බානු මුෂ්ටාක් කර්නාටක වැසි, කන්නඩ සුහුරු ලේඛිකාවක්. බානුගේ දෙපා තිබුණේ, භූගෝලීය වශයෙනුත් සාහිත්‍යයික වශයෙනුත් විචිත්‍ර බිමක වුණත් ඇය අයත් මුස්ලිම් ජනසමාජය තුළ දිවිගෙවීම එවකට කාන්තාවකට සාමාන්‍ය ලෙසින් සහ සාහිත්‍යයික ලෙසින් අසීරු වූ බව, ඇගේ පා දිවූ බිම ගැන මේ වනවිට පළකෙරෙන බොහෝ ලිපිවල ඇතුළත් වනවා. ඒ පසුබිම විසින්ම ඇයව activist කෙනෙකු කළා වන්නට පුළුවන්. ඇයව ස්ත්‍රීවාදිනියක කළා වන්නට පුළුවන්.
කාන්තාවන් ඇසුරින් බිහිවූ ජනකතා, කටින්කට කියාගෙන ආ පරම්පරාවේ කතා, ලෝකයට නොකියා නිවසේ පමණක් තියාගත් කතා, තමන්ටම කියාගන්නා විලාප සහ ආත්ම කථන වැනි කතා සහිත කෙටිකතා Heart Lamp කෘතියෙන් හමුවෙනවා.
නමුත්, කෘතිය ගැන අපට පැහැදිලිව පෙනෙන මුල්ම කරුණ වන්නේ, බානුගේ කෙටිකතා එකම තලයේ, එකම විදියේ දැක්මකින්, එකම තේමා වටා ගොඩනැගී තිබීමයි. එකම රවුම වටේට එක තැන කැරකෙමින් කතා කියවන්නට සිදුවීමයි. එය නීරසයි, විටෙක ආයාසකරයි.
බානුගේ බස
මේ මොහොතේ අරුන්දතී රෝයිගේ චරිතාපදානයට එළඹෙනු රිසින් ඇගේ ම Azadi නම් ලිපි එකතුව මා කියවමින් සිටිනවා. ළමා කාලයේ පටන් ලේඛිකාවක, activist කෙනෙකු දක්වා ආ ගමන තුළ සැලකිය යුතු අන්දමින් තම භාෂාව ඒ ඒ විශයේදි වෙනස් වූ ආකාරය සහ එකක් අනෙකට බලපෑ ආකාරය ගැන ඇය කියනා එහි මුල් ලිපිය (”In what language does rain fall over tormented cities?”), මෙන්ම ඒ හා බැඳුණු සමාජ දේශපාලන කාරණා, අපට බානුගේ භාෂාව වුව මෙලෙසින්, එක එල්ලේ කීම, එකම තලයක පිහිටීම, වර්ණනා අවමවීම සහ බොහෝවිට වාර්තා සොබාවක් ගැනීම ගැන සිතන්නට පිටිවහලක් සපයනවා.
බානුගේ භාෂාව සෘජු සහ සරල රටාවක්, ඇය භාෂාවෙන් කරණම් ගසනා කෙනෙකු නොවනා බව ඇත්තක්. ඒ භාෂාව ඇයට ආවේ, ඇගේ සමාජ භූමිකාව ඔස්සේ වන්නට පුළුවන්. නමුත්, කතුවරියක වශයෙන් ඇයව කියවීමේදී ඇගේ අනන්‍යතාව නිරූපණය වන ලෙසින් අරුම විස්මපත්වන තැන් ඇත්තේ ඉතාම සීමිතවයි. කෘතියේ එන පළවෙනි කතාවේ (Stone slabs…) මුල්ම ඡේදය ඇගේ බසට මනා නිදසුනක්. හොදින් මුවහත් කර ඇත්තා සේම මනා පරිචයකින්, සියුම්ව වියා තිබෙන කතාත් තිබෙනවා. ඒවා ඇගේ කෙටිකතා කලාවේ අනන්‍යතාව කියාපානවා.
