හර්ෂනී පුෂ්පමාලා ආරච්චි “තුනු විල” හා “නින්නාද ..” යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම් හා සිතා බැලීම් පිළිබද අපූර්ව කාලීන සංවාදයක් ගොඩ නංවන්නීය.
” ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙස බලා ජන්දය දීමේ හුරුවක් මෙරට වැස්සන්ට නැත.එමෙන්ම ජයග්‍රහණයෙන් පසු ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කිරීමේ පුරුද්දක් දේශපාලකයන්ට ද නැත.”
හර්ෂනී අපගේ පාලකයන්ගේ හා වැසියන්ගේ දේශපාලන භාවිතාව පිළිබද “නින්නාද” තීරු ලිපි පෙළෙහි” බහුතර සිත” යන ලිපියෙන් උපහාසාත්මකව එසේ ප්‍රශ්න කරයි.
“නින්නාද” හා “තුනු විල” හර්ෂිනීගේ දේශපාලන සමාජ දෘෂ්ටිවාදය මැනවින් නිරූපණය කරන අපූර්ව කතිකාවකි.
සාමාන්‍යයෙන් ලාංකික පුවත්පත්කලාවේදිනියකට පුවත්පතක් තුළ තීරු ලිපි ලිවීමේ අවස්ථාව හිමි වීමේ අවකාශය සීමිත ය.එසේම දේශපාලන ආර්ථික සංසිද්ධීන් පිළිබද සිය අදහස් ප්‍රකාශ කිරීමට ලැබෙන ඉඩ කඩ ඊටත් විරලය.”ඇත්ත “පුවත්පත හරහා ලාංකික සමාජ දේශපාලනය ස්පර්ශයට ලද අවස්ථාව හර්ෂිනී පුෂ්පමාලා විසින් අපූර්ව ලෙස” නින්නාද” තුළින් දේශපාලනිකව අභ්‍යාස කිරීම අප අගය කළ යුතුය. ඇගේ සමාජ දේශපාලන දෘෂ්ටිවාදයෙහි වන පුළුල් බව සහ නිර්මාණාත්මක පරිකල්පනයෙහි වන අපූර්වත්වය ද භාෂාත්මක කෞශල්‍යය ද මනා ලෙස සුසංයෝගී කර ගෙන හර්ෂිනී ගැඹුරු සංවාදයක් ගොඩ නංවයි.
පුවත්පත් කලාවේදිනියක හා කිවිදියක වන හර්ෂිනී සිය අදහස් ප්‍රකාශනයේදී සෘජු හා රිද්මීය භාෂාත්මක සම්ම්ශ්‍රණයක් අත් හදා බැලීම නිසා ඇගේ නිර්මාණ ආයාසයෙන් තොරව රසාලිප්තව පරිශීලනය කිරීමට පාඨකයාට අවකාශ සැලසෙයි.
“ළමයි” යන ලිපියෙහි හර්ෂිනී අවධානයට ලක් කරනුයේ මෙයට දශක කිහිපයකට ඉහත නව යව්වනයේ ජීවන දෘෂ්ටියෙහි වන පෘථුලත්වය හා වර්තමානයේ ඒ සිතීමේ අවකාශය අහිමි වීමේ සමාජ සංස්කෘතික මූලය දෙස ගවේෂණාත්මක බැල්මක් හෙලීමටයි.
“මිනිස් සටන් පෙරමුණක්” නම් ලියවිල්ල වාර්ගික ආගමික ප්‍රචණ්ඩත්වයේ සියුම් මූල පදනම් හා එයට එරෙහිව නව සාමූහික නැගී සිටීමක අවශ්‍යතාව දේශපාලනිකව ප්‍රභල ලෙස සංජානනය කරයි.
“තේ කහට ” ලිපිය හරහා කදුකර කම්කරු ප්‍රජාවගේ වෘත්තීය හා සමාජ ජීවිතයෙහි වන පීඩනය යටපත් කරමින් සියවස් දෙකක කලක් වතු හිමියන්, පාලකයන් හා මෙරට සිංහල සමාජය විසින් ඔවුන් පීඩනයට ලක් කිරීමට එරෙහිව හඩ අවදි කරයි.මෙම කම්කරු ප්‍රජාවගේ පීඩනය සිය විනෝදාස්වාදය පිණිස සාවද්‍ය ලෙස උත්කර්ෂයට නංවන මෙරට කලා භාවිතාවද සියුම් උත්ප්‍රාසයකින් හෙළා දකින හර්ෂිනී තේ නිෂ්පාදන කර්මාන්තයේ කම්කරුවන් රවටමින් පීඩනය තුළම ගිල්වා තබන දේශපාලන වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයද විවේචනයට ලක් කරයි.
