‘කොළඹ 6’ නාගරික යොවුන් විය කැටි කර ගනිමින් රචිත කදිම නිර්මාණයක්

Share post:

ළමා සහ යොවුන් සාහිත්‍යය ගැන කතා කරනා විට අපට හමුවන අති බහුතරයක් නිර්මාණයන්ට විෂය වනුයේ ගැමි පරිසරයට අදාල චරිතයන්ය. ළමා විය සහ යොවුන් විය ගැමි ජීවිතය ඇසුරින් උත්කර්ෂයට නැංවීම අපේ ජනප්‍රිය මාර්ගයක්ව පවතී. ගමේ සුන්දරත්වය විඳින, ඇල දොල ගහ කොල සතා සීපාවා ආදී පරිසර සාධක හා සමීප, බොදු පරිසරය තුළ හික්මවනු ලබන පරාර්ථකාමී ආදී වශයෙන් මෙහිලා ගැනෙන සාධක සංඛ්‍යාව විශාලය. තවමත් අපේ නගරයෙන් බැහැර කලාපයන්හී මෙ කියනා සුන්දරත්වය අඩුවැඩි වශයෙන් ඇති බව සත්‍යයක් නමුදු ළමා විය සහ යොවුන් විය හුදෙක් ගැමි සෞන්දර්යය තුළම සිරකිරීම යනු ගැටලුවකි. ඒ මෙවන් භාවිතාවක් තුළ අපට නාගරික ළමාවිය සහ යොවුන් විය මගහැරීයන හෙයිනි.

අශෝක කුලංතුංග මෙයින් බැහැරව නාගරික යොවුන් විය අපේ සාහිත්‍යයට කැඳවාගෙන එන්නට සමත්ව සිටී. ඔහුගේ කෘතිය නම් කර ඇත්තේ කොළඹ 6 යනුවෙනි. මෙ කියනුයේ වැල්ලවත්ත බව කොළඹ 6 යන්න කියවන සැණින් අපට වැටහී යයි. අශෝක අපට ඉදිරිපත් කරන්නේ මේ නාගරික යොවුනන්ගේ කතාන්දරයෙන් කොටසකි.

නාගරික ළමා සහ යොවුන් වියද අපට යළි කොටස් දෙකකට බෙදාගත හැකිය. ඒ වරප්‍රසාධිත සහ අව වරප්‍රසාධිත යනුවෙනි. විසල් මැදුරු අහස තෙක් නගිනා ආර්ථික අසමානතාවක ඉතා පැහැදිලි ප්‍රකාශනය වනුයේ ඒ මහල් නිවාස අද්දරම දළු ලන පැල්පත් නිවාසයන්ය. මේ තත්වය වටහා ගන්නට බම්බලපිටියේ සිට වෙරල අද්දරින් මොරටුව දක්වා යාම සෑහෙයි. එක් පසෙක ලහි ලහියේ ඉදිවන තුඟු විසල් ගොඩනැගිලිය. ඒ සමම ඊට මුහුණ ලා පැටවු ගසනා පැල්පත්ය. ඉතිහාසය පුරාම මේ පැල්පත් වාසීන් ඡන්ද ගුණුඩු සහ සමාජ විරෝධී පිරිස් ලෙස කලින් කලට අපහරණයට ලක්වීම හැරුණු විට මේ ජීවන තත්වයන් වෙනස් කිරීමට කිසිදු සාධනීය පියවරක් ගෙන නැත.

අශෝක සිය කෘතිය හරහා විමසුමට ලක් කරනුයේ මෙකී අග නගරයේ ධනවත් මෙන්ම මධ්‍යම පංතියටද නොවැටෙන පහසුකම් අවම, ජන ගනත්වය අධික, එසේම ආගමික සහ සංස්කෘතික විවිධත්වයෙන්ද යුත් පීඩිත මනුෂ්‍ය කොට්ඨාශයක යොවුන් පිරිසක පිළිබඳවය. ඔහු එහිලා කේනද්‍රීය චරිතය ලෙස යොදා ගන්නේ දසුන් නම් යොවුනෙකි. ඔහුගේ අත්දැකීම හරහා ගලා යන අයුරින් නිර්මාණය වී ඇති කතන්දරය තුළ අපට හමුවන්නේ මේ සමාජයටම අයත් එහෙත් අමතකව යාමට වඩා සමීප යොවුන් පරම්පරාවක තතු ය. ඔවුන්ටද ජීවිතයක් තිබේ. ඔවුහුද සෞන්දර්යය විඳිති. එසේම ජීවන අරගලයේ කටුක බවද, පේලි නිවාස නැතිනම් ගර්හාත්මක අරුතින් මුඩුක්කු යයි හඳුන්වනු ලබනා නිවෙස් සමූහයක වසනා මිනිසුන් අත්විඳිනා විවිධ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ඔවුන්ගේ විවිධත්වයද අශෝක සිය කෘතියට කැටි කරගන්නට සමත්ව සිටී.

