ජීවිතය අහම්බයකි. හමුවීම් ද ඒ අහම්බයට පොදු ය. අහම්බෙන් පැරණි කවියක් හමුවිය. මතකයේ හැටියට මෙය ලියැවී ඇත්තේ 1990දී පමණ ය. කවියෙහි මුල් කොටස දක්වමි.
ප්‍රාථමික ගුරුවරයාගේ ජීවිතය
වැදුණු කැබලිත්තකින
අසල වැව
රිදුම් දෙන නළල් තල රැළි නගා හකුළුවයි
ළදරු තුරු තුරුලු කර ගන්ට ඇවිත්
නල මව් ලතාවෝ
හොර පාරෙන්ම විත් ඈතින්
නැලවිලි ගී ගයා යත්
සිල් සමාදන් වූ සුදු ළවැල්ලෙහි
ඒ මේ අතට ඇදී
ප්‍රහේලිකා පියසටහන් පෙනෙයි
අකාලේ
මව් ගස මුදාහළ ලා ගොබලු
බිම වැටී තැනින් තැන
හුදෙකලාවේ පිරිත් වන පොත් කරත්
නියඟයෙන් දැවුණු භූමියක පරිසරයක පිහිටි පිරිවෙනක ගුරුවරයාට පෙනෙන හාත්පස පරිසරය මෙහි චිත්‍රණය වෙයි. කවියා යමක් විස්තර නොකර රූපකාර්ථවත් භාෂා භාවිතයකින් බහුවිධ අර්ථජනනය කරයි.
මේ කවියා වත්මන වන විට ජාතික මට්ටමේ ඇගයීමකට ලක් ව සිටින කෙටිකතාකරුවෙකි, කවියෙහි. නිහඬ මුනිවර පෙනුමක් ඇති මහැදුරෙකි. හේ ප්‍රභාත් ජයසිංහ නම් වෙයි.
1990 වසර අමතක නොවන එක් සිදුවීමක් මතකයට එයි. ඒ තමයි කොග්ගල බීච් හෝටලයෙහි පැවති යොවුන් පහන්වැට ලේඛක හමුව. 1982 කොළඹදීත් 1983 රදාවාන සහ කොග්ගලදීත් ඊට සම්බන්ධ වූ මට මෙය ද ආස්වාදජනක මොහොතක් විය.
එදා රාත්‍රියෙහි ඩබ්ලියු. ඒ. අබේසිංහයන් ප්‍රමුඛ සාහිත්‍යවේදීන් සහ තරුණ ලේඛක ලේඛිකාවන් ඇසුරේ සිටි, එතෙක් නොදුටු නමින් පමණක් දැන සිටි ප්‍රභාත් ජයසිංහ හමු විය. තරමක් අයින් ගසා සිටි ඔහුගේ අතේ නිතර පොතක් විය. ඔහුගේ නම මා මුලින් හඳුනන්නේ එවක මා සේවය කළ ලක්මිණ පුවත්පතෙහි භාවගීත කවි පිටුවෙහි පළවූ කවි නිසාය. කවියක පේළියක් හැළීම නිසා ඇතිවූ සිත් රිදීම ඔහුගෙන් අවංකව ප්‍රකාශ විය.
අපි දැන් ජීවිතයේ සැඳෑ සමයට එළඹෙමින් සිටිමු. අප ද නොදැන ලෝකය බොහෝ දුර ගොසිනි. ප්‍රභාත් ජයසිංහ අංකුර කවියා ජාතික මට්ටමේ සාහිත්‍යකරුවකු බවට පත්ව ඇත. නිසරු ඝෝෂාකාරී වාදවල නොපැටලෙන ප්‍රභාත් ජයසිංහගේ මුනිවර පෙනුම තවදුරටත් වැඩී ඇත. ඒ නිසා දැන් ඔහු අතින් ලියැවෙන සමහර කවිවල එබඳු මනසකින් විවිධ සංසිද්ධීන් දෙස උපේක්ෂාවෙන් බැලීමේ ගුණයද වර්ධනය වී තිබේ. ඔහුගේ අලුත් කවි පොත “අන්තිමට නිහඬ බවම කතා කරන්න ගත්තහම” යනුවෙන් නම්කර ඇත. කවි සමුච්චයම සියුම් හුයකින් යාකරන මැයකි එය.
