස් සම්මාන කීපයකින්ම පිදුම් ලැබුවේය. ඒ 1955 දී නවදිල්ලි සම්මානය ,1956 දී ප්‍රංශයේ කෑන්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ ( Canes Intersectional Film Festival ) සම්මානය ( මෙය වූ කලි ඉන්දියානු චිත්‍රපටයක් අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද පළමු අවස්ථාව විය – කර්තෘ ) , 1956 දී කැනඩාවේ වැන්කුවර් සම්මානය , 1959 දී තෝකියෝ සම්මානය ,1960 දී ඩෙන්මාර්කයේ සම්මානය යි.
Aparajito – 1956. රායිගේ පළමු සිනමා කෘතියේ වූ බෙංගාලි ගම්මානය චිත්‍රනය කිරීමේ ප්‍රතිභාවට නොදෙවැනි ප්‍රතිභාවක් මෙහිදී බරණැස නගරයේ ජන ජීවිතයේ වූ ඉතා කටුක ඇතුළාන්තය චිත්‍රනය කිරීමේ දී රායි ප්‍රකට කර ඇත. අති සූක්ෂමව තෝරා ගත් වටපිටාවක සුබ්‍රතෝ මිත්‍රගේ කැමරාව සැරිසරා ඇති අතර බන්සි චන්ද්‍රගුප්තගේ ඉතා සියුම් කලා අධ්‍යක්ෂණය මීට මාර්ගෝපදේශය සපයා ඇත.මෙහිද සංගීතය රවි ශංකර්ගෙනි. මෙහි ධාවන කාලය මිනිත්තු 113 කි.
මෙම සිනමා කෘතිය ද අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් කීපයකදීම සම්මානයට පාත්‍ර විය.ඒ 1957 දී ඉතාලියේ වැනිස් අන්තර්ජාතික සිනමා උළෙලේ ( Venice Intersectional Film Festival ) සම්මානය ,1958 දී ප්‍රැන්සිස්කෝ හිදී ගෝල්ඩන් ගේට් සම්මානය, 1959 දී ඩෙන්මාර්කයේ දී හොදම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් පිදෙන සම්මානය යි.
Apur Sansar – 1958. ඕපූ ත්‍රිත්වයේ අවසාන චිත්‍රපටය වේ. ළමා සංදියේදීම නගරයට පැමිණ නවයොවුන් වියෙන් සමුගෙන සුලු සතුට පවා බැරෑරුම් ප්‍රශ්න මගින් යටපත් කරනු ලබන අති දුෂ්කරවූත් අති දුක්ඛදායකවූත් වගකීම් සහිත ජීවිතය පිළිබඳ අපූරු සිනමාත්මක විවරණයකි. මෙහිද කැමරාකරණය සුබ්‍රතෝ මිත්‍ර විසින් ද කලා අධයකෂණය බන්සි චන්ද්‍රගුප්ත විසින් ද සංගීතය රවි ශංකර් ( මෙම චිත්‍රපටය වූ කලි රවී ශංකර් විසින් රායිගේ චිත්‍රපටයක් වෙනුවෙන් සංගීතය සපයන ලද අවසාන අවස්ථාව විය – කර්තෘ ) සිදුකරන ලදි. මෙහි ධාවන කාලය මිනිත්තු 106 කි.
මෙම චිත්‍රපටය ඕපු ත්‍රිත්වයේ පරිසමාප්ත චිත්‍රපටය බව සිනමා විචාරකයන්ගේ මතය යි .
මෙයට ද 1958 දී ඉන්දියානු ජාතික සම්මානයද,1958 දී ඇමරිකාව විසින් පිරිනමනු ලබන හොදම විදේශීය චිත්‍රපටයට ( Best Foreign Film ) හිමි සම්මානය ද හිමිවිය.