මේ පීඩිත සමාජයෙහි යොවුනන්ගේ ජීවිතයෙහි ඇති සංකීර්ණත්වය මෙන්ම ඛේදයද අශෝක අපට විටෙක ඉදිරිපත් කරනුයේ උත්ප්‍රාසය දනවන සිදුවීම් හරහාය.

අතක් පිටිපස්සට කරගෙන මොනවදෝ හංගගෙන ප්‍රභාත් කතා ක‍රේ

‘උඹේ අතේ මොනවද ඔය?“
බීඩි වගයක් බන්.
‘බීඩි කාටද?
‘වෙන කාටද තාත්තට මිසක්. මොකද මං බොනවද?
ප්‍රභාත් නක්කලේට වගේ හිනාවේගෙන මට කිවුවෙ.
‘පොඩි ළමයින්ට ඕවා අල්ලන්වත් එපා කියලා නේද මිස් කිවුවෙ?
‘ඉතින් දෙමවුපියන් කියන දේ අහන්න, ඒ ගොල්ලන්ට උදවු කරන්න කිවුවෙත් මිස්මනෙ.
(පිටුව 37)

මේ පරිසරයෙහි වෙසෙනා යොවුනන්ටද විවිධ ගැටලු මැච වුව සිහින තිබේ. ඔවුහු පාසල් යති. ක්‍රීඩා කරති. එහෙත් ඒ සියල්ලෙහිම ඇත්තේ කැපී පෙනෙනා විභේදනයක සළකුණුය. මේ යොවුනන්ගේ විකට්ටුව පුටුවකි. පිත්ත යනු ලෑලි කෑල්ලකි. එහෙත් ඔවුහු ක්‍රීඩා කරති. විවාද තරග පවත්වති. අපේ සාහිත්‍ය තුළ උත්සාහවන්තයන් ලෙස උත්කර්ෂයට නගමින් අමතක කරනු ලබනා කාරණය වනුයේ සියල්ලෙහිම ඇ.ති මේ අසමානත්වයයි. ඔවුන්ගේ පාසල ආධාර ලබමින් පවත්වාගෙන යන්නකි. ඊට නගරයේ ඇති නමගත් පාසල්හී පහසුකම් නැත. ප්‍රබල ආදි ශිෂ්‍ය සංගම්ද නැත. එහෙත් ඔවුන්ගේද ජීවිතය ගලා යයි. විටෙක ඔවුන්ගේ ජීවිතයට ආලෝකය ලැබෙනුයේ ඔවුන් වෙනුවෙන් කැපවෙන ගුරු භවතුන්ගේ මහන්සියෙනි. අශෝක මේ ගුරුතමියක් ගැන කරනා විස්තරය මේ පරිමරයේ අධ්‍යාපන තත්වය ගැන බොහෝ දේ කියයි.

ඔරලෝසුවෙ කටු බහිරවයෙක්වත් කරකවනවද මන්දා. හොඳ වගේම තමයි මිස් කේන්ති ගිය වෙලාවට ඇස් ලොකු කරන් බලන බැල්මට මුළු පංතියම බය වෙනවා. කලුවට කලුවෙ ඉන්න මිස්ට කේන්ති ගියහම යකින්නක් වගේ….
එහෙත් අශෝක මේ කලු සිත්තමෙහි ඉන්නා ගුරුවරිය යළි අපට වෙනත් පැහැයකින් දක්වයි.
මිස් හරියට අම්මා කෙනෙක් වගේ. සතියකට සැරයක් කිරි ටොෆි පොල් ටොෆි බිස්කට් කේක් වගේ මොනම හරි කෑමක් ගෙනත් හැමෝටම බෙදනවා. ඒ විතරක් නෙවෙයි හැම බදාදම පල්ලියෙන් ඉස්කෝලෙ ළමයින්ට දෙන බත් පැකට් ටික දුප්පත් ළමයින්ව තෝරලා පංතියක් පංතියක් ගානෙ ගිහින් බෙදන්නෙත් මිස්මයි. මටත් ඉතින් කෑම එකක් නම් වරදින්නෙ නැහැ.
(පිටුව 43)

