වෙඩි තැබූ තරුණයා අපරාධකරුවෙකු කිරීමේ පොලිස් නාටකය ! : අක්මීමන පොලිස් නිලධාරීන් කිව්වේ ඇත්තද කියලා හොයනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

ගාල්ල, අක්මීමන පොලිසියේ නිලධාරියෙකු විසින් කරන ලද වෙඩි තැබීමක් නිසා තරුණයෙකු රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පවත්වන බවත්, එම විමර්ශනයේදී පොලිසියේ ක්‍රියාකලාපය සහ පොලිස් නිලධාරීන් පැවසූ කරුණුවල සත්‍ය-අසත්‍ය බව පිලිබඳව ද විශේෂ අවධානය යොමුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව thetime.lk  කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම සිදුවීමේදී අදාළ තරුණයා විසින් අත් බෝම්බයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කිරීම නිසා වෙඩි තැබූ බව මුලදී පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (14) පැවසුවේ සිදුවීමෙන් පසු කරන ලද පරීක්ෂාවේදී එම ස්ථානයේ තිබී අත් බෝම්බයක් සහ ජීව උණ්ඩ හමුවූ බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් කර තිබේ.

දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍යයි !

අක්මීමන – වංචාවල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මලීෂ විදුරංග දිසානායකට පොලිසියෙන් වෙඩි තබා තිබුණේ පසුගිය 10දා රාත්‍රියේ ය. ඇසට පහළින් ඔහුගේ සිරුරට ඇතුළු වූ උණ්ඩය කණ අසලින් එළියට ගොස් තිබේ. මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ මලීෂ විදුරංග ප්‍රතිකාර ලබයි. වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ ජීවිතයට හානියක් නැතත්, වෙඩි ප්‍රහාරයෙන් මතු වූ ස්නායු ගැටළුවලට දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍ය වනු ඇති බවයි.

උපරිමයෙන් කටයුතු කරනවා – මලීෂගේ සහෝදරයා

මෙම සිදුවීම සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී මලීෂ විදුරංගගේ වැඩිමහලු සොහොයුරා වන භානුක දිසානායක පැවසුවේ මෙම සිදුවීමේදී පොලිසිය තම සහෝදරයා අපරාධකරුවෙකු බව පෙන්වීමට උත්සාහ කිරීම, වෙඩි තැබීම ඇතුළු සියලු අසාධාරණවලට එරෙහිව හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

පහත දැක්වෙන්නේ ඔහු මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකළ සටහනකි.

‘අක්මීමන පොලීසිය විසින් වයස අවුරුදු 21 වූ මාගෙ ආදරණීය සහෝදරයා හට වෙඩි තබා බරපතල තුවාල සිදුකර අසත්‍ය චෝදනා නගමින් අත්බෝම්බයක් සහ T56 උන්ඩ 105 ක් දමා බොරු නඩුවක් දැමීම සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිමි.

මාගේ බාලම සහෝදරයා වන මලීෂ විදුරංග දිසානායක, 2023-06-10 දින රාත්‍රී 9 ට පමණ සංගීත සංදර්ශනයක් බැලීමට යාම සඳහා යහළුවෙක් සමග නිවසින් පිටව ගොස් ඇත. එදිනම රාත්‍රී මීගොඩ පදිංචි අදාළ යහළුවාගේ මව අපගේ නිවසට පැමිණ ඇය පවසා ඇත්තේ පොලිසිය විසින් මාගේ සහෝදරයා හට වෙඩි තබා ඔහුව කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එම පණිවිඩය ලැබුණු විගස මව විසින් ඒ බව මා දැනුවත් කර මාගේ මවත් පියාත් සහෝදරයා බැලීමට ගිය අතර ඒ වනවිට මාගෙ ආදරණීය සහෝදරයා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ මුහුණට වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටින ලදී. මමත් මාගෙ රාජකාරි කටයුතු පසෙකලා ඉතා ඉක්මනින් රෝහල කරා යාමට පිටත් වුණි. එම අවස්ථාවේදී මෙය මට කිසිසේත්ම අදහාගත නොහැකි ඉතා කනස්සල්ලට පත් කරුණක් වුණි.