Jalsaghar – 1959 .මෙම චිත්‍රපටය තුළින් රායි ඉන්දියානු ජන සමාජය තුළ අධිරාජ්‍යවාදය වඩ වඩාත් පෝෂණය කරනු පිණිස ඉවහල් වන ඉඩකඩම් හා අස්වැන්න තමන්ගේ පරම අයිතියක් සේ සැලකූ බ්‍රහ්මීය පරපුරක මනෝභාවය මැනවින් නිරූපණය කරයි. මෙහිද කැමරාකරණය සුබ්‍රතෝ මිත්‍ර විසින් ද කලා අධයකෂණය බන්සි චන්ද්‍රගුප්ත විසින් ද සංගීතය පළමුවරට විලායන් ඛාන් විසින් ද සිදුකරන ලදි. මෙහි ධාවන කාලය මිනිත්තු 100 කි.
Dive – 1960 . මෙය වූ කලී ඉන්දියානු සම්මත හින්දුවාදයේ දිරාපත් වූ වටිනාකම් කෙරෙහි වූ රායිගේ විරෝධාකල්පය මැනවින් ප්‍රකට වන චිත්‍රපටයකි.මෙහිද කැමරාකරණය සුබ්‍රතෝ මිත්‍ර විසින් ද කලා අධයකෂණය බන්සි චන්ද්‍රගුප්ත විසින් ද සංගීතය පළමු වරට අලි අක්බාර් ඛාන් විසින් ද සිදුකරන ලදි. මෙහි ධාවන කාලය මිනිත්තු 93 කි.
මෙයට 1961 දී ඉන්දියානු ජනාධිපති ස්වර්ණ සම්මානය හිමිවිය.
Charulatha – 1964.මෙය වු කලී වික්ටෝරියානුවාදී ඉන්දියානු ජන සමාජයේ දිවිගෙවූ සංවේදී හා හුදෙකලා වූ ගැහැණියක් අවසානයේ දී පරදාර සේවනයට යොමු වන ආකාරය දක්වන සිනමාත්මක කියැවීමකි.. මෙහිද කැමරාකරණය සුබ්‍රතෝ මිත්‍ර විසින් ද කලා අධයකෂණය බන්සි චන්ද්‍රගුප්ත විසින් ද සංගීතය රායි විසින් ද ( මෙය රායි විසින් තමාගේ චිත්‍රපටයකට සංගීතය අධයකෂණය කරන ලද පළමු අවස්ථාව විය.- කර්තෘ ) සිදුකරන ලදි. මෙහි ධාවන කාලය මිනිත්තු 117 කි.
මෙම චිත්‍රපටය වෙනුවෙන් 1965 බර්ලීන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී ( Berlin Intersectional Film Festival ) හොදම අධ්‍යකවරයාට හිමි සම්මානය ( මෙය වූ කලී ඉන්යානු චිත්‍රපට අධ්‍යක්ෂ වරයකු මෙම සම්මානය හිමි කරගත් පළමු අවස්ථාව විය – කර්තෘ ) ද,1970 දී ජනාධිපති වර්ණ සම්මානය ද හිමිවිය.
Aganthuk – 1991. මෙම චිත්‍රපටය රායිගේ අසිරිමත් සිනමා චාරිකාවේ අවසන් චිත්‍රපටය යි. අනපේක්ෂිත මොහොතක නිවසට පැමිණි ආගන්තුකයකු පිළිබඳ ඇතිවන කුතුහලයත් සැකයත් අතර සිදුවන සිද්ධීන් සමුදායක් මැදින් දිවයන මෙම චිත්‍රපටය “ශ්‍රේෂ්ඨ චිත්‍රශිල්පියකුගේ තෙලිතුඩින් සිතුවම් වූ මාහැගි සිතුවමක්” යැයි ප්‍රකට ඉන්දියානු සිනමාකරුවකු වූ මිර්නාල් සෙන් ( Mrinal Sen ) වරක් පවසා ඇත. මෙය චිත්‍රාගාරයක් තුළ බිහි වූ රායිගේ එකම චිත්‍රපට වේ. මෙහි කැමරාකරණය බරුන් රහා විසින් ද කලා අධයකෂණය අශෝක් බෝෂ් විසින් ද සංගීතය රායි විසින් ද සිදුකරන ලදි.මෙහි ධාවන කාලය මිනිත්තු 100 කි.
සත්‍යජිත් රායි හා ඔහුගේ සිනමා ශෛලිය කෙබඳුද ?