“රුපියල් දහසක ඉල්ලීම ලබා දී නැවතත් ඔවුන් වත්තටම බැඳ තැබීමෙන් සටන නැවැත්විය යුතු නැත.”පඩි” සටන ඉක්මවා ඔවුන් වත්තෙන් මුදවා ගැනීමේ සටන වෙත ද අරගලය රැගෙන යා යුතුය. ඔවුන් ‘වතු දෙමළුන් ‘ලෙස නොව මිනිසුන් ලෙස සැලකීමේ ‘මිනිසත්’ අරගලය ද මේ සමග දියත් විය යුතුය “
යන මානවීය දෘෂ්ටිය ඇය මේ හරහා සංවාදයට ලක් කරයි.
සාධාරණ සමාජ දේශපාලන ආර්ථික රටාවක් ගොඩ නැංවීමට ගොස් ජීවිතය අහිමි කරන ලද දකුණේ හා උතුරේ තරුණ ජීවිත හා පාලකයන්ගෙ බල ලෝභී අවශ්‍යතාවන්ට ගොදුරුව යුද්ධය තුළ දිවි අහිමිවූ මෙරට පීඩිත පංතියේ තරුණයන් දෙස මානවීය දයාර්ද්‍ර බැල්මක් හෙලමින් ඔවුනගේ මාපියන්ගේ වේදනාව දෙස “දරු පෙම”තුළින් මානව දාරක ප්‍රේමය පිළිබද ඓතිහාසික සම්මුතිමය කතිකාවක් ලේඛිකාව නිරූපණය කරයි.
නින්නාද තීරු ලිපි සිසාරා මනුෂ්‍යත්වයේ නව ගැඹුරු සිතා බැලීමක් සදහා හර්ෂිනී ගන්නා වෑයම නිර්මාණශීලී ය…ප්‍රශස්තය.
මේ කතිකාව පුරා ඇය සිය ජීවන අනුභූතීන් පොදු අනුභූතියක් බවට පත් කරමින් බෙහෙවින් ආකර්ෂණීය ලෙස පාඨක මනසට යා කරනුයේ නව සිතා බැලීමේ නිමේෂයක් මනස් තුළ උද්දීපනය කරවමිනි.
සමාජ සංස්කෘතික වශයෙන් ගැහැනියක් සංවාදයට නොගන්නා බොහෝ විෂය පථයන් සියුම්ව හා පුළුල්ව ඇයටම අනන්‍ය ශෛලියකින් සංවාදයට ගැනීම මෙහිලා කැපී පෙනේ.එසේම විවිධ විෂය පථයන් පිළිබද ඇගේ හැදෑරීම දැක්ම හා දැනුමද අප විසින් අගය කළ යුත්තේ අපගේ දේශපාලන සංස්කෘතිය තුළ එසේ සිතන්නියන් හා ලියන්නියන් විරල බැවිණි.
හර්ෂිනීගේ මේ නිර්මාණාශීලී දේශපාලන ලිවීම බොහෝ ලාංකිකයන්ගේ දෘෂ්ටිමය පථය පුලුල් තලයකට ගෙන යාමටද අපේ පීඩනය දෙස ගැඹුරු විනි විදීමකටද පීඩනය ඉවතලීමේ සාමූහික කතිකාවකටද මං පෙත් විවර කරලයි.
“සත් හඩ” පුවත්පත සදහා ලියූ තීරු ලිපි එකතුව “තුනු විල” නමින් 2018දී හර්ෂිනී පුෂ්පමාලා එළි දක්වනුයේ ලාංකික සමාජ සංවාද තලයට ස්ත්‍රීත්වයේ විමුක්තිය හා අයිතිය පිළිබද නව සංජානනයක් මුසු කරමිනි.
මෙහි ප්‍රවේශයෙහි සප්ත භාර්‍යයා සංවාදයන්හි ඓතිහාසික හැඟුම්කරණයන් දෘෂ්ටිමය වශයෙන් තවත් පුළුල් පරාසයක සංවාදයට ලක් කරමින් ගොඩ නැංවූවා නම් වඩාත් සුදුසු යැයි සිතමි.
“බලන සැම තැනකම සිටිනුයේ දාස භාර්‍යාවන් ය. ඔවුහු පුරුෂයන් මෙන් දස ගුණයක් වැඩ කරති,දරුවන් බලා කියා ගනිති, ආහාර පිසිති; රෙදි සෝදති,කන්තෝරු යති,ස්වාමි පුරුෂයන්ගෙන් ඇනුම් බැණුම් රළු වදන් නොසුරුප් බස් අසති,දිනෙන් දින ඉවසීම ප්‍රගුණ කරති.
නීතියෙන් පිරිමියා හා සමාන අවස්ථා දී ඇතැත් ස්ත්‍රිය විෂයෙහි ඇත්තේ අසමාන බවකි.
