හිරු නැගෙන විටත්, හිරු බැස යන විටත් දවසේ කවර වෙලාවක වුවත් සමාජ විප්ලවය ගැන අධිෂ්ඨාන සහගතව කතා කළ ඒ වෙනුවෙන් කළ හැකි යමක් වේදැයි සොයා විමසා බැලූ යෝධ මිනිසකු අපට සමු දී තිබේ. ඔහු මේ රටටත් පීඩිත පන්ති ජනයාටත් අසීමිතව ආදරය කළ අපේ යුගයේ මානව ප්‍රේමියෙකි. වයස් භේදයකින් තොරව දන්නා අඳුණන සියල්ලන්ට ඔහු වනාත මුල්ලේ ඔස්මන් අයියාය.
ඔස්මන් දහ අට රියන් සද්දන්ත පුරුෂයෙකි. ඔහුගේ දැවැන්ත රූපකාය තුළ දයාදියෙන් ආද්‍රවූ සංවේදී හදවතක් තිබිණ. නිර්ධන පන්තියේ විජයග්‍රහණය අපේක්ෂාවෙන් ජීවිත කාලයම කැප කළ මේ මිනිසා අවසන් හුස්ම හෙලනතුරුම තම වගකීම ඉටු කරන්නට බර අඩි තබමින් ඇවිද ගියේය. අපට හදිසියේ සමුදී තිබෙන්නේ විමුක්තියේ කාහල නාදය අසා මියෙන්නට බලා සිටි අපේ යුගයේ වීරයෙකි.
වානේ පන්නරය තිබූ තුරුණු වියේ ඔහු පාවෙල් කොර්චාගින් කෙනෙකි. ධනේශ්වර මර්ධනය හමුවේ වියට්නාමයේ නුයෙන් වෑන් ත්‍රෝයි කෙනෙකි. කිසිවෙකුට යටත් කල නොහැකි අදීන මිනිසෙකි. අඩ සියවසකට පෙර ජවිපෙ ආරම්භක වකවානුවේ රෝහණ විජේවීර ඇතුළු ඉදිරිපෙළ කාඩර්වරුන්ගේ “ස්මෝල්නිය” වූයේ වනාත මුල්ලේ ඔස්මන් සිල්වාගේ නිවසය. ඔස්මන්ගේ තාත්තා පැරණි සම සමාජකාරයෙකි. ඔහුගේ පිටේ දෑකැත්ත හා මිටිය අඳින ලද විශාල පච්චයක් කොටා තිබිණ. කම්කරුවන්ගේ ගොවියන්ගේ ආණ්ඩුවක් පිළිබඳ සංකල්පය ඔස්මන්ට කාන්දු වී තිබුණේ බාල වියේය. පිටේ පච්චය ගැන ඇසූ විට තාත්තා එය ඔහුට කියා දී තිබිණ. ඔස්මන්ගේ අම්මා සීලවතී මැක්සිම් ගෝර්කිගේ අම්මා කෘතියේ එන අම්මා මිස අන් කවරෙකු හෝ නොවේ.
තරුණයකු ලෙස කාය වර්ධනයට හා රෙස්ලින් ක්‍රීඩාවන්ට යොමු වී සිටි ඔස්මන්ගේ ජීවිතය නිර්ධන පංති විප්ලවයේ මාවතට යොමු වූයේ රෝහණ විජේවීර හමුවීමෙනි. ඔස්මන්ගේ පපු කුහරය තුළ සැඟව සිටි සැබෑ නිර්ධන පන්ති විප්ලවවාදියා අවදි කරන ලද්දේ විජේවීර විසිනි. ඔහු අවසන් හුස්ම හෙළන තුරුම ඔහු තුළ සිටි විප්ලවවාදියා නොනිදා සිටියේය. උකටලී භාවයට පත්ව විප්ලවවාදී ජීව ගුණය වියැකී යමින් සිටින ඕනෑම පන්ති සගයෙකුගේ හදවතට ආමන්ත්‍රණය කොට ඔහු දෙපයින් සිටුවන්නට හැකි ආකර්ශනීය ජීව ගුණයක් ඔස්මන් තුළ තිබිණි.
ඔස්මන් මෙයට පෙර අවස්ථා ගණනාවක් මැරී උපන් විශ්ව කර්ම මිනිසෙකි. 1971 අප්‍රේල් 5 වනදා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ පොලිසිය ඔහුගේ අතපය හත් අට පොළකින් බිඳ දැමුවේය. දීර්ඝ කාලයක් 4 වන තට්ටුවේ වද විඳ සිර ගෙදරට ගෙනැවිත් දමන විට ඔහු සිටියේ දෙපයින් නැගී සිටින්නට වාරු නැති මිනිස් කඩමාල්ලක් පරිද්දෙනි. සිරගතව සිටි පක්ෂයේ අනෙකුත් සහෝදරයින් තමාගේ තුවාල සුව කොට කවා පොවා නැවත ජීවිතය ලබාදුන් බව පවසන හැම අවස්ථාවකම ඔහුගේ දෙනෙත් කඳුලින් තෙත්ව තිබිණ.