රායිගේ සිනමා ශෛලිය තුළ අන්තර්ගත යට වඩා විලාශය වැදගත්කමක් දරන්නේ යයි යන සමස්ත මතය සමග රායි කිසිවිටෙකත් එකඟ නොවන්නේ ය. මීට ප්‍රධාන හේතුව වශයෙන් ඔහු ගෙනහැර දක්වන්නේ … “කිනම් හෝ කලාකරුවකුට තම අන්තර්ගතය තෝරා ගැනීමට කිසිවකුටත් බලපෑම් කළ නොහැකි වන අතරම අන්තර්ගතය අවශ්‍ය විලාශය තුළින්ම ඉල්ලා සිටින්නක් විනා ඊට බැහැරව හිද ඒ දෙස බලන්නකුගේ අවශ්‍යතාවය සංසිදවන්නක් නොවන බවයි.”
එනමුත් ඉන්දියානු සිනමා විචාරකයන් පවසන්නේ … ” ඉන්දියානු වර්තමාන සමාජ යථාර්තය තේරුම් ගැනීමට රායිගේ සිනමා ශෛලිය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එසේත් නැතිනම් ඔහු එය තමාගේ සිනමා නිර්මාණයන්ට උකහා ගත්තේ ඉතා මන්දගාමීව බවත් ය.”
මෙම චිචාර හමුවේ තමාගේ සිනමා ගෛලය වෙනස් කර ගැනීමට රායි කිසිවිටෙකත් වෙර නොදැරීය. මේ පිළිබඳව ඔහු මෙසේ කියයි.
“අද ඉන්දියානු සිනමාව වැඩිපුරම අවශ්‍ය වන්නේ සුන්දරත්වය, විචිත්‍රත්වය නොව, පරිකල්පන ශක්තියෙන් යුත් තම මාධ්‍යට අවංක,බුද්ධිමත් වගේම සිනමා මාධ්‍යයේ සීමා මායිම් හරිහැටි තේරුම් ගත් අන්තර්ගතයේ හා ශෛලිය දැඩි රීතියක් ඇති අධ්‍යක්ෂවරුන් බවයි “
සමස්තයක් වශයෙන් ගත් කල්හි අභ්‍යන්තරික භාවයත් අකාලික පුරාණෝක්තිමය භාවයත් රායිගේ සිනමා ශෛලියට ලැබී ඇත්තේ, ඔහු ආසියානු සිනමාව පිළිබඳ කතාබහ කරද්දී සදහන් කළ, චිත්තවේගී ප්‍රකාශනය මැඩ පවත්වා ගැනීමේ ක්‍රියාවලියක් වෙතින්ම ය.
1989 සැප්තැම්බර් මස 27 වැනි දින රායි විසින් ප්‍රකට ඉන්දියානු සිනමා විචාරකයකු වූ චිදානන්ද දාස් ගුප්ත ( Chidananda Das Gupta ) වෙත යවන ලද ලිපියක මෙසේ සදහන් වේ.
……” මා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස වර්ධනය වීමේදී භාරතීය කලා සම්ප්‍රදාය මා හට කිසිසේත් බලපෑවායි මම නොසිතමි …… සිනමාව යනු බටහිර නිර්මාණයකැයි මම තරයේ අදහමි. එහි කලා අංශය කාලය සමග සම්බන්ධව පවතින්නේය යන සංකල්පය සියවස් ගණනාවක් මුළුල්ලේම පැවතුණි. භාරතීය සංස්කෘතිය තුළ මෙවැනි සංකල්පයක් නැත. මා සිනමාකරුවකු ලෙස යම් සාර්ථකත්වයක් වී නම්, ඊට හේතුව මා බටහිර කලාත්මක සාහිත්‍යයික හා සංගීත සම්ප්‍රදායයන් හොදින් අධ්‍යයනය කර සිටීම ය. ඉන්දියානු ජන ජීවිතය පිළිබඳ මගේ නිරීක්ෂණයද ඊට එක් කළ විට මගේ වට්ටෝරුව සම්පූර්ණ වන්නේ ය.” ( The Cinema Of Satyajit Ray – 1994 /P 192. )
රායිගේ චිත්‍රපටවල නවීන ලක්ෂණ ද බෙහෙවින් හදුනාගත හැකිය. ඕපූ ත්‍රිත්වයේ ගැටවර ඕපූ සාම්ප්‍රදායික ගමක හිද නූතන අධ්‍යාපනය වෙත ගෙන යයි. දේවි හා ගණශත්‍රැ අන්ධ විශ්වාසයේ බියකරු බව විද්‍යාමාන වේ. මහා පුරුෂ් හා ජොයේ බාබා ෆෙලුනාත් භාරතීයේ දේව විශ්වාසයන් කරපින්නා ගෙන ඉන් ලෝකය දකින මිනිස්සුන් හාස්‍යට ලක් කරයි. මෙම ලයිස්තුව දිගුය. ඔහුගේ දීර්ඝ වෘත්තීය සිනමා චාරිකාව මුලුල්ලේ සෑම පියවරක් පියවරක් පාසාම දහනමවැනි සියවසේ වංග පුනරුදය බෙහෙවින් විද්‍යාමාන වේ. පුනරුදයේ බුද්ධිවාදයත් “විද්‍යාත්මක ස්භාවය” වර්ධනය කළ යුතුය යන්නත් ඔහුගේ සිනමා සිත්තම් වල ඉතා සිහින්ව යටින් දිවයයි.