උගත් මධ්‍යම පාන්තිකයාගේ වර්තමාන ජීවිතයෙහි හරස්කඩක් වන් කවියක් මේ පොතින් උපුටමි.
මේ පොතේ කවිවල මාතෘකා නොමැති බවද සඳහන් කරමි.
අත් දුරකතනයේ
මුහුණත අතගා
අවදිකර
ඇතිදැයි සොයමි
මග හැරුණු ඇමතුමක්
නැතිනම්
නොකියවූ
කෙටි පණිවිඩයක්
පරිගණකයට එබෙමි
පිරික්සමි ඇතිදැයි
ගෙවුණු හෝරා දෙක තුළ පැමිණි
ඊ මේලයක්
ලියුම් පෙට්ටිය හරිමි
සොයමි
බිල්පත් අතරතුර
ලියුමක්
අඩු තරමෙ
ඇරයුම් පතක්වත්
නැත
මේ කිසිත්
නොපවතිමි
කථකයාගේ පැවැත්ම තීන්දු වන මූලික සාධක කිහිපය මෙහි දැක්වේ. ඒ ටික නැතිනම් පැවැත්මක් නැත.
නොපවතිමි.
ඒ කාව්‍යාවසානයයි.
මේ කථකයාටම සමහර විට නුදුරු අනාගතයෙහි දී මෙකව අලුතින් කියන්නට සිදුවුණ හොත් මෙකී මූලික සාධක කිහිපයෙන් සමහර ඒවා අමතක වන්නටද පුලුවන. උදාහරණයක් වශයෙන් ඊමේල් පරීක්ෂා කිරීම අතපසු විය හැකිය. මේ මොහොත ඊට වඩා යහපත් ය.
විදුලි පාංකාව සහ කාමරයේ බිත්ති හතර ඇතුළත සිටින මනුෂ්‍යා අතර ඇති සහසම්බන්ධය ද අපූරු ය. මේ ඒ ගැන කියැවෙන කවියකි.
ඇඟ එති එතී දැවටෙන සිහින් වා රැළිති
මුදාහරිමින් මවෙත බමමිනි විදුලි පංකාව
අලස සුව විඳිමින් යළි වමාරා කමින්
හිඳිනතර එයි හිතට රැඩිකල් අදහසක්
නවතාලමි ඒ පංකාව ඒ සමඟ
නවතී මෙතෙක් ඉන් නැගුණු දැඩි ඝෝෂාව
අහා!ඒ නිහැඬියාවේ ඇසෙයි එවිගස
එතුවක් කන නොලෑ නිහඬ හඬ රටා පෙළ
ළපලු හිස් ඔසවන,මලක පෙති මැලෑවන
සමනල තටු ගැහෙන,මකුළුවන් දැල් බඳින
දළඹුවෙක් පත් බුදින,රිදුණු පත් හද බිඳෙන
නිරුවත් පිණි පහස තණ රාග උලුප්පන
නැතිව පංකා සුළඟ කඩකොට අලස සුව
නැග එනු දැනෙයි ඇඟ පුරා දහදිය මුගුරු
හැර දමා විඳුම ඒ නිහඬ හඬ ප්‍රහර්ෂය
හිත හදාගමි යළිත් පණලන්න පංකාව
පංකාවෙහි ඝෝෂාව නතරවූ විට දැනෙන නිහඬ හඬ රටා පෙළ පැටිවියෙහි පටන් හුරු පුරුදු පරිසරයයි. ප්‍රකෘති ලෝකයයි. නැවත එහි පිවිසීම අසීරුය.
