“මම ඉරාන සිනමාකරුවෙක්, මට නිර්මාණ කළ හැක්කේ මගේ පස මත සිටයි”

19

ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂ ජෆාර් පනාහි ජාත්‍යන්තර සම්මාන ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා විදේශගත වීමෙන් පසු යළි ඉරානයට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය අඟහරුවාදා පනාහි, තුර්කිය හරහා ගොඩබිම් මාර්ගයෙන් රටට ඇතුළු වූ බවයි පැවසෙන්නේ. ඔහු ඉරානයෙන් පිටත සිටියේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී පාම් ඩි’ඕර් සම්මානය දිනාගත් සහ ඇකඩමි සම්මාන සඳහා කෙටි ලැයිස්තුගත කරන ලද ඔහුගේ චිත්‍රපටය වන It was just an accident යන චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහායි.

ජෆාර් පනාහි ගේ සියරට පැමිණීම ප්‍රවෘත්තියක් වන්නේ ඉරාන රජය විසින් ඔහුගේ බොහෝ චිත්‍රපට එරට තුළ තහනම් කර තිබීමත්
​2010 වසරේදී ඔහුට වසර 6ක සිරදඬුවමක් සහ වසර 20ක කාලයක් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම, තිරපිටපත් ලිවීම සහ රටින් පිටවීම තහනම් කරමින් නියෝග පනවා තිබූ නිසා.

ඔහු ඉරාන සිනමාවේ “නව රැල්ලේ” (Iranian New Wave) ප්‍රමුඛයෙකු වන අතර, මානුෂීය සහ සමාජීය ගැටලු තම නිර්මාණ හරහා ඉතා නිර්භීතව ඉදිරිපත් කරන්නෙක් . ඔහුගේ නිර්මාණ බොහෝ විට “නව යථාර්ථවාදී” (Neorealism) ලක්ෂණ පෙන්වන අතර, ඉරාන සමාජයේ කාන්තාවන්, දරුවන් සහ දිළිඳු ජනතාව මුහුණ දෙන අසීරුතා පිළිබඳව ඔහු සිය සිනමා නිර්මාණයන්ගෙන් අවධානය යොමු කරනවා.
ජෆාර් පනාහි ලොව ප්‍රධානතම සිනමා උළෙල තුනේදීම (කෑන්ස්, බර්ලින් සහ වැනිස්) ප්‍රධාන සම්මාන දිනාගත් සිනමාකරුවන් සිව්දෙනාගෙන් අයෙකි.

​The White Balloon (1995): කෑන්ස් සිනමා උළෙලේ “Caméra d’Or” සම්මානය.
​The Circle (2000): වැනිස් සිනමා උළෙලේ “Golden Lion” සම්මානය.
​Taxi (2015): බර්ලින් සිනමා උළෙලේ “Golden Bear” සම්මානය.
​It Was Just an Accident (2025): කෑන්ස් සිනමා උළෙලේ “Palme d’Or” (රන් පලස) සම්මානය.
ඔහුගේ නිර්මාණ දිනා තිබෙනවා.

ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙල ත්‍රිත්වය වන කෑන්ස් (Cannes), බර්ලින් (Berlin) සහ වැනිස් (Venice) යන උළෙල තුනේදීම ඉහළම සම්මානය (Grand Slam) දිනාගත් සිනමාකරුවන් සිව්දෙනා අතරට ජෆාර් පනාහි එක්වන්නේ ඉතා දුර්ලභ ගණයේ දක්ෂයෙකු ලෙස.
​ඔහු හැරුණු විට මෙම සුවිශේෂී වාර්තාව තැබූ අනෙකුත් අධ්‍යක්ෂවරුන් තිදෙනා වන්නේ,

​1. මයිකල් ඇන්ජලෝ ඇන්ටෝනියෝනි (Michelangelo Antonioni) – ඉතාලිය
​නූතන සිනමාවේ දැවැන්තයෙකු වන මොහු, සිනමා ඉතිහාසයේ මෙම “ත්‍රිත්ව කිරුළ” පළමුවෙන්ම දිනාගත් අධ්‍යක්ෂවරයායි.
​වැනිස් (Golden Lion): Red Desert (1964)
​කෑන්ස් (Palme d’Or): Blow-up (1967)
​බර්ලින් (Golden Bear): La Notte (1961)

​2. රොබට් ඇල්ට්මන් (Robert Altman) – ඇමරිකා එක්සත් ජනපදය
​ඇමරිකානු සිනමාවේ සම්ප්‍රදාය විවේචනය කළ, ස්වභාවික රංගන ශෛලියක් හඳුන්වා දුන් අධ්‍යක්ෂවරයෙකි.
​කෑන්ස් (Palme d’Or): MASH (1970)
​බර්ලින් (Golden Bear): Buffalo Bill and the Indians (1976)
​වැනිස් (Golden Lion): Short Cuts (1993)