කාලයක් තිස්සේ ලියූ කතා පොතක් කිරීමේ සාධකය
Heart Lamp සඳහා සංගෘහිත කර ඇත්තේ, 1990 සිට 2023 දක්වා වසර 30කට වැඩි කලක් තිස්සේ ලියූ කතාවලින් තෝරාගත් කතා එකතුවක් ලෙසිනුයි. මේ කාලයේ වෙනස, මෙහි එන කතාවලදි පැහැදිලිව පෙනෙනවා. කෘතියේ එන මුල්ම කතාවයි, අවසාන කතාවයි(be a woman once) වෙනස්ම දෙන්නෙක් ලිව්වා සේ දැනෙන්න හේතුව මෙයයි. මුල්ම කතාව ඉතාම ප්‍රගතිශීලිව සිතන, නූතන ලියන්නියක් නැත්නම් ලිව්වා සේ දැනෙනන්ටත්, අවසාන කතාව, සිතිවිලි විලාපයක් එලෙසම ලියනා හැඟීම්බර අයෙකු ලිව්වා සේ දැනෙන්නටත් හේතුව මෙයයි. ඇතැම් කතා සංස්කරණ වට ඉල්ලා සිටිනවා. ඇතැම් සිද්ධි වවන්න සුදුසුයි. කතා අතලොස්සක් සැබෑ උත්සාහයකින් මහන්සියකින් විචිත්‍ර චරිත නිමාවකින් ලියා තිබුණත්, ඇල්මැරුණු බවක් පොදුවේ දකින්න ලැබෙනවා.
පුරුෂයන්ව තොණ්ඩුවේ නොඑල්ලන බානු
ඇය activist කෙනෙකු වෙලාත්, පුරුෂයාගේ පැත්තෙන් සිතා කරන ලිවීම් (Red Lungi, Fire Rain, A decision of the Heart) මෙහි දකින්න ලැබෙනවා. ‘පිරිමි එපා – ගැහැනු විතරයි’ වැනි අදහස් ඇයට නැහැ. පිරිමි සිතිවිලි පවා සාධාරණීකරණය කරනවා. සමබර කරනවා. එය සාධනීය ලකුණක්.
බානුගේ තවත් විශේෂයක් වන්නේ, කාන්තාවන් පිටතට පෙන්වන දේ සහ සැබෑවටම සිතන දේ වැනි ඉතාම සූක්ෂම දේ කුඩා වැකියකින් ඉදිරිපත් කිරීමයි.
- A taste of heaven – වැඩිහිටියන්ගෙ මුරණ්ඩු හැසිරීම්
- Heart Lamp – ගැහැනු ගැන ස්ත්‍රීවාදී අදහස්වලින් හිතන විදි( lamp එකේ සංකේතය තියලා යනව, කතාවට බද්ධ කරන බවක් පෙනෙන්නෙ නෑ)
- The Arabic Teacher – මවකගේ සැබෑ සිතුවිලි ගෙන එන තැන්
අවසාන වශයෙන්, ඔබේ හිස මත පැටවෙන පීඩාව දරාගන්න
මේ කෙටිකතා එක පිම්මේ කියවාගෙන යා නොහැකියි. අව්වෙන් බැට කන කාන්තාරයක් සේ වියළියි. එකම දේ එකම විදියට කැරකීමේ පීඩාවට කියවන්නාට යටත්වෙන්න සිද්ධවෙනවා. කියවීමෙන් අපේ හිසටත් ඒ අදහස් බෝවෙන්නට ඉඩ තියෙනවා. ඔලුවෙ පැටව්ගහන්නට ඉඩ ඇති බව දැනගෙන ඒ අවදානමෙන් මිදෙන බවට පිළිණ දීගෙන කියවන්න.