පාස්කු ප්‍රහාරය : සංවිධාන 05ක තහනම පැය 48කින් හෝ සඳුදා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක් : බුද්ධි අංශ වාර්තාවල මොකුත් නැතිලු !  

Share post:

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් 5ක තහනම කොන්දේසි සහිතව හෙට (17) සිට ඉවත් කරන බව ආරක්ෂක අමාත්‍යංශය මගින් එම සංවිධාන නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

එම සංවිධාන නියෝජිතයන් සහ ආරක්ෂක අමාත්‍යංශය අතර පෙරේදා (14) පැවති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත්තේ පැය 48ක් තුළ මෙම තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. එසේ නොවුණහොත් සඳුදා වන විට ඊට අදාළ කටයුතු සිදු වනු ඇතැයි ද එහිදී දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පාර්ශ්වයෙන් අප කළ සොයාබැලීමකදී දැනගැනීමට ලැබුණේ සඳුදා දිනයේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි.

හේතු ?

මෙම තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ද පවරා තිබේ. එසේ ම මෙම සංවිධාන හරහා මැද පෙරදිග රාජ්‍යයන් මගින් මෙරට ජනතාවට සහන සැලසීම සඳහා ලබාදුන් විශාල අරමුදල් ද අදාළ තහනම නිසා නතර වී ඇත.

විශේෂඥ කමිටු

මේ අතර අද (16) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු, විමර්ශන සහ බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක්  සහ මෙම කණ්ඩායම්වල නියෝජිතයන් – රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබාදුන් නිර්දේශවලට අනුව මෙම සංවිධාන පහේ තහනම ඉවත් කරන බවයි.

සංවිධාන මොනවාද ?

ඒ අනුව පහත සඳහන් ඉස්ලාමීය සංවිධානවල තහනම ඉවත් කිරීමට නියමිත ය.

01. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)

02. ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)

03. සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)

04. ලංකා තව්හිද් ජමාත් (CTJ)

05. එක්සත් තව්හිද් ජමාත් (UTJ)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන පහ සහ තවත් සංවිධාන හයක් තහනම් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ජනපති සමග සාකච්ඡාව

මෙම සංවිධාන තහනම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉස්ලාම් ආගමික ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර, එහිදී ආගමික ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මෙම සංවිධානවලට එරෙහිව චෝදනා ඇත්නම්, කඩිනමින් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත්, එසේ චෝදනා නොමැති නම් මෙම තහනම් ඉවත් කරන ලෙසත් ය. අදාළ සංවිධාන මගින් මෙරට ජනතාවට ලබාදුන් සහන සහ ඒවා සිදු කළ ආකාරය, ඒවායේ විනිවිදභාවය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත.

චෝදනා ?

ඉන්පසු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ මෙම තහනම ඉවත් කරනු ලබන සංවිධානවලට එරෙහිව කිසිදු චෝදනාවක් තහවුරු වී නැති බවයි. බුද්ධි අංශ මගින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙම සංවිධාන පිළිබඳව විමර්ශන පැවැත්වූ බව ද එහිදී සඳහන් වී ඇත.

Related articles

කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරය දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ තීරණය දැනුම්දීමට...

අතරමඟ නැවතුණු Campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිමකිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි !

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි...

“මට ඉතාම ප්‍රබල ලෙස බලපෑව නවකතාවක් තමයි වාසිලි ග්‍රොස්මන්ගේ Life and Fate”

මට ඔබේ කියැවීමේ පුරුදු ගැන ටිකක් කියන්න පුළුවන්ද? Arundhati Roy : මම කේරළයේ උස් මහත් වෙද්දි, මගේ මොළේ ඉංග්‍රීසි කොටස...

මියගියත් ජීවත්වෙන මිනිහෙක්

අපට 'බාහු" වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ...