ලෝකයේ බලවත්ම ගුවන් යානයක් ලෙස සැලකෙන ඇමරිකානු “F-15E Strike Eagle” යානයක් ඉරානය විසින් බිම හෙළා තිබෙනවා. මේ සිදුවීම හුදෙක් යානයක් කඩා වැටීමක් පමණක් නොවෙයි. මෙය දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක සහ ලේ වැකි යුද්ධයක අලුත්ම පරිච්ඡේදයයි.
ඉරානයේ “Kohgiluyeh” ප්‍රාන්තයට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු ප්‍රහාරක යානයක්, ඉරාන ආරක්ෂක අංශවල ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මෙහි ඇති පුදුමය නම්, ඇමරිකානු මධ්‍යම විධානය හෙවත් “CENTCOM” මුලදී මෙය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමයි.
“අපේ සියලුම යානා සුරක්ෂිතයි” යනුවෙන් ඔවුන් නිල ප්‍රකාශ නිකුත් කරන විටත්, ඉරාන සිවිල් වැසියන් කඩා වැටුණු යානයේ සුන්බුන් සහ ගුවන් නියමුවන්ගේ අසුන් හෙවත් ‘Ejection Seats’ අසල සිට ඡායාරූප ගනිමින් සිටියා. මෙය හරියට, “පුර හඳ පේනවා කියා කියද්දී, නෑ නෑ රෑ බෝ වෙලා නැහැ” කියනවා වගේ වැඩක්. අවසානයේදී CBS, AP සහ WSJ වැනි ලෝක ප්‍රකට මාධ්‍ය ආයතන තහවුරු කළේ ඇත්තටම ඇමරිකානු යානයක් බිම හෙළා ඇති බවයි.
යානය බිම වැටුණු සැණින් එතැන යුධ පිටියක් බවට පත් වුණා.. යානයේ සිටි ගුවන් නියමුවා සහ අවි පද්ධති නිලධාරියා ඒ කියන්නේ “WSO” යානයෙන් ඉවතට පැන, දිවි බේරාගෙන තිබුණත්, ඔවුන් සිටියේ සතුරු භූමියකයි.
ඉරාන රජය වහාම ක්‍රියාත්මක වී රජයේ රූපවාහිනිය හරහා නිවේදනයක් නිකුත් කළා.. “මෙම නියමුවන් අල්ලා දෙන අයෙකුට වටිනා ත්‍යාග පිරිනමනවා.” එතැන් සිට ආරම්භ වූයේ මහා ධාවන තරඟයක්. එක පැත්තකින් ඉරාන හමුදාව සහ බුද්ධි අංශ, අනෙක් පැත්තෙන් තෑගිබෝග අපේක්ෂාවෙන් පුද්ගලික වාහන වලින් එම ස්ථානයට ඇදී එන සිවිල් වැසියන්.
මේ අතරවාරයේ ඇමරිකාව කිලෝමීටර් 1000 ක් ඈත සිට තම විශේෂ බලකායන් සහ හෙලිකොප්ටර් යානා එවා තිබුණේ තම සගයන් බේරා ගැනීමටයි. අවසානයේදී අතිශය අවදානම් සහගත මෙහෙයුමකින් එක් නිලධාරියෙකු පණපිටින් බේරා ගැනීමට ඇමරිකානු විශේෂ බලකායට හැකි වුණා. නමුත් අනෙක් නිලධාරියා තවමත් අතුරුදහන්. ඔහු දැන් ඉරාන අත්අඩංගුවේ පසුවන සිරකරුවෙකු වීමේ අවදානම ඉතා ඉහළයි. මෙම යුද්ධයේදී ඇමරිකාවට සිදුවී ඇති පාඩුව සුළුපටු නැහැ.
දත්තයන්ට අනුව මේ වන විට විනාශ වී ඇති යුධමය දේපළවල වටිනාකම ඩොලර් 4,830,000,000 (බිලියන 4.8කට වඩා වැඩි) ඉක්මවනවා.යානා 25කට වඩා විනාශ වී ඇති අතර, ඉන් 6 ක්ම ප්‍රබල F-15 වර්ගයේ යානා.
මීට පැය 24 කට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය “සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවත් යුද්ධය අවසානයට ආසන්න” බවත්ය. නමුත් අද උදෑසන උදා වූයේ ඇමරිකාවට කටුක යථාර්ථයක් රැගෙනයි. යුද්ධය අවසන් වීම වෙනුවට, එය දැන් නවතම සහ භයානකම අදියරකට පිවිස තිබෙනවා.
