ආන්දෝලනාත්මක ඔන්ලයින් පනත අද සිට ක්‍රියාත්මකයි : නීතිපති කතානායකට උත්තර දෙයි !

Share post:

මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (01) අත්සන් කර ඇත.

ඒ අනුව මෙම ආන්දෝලනාත්මක පනත අද (01) සිට ක්‍රියාත්මක වේ.

මෙම නීතිය බලාත්මක නොකරන ලෙසත්, එමගින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතළ තර්ජනයක් එල්ල වන බවත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ආණ්ඩුවට අවධාරණය කර සිටියේය.

එසේම මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනිව බව ද පාර්ශ්ව රැසක් කතානායකවරයාට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේදී පසුගිය 24දා සම්මත වූ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් විසින් ප්‍රකාශ කර ඇති නිසා පනත් කෙටුම්පත අනුමත කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම වැනි අක්‍රමිකතා ගණනාවක් මධ්‍යයේ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමේ ක්‍රියාවලිය සිදු වූ බව පවසමින්, එම පනත් කෙටුම්පත අනුමත නොකරන ලෙස විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව කිහිපයක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

සිවිල් සමාජ සංවිධාන, දේශීය හා අන්තර්ජාතික ඩිජිටල් කර්මාන්තයට සම්බන්ධ ආයතන සහ කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සහ එය ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ ආකාරය විවේචනය කර ඇත.

කෙසේ වෙතත් කතානායක අබේවර්ධන පවසන්නේ විවිධ පුද්ගලයන්ගේ අදහස් අනුව තමන්ට කටයුතු කළ නොහැකි බවයි.

‘ඔවුන්ගේ මතයට අනුව මට වැඩ කරන්න බැහැ. නීතිපතිවරයාගේ මතය අනුව තමයි මම වැඩ කළ යුත්තේ. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව නීතිපතිවරයා පවසන්නේ නම් එය අනුමත කිරීම හැර මට විකල්පයක් නැහැ. යමෙකුගේ මතය ඇති පමණින් මට ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩ කළ නොහැකියි.’

ඔන්ලයින් අන්තර්ගතය නියාමනය කිරීමට උත්සාහ කරන අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් දේශීය හා අන්තර්ජාතික ප්‍රජාවේ බොහෝ විවේචන මධ්‍යයේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් විසින් ජනවාරි 23 වැනි දින කෙටුම්පත විවාදයට ගන්නා ලදී.

නව නීතිය භාෂණයේ නිදහසට බාධා කරන බවට චෝදනා කළ විපක්ෂ දේශපාලනඥයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ විරෝධතා මධ්‍යයේ එය සංශෝධන සහිතව සහ බහුතර ඡන්දයෙන් ජනවාරි 24 දින පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය අවසානයේ ඡන්දය විමසන විට ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 108 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර විපක්ෂව ඡන්ද 62ක් ලැබී තිබිණි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව, විපක්‍ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනිව පනත් කෙටුම්පත සම්මත කර ඇති නිසා කථානායකවරයා එය අනුමත නොකළ යුතු බවයි.

මෙම පනත් කෙටුම්පත අනුමත කිරීමට කථානායකවරයාට අයිතියක් නොමැති බවත්, කථානායකවරයා එසේ කළහොත් එය හිතාමතාම ඔහුගේ වගකීම පැහැර හැරීමක් බවත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කළේය.

මාධ්‍ය සංවිධාන, සිවිල් සමාජය සහ වෘත්තීය සමිති එකමුතුව ද කථානායක අබේවර්ධන වෙත ලිඛිතව දන්වමින් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවන ලද නියෝග සහ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම එයට ඇතුළත් කර ඇති බවට සෑහීමකට පත්වන තුරු අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත නොකරන ලෙසයි.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...