පනතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑතකදී ගොනු කළ වැඩිම පෙත්සම් ප්‍රමාණය රනිල්ගේ අන්තර්ජාල මර්දන පනතට එරෙහිව : තරුණ ජනමාධ්‍යවේදීන් සහ පාර්ශ්ව රැසක එකතුවකිනුත් පෙත්සමක් !

Share post:

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් පස් දෙනෙකු, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් සිව්දෙනෙකු ද සමඟ අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකරනු ලැබීය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන, ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්, කැඳවුම්කරු ශාලික විමලසේන, භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී සහ උප සභාපති බී. නිරෝෂ්කුමාර් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ ඒ පිළිබඳ ජාත්‍යන්තර පුහුණුකරුවකු වන රුකී ප්‍රනාන්දු, මානව හිමිකම් පිළිබඳ නීතිඥ සහ ක්‍රියාකාරිකයකු වන සුරේන් ඩී. පෙරේරා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු, බලපෑම්කරුවකු සහ නීති ශිෂ්‍යයකු වන අනුරුද්ධ බණ්ඩාර, නීති උපාධිධාරිනියක වන ඩිෂාරා ප්‍රනාන්දු යන පිරිස SC/SD/120/23 අංක දරන මෙම පෙත්සමේ පෙත්සම්කරුවෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය, වධහිංසාවලින් සහ මානසික පීඩාවලින් ආරක්ෂා වීමට ඇති අයිතිය, වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා වීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් මෙම පනත් කෙටුම්පතින් උල්ලංඝනය වන බවත්, කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සමේ සඳහන් ය. කෙටුම්පතේ සඳහන් වන ආකාරයට ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසමකට අධිකරණ බලතල ලබාදීම මගින් ද පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

එම නිසා මෙම කෙටුම්පත නීතියක් බවට පත්කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සමඟ ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවට තීන්දුවක් ලබාදෙන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
පසුගිය 03දා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකිරීමේ දින 14ක කාලය අද දිනයෙන් අවසන් විය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 34ක් ඉදිරිපත් වී ඇති බව අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍ය වෙත පවසා තිබිණි. එහෙත් අද පස්වරුව වන විට මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 50කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබිණි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ සාමූහිකය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තික සංවිධාන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන පුරවැසියන් රැසක් ද මෙසේ අදාළ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් ගොනු කොට තිබිණි.

මෑත කාලයේදී පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද පනත් කෙටුම්පතක් අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ වැඩි ම පෙත්සම් ප්‍රමාණය මෙය වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...