හැත්තෑව දශකයේ මුල විප්ලව මාවත තෝරා ගත් බොහෝ තරුණයෝ ගොඩනැගෙන විප්ලවවාදී ව්‍යාපාරයේ සාමාජිකයින් ලෙස ඔස්මන්ලාගේ නිවසට
ආවෝය. ගියෝය. අපේක්ෂා සහගත විඩාබර මුහුණින් පැමිණෙන කිසිවෙකු කුසගින්නේ නොයවන්නට සීලවතී අම්මා වග බලා ගත්තාය. රසවත් යමක් වී නම් රෝහණ සහෝදරයා එනතුරු දින දෙකක් තුනක් ගත වුවත් ඇය සැඟවා තැබුවාය.
ඔහු පක්ෂයේ වැඩ ගැන මිස කුසගින්න ගැන නොසලකන බව බව ඇය දැන සිටියාය. 1971 මාර්තු 14 වෙනදා අම්පාරේදී අත්අඩංගුවට ගත් පසු විජේවීරට සිදුවූයේ කුමක්දැයි කිසිවකු නිශ්චිතව දැන සිටියේ නැත. විජේවීර ගේ අම්මා මැසිනෝනා වික්‍රම කළුතොට තංගල්ලේ සිට පැමිණියේ වනාත මුල්ලේ ඔස්මන්ලාගේ නිවසටය. ඔස්මන්ගේ අම්මාත් විජේවීරගේ අම්මාත් ලැබුණු හෝඩුවාවල් ඔස්සේ විජේවීර සොයා යාපනය බන්ධනාගාරයට ගියහ.
“මර්දනය තියුණු හෙයින් පසු බසින ලෙස පක්ෂයට දන්වන්නැ”යි කියන තීරණාත්මක පණිවිඩය විජේවීර භාර දුන්නේ ඔස්මන්ගේ අම්මාටය.
ඔස්මන්ගේ අම්මා පණිවිඩය පක්ෂ නායකයින් වෙත දැන්වූ නමුත් එදා පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් වූ ලොකු අතුලලා සිදු කරන ලද්දේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයකි. රහස් පොලිසියේ 4 වන තට්ටුවේදී ඉයන් වික්‍රමනායකලා, ටිරල් ගුණතිලකලා, ඔස්මන්ට පහර දුන්නේ රජයේ මර්මස්ථානවලට පහර දෙන්නයි අම්මා හරහා විජේවීර පණිවිඩයක් එවූ බව කියවා ගන්නට බල කරමිණි.
බිඳ දමන ලද දකුණු පාදය දන හිසින් නොව ඊට පහලින් නැවී තිබියදී වේදනා දරා ගනිමින් ඔස්මන් ස්ථිරසාර හඬින් පැවසුවේ
“විජේවීර එහෙම පණිවිඩයක් එව්වේත් නෑ. අම්මා බොරු කියන්නෙත් නෑ. මට බොරු කියන්නත් බෑ” කියාය.
“මාව මරනවා නම් මරා දමන්න එච්චරයි” ඔහු කීවේය. ඒ වන විටත් ගිනි තබා තිබූ සීවලී පටු මගේ ඔස්මන්ගේ මහ ගෙදර නැවත තනා දෙන බවත්, ඔහුට විදේශ රැකියාවක් ලබාදෙන බවත්, ඉයන් වික්‍රමනායක කීවේය. ඔසමන් ඉන් ඔබ්බට වචනයක්වත් කතා කළේ නැත.
අත්අඩංගුවට ගනු ලැබූ ඔස්මන් පවුලේ අය අවුරුදු ගණනාවක් සිරබත් කෑවෝය. එහිද සංවේදී කාරණාවක් තිබේ.
ඔහු සිරගතව සිටියේ බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේය. මැගසින් බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ වනාත මුල්ලේ ඔස්මන්ගේ නිවසට එතරම් ඈතක නොවේ. ඔහු සිරබත් කෑවේ ඔහුගේ ගමේම සිටය.
දශකයක් ඇවෑමෙන් ඔස්මන් අපට නැවත හමුවන විට ඔහු තුළ කම්පාවක සේයාවකුදු නොවීය. වෛද්‍යවරු ඔහුට දෙපයින් නැඟී සිටින්නට සවිය ලබා දී තිබුණද ඔහු ගමන් කළේ අසීරුවෙනි. සිදුවූ සෑම දෙයක් පිළිබඳවම උපේක්ෂා සහගතව දකින්නට ඔහු ශක්තිමත්ව සිටියේය. අලුත් තරුණ සහෝදරවරු තමයි වැඩ කරන්න ඕනෑ. අපි හැම තත්පරේම මතවාදී අරගලය තුළ ඉන්නවා ඔස්මන් කීවේය.
70 දශකයේ මහා සමාජය විසින් කපා හරිනු ලැබූ බොරැල්ලේ වනාත මුල්ල වැනි ප්‍රදේශයකින් ඔස්මන්ලා වැනි මැණික් මතුකර ගැනීමට රෝහණ විජේවීර සමත් වීම දෛවෝපගත සිදුවීමකි. ලක් දෙරණ මත තමන් දහදිය කඳුළු හෙලා එසවූ ධජය වටා ලක්ෂ සංඛ්‍යාත නිර්ධනීන් පෙළ ගැසෙනු දැක ආනන්දයෙන් මුසපත්ව දිවිසැරිය නිමා කරන්නට හැකිවීම ඔස්මන් සහෝදරයාට ඒකාන්තයෙන්ම සැනසිල්ලක් වන්නට ඇත.