ඊට වග කිව යුත්තේ නීතියද..සමාජය ද..පිරිමිද..ස්වාමි පුරුෂයෝද..පවුල් සංස්ථාවද..ගැහැනු වූ අපිමද..”
හර්ෂිනී සමාජමය වශයෙන් නීර්ණය කරන ලද ස්ත්‍රීත්වයේ ඓතිහාසික කාර්‍යභාරය හා ඇය අත් විදින පීඩනයෙහි එක් පැති කඩක් නිරූපණය කරමින් එකී ස්ථාපිත පීඩනය නිමා කිරීමට නොහැකි වීමේ හේතු සාධක විමසීමට සිතා බලන්නට සමස්ත ගැහැනියට ඇරයුම් කරයි.
පවුල යන සංකල්පය තුළ ස්ත්‍රිය කායික මානසිකව සූරා කෑමට ලක් වන බවත් ගැහැනිය විසින්ම මහත් අභිරුචියෙන් එම පීඩාකාරී සංස්ථාව ගොඩ නගා පවත්වාගෙන යාමට දායක වීමත් හර්ෂිනී විමර්ශනාත්මකව ප්‍රශ්න කරන්නීය.
“භාවනාව” නිර්මාණාත්මක සංවාදය තුළින් ද හර්ෂිනී සිය පීඩනය පිළිබද සවිඥානකත්වයක් නැති ගැහැනිය සියුම්ව අවදි කරවීමට වෑයම් කරයි.එසේම පුරුෂ මූලික සංකල්පනාවන් මතින් ගොඩ නැංවූ භාවනාවට ස්ත්‍රීත්වයේ ආත්මීය මිදීම පිළිබද ස්ත්‍රීමය ගොඩ නැංවීමක් හර්ෂිනී විසින් සිදු කිරීමද ඓතිහාසික සනිටුහනක් සලකුණු කරයි.
“මම ගැහැනියක්මි..මම බිරිඳක්මි.. මම මවක්මි.. මගේ ස්වාමි පුරුෂයාට මගේ දරුවන්ට කුසගිනි දැනේ.පාන්දර අවදි විය යුතුය..ඉවිය යුතුය..මම නැත.. මට බඩගිනි නැත..මට පරක්කු නැත..මට
නිදිමත නැත..මට හැගීම් දැනීම් නැත.. මම බිරිදක්මි..මම මවක්මි…”
හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ සොයුරිය අපගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංස්කෘතික සිතීම් අතරට ගැඹුරු හැදෑරීමක් හා නිර්භය ප්‍රවේශයක් ඔස්සේ අපූර්ව නිර්මාණශීලී සූත්‍රයක්..සිතීමේ පුළුල් නිමේශයක් එක් කිරීම හරහා අපගේ ස්ත්‍රී පීඩනය නිමා කිරීමේ කතිකාවට නව පැහැයක් හා අරුතක් එක් කර ඇත…
ඇතැම් සංවාදයන්හි ඇගේ මතවාදී විවරණයන් සමග මා එකග නොවූව ද ස්ත්‍රී විමුක්තිය පිළිබද හදාරන්නන්ට මනා සංවාදාත්මක පසුතලයක්
” තුනු විල” විවර කරයි. ඇය “තුනු විල” සංවාදයෙහි දී ස්ත්‍රිය ගේ සිතීම් හා ස්ත්‍රිය කේන්ද්‍රීය සමාජ සංස්කෘතික පුරුෂ සිතුම් ග්‍රහණය කර ගනිමින් නව්‍ය සංවාදයක් නිම වනුයේ සමාජ සංස්කෘතික දේශපාලන ප්‍රපංචයන් හා අර්බූදයන් දෙස විචක්ෂණශීල ව හා බුද්ධි සම්පන්නව විමසීමේ ශක්‍යතාව වර්ධනය කර ගැනීමට ගැහැනියට ඇරයුම් කරමිනි.
හර්ෂිනී පුෂ්පමාලා සොයුරියගේ නිර්මාණශීලී චින්තනය සමගින් අපගේ දේශපාලන සමාජ සංස්කෘතික ව්‍යුහයන්ගේ ප්‍රගතිශීලී පරිවර්තනයක් සදහා දායක වීමට ඉදිරියේදී වඩාත් ගැඹුරු අදහස් සමාජගත කරන්න සුභ පතමින් ඇගේ අපුර්ව නිර්මාණශීලී සංවාදයන් හා එක්ව නැවුම් සිතීමේ අවකාශයක් විවර කර ගන්න ඔබ සැමට ද ඇරයුම් කරමි.
තිලිනා වීරසිංහ
2026 අප්‍රේල් 07