ඒ වනවිට අක්මීමන පොලීසියේ නිලධාරීන් හා ගාල්ල පොලීසියේ නිලධාරීන් පැමිණ සිටි අතර මගේ සහෝදරයාගෙන් විස්තර විමසීමේදී සහෝදරයාගේ මිතුරෙකු සමග මොටර් සයිකලයෙන් ගමන් කරමින් සිට ආනන්ගොඩ ප්‍රදේශයේ අතුරු පාරක නතර කරගෙන බීඩි කොටයක් බොමින් සිටියදී පොලිස් යතුරුපැදියක් පැමිණි බවත් ඒ සමගම මාගේ සහෝදරයාගේ මිතුරා මොටර් සයිකලයෙන් පොලීසිය එන බව පවසා ඉදිරියට වේගයෙන් ගිය බවත් මල්ලීට කිසිවක් කර කියා ගත නොහැකිව සිටින විට පොලීසියෙන් අල්ලාගත් බවත්, බයට පොලිසියෙන් බේරී දුවන විට වෙඩි හඬක් ඇසුණු බවත්, එම වෙඩි හඬත් සමග මල්ලිගේ මුහුණට වෙඩි වැදී ඉදිරියට දුවගෙන ගිය බවත්, එම වෙඩි එ යනවිට මල්ලී සමඟ ගිය මිතුරා මාර්ගයේ නතර වී සිටි බවත්, මිතුරා තුවාල ලබා සිටි මල්ලිව මෝටර් බයිසිකලයේ නංවාගෙන කරාපිටිය රෝහලට පැමිණ ඇතුළත් කල බවත් මල්ලී මට පවසා සිටින ලදි.

මෙම සිද්ධියෙන් පසු මා ඇතුළු අප රෝහලට පැමිණ සිට දැන ගත් පරිදි පොලිස් නිලධාරියෙක් හමුවේ මල්ලීට වෙඩි තැබුවේ ඇයි කියා විමසීමේදී “පුතා හොඳ එකෙක් නෙමෙයි බෝම්බයකින් ගහන්න හදල තියනවා” කියා මාගේ මව සහ පියා ඉදිරිපිටදී පවසා ඇත.

ඊට පසු රූපවාහිනී ඇතුළු සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය උනේ මාගේ මල්ලී පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයකින් පහර දෙන්න හදන විට මල්ලීට වෙඩි තැබූ බවත්, අත් බෝම්බයක් සහ T56 උන්ඩ 105 ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවත්ය.

මාගේ මල්ලී ජීවිතේට අත්බෝම්බයක් දැක හෝ අල්ලා නොමැති බව මට විශ්වාසයන්ම පැවැසිය හැකි අතර ප්‍රදේශයේ ඕනෑම කෙනෙකුගෙන් අප පවුල ගැන සහ මගේ මල්ලී ගැන රහසිගතව පරීක්ෂණයක් පැවැත්වුවහොත් අප කවුද යන්න අනාවරණය කර ගත හැකි බව වගකීමෙන් පවසා සිටිමි.

පොලිස් නිලධාරියෙකු, දුවගෙන ගිය මගේ මල්ලීට වෙඩි තබා බරපතල තුවාල සිදුකර ඊට අමතරව බොරු චෝදනා නඟමින් මිනීමරුවෙකු සේ පොලිසිය සලකන ආකාරයට මාගේ මල්ලීට අත් බෝම්බයක් හා T56 උන්ඩ 105 තියා ගත් බවට බොරු නඩුවක් දැමීම පොලීසිය විසින් සිතාමතාම වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම සඳහා කරන ලද්දක් බව වගකීමෙන් යුතුව මා ප්‍රකාශ කරමි.

