ලංකාව නම් කුමක්ද යනුවෙන් ප්‍රශ්නයක් නැගූ විට ඊට මෙවැනි පිළිතුරක් දිය හැකිය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන දරුවන්ගෙන් සියයට 20කට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. එය තහවුරු කරන එහි සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසුවේ දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවයි. එහි පුරවැසියන්ට වරින්-වර දුක්වෙමින්, නැවත ජීවිත සටන අස්සේ අමතක වන මෙවැනි කතා රැසකි.
මධ්‍යම කඳුකරයේ සිට සිව්දෙසට ගලාබසින ගංගා 102ක් ලංකාව පෝෂණය කරයි. ගොඩබිම මෙන් අට ගුණයක මුහුදක් හිමි ය. ආසියාවේ පොහොසත් ම පරිසර පද්ධතියක් රට පුරා පැතිර පවතී. ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත ඛනිජ වර්ග සහිත නිධි නැගෙනහිර වෙරළ පුරා විහිදී පවතී. එහි පුරවැසියන්ට ආඩම්බර වන්නට පපුවට ගසාගන්නට මෙවැනි හේතු ද රැසකි.
දුක් වී, ආඩම්බර වී අමතක කරන්නට නොහැකි තවත් කතාවකි, මේ.
‘2022 වර්ෂය අවසානයේදී වාර්තා වූ රජයේ මුළු වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 27,281. 161කි. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 4,803. 799කි. එනම් වත්කම් සහ වගකීම් අතර වෙනස රුපියල් බිලියන 22,477. 362කි.’
මේ, 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සකස් කරන ලද මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඇතුළත් කළ වාර්තාවේ සඳහන් දත්ත ය. එය නිකුත් කරන ලද්දේ 2023 වසරේ ජූලි මාසයේ ය. එහෙත් මෙතෙක් එවැන්නක් මාධ්‍ය මගින් ජනතාවට කිව්වේ නැත.
මේ ජනතාවට වැඩක් ඇති තොරතුරක් ද ? පෙට්‍රල්, පාන්, ගෑස් මිල ඉහළ යෑම, ආණ්ඩුවෙන් සහනාධාරයක් දීම, රජයේ සේවකයන්ගේ වැටුප් පෙට්‍රල් ලීටර් 12කින් හෙවත් රුපියල් 5,000කින් ඉහළ දැමීම තරම් මෙය වැදගත් ද?
මේ ඉලක්කම් ටිකේ සරල තේරුම මෙයයි.
නිවසට පිඟානක් මිලට ගත් විට, එහි තත්ත්වය හෝ මිල හෝ ණයට හෝ කෙසේ වෙතත්, එය මිලට ගත් විගස කැඩුණත්, අඩු තරමේ කටු ටික පෙනෙන්නට තිබිය යුතුය. එසේ ම රටක ද වියදම් කළ මුදල, වියදම් කළේ කුමක් සඳහා ද යන්න පැහැදිලි විය යුතුය. ඉහත මුදල් අමාත්‍යංශ වාර්තාවට අනුව රුපියල් බිලියන 27ක ණය මුදලක් ගෙන ඇත. එම මුදල්වලින් මිලට ගත් හෝ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති ලෙස පෙනෙන්නට තිබෙන ඒවායේ වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වේ. එනම්, රුපියල් බිලියන 22කට කුමක් සිදුවූයේද යන්න පැහැදිලි නැත.
මතක තබාගන්න, මේ රුපියල් බිලියන 22ක් ගැන කතාවකි.
2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු කටයුතු, එනම් ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ, මැතිවරණ රාජකාරිවල සිට සියලු වියදම් සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 10කි. මේ කියන්නේ එමෙන් දෙගුණයක් ගැන ය. 2022 වසර පුරා මෙරටට සීනි ආනයනය කිරීමට වැයකර ඇති මුදල රුපියල් බිලියන 8කට ආසන්න . තිරිඟු පිටි සඳහා රුපියල් බිලියන 10කට ආසන්න ය. මෙහි රුපියල් බිලියන 22කට සිදුවූ දෙයක් නැත.
රජයේ සේවකයන්ගේ වැටුපට ජනවාරි මාසයේ සිට එකතු කළ රුපියල් 5,000 දීමනාව සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 6ක අමතර වියදමක් දැරීමට සිදු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබිණි. එනම්, තවත් එවැනි දීමනා 3ක් මෙවැනි මුදලකින් සමස්ත රජයේ සේවකයන්ට ගෙවිය හැකිය.