ඉරානය ඇත්තටම දුර්වලද? නැතිනම් මෙය උගුලක්ද? මෙතැනදී අප සිතා බැලිය යුතු වැදගත් කරුණක් තිබෙනවා. සමහරු පවසන්නේ ඉරාන හමුදාව තමන්ගේම භූමියේදී කිලෝමීටර් 2 ක් දුරින් සිටි නියමුවන් අල්ලා ගැනීමට අපොහොසත් වීම ඔවුන්ගේ දුර්වලකමක් බවයි.
මහාභාරතයේ මහා යුද්ධය අතරතුර, අශ්වත්ථාමා අල්ලා ගැනීම සඳහා පාණ්ඩවයන් කළ මෙහෙයුම සිතන්න. අද ඉරාන රජය ඇමරිකානු නියමුවන් අල්ලා දෙන ලෙස ඉල්ලමින් “ත්‍යාගයක්” ප්‍රකාශ කිරීම, පැරණි රජවරුන් සතුරන්ගේ හිස වෙනුවෙන් “රන්” පොරොන්දු වූ ආකාරය සිහිපත් කරයි. ඉරාන රූපවාහිනිය මෙසේ නිවේදනය කළේය. “අපේ දේශයට ඇතුළු වූ ඒ සතුරු පක්ෂීන් අල්ලා දෙන්න. ඒ වෙනුවෙන් ඔබට වටිනා තෑග්ගක් හිමි වනු ඇත.”
මෙය ඇසූ සැණින් සිවිල් වැසියන් තම පෞද්ගලික වාහන වලින් කඩා වැටුණු ස්ථානයට වේගයෙන් ධාවනය කිරීම, දඩයමකට සැරසෙන වැසියන් පිරිසක් මෙන් දිස් විය. සාහිත්‍යයේ එන පරිදි, යුද්ධයකදී සාමාන්‍ය මිනිසුන් පවා නොදැනුවත්වම ප්‍රචණ්ඩත්වයේ හෝ ලාභයේ කොටස්කරුවන් වන ආකාරය මෙයින් පැහැදිලි වේ.
විලියම් ෂේක්ස්පියර්ගේ ජූලියස් සීසර් නාට්‍යයේ, සීසර් තමන්ගේ බලය ගැන අධික ලෙස විශ්වාස කළේය. ඔහු තමන්ට එන අනතුරු ඇඟවීම් නොසලකා හැරියේය. සිදුවීමට පැය 24 කට පෙර, ට්‍රම්ප් පැවසුවේ, ”ඉරානය දැන් සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා. මේ යුද්ධය දැන් ඉවරයි වගේ දෙයක්.” නමුත් පසුදා උදෑසන ඩොලර් බිලියන 4.8ක දේපළ අළු වී තිබුණි. ෂේක්ස්පියර් පෙන්වා දුන් පරිදි, ඕනෑම පාලකයෙකු තමන්ගේ ජයග්‍රහණය ගැන අධිතක්සේරුවෙන් සිටින මොහොත, ඔහුගේ පරාජයේ ආරම්භය විය හැකිය.
මේ සිදුවීම ඉරානය ලැබූ ජයග්‍රහණයක්ද? නැතිනම් ඇමරිකාව විසින් ඉරානය විනාශ කිරීමට පෑදූ මාවතක්ද? සැබෑ බලවතා කවුද? අහසේ සිට බෝම්බ හෙළන යානයද, නැතිනම් පොළොවේ සිට එය බිම හෙළන මිනිසුන්ද? මේ වෙලාවේ “රජයන්” කියන හැමදේම අපි පිළිගන්න ඕනිද?
සිනමා ඉතිහාසයේ යුධ මෙහෙයුම් ගැන කියැවෙන විශිෂ්ටතම නිර්මාණයක් වන “Black Hawk Down” චිත්‍රපටයේ මූලික තේමාව වන්නේ “කිසිම සගයෙකු තනි නොකරන්න” යන්නයි. ඉරාන අහසේ යානය බිම වැටුණු සැණින්, කිලෝමීටර් 1000ක් ඈත සිට ඇමරිකානු විශේෂ බලකායන් පැමිණියේ ඒ සිනමා වීරත්වය සැබෑවක් කරන්නටයි.