​3. හෙන්රි-ජෝර්ජ් ක්ලූසෝ (Henri-Georges Clouzot) – ප්‍රංශය
​ත්‍රාසජනක සිනමාවේ (Suspense/Thriller) පියා ලෙස සැලකෙන මොහු, හිච්කොක්ට පවා අභියෝග කළ නිර්මාණකරුවෙක්
​කෑන්ස් (Palme d’Or): The Wages of Fear (1953)
​බර්ලින් (Golden Bear): The Wages of Fear (1953)
​වැනිස් (Golden Lion): Manon (1949)

​මෙම ලැයිස්තුවට අනුව ජෆාර් පනාහි සුවිශේෂී වන්නේ එම ගෞරවය දිනාගත් එකම ආසියානු සිනමාකරුවා ඔහු වන බැවින්. විශේෂයෙන්ම තමාට එරෙහිව පනවා තිබූ වාරණ සහ තහංචි මධ්‍යයේ ඔහු මෙම ජයග්‍රහණ අත්කර ගැනීම සිනමා ලෝකයේ මවිතයට කරුණක් වුණා.
ජෆාර් පනාහිගේ ජීවිතය සිනමාව තරමටම අරගලකාරී එකක්. ඔහුගේ බොහෝ චිත්‍රපට ඉරාන රජය විසින් එරට තුළ තහනම් කලා.
​2010 වසරේදී ඔහුට වසර 6ක සිරදඬුවමක් සහ වසර 20ක කාලයක් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම, තිරපිටපත් ලිවීම සහ රටින් පිටවීම තහනම් කරමින් නියෝග පැනවුණ නිසා ඔහු රහසිගතව චිත්‍රපට නිපදවීම සිදු කලා. ඔහුගේ “This Is Not a Film” (2011) චිත්‍රපටය ඉරානයෙන් පිටතට හොර රහසේ රැගෙන ගියේ කේක් ගෙඩියක් තුළ USB එකක සඟවා තබා රැගෙන යාමෙන්.

ජෆාර් පනාහි සම්බන්ධයෙන් ඇති සුවිශේෂීම කරුණ නම්, ඔහු ඉරානයට පැමිණීම නොව, ඔහුට පනවා ඇති දැඩි විදේශ ගමන් තහංචි මධ්‍යයේ පවා ඔහු තම මව්බිම හැර නොයාමට තීරණය කිරීමයි. ලෝකයේ ඕනෑම රටක ඔහුට රැකවරණය සහ සිනමාව සඳහා පහසුකම් ලැබීමට ඉඩ තිබියදීත් ඔහු ඉරානය තුළම රැඳී සිටීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා.

පනාහි විශ්වාස කරන්නේ සැබෑ සිනමාකරුවෙකු තම රටේ ජනතාවගේ දුක, වේදනාව සහ සැබෑ තත්ත්වය ලෝකයට හෙළි කළ යුතු බවයි. “මම ඉරාන සිනමාකරුවෙක්, මට නිර්මාණ කළ හැක්කේ මගේ පස මත සිටයි” යන්න ඔහුගේ ස්ථාවරයයි.

​රට හැර යාම යනු රජයේ මර්දනයට යටත් වීමක් ලෙස ඔහු දකිනවා. තහංචි මධ්‍යයේ වුවද රට තුළ රැඳී සිටිමින් නිර්මාණ කිරීම හරහා ඔහු පාලකයන්ට පෙන්වන්නේ තමන්ව නිහඬ කළ නොහැකි බවයි.

​ ඔහුගේ සිනමාවට පදනම වන්නේ ඉරාන සමාජයේ වීදි, සාමාන්‍ය ජනතාව සහ ඔවුන්ගේ ගැටලුයි. පිටරටක සිට ඔහුට එම “ජීවය” තම නිර්මාණවලට ලබාගත නොහැකි බව ඔහු තරයේ විශ්වාස කරනවා.

බොහෝ අවස්ථාවලදී ඔහුට රටින් පිටවීමට අවසර නොලැබුණු අතර, ඔහු රටින් පිටවුවහොත් නැවත පැමිණීමට ඉඩ නොලැබෙන බවට (පිටුවහල් කිරීමකට ලක්වන බවට) රජය වක්‍රව අනතුරු අඟවා තිබුණා.

​ඔහු වරක් ප්‍රකාශ කළේ, තමන් සිරගතව සිටියද, නිවසේ සිරවී සිටියද, තම මව්බිමේ සුවඳ සහ ප්‍රතිරෝධය (Resistance) තමන්ට නිර්මාණකරණයට ශක්තියක් වන බවයි. 2023 සහ 2024 වසරවලදී ඔහුට යම් නිදහසක් හිමි වූ බව පෙනුණත්, ඔහු තවමත් තෝරාගෙන ඇත්තේ ඉරානය තුළම රැඳී සිටිමින් තම හඬ අවදි කිරීමටයි.

කපිල එම්. ගමගේ