“දළඹුවෙක් පත් බුදින, රිදුණුපත් හද බිඳෙන
නිරුවත් පිණි පහස තණ රාග උලුප්පන”
මෙය ප්‍රබල වාක්චිත්‍රයකි. තණකොළ නිරුවත්ය.එහි පිණි දැවටෙන්නේ හිමිදිරියේය. පාපහස ලබන විට ඇති වන රාගය තණ රාගය යැයි කවියා කියයි.තන යනු පියොවුරුය.තණ යනු පැළෑටි වගකි. උච්චාරණය සමවුව අරුත වෙනස්ය. එහෙත් උච්චාරණයෙහිදී වාක්‍ය පරිසරය අනුව අරුත් වෙනස්වනු විනා තනි පදය උච්චාරණයෙහි දී පියොවුරු යන අදහස පළමුවද පැළෑටිය පිළිබඳ අදහස දෙවනුවද සන්නිවේදනය විය හැක.
තමා තනාගත් ලෝකය තුළ ජීවත්වන කථකයාට ප්‍රකෘතියේ පහස ලැබීමේ හැකියාව දැන් අඩු ය. එනිසා අවසන පංකාව පණගැන්වෙයි.
මිනිසා හුදෙකලා වන අතර ම සිරකරුවකු බවට ද පත්වන දිවිසැරියකි මේ.
කාර්යාලයෙන් හෝ ඒකාකාරී ගෘහස්ත දිවියෙන් එලිමහනට යන එක් අවස්ථාවකි කාරයෙහි ගමන. එවිට මගතොට දිස්වෙයි. විවිධ ප්‍රාණීහු ඇස ගැටෙති. මේ ඒ ගැන කවකි.
හැඟුම්බර දෑසක
පැටලුණොත් දෑසක්
ලිහාගන්න එක ඒ පැටලිල්ල
ලේසි නෑ හිතන තරමට
ටික දුරක් යනකලුත්
පැටලි පැටලී
වැටෙන්න ඉඩ තියනව
සමහර වෙලාවට
එහෙම වැටිලත් තියෙනව
ඒ එහෙම දෑසක්
මුණ ගැහුණු මොහොතක්
මද්ද විසි කළේ
එහෙන්ද නැත්තං මෙහෙන්ද
ඒ ගැනවත්
නිනව්වක් නැතිව ගිය මොහොතක්
රථාංගනයෙ නැවතූ කාරයක
රියැදුරු අසුනෙ ඈ
දෑතම වීලයට තියාගෙන
මෙන්න!
තත්පරෙන් පියල්ලක පමාවෙන්
පැටලුණ රැහැන් හැම කපා හැර
මුවහත් අදිසි සැතකින් එකවර
ඈ ඉවත බලාගෙන
හැඟීම් විරහිතව
සාහසික වෙන්න නම් එහෙම
පැටලුණේ ඇයිදැයි සිතෙන තරමට
පැටලිලා තිබුණා හොඳටම
පැටලුණ තත්පරේ දෙක ඇතුළත
අහම්බෙන් වගේ
එතකොටයි දැක්කෙ
ඈ ළඟ මගී අසුනේ
ළමා මුහුණක්
‘විශේෂ අවශ්‍යතා’ සහිත
හැඟීම් මකා හළ ළමා මුහුණක්
ඕහ්!
ඒක
පොත් දහස් ගණනක කතාවක්
රථාංගනයෙ තාවර වෙවී
මං බලං හිටිය
ඈ නැවත බලයිද කියල
මං හිතින් කිව්ව
අඩු තරමේ එක වරක්වත් බලන්න
බය වෙන්නෙපා
පටලවාගන්න එන්නෙ නෑ
මට ඕනෙ
ඔබ හොඳින්ද කියා අහන්න
එච්චරයි.
මෙකවට මුල්වූ අත්දැකීමේ සාරය පැහැදිලිය. පරිකල්පනයෙන් ගොඩනැගූ චිත්තරූප පැහැදිලි ය. කලකට පෙර දන්නා දෙදෙනකු උනුන් ඇස ගැටීමකි. කවිය ගොඩනැගෙන්නේ මේ සම්මුඛ වීමේ මිහිර හා විස්මය කැටුවය. එහෙත් අනුවේදනීය මොහොත එයි. ඇය අසල විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. ඒ ඇගේ දරුවා විය හැක. ජීවිතයෙහි ඛේදය එයයි. ප්‍රමෝදය සහ ශෝකය එක ළඟ සිටී.