ඊයෙ රෑ සිවිල් පිටම මිරිහානෙන් පැනලා. අමරෙ මාමාව කෑන් එකක් එක්කම මාට්ටු වෙලා. ඒකයි පීටර් මාමාට බැනලා විකුණන තැනින් එලවගත්තෙ. කොහොමත් මාසෙකට සැරයක් කොහෙ හරි පොලිසියක් බර්ටි මාමාගෙ පොට් එකට පනින්නෙ හරියට ගෝලයන්ගෙ දුක සැප බලන්න වගේ.
(පිටුව 30)

අශෝක සිය කථකයාගේ මුවට නංවනුයේ අදාල පරිසරයේ සජීවී බසමය. එහෙයින් කතාව පාඨකයා හට වඩාත් සමීප වෙයි. හික්මවන ලද බසක් වෙනුවට සැබැවින්ම භාවිත බස යොදා ගැනීම හරහා අශෝක මේ නාගරික පේලි නිවාස සංස්කෘතියේ විවිධත්වය අපට සමීප කරවයි.
මේ අශෝක ඔවුන්ගේ දේශපාලන භූමිකාව ගෙනහැර ලාන ආකාරයයි.

ඡන්ද කාලෙත් හරියට අමුතු සැණකෙළියක් වගේ. අලුත්ම අලුත් පාට පාට පෝස්ටර් ඇඳුමෙන් හැඩවෙච්ච පොදු වැසිකිලි බිත්ති වල ආඩම්බරකම දනසින් දවස අලුත් වෙනවා. ගෙවල් පැත්තෙ මාමලා නැන්දලා එක එක ඉලක්කම් එක එක හැඩේට ගහපු අලුත් කමිස ඇඳගෙන යනවා. ඒ පාටින්ම තොප්පි එහෙමත් දාගෙන කානිවල් එකක වගේ. බර්ටි මාමගෙ අරිස්ටෙ බීපු අය, ඒ අය තමයි නියමෙට ඡන්ද වැඩ කරන්නෙ.
(පිටුව53)

අශෝක මේ කුඩා ඡේදය හරහා කථකයාගේ ඇසින් අපට නූතන දේශපාලනයේ ගොහොරු බිමෙන් කොටසක් පෙන්වයි. එහිදී ඔහු භාවිතා කරන බස පොහොසත් වනුයේම ඒ ජනයාට අදාල යෙදුම් වලිනි. පෝස්ටර් වලින් හැඩවෙන පොදු වැසිකිලි එක් අතකින් විශාල ජන ගනත්වයක් සහිත නාගරික ප්‍රජාවකගේ සනීපාරක්ෂාවේ අනාරක්ෂාව විදහන්නකි.

අශෝකගේ කොළඹ 6 යනු නාගරික යොවුන් විය කැටි කර ගනිමින් රචිත කදිම නිර්මාණයකි. එය එක් අතකින් ගැමි සුන්දරත්වය තුළ ගිල්වා අපට මගහරවන අපේම යොවුනන්ගේ ජීවිතවල තවත් පැත්තක් විදහා පෑමකි. අනෙක් අතින් එය වෙනත් සංස්කෘතික කලාපයක් ඉදිරිපත් කිරීමකි. යොවුන් වියෙහි අභියෝග, පංති විෂමතාව, ඒ සියල්ල මැද වුව ජීවිතය වෙත යොවුනන් තුළ වන උද්‍යෝගීබව යනාදී වශයෙන් විවිධ අංශ වෙත අවධානය යොමු කරන කොළඹ 6 අපේ යොවුන් පරම්පරාවෙහි කියවීමට ලක්විය යුතුයයි සිතමි.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...