‘රණවීර’ කියන නම ඇහුණා ම, මට ඔළුවට එන වචන දෙක ‘හයිකු’ එක්ක ‘ඊඩිපස්’

Share post:

එක පැත්තකින් කවියෙක්, අනෙක් පැත්තෙන් පරිවර්තකයෙක් වගේ ම ශාස්ත්‍රීය පඨනයක් ඇති ලිපි ලියන්නෙක් ද වන ආරියවංශ රණවීර, පුවත්පත්වලට ලියූ ලිපි, කළ දේශනවල කරුණු ඇතුළත් ලිපි සහ නවතම ලිපි කිහිපයක් ඇතුළත් කෘතියක්, ‘හද බස සහ වෙනත් ලිපි’. ඇතැම් ලිපි ඔහු දිවයින, ‘වටමඬල’ට ලියූ ලිපිවල සහ ‘සංස්කෘතිය සහ ගොඩ්සිලාකරණය’ කෘතියේ එන ලිපිවල දිගුවක් ලෙසත් පෙනෙන්න තිබෙනවා. කවි පක්ෂයට නැඹුරුව මෙහි ලිපි 14ක් ඇතුළත්. මේ සටහන පොතේ එන ලිපි ගැන ම නෙමේ, ඔහු කළ කෘති කිහිපයක් ගැන ඉතා ම කෙටි දළ සටහනක් පමණයි.

රණවීර පොදුවේ බටහිර කවීන්ගෙ කවි කියැවීමෙන් විශේෂයෙන් එස්රා පවුන්ඩ්, ටී.එස්.එලියට් ආදීන්ගෙ කවි සහ ලෝක කවි මගෙහි ආස්ථානය හැදෑරීමෙන් තමන්ගේ කවිය පෝෂණය කරගන්න වගේ ම අනෙක් අයට ඒවායෙ දිග පළල පෙන්වාදීමේ වෑයමකුත් දැරූ අයෙක්. අප මුල දී ම සඳහන් කළ පරිදි ඔහුගේ එක් භූමිකාවක්, අනෙක් භූමිකාව වෙනුවෙන් අන්‍යෝන්‍ය දායකත්වය දක්වා ඇති බව පෙනෙන්නට තිබෙන කරුණක්. මෙලෙස ඔහු හඳුනාගත් කවියන් සහ ඔවුන්ගේ ලක්ෂණ සම්බන්ධයෙන් මූලික හඳුන්වාදීම් ඔහු ‘කවිය සහ කවියා’ සහ ‘ඇමරිකානු කවියට පෙරවදනක්’ වැනි කෘතිවලින් සිදුකළා. රණවීර ගැන ‘පහන සහ කැඩපත’ට ලියන ලියනගේ අමරකීර්ති සහ ‘තමාගේ ම ගීය ගයන තණ ගිරවා’ ලියූ ප්‍රියංකර නිවුන්හැල්ලගේ සටහන් ආයෙ ආයෙ කියවිය යුතු දෑ. මේ ලිපි සරණියේත් විදෙස් කවීන්ගේ කවි ගැන විමසුම් ලිපි කියවන්න පුළුවන්.

හයිකු – චීන කාව්‍ය විශයෙහි හසළ දැනුමැති ආරියවංශ රණවීර ඒ කව් පරිවර්තනය කරමින් කෘති ලෙස පළ කළා වගේ ම, දීර්ඝ විවරණ සහිතව පාඨකයාට හඳුන්වා දුන්නා, ‘සංස්කෘතිය සහ ගොඩ්සිලාකරණය’ කෘතියේ චීන කවි ගැන සඳහන් ලිපි මගින්. මෑතකාලීනව, අපරැක්කේ සිරිසුධම්ම හිමිගේ ‘කෙටි කවි ලකුණ’ පොතෙනුත් මෙය වඩාත් දීර්ඝව සාකච්ඡා ව තිබෙනවා. ‘හද බස සහ වෙනත් ලිපි’ එකතුවේත්, රණවීර හයිකු ගැන නැවතත් කතාකරනවා.

ගුණදාස අමරසේකරගේ හදබස ගැන කරන සඳහන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ‘සහෘද සාක්ෂිය’ පොතේ ලියනගේ අමරකීර්ති කරන සඳහන ( ‘හදබස් ප්‍රවාදය’ ) අපේ හිස් කනපිට ගහලා ආයෙ හිතන්න පොලඹවාලූ දෙයක්. ආරියංශ රණවීර මේ ලිපි සංග්‍රහයේ එන ‘හද බස සොයා යාම’ නම් ලිපියෙ දි, මේ හදබස ගැන කරුණ වඩාත් විස්තර වශයෙන් දක්වනවා. අමරසේකරගේ විමසුම් කෘතිවල ඔහු කියූ වදන් ම යොදාගෙන ගැටළු තැන්, කුකුස් තැන්, විවාදාපන්න තැන් මෙහි යළි යළි ප්‍රශ්න කරමින් පැදුරක් වගේ ඔහු එළා පෙන්වනවා.

පොදුවේ ඔහුගෙ පරිවර්තන හෝ විවරණ සටහන් ලිපිවලට වඩා පාඨක අවධානය ඔහුගේ කාව්‍ය භූමිකාව වෙනුවෙන් පවතින නමුත්, ඒ ලිපි එකතු මග ඇර යානොහැකි තැන්. ඔහු මීට පෙර ලියූ ‘බටහිර විචාර විධි’ කෘතිය මෙතැනදි අපට මතක්වෙනවා. විචාර වාද,පටන් ගන්න හේතු වුණු පසුබිම, ඒ ඒ යුගවල ප්‍රමුඛයො කවුද, ලක්ෂණ මොනවාද, වැළලුණේ ඇයි වගේ දේවල් විස්තරාත්මකව එහි ඇතුළත්. ආරියවංශ රණවීරගේ ‘හද බස සහ වෙනත් ලිපි’ එකතුවේදිත් විචාර ක්‍රම සහ වාද ගැනත් සඳහන් කරනවා. නමුත් බොහෝකොට ම ලිපි ඇත්තේ කවිය ගැන යි.

මේවා එක හුස්මට කියවන්න පුළුවන් ලිපි නෙමේ. තේරුම්ගනිමින්, ඒ තේරීමෙන් වෙන විපර්‍යාසය වෙනුවෙන් ඔළුවට ඉඩ දෙමින්, ටික ටික කියවිය යුතු ලිපි. ඒ ක්‍රියාවලියට කාලය වුවමනයි.

සමහර වචන ඇහෙද්දි ම අපේ ඔළුවට එන වචන කිහිපයක් තියෙනවා අර මුල් වචනෙන් ගළවලා හිතන්නවත් බැරි. ‘රණවීර’ කියන නම ඇහුණා ම, මට තවමත් එසැණින් ඔළුවට එන්නෙ වචන දෙක යි. ඒ ‘හයිකු’ එක්ක ‘ඊඩිපස්’.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...