කථකයා කවියෙහි අවසන තමන් සමග කතා කරයි.
මට ඕන
ඔබ හොඳින්ද කියා බලන්න
එච්චරයි
මෙකව කියවන විට අජිත් තිලකසේනගේ මන්දා කවියද සිහිපත් වෙයි. එයද මහ මග හමුවීමකි. අත්දැකීම් දෙකද වෙනස්ය. එහෙත් වියෝවීම් සහ නැවත හමුවීම් පිළිබඳ පොදු සත්තාවක් ඒ දෙකෙහිම වෙයි. අජිත්ගේ කවිය සුඛාන්තයකින් කෙළවර වෙයි.
මම ආයෙමත් ඔබට පෙම් කරන්න පටන් අරගෙනද මන්දා
ඒ තිලකසේනාග් කවියෙහි අවසානයයි.
ප්‍රභාත් ජයසිංහගේ කවි එකතුවෙහි බොහෝ කවි ජීවිතයෙහි එතරම් වැදගත් යැයි බැලූ බැල්මට නොහැඟෙන චූල සිද්ධීන් සහ වස්තු ප්‍රස්තුත කරගනී. එය එක්තරා විදියේ ආත්ම ගවේශනයකි. ඇත්තටම බැලූවිට කවිය අවුළුවන හොඳම ඉන්ධන ඇත්තේ එතැන දැයි සැක සිතේ.මේ කවියාගේ බොහෝ
කවිවල දෛනික දිවියෙහි ඉතා ම සුලු සිදුවීම්වල සංකේතාත්මක අගය පරීක්ෂා කරනු වැන්න. පැති කන්නාඩියෙන් පෙනෙන රුව පිය පුතු දෙපලම නැරඹීම, පැත්ත වැටී නිදන විට පියාගේ ඉරියව් සිහිපත් වීම, පයින් යන විට ද පැති කන්නාඩියෙන් දෙපස බැලීම නිදසුන්ය. මේ කාව්‍ය ඛණ්ඩයකි.
පයින් යද්දි කොහෙද මෝඩයො පැති කන්නාඩි, හිනාවෙමි මටම මම ආත්ම කථනය සහ අභ්‍යන්තර සංකථනය දෙකකි. මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන ප්‍රොයිඩ් පවා ආභාසය ලද ඩොස්ටොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම කථකයාගේ අභ්‍යන්තර සංකථනය සහ චර්යා අතර සම්බන්ධය ගැඹුරින් පරීක්ෂාවට ලක්කරයි. කැරමසෝ සහෝදරයේ කෘතිය ද එසේමය. කොරියානු මෙටපිසිකල් කවීන්ගේ කවි අතරද එවැනි කාව්‍යමය පරීක්ෂා හමුවේ.
මනෝවිද්‍යාව සහ සාහිත්‍යය ආබද්ධ ව විචාරයෙහි යෙදුණු ජුලියා ක්‍රිස්වේටා සහ මන්ද මානසික දරුවන් ගැන පර්යේෂණයේදි මනෝවිද්‍යාව සහ සාහිත්‍ය අතර අන්තර් සම්බන්ධය පිරික්සමින් චර්යාවේදය අධ්‍යයනය කළ විගොත්ස්කිගේ විචාර චින්තා ප්‍රභාත්ගේ ඇතැම් කවි කියවා ගැනීමෙහිදී සන්සන්දනාත්මක ව වැදගත් වෙයි.
උත්ප්‍රාසය ජීවය බවට පත්වූ තවත් කවක් උපුටා දක්වමි.
කාර්යාලෙ
වාර්ෂික රිට්‍රීටය
සුබසාධකෙන් අරං ගිය
වායු සමීකෘත
දැවැන්ත බස් එකේ
හෝටල් පාදමට එනකල්
පාවාඩ උඩිනුයි
බුබළට ඇතුල් වුණෙ
එතැන් සිට
අහා!
