ට්‍රම්ප් දිගට හරහට නෙලයි…

Share post:

යුරෝපා සංගමයට, මෙක්සිකෝවට, 30% යි. කැනේඩියානු භාණ්ඩ වලට 35% යි..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු වන මෙක්සිකෝවට සහ යුරෝපා සංගමයට 30% ක තීරුබදු පනවන බව ඊයේ (12) දින නිවේදනය කළේය.

“ඔබ සමඟ අපගේ විශාල වෙළඳ හිඟයක් පවතිනවා. එසේ තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සමඟ දිගටම වැඩ කිරීමට එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත්, අපි ඉදිරියට යාමට තීරණය කර ඇත්තේ වඩාත් සමබර හා සාධාරණ වෙළඳාමකින් පමණයි. ” ට්‍රම්ප් යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් වෙත ලියූ ලිපියේ එසේ සඳහන් කර තිබෙනවා.

මේ වසරේ අප්‍රෙල් මස සිට ට්‍රම්ප්, ඇමරිකානු වෙළඳ හවුල්කරුවන් මත තීරුබදු මාලාවක් පනවනු ලැබුවා. පසුව ඒවාට විරාමයක් ලබා දුන් අතර, ඉන් අනතුරුව එම ප්‍රතිශතයන් වැඩි කර හෝ අඩු කර හෝ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පසුගිය සඳුදා සිට ට්‍රම්ප් 40% දක්වා අනුපාත සහිත තීරුබදු ලිපි බෙදා හැරි අතර ඒවා අගෝස්තු 1 වන දින සිට යාවත්කාලීන වන බව පවසා සිටියා. මේ අනුව එම තීරුබදු වලට මුහුණ දෙන රටවල් වල ලැයිස්තුවට EU සහ මෙක්සිකෝව ද එක්වුණා.
යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට යැවූ ලිපිවල ට්‍රම්ප් පවසා ඇත්තේ, 25% ක මෝටර් රථ වැනි ආංශික තීරුබදු හැර, අන් සියලුම ආනයන 30% ක තීරුබද්දට යටත් වන බවයි.

අගෝස්තු 1 වන දින අවසන් වීමට පෙර යුරෝපා සංගමය ගිවිසුමක් කරා අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බව යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

නමුත්, යුරෝපා සංගමයට අපනයන සඳහා 30% ක තීරු බද්දක් ගෙවීමට සිදුවීමෙන් අත්ලාන්තික් සාගරයේ දෙපස භාණ්ඩ සැපයුම් දාම, ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට විශාල හානියක් ඇති වන බව ඇය පැවසුවා. යුරෝපා සංගමය, අවශ්‍ය නම් සමානුපාතික ප්‍රතිවිරෝධතා අනුගමනය කිරීම ඇතුළුව යුරෝපා සංගමයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනු ඇතැයි ද වොන් ඩර් ලේන් පවසනවා.

යුරෝපීය කොමිසම “යුරෝපීය අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කළ යුතු” බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් X සමාජ මාධ්‍යයේ සටහනක් තබා ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන්, අගෝස්තු 1 වන දින වන විට කිසිදු එකඟතාවයකට නොපැමිණියේ නම්, බලහත්කාරයට එරෙහි වීම ඇතුළුව එහි ඇති සියලුම උපකරණ බලමුලු ගැන්වීමෙන්, විශ්වාසදායක ප්‍රති-පියවර සකස් කිරීම වේගවත් කිරීම මෙයින් ගම්‍ය වෙන බව ඔහු සිය සටහනේ ලියා තිබෙනවා.
මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් වෙත යොමු කරන ලද ලිපියේ ට්‍රම්ප් ඇයට කියා ඇත්තේ, මෙක්සිකෝව ඇමරිකානු දේශසීමාව ආරක්ෂා කර ගැනීමට තමන්ට උදව් කරමින් සිටින නමුත් මෙක්සිකෝව කර ඇති දේ ප්‍රමාණවත් නැති බවයි.

මෙක්සිකෝවේ ආර්ථික අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ් X සමාජ මාධ්‍යයෙ හි සටහනක් පළ කරමින් කියා ඇත්තේ, නව තීරුබදු අනුපාතයක් ස්ථාපිත කිරීමේ සැලසුම් “අසාධාරණ ලෙස සැලකීමක්” වන බවත්, එයට තමන් එකඟ නොවූ බවත්ය. නමුත් එක්සත් ජනපදය සහ මෙක්සිකෝව දේශසීමාවේ දෙපසම ව්‍යාපාර සහ රැකියා ආරක්ෂා කිරීම සඳහා විකල්පයක් සොයා ගැනීමට තමන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු කියා තිබේ.
තීරුබදු නියම කරමින් යවන ලද ලිපිවල, ට්‍රම්ප් පවසා ඇත්තේ, එක්සත් ජනපද ආනයන සඳහා අය කරන ලද තීරුබදු සඳහා වන ඕනෑම පළිගැනීමකට එක්සත් ජනපදයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. “ඔබ (තීරුබදු) වැඩි කිරීමට තෝරා ගන්නා සංඛ්‍යාව කුමක් වුවත්, එය අප අය කරන 30% ට එකතු කරනවා.” යැයි ට්‍රම්ප් යවන ලද ලිපිවල ලියා තිබෙනවා.

යුරෝපා සංගමය සහ මෙක්සිකෝව මත තීරුබදු පැනවීමට අමතර හේතු ලෙස ඔහු තීරුබදු සහ තීරුබදු නොවන වෙළඳ බාධක යන දෙකටම දොස් පවරා තිබෙනවා.

ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයේ සාමාජිකයින් කිහිප වතාවක්ම කියා සිටියේ EU හොඳ විශ්වාසයකින් සාකච්ඡා නොකරන බවයි. මීට මාස දෙකකට පෙර, වෙළඳ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැතිකම නිසා ට්‍රම්ප් කොතරම් කෝපයට පත් වූවාද කිවහොත්, ජුනි 1 වන දින EU වෙතින් ලැබෙන භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවීමට ඔහු සූදානම් වුණා.
යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට ලිපි යැවීමෙන් පසුව, ට්‍රම්ප් කැනේඩියානු භාණ්ඩ කිහිපයකට 35% ක තීරුබදු පනවන බවට තර්ජනය කර තිබෙනවා.

සුනිල් ගාමිණී ජයලත්ගේ

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...