එපමණක්ද නොව, රායි තමා තෝරා ගන්නා ලද සාහිත්‍යය කෘතියේ රිද්මය තම නිර්මාණය තුළින් එලෙසම පවත්වාගෙන යාමට බෙහෙවින් වෙහෙසුණි ( මෙයට රිනෝ දුන් ඔවදන තදින්ම බලපාන්නට ඇතැයි යනු මගේ පෞද්ගලික විශ්වාස යි – කර්තෘ ). මෙයට ඕපූ ත්‍රිත්වය කදිම නිදසුනකි. එසේම දේවි චිත්‍රපටයේදී ඔහු ඊට වඩා බොහෝ සෙයින් පහළ මට්ටමක සාහිත්‍යය කෘතීයක් ගෙන, එය තම මට්ටමට රැගෙන ඒම සදහා එහි ආධ්‍යාත්මික හා කලාත්මක ගුණය වැඩදියුණු කිරීම තම පරම යුතුකමක් යයි සලකනු ලැබීය. චිත්‍රපටයේ වේදයිතය සදහා ඔහුට සාහිත්‍යය කෘතීයේ කර්තෘ කෙරෙහි රදා පැවතීමට කිසිවිටෙකත් අවශ්‍ය නොවීය. මෙහිදී හෙතෙම සරල වංග කථාව කියවූ පාඨකයන්ට අසීමිතව දැනෙන මට්ටමක සාර්ථකත්වයක් ලැබීය. හින්දු ජන සමාජයේ චින්තන ක්‍රිමයේ ඇති සර්වත්‍රිකත්වයද තාර්කිකව ඔප්පු කළ නොහැකි පාරම්පරික විශ්වාස කෙරෙහි ඇති නැඹුරුව ද ආත්ම වංචනය හදුනාගැනීමට අවශ්‍ය ස්වයංඥානය නොමැති බව ද එම ආත්ම වංචනය ආගමික ඇදහිල්ල වෙත යොමු කිරීම වැලැක්වීමට අසමත් බව ද යන මුඛය කරුණු කාරණා අවධාරණය කිරීම සදහා ඔහු එම කථාව මත විධිමත් බවක්, කිසියම් වූ රටාවක් හා දුරස්ථ භාවයක් රෝපණය කළේය.
සියල්ල සමස්තයක් වශයෙන් ගත් කල්හි රායි තමා කරන්නේ කුමක් ද ? ඒ මක්නිසාදයත් ? යන්න පිළිබඳව අතිශයින්ම දැණුවත් වූ සිනමාකරුවකු වූයේය.ඔහු ඉතා සූක්ෂම අන්දමින් සැලසුම් කිරීමට ඉතා වැදගත් තැනක් දුන් අතර, ක්ෂණ නිර්මාණය අවම මට්ටමක තබා ගත්තේ ය.
තමාගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව තම හෘදයාබාධයත් සමග අතහරින ලද රායි …දශක ගණනාවක් මුළුල්ලේ සිට තම අමරණීය කල්කටාව බොඳවූ සිහිනයක් බවට ක්‍රමක්‍රමයෙන් පත්වන බව දැනෙත්ම ඔහුගේ හදවත මිනිසා හා බාහිර ලෝකය අතර පවත්නා සම්බන්ධ නොව යථාස්වභාවය තෝරා බේරා ගැනීමට සත්‍ය ක්‍රියාවක නිමග්න වූයේ … අරුණෝදයත් සමග නැගෙන නානාවිධ කුරැල්ලන්ගේ මිහිරි නාද,දසත ගලා හැලෙන ජලධාරා,හිමිදිරි පාන්දර ගෙමිදුල ඇමැඳ උයාපිහා ලහිලහියේ කුඹුරු වෙත පියනගන ගෙවිලියෝ, අකුරට යන බාල ළමෝ,සැන්දෑ කරුවල ගලා හැලෙත්ම නැග එන පාරුකරුවන්ගේ මිහිරි ගී නද, දුගීපැල්පත්වල පිදුරු සෙවිලි අතරින් ගුවනට මුසුවන දුම්රොටු යනාදී තම සංකේතාත්මක බෙංගාලි සෞන්දර්යාත්මක චාරිකාවක ඔහු මියැදෙන තුරුම නියැලී සිටියේ ය.
සිනමාකරණයේ ආසියානු පුනරුදය වූ රායි නැගී සිටියේ මිලියන දාහක පමණ අතිමහත් ජනතාවකට සැබෑ ජීවිතයන් පලා යන්නට සිහින නිෂ්පාදන කළ අති දැවැන්ත ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධවය. මෙම අරගලයට තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඔහු පුරා තිස්හය වසරක් ( 1955 – 1991 ) නොකඩවා සහභාගී විය.
රායි ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ ශ්‍රේෂ්ඨ ඉන්දියානු සිනමාකරුවකු ලෙසිනි. එනමුත් හෙතෙම ප්‍රතිභාසම්පන්න ලේඛකයකු බව දන්නේ කීපදෙනෙකු පමණි. ඔහු සාහිත්‍යය කෘතී විස්සකට ආසන්න සංඛ්‍යාවක් රචනා කළේය. ඒවා අතර The Adventures of Feluda,Twenty Stories, The Emperor’s Ring,The incredible Adventures of Professor Shonku , My Years with Opu ( මතක සටහන් ) යනාදී කෘතින් ප්‍රධාන තැනක් ගනී.
රායි විසින් තම අසිරිමත් සිනමා චාරිකාව තුළදී නිර්මාණය කරන ලද චිත්‍රපට පිළිවෙලින් මෙසේය.
1.Pather Panchali ( මාවතේ ගීතය ) – 1955.
2.Aparagito ( අපරාජිතෝ ) – 1956
3.Parash Pathe ( දාර්ශනිකයාගේ පාෂාණය ) – 1957
4.Apur Sansar (අපූර්ගේ ලෝකය ) – 1958
5.Jalsaghar ( සංගීත කාමරය ) – 1959
6.Devi ( දෙවගන ) – 1960
7.Teen Kanya ( දියණියන් තිදෙනා ) – 1961
8.Kanchenjungha – 1962
9.Abhijan ( විශේෂ චාරිකාව ) – 1962
10.Mahanager ( මහා නගරය ) – 1963
11.Charulata ( චාරුලතා ) – 1964
12.Kapurush – O – Mahapurush ( බියගුල්ලා හා ශ්‍රද්ධාවන්තයා ) – 1965
13.Nayak ( නායකයා ) – 1966
14.Chiriakhana (සත්වෝද්‍යානය) – 1967
15.Goopy Gine Bagha Byne ( ගෝපිගේ හා බසාගේ වීර ක්‍රියා) – 1968
16.Aranyer Din Ratri ( වසන්තයේ රාත්‍රීය හා දවාල ) -1969
17.Pratidwandi ( ප්‍රතිවාදියා ) – 1970
18.Seemabaddha ( සීමාසහිත සමාගම ) – 1971
19.Asani Sanket ( ඈත හෙණ හඩ ) – 1973
20.Sonar Kella ( කසුන් බලකොටුව ) – 1974
21.Jana Aranya ( අතරමැදියා ) – 1975
22.Shatranj Ke Khilari ( චෙස් ක්‍රීඩකයෝ ) – 1977
23.Joi Bara Felunath ( හස්ති දෙවියා ) – 1978
24.Hirak Rajar ( දියමන්ති රාජධානිය ) – 1980
25.Ghare Baire ( නිවහන හා ලෝකය ) – 1984
26.Ganashatru ( ජනහතුරා ) – 1989
27.Saka Prosaka ( ගසක අතු ) – 1990
28.Argantuk ( ආගන්තුකයා ) – 1991
මෙම වෘතාන්ත චිත්‍රපට වලට අමතරව රායි විසින් කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සැලකිය යුතු සංඛ්‍යාවක් නිර්මාණය කර තිබේ.
රායි විසින් දිනා ගන්නා ලද දෙස් / විදෙස් සම්මාන හා ගෞරව උපාධි පිළිවෙලින් මෙසේය.
1.මැග්සයිසේ සම්මානය – 1967.
2.යුගෝස්ලාවියානු රතු තරුව – 1971.
3.නව දිල්ලි විශ්ව විද්‍යාලයෙන් පිරි නමන ලද ගෞරව ආචාර්ය උපාධිය -1974.
4.ශ්‍රී පද්ම භූෂණ සම්මානය -1976.
5.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පිරි නමන ලද ගෞරව ආචාර්ය උපාධිය – 1978.
6.බ්‍රිතාන්‍ය සිනමා පදනමෙන් පිදූ ගෞරව සම්මානය – 1983.
7.කල්කටා විශ්වවිද්‍යාලයෙන් පිරි නමන ලද ගෞරව ආචාර්ය උපාධිය. – 1985.
8.සෝවියට් දේශයේ රාජ්‍ය සම්මානය – 1985.
9.ප්‍රංශ රාජ්‍ය සම්මානය -1988.
10.සිනමාව උදෙසා තම ජීවිතය කැප කිරීම වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඔස්කාර් සම්මානය
( Lifetime achievement Oscar Award ) –
1992.
11.භාරතරත්න සම්මානය – 1998.
අපරදිග කාර්මික විප්ලවයේ ප්‍රථිපලයක් ලෙස බිහි වූ සිනමාව තම දේශයේ අනන්‍යතාවයට සරිලන සේ සකස්කර ගනු පිණිස තම ජීවිත කාලයම කැපකළ “විශ්ව සිනමාවේ අපරාජිත සොදුරු ආගන්තුකයා” වූ සත්‍යජිත් රායි 1992 අප්‍රේල් මස 02 වැනි දින කල්කටා නගරයේ පිහිටි තම නිවහනේ දී හෘදයාබාධයක් වැළඳී සදහටම තම දෙනෙත් පියා ගත්තේ ය.
“සිනමාව යනු රූපයයි.සිනමාව යනු වචනයයි.සිනමාව යනු නාටකීය භාවයයි. සිනමාව යනු සංගීතයයි සිනමාව යනු කලාවයි.සිනමාව යනු දහස් සංඛ්‍යාත සියුම් දෘෂ්‍ය විස්තර ඇතුලත් අනගි ප්‍රකාශනයයි.”
- සත්‍යජිත් රායි
Greatest Japanese Film Maker Akira Kurosawa Says …
“The quiet but deep observation, understanding and love of the human race which and characteristic of all his films,have impressed me greatly, mr,Ray is a wonderful and respectful man. I feel that he is a “giant” of the movie industry.”
ආශ්‍රිත ග්‍රන්ථ ——–
1.A Portrait of a Director ” Satyajit Ray
by Marie Seton – 1971
2.Our Films their Films
by Sathyajth Ray – 1976
3.Satyajit Ray the lnner Eye
by Andrew Robinson – 1989
4.The World of Sathyajth Ray
by Bidyut Sarkar – 1992
- My Year With Apu
by Satyajit Ray – 1993 - 6.The Cinema of Satyajit Ray by
Chidananda Das Gupta -1994 - 7.The Apu Trilogy by Satyajit Ray – 1996.