එක් නියමුවෙකු බේරාගැනීමේ මෙහෙයුම, රිඩ්ලි ස්කොට්ගේ චිත්‍රපටයක එන තත්පරයෙන් තත්පරය කුතුහලය පිරුණු දර්ශනයක් මෙන් දිග හැරුණි. එහි එක් දෙබසක, “යුද්ධය ආරම්භ වූ පසු, එය දේශපාලනය හෝ ධජයන් ගැන නොවෙයි. එය ඔබ අසල සිටින සගයා ගැනයි.”
ඇමරිකානු විශේෂ බලකාය හඹා ආවේ ඒ ‘අසල සිටින සගයා’ වෙනුවෙනි. නමුත් අනෙක් නියමුවා තවමත් අතුරුදහන්ව සිටීම, එම සිනමා පටයේ අවසානය මෙන් අපව දැඩි නිහඬතාවයකට පත් කරයි. මොනවා වුනත් එය හරි අපුරු අදහසකි, යුද්ධයකදි, අර්බුදයකදී, ආපදාවකදී.. අප මුලින්ම සෙවිය යුත්තේ, දේශපාලනය හෝ රට ගැන නොවේ, අප අසළ සිටින ‘සගයා’ ගැනයි.
කෙසේ වෙතත්, “CENTCOM” හිටපු මෙහෙයුම් නිලධාරියෙකු පැවසූ දෙය අතිශය බියජනකයි. “යම් රටක් තමන්ගේ යානයක් කඩා වැටුණු බව ප්‍රතික්ෂේප කරද්දී, එහි සුන්බුන් ලෝකයටම පෙනෙන්නට තිබේ නම් ඊළඟට සිදුවන දේ අතිශය දරුණු විය හැකියි.”
මෙයින් අදහස් කරන්නේ ඇමරිකාව දැන් පසුවන්නේ දැඩි ලජ්ජාවක සහ කෝපයක බවයි. තම අභිමානය රැක ගැනීමට ඔවුන් මීළඟට ගන්නා පියවර මුළු මැදපෙරදිගම ගිනි තැබීමට සමත් විය හැකියි.
ලෝකයේ කොහේ යුද්ධයක් ඇති වුවත් එහි රළ පහර අපේ දූපතටත් දැනේ. තෙල් මිල ඉහළ යාමේ සිට ගෝලීය ආර්ථික අස්ථාවරත්වය දක්වා, මෙහි බලපෑම විහිදීයයි. නමුත් ඊට වඩා වැඩි යමක් මෙහි ඇත. අද වැනි සන්නිවේදන ලෝකයක, “රජයන්” මොනවා කීවත්, බිම සිදුවන ඇත්ත සැඟවිය නොහැකියි.
සිවිල් වැසියන්ගේ ජංගම දුරකථන අද ප්‍රබලම බුද්ධි අංශය බවට පත්ව තිබේ. ජේසන් බෝන් චිත්‍රපට පෙළෙහි අප දකින්නේ, තොරතුරු වසන් කරන බලධාරීන් සහ කැමරා කාචයකින් සත්‍යය හඹා යන පුද්ගලයන්ය. අද ඉරාන සිවිල් වැසියන් තම ජංගම දුරකථන වලින් යානයේ සුන්බුන් වීඩියෝ කිරීම සහ ඡායාරූප ගැනීම, හරියට ඒ ජේසන් බෝන් ලෝකයට සත්‍යය හෙළි කරනවා වැනිය. පද්ධතිය විසින් “එහෙම දෙයක් වුණේ නැහැ” කියද්දී සාමාන්‍ය මිනිසුන් ලෝකයට පෙන්වූයේ “ඔව්, එය සිදුවුණා” කියායි.
සිනමා පටයක අවසානයේ නම්, මියුරු සංගීතයක් සමඟ වීරයා නිවසට පැමිණෙයි. නමුත් සැබෑ ලෝකයේදී, ඉතිරිව ඇත්තේ අතුරුදහන් වූ නියමුවෙකුගේ පවුලේ අයගේ කඳුළු සහ තව තවත් ලේ වැගිරීම් වලට මඟ පාදන දේශපාලන උණුසුමකි. අමතක නොකරන්න අප මේ නරඹමින් සිටින්නේ, ලෝක ඉතිහාසය මෙන්ම අපේ ජීවිතත් වෙනස් කරන තීරණාත්මක සිදුවීම් මාලාවකි. තවත් විග්‍රහකින් හමුවෙමු.