‘සමාලෝචිත වර්ෂය තුළදී තැන්පතු හා වගකීම්වල ශුද්ධ වෙනස්වීම් ලෙස රුපියල් 294,583,038,486ක් ඒකාබද්ධ අරමුදලින් ඉවත්කිරීමක් ලෙස සටහන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (1) ව්‍යවස්ථාව සමග ගැටෙන බව නිරීක්ෂණය විය.’
අදාළ විගණන වාර්තාවේ සඳහන් මෙම කරුණට සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (1) වගන්තිය මෙසේ ය.
‘මේ ව්‍යවස්ථාවේ (3) අනුව්‍යවස්ථාවේ සහ (4) අනුව්‍යවස්ථාවේ ප්‍රකාශිතවම විධිවිධාන සලසා ඇති පරිදි හැර මුදල් විෂය බාර ඇමතිවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක අධිකාරය අනුව මිස ඒකාබද්ධ අරමුදලෙන් කිසිම මුදලක් ඉවත් කරගත නොහැක්කේය.’
ඒකාබද්ධ අරමුදල යනු නියමිත ලෙස මෙම කාර්යයට වියදම් කළ යුතුය යනුවෙන් වෙන්කර නැති සියලු බදුල වරිපනම් ඇතුළු රජයේ ආදායම් එකතු වන තැනයි. මෙවැනි නිශ්චිත වගකීමකට අදාළ තොරතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. සුප්‍රකට වෝටර්ස් ඒජ් නඩු තීන්දුවේ සඳහන් වන්නේ මහජන විශ්වාසය බිඳවැටීම යනු නීතියේ පාලනය බිඳවැටීම බවයි. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ද, කිසිවකුගෙන් මෙතෙක් ප්‍රශ්න කිරීමක් හෝ සිදු වී නැත.
අදාළ වාර්තාවට අනුව මෙම වර්ෂය තුළ ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් මිලියන 11,700. 6ක් විය. ගිණුම්ගත නොකළ විදේශ ණය ලෙස සඳහන් වූ විගස ඔබට මතක්වන්නේ කුමක්ද? අසාර්ථක සහ දැවැන්ත පරිසර හානියක් සිදු කළ ව්‍යාපෘති සම්බන්ධයෙන් වූ සාකච්ඡා ය. ඒවායේදී වැඩියෙන්ම කියන්නේ සම්පූර්ණ මුදල වියදම් වී නැති බවකි. එහෙත් කෝ ඉතුරු සල්ලි කියන ප්‍රශ්නයට ද උත්තරයක් නැත. ජපානයේ ජයිකා ආයතනය කොළඹ මොනෝ රේල් ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවීමට හේතු වූයේ වියදම් සම්බන්ධයෙන් පාරදෘෂ්‍යභාවයක් නොවීමයි.
සමහර විදේශ ණය පුරුද්දක් ලෙස ගිණුම්ගත නොකරන බව ද එමගින් අවධාරණය කර ඇත.
‘වර්ෂය තුළ ආපසු ගෙවන ලද ණය වාරිකවල වටිනාකම රුපියල් මිලියන 348,629ක් වුවද, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයට අනුව එය රුපියල් මිලියන 358,504ක් ලෙස සටහන් විය. එනම් රුපියල් මිලියන 9,874ක වෙනසක් නිරීක්ෂණය විය.
‘2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය නොවන වත්කම්වල මුළු වටිනාකම රුපියල් මිලියන 1,850,007ක් වුවද, 2022 ජනවාරි 01 දිනට එම වටිනාකම රුපියල් මිලියන 1,802,121ක් ලෙස ආරම්භක ශේෂය රුපියල් මිලියන 47,886ක් අඩුවෙන් දක්වා තිබිණි.
‘මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදු කළ යුතු නියැඳි පරීක්ෂාවක් මත ලබාගත් තොරතුරු අනුව 2022 වර්ෂය තුළදී මහා භාණ්ඩාගාරයේ දැනුවත්වීමකින් තොරව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ව්‍යාපෘති 20ක් සඳහා රුපියල් 1,837,321,420ක් විදේශ ප්‍රදාන සෘජුව ම ලබාගෙන මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර තිබුණේ නැත.
මේ අදාළ වාර්තාවේ සඳහන් කරුණු කිහිපයක් පමණි.
රටක් සමග ඔවුන් කොතරම් සෙල්ලම් කර ඇද්ද ?
- ශාලික විමලසේන