ඒ සී කාමරේ
පිහිනුම් තටාකේ
මූදේ රළතුරේ
බුෆේ පලඟානේ
ඩීජේ දෙසවනේ
පෙමාතුර නැටුමේ
මල්මදිරා පෙරේ
පුරා දෙදිනක
විනෝද සාගරේ
තෙවන දින උදෑසන
හෝටලෙන් පිටත්ව
කිලෝ මීටර දෙක තුනක් එන්නත් කලින්
කල්කුඩා ටවුම හරියෙදිමයි
බුබුළ බිඳුණෙ
කවුරුහරි කියනව ඇහෙනව
“බලන්නකො
මෙහෙ ඔක්කොම බෝඩ් තියෙන්නෙ
දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයි විතරයිනෙ”
මේ කණ්ඩායම වාර්ෂික චාරිකාව යන්නේ කල්කුඩාවට එනම් තමන් වහරන සිංහල බස නොව දෙමළ බස වහරන ජනතාව සිටින ප්‍රදේශයකටය. කාර්යාල ජීවිතයේ බරින් නිදහස් වන සොඳුරු සිහිලැල් පරිසරයකි එය. බුබුළ යනු සංකේතයකි. බුබුල යනු නිශ්චිත ස්ථානයක් විය හැකිවාක් මෙන්ම එය සංකේතයකි. බුබුලට ඇතුළුවීම සහ එය බිඳීයෑමෙන් ධ්වනිත වන්නේ කුමක්ද? විනෝද චාරිකාවෙහි යෙදෙන්නන්ගේ චින්තන පරිධියයි. එනම් බහුවාර්ගික සමාජයක ජීවත්වුව ද විවිධත්වය පිළිනොගන්නා මනසයි.
භාෂා අයිතීන් ව්‍යවස්ථාව සහ අනෙකුත් රෙගුලාසි අනුව පිළිගන්නා රටක් වශයෙන් නාම පුවරු සහ රාජකාරි ලියුම් ආදිය භාෂා තුනෙන්ම සකස් විය යුතුය. එනම් ජාතික භාෂා වන සිංහල සහ දෙමළත් අන්තර් භාෂාව වන ඉංග්‍රීසිත් වශයෙනි.
එහෙත් මෙහිදී කිසිවකු නාම පුවරුවෙහි දෙමළ සහ ඉංග්‍රිසි පමණක් සඳහන් වීම ප්‍රශ්න කරන්නේ භාෂා ප්‍රතිපත්තිය කඩවීම නිසා ඇතිවූ විරෝධය නිසා නොව සිංහල නොමැතිවීම නිසා බව පැහැදිලි ය. බුබුල බිඳෙන්නේ එතැනිනි.
උත්ප්‍රාසාත්මක රීතියකින් ලියැවුණු මෙකව සමාජ සමාජ විවේචනයක් බවටද පත් වෙයි.
මේ කෘතියෙහි ඇතුළත් මංගල සාජ්ජේ ප්‍රස්තුත කරගත් කවියද උත්ප්‍රාසාත්මක සමාජ විවේචනයකි.
ආදි සිසු සංගම් රැස්වීමද මෙහි ඇතුළත් අප අවධානය දිනූ කවියකි.
පාසලක් යනු
මවක් විතරමද
මගෙන්ම අසා ගමි
කවියෙහි මැදින් උපුටාගතිමි. සාම්ප්‍රදායික රැස්වීම් ආකෘතියෙහි බොල් බව කවියාට පෙනේ.
මේ තවත් උපුටනයකි.
හිස කෙළින්කර
සෘජුව ඉදිරිය බලාගෙන
විදු සමරු ගී ගයමින
කාව රවටා ගනිමින්ද අපි මේ
මෙහිදී කවිය පළුදු වෙයි. කවියාගේ විවේචනය කථකයා ලවා ඉදිරිපත් කරවයි. කවියා කවියට මැදිහත් විය යුතු නොවේ. කවියට කවිය ලෙසම ගලාගෙන යන්නට ඉඩ දිය යුතුය.
ප්‍රභාත් ජයසිංහ මිතුරු කවියාගේ අලුත් කවි එකතුව බහුමානීය කියවීමකට ලක්කිරීම සඳහා මගේ ප්‍රිය සාහිත්‍ය රසවතුන්ට ඇරියුම් කරමි.