මෙවැනි බොරු චෝදනා නගමින් පොලිස් නිලධාරියෙකුට අත් බෝම්බ ප්‍රාහාරයක් එල්ල කිරීමට තරම් පාතාලයට සම්බන්ධ අයකු මාගෙ ආදරණීය මල්ලී නොවන බවත් පවසා සිටින අතර මෙම සිද්ධියට පෙර අඩුම තරමින් රථ වාහන නඩුවකට වත් මාගේ මල්ලී හසුවී නැත.

මෙම අසත්‍ය චෝදනා නගමින් මගේ සහෝදරයාට වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම සඳහා අත් බෝම්බයකින් පහර දෙන්න හදන විට වෙඩි තැබූ බවට පොලිසිය විසින් ජන මාධ්‍ය වලට අසත්‍ය තොරතුරු පවසා සිටීමෙන් කිසිම වරදකට සම්බන්ධ නැති අප පවුලේ සියලු දෙනාටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා ඇතුළු පොලිස් නිලධාරීන් ප්‍රචාරණය කරමින් අපට කර ඇති අපරාධය හා අපහාසය, මෙය කියවන ඔබ තුමා/තුමියගේ පවුලේ අයකුට සිදු වුවහොත් වැටහෙනවා ඇතැයි මා කනගාටුවෙන් වුවද පවසා සිටිමි.

ඉහත කරුණු අනුව ගාල්ල පොලීසිය හා අක්මීමන පොලීසිය මගින් සිදු කරන පරීක්ෂණ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය. මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා සාමකාමීව කිසිම වරදක් නොකර ජීවත්වන අප පවුලට සාධාරණයක් ඉෂ්ඨ විය යුතු අතර පොලිස් නිලධාරීන් මෙවැනි බොරු නඩුවක් දැමීම සදහා අත් බෝම්බයක් සහ T56 උන්ඩ 105 ලැබුණු ආකාරය සම්බන්ධවද සාධාරණ පරීක්ෂණයක් පවත්වා සත්‍ය අනාවරණය කරගෙන එවැනි වැරදි කරන පොලිස් නිලධාරීන්ටත් එම වැරදි අනුබල හා උපදෙස් ලබාදුන් උසස් පොලිස් නිලධාරීන්ටත් නීතීමය පියවර ගෙන සාධාරණයක් ඉටුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද පොලීසිය යනු මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා බැදී සිටින ඉතාමත් වැදගත් ආයතනයක නිලධාරීන්, සාධාරන වැරදි නොකරන මහජනතාවට වෙඩි තබා අත් බෝම්බ සහ T56 උන්ඩ බොරුවට දමා නඩු දැමීමෙන් මා ඇතුළු මාගේ පවුලේ අයවලුන්ටත් ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට වෛර කිරීමක් ඉදිරියට ඇති නොවන පරිදි සාධාරණ පිළිගත් අවංක ඒකකයකට පරීක්ෂණ කටයුතු ලබා දී අප පවුලට එල්ලවී ඇති පාතාලයේ වැනි දරුණු වැරදි අපහාසය දුරු කිරීම සඳහා කටයුතු කර දෙන මෙන් ඉතාම ගෞරවයෙන් හා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙම සියලුම කරුණු සැලකිල්ලට ගෙන අප පවුලට සාධාරණයක් ඉටු නොවුවහොත්, කාටවත් කරදරයක් නොකර අප පවුලේ මම දෙවැනි මල්ලී නංගී පොඩි මල්ලී සහ අපේ අම්මා තාත්තා තම තමන්ගේ ජීවිත ගැන ගන්නා ඕනෑම බරපතළ තීරණයකට ශ්‍රී ලංකා පොලීසිය වග කිව යුතු බව මා මෙයින් දන්වා සිටිමි.’

අධිකරණය !

මෙම සිදුවීම සහ සොයාගත් බව පැවසූ ආයුධ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, එය ලබන 21දා විභාගයට ගැනීමට නියමිත ය. මේ වන විට පොලිසිය මලීෂ විදුරංග දිසානායකගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...