කියුබාවේ ගෙල සිර කිරීම

12

ලෝකය තුල මේ වනවිට සංවාදයට ලක්ව ඇත්තේ ඉරානයට එරෙහිව ඇමරිකාව දියත් කොට තිබෙන යුද්ධය පිලිබඳවය. මෙය විවෘත, සාහසික ආක්‍රමණයකි. එහි ලෝක බලපෑම ප්‍රබලය. එම නිසා ස්වභාවිකව, වැඩි අවධානය එවෙත යොමුවීම තේරුම් ගත හැක. එහෙත් මේ අතර, අතිශය දුෂ්ට වටලෑමක් ඇමරිකානු මහාද්වීපය තුල සිදු වෙමින් ඇත ; ඒ ආර්ථික සම්බාධක තීව්‍ර කිරීම තුලින්, කියුබාව හාමත් කොට දැමීමේ මෙහෙයුමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව විසින් කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක තීව්‍ර කිරීමට ගත් තීරණය සමග එරට මේ වනවිට විසාල අර්බුදයකට මුහුණ දී සිටී. කියුබාවට එරෙහි ඇමරිකානු සම්බාධක කථාව පටන් ගන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නොවේ. එහි ඉතිහසය 1962 දක්වා දිව යයි. 1959 කියුබානු විප්ලවයෙන් එතෙක් එක්සත් ජනපදයේ අනුග්‍රහය ලද ඒකාධිපති පාලක ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් පහ කෙරුණි. අලුත බලය ලබාගත්, ෆිදෙල් කැස්ත්‍රෝ ප්‍රමුඛ විප්ලවවාදී පිරිස ජාතිකවාදී අදහස් දරන ලද අය වූහ. එතෙක් ඇමරිකාව මත දැඩි ලෙස පරායක්තව සිටි කියුබාව, යම් ආකාරයක ස්වාධීන සංවර්ධන මාවතක් වෙත යොමු කිරීම ඔවුන්ගේ අභිලාෂය විය.

මීට එක්සත් ජනපදය එරෙහි වූ අතර, එක්සත් ජනපදයේ ජීවත් වූ කියුබානු පිටුවහලුන් පිරිසක් හමුදා ආධාර ලබා දී කියුබාවට එරෙහිව මෙහෙයවීමට එරට උත්සාහ කළේය. කුප්‍රකට බේ ඔෆ් පිග්ස් ආක්‍රමණය යනු එයයි. ඉන් පසුව, කියුබාව සහයෝගය පතා සෝවියට් සංගමය වෙත හැරුණි. 1962 දී, මීට දඩුවම් කරනු පිණිස, කෙනඩිගේ ආණ්ඩුවට යටත් කියුබාවට එරෙහි පලමු ආර්ථික සම්බාධක මාලාව පනවන ලදී. මේ අනුව, ඇමරිකාව සමග කියුබාව සිදු කරන සියලු ගනුදෙනු සම්බාධකවලට යටත් කෙරුණි.

පශ්චත් බේ ඔෆ් පිග්ස් යුගය තුල කියුබාව කීර්තියට පත් වූයේ, ඇමරිකානු බලහත්කාරය නොතකා සිය ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීමට එරට දැක්වූ නිර්භයබාවය නිසාය.

කියුබානු විප්ලවය එරට තීරණාත්මක ලෙස වෙනස් කළේය. එක අතකින්, ඇමරිකාවේ පිලිකන්නක් ලෙස සලකන ලද රටක්, ආර්ථික සහ සමාජ සංවර්ධනයේ දිශාව වෙත යොමු කෙරුණි. මෙය විය හැකියාවක් වූ ප්‍රබලතම සාධකය වූයේ එවකට වූ සමාජවාදී කඳවුරේ පැවැත්මයි. සෝවියට් දේශය කියුබාව සමග වෙලදාම් කිරීම සඳහා ඉදිරිපත් වූ අතර, ඇමරිකාවේ කොන් කිරීම තිබියදී, ආර්ථික වසයෙන් යම් ස්වශක්තියක් අත්පත් කරගැන්මට කියුබාවට අවස්ථාව ලැබුණේ ‍සෝවියට් ආධාරය නිසාය.

කියුබාව ලෝකයේ ගෞරවයට පත් වූ අනෙක් හේතුව, යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් මත වෙනත් රටවල් සමග ගනුදෙනු කරන්ට එය දැක්වූ නැඹුරුවයි. සීතල යුද්ධ කාලය තුල, දැඩි අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයක් අනුගමනය කළ කියුබාව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙක් විය. අප්‍රිකාවේ යටත් විජිත ආණ්ඩුවලට එරෙහි විමුක්ති සටන්වලට කියුබාව සක්‍රීය සහයෝගය දැක්වීය ; ඇංගෝලාව, දකුණු අප්‍ර්‍රිකාව බඳු රටවල ඇති වූ නිදහස් සටන්වලට සෘජු දායකත්වය සැපයීය. මේ වූ කලී, අප්‍රිකානු ජාතික කොංග්‍රසය යනු ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, නෙල්සන් මැන්ඩෙලා යනු ත්‍රස්තවාදී නායකයෙක් බවත් බටහිර රටවල් සලකන ලද යුගයකි.

සීතල යුද සමය තුල කියුබාව රටක් ලෙස තබන ලද වාර්තාව බොහොම කීර්තිමත් එකකි. කුඩා ආර්ථිකයක් සහිත රටක් වුවත්, සමාජ සංවර්ධනය අතින් අනෙක් ලතින් ඇමරිකානු රටවල් අබිබවා යාමට එරට සමත් විය. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව අතින් කියුබාව පිමි ගණනකින් ඉදිරියට ආවේය. වර්ණභේදවාදය පිටු දකිමින්, කියුබාව නූතන රටක් ලෙස ප්‍රතිසංවිධානය කෙරුණි. අතිශය දරිද්‍ර අනෙක් ලතින් ඇමරිකානු රටවල් වෙත කියුබාවේ වෛද්‍යවරුන් සේවය පිණිස යවන ලදී. මේ වූ කලී මනුශ්‍යත්වය පිලිබඳ දුර්ලභ ආදර්ශයන්ය ; අන්තර්ජාතික සබඳතා යනු, හුදු රටවල් සිය ස්වාර්ථය සඳහා පමණක් සිදු කරනු ලබන දෙයකි යන සරල යථාර්තවාදී සුසුමාදර්ශය ප්‍රශ්න කෙරෙන ආකාරයේ වෙනස් ආකාරයක භාවිතයකි.

විසි වන සියවසේ සමාජවාදී ආණ්ඩු ඇති වූ බොහෝ රටවල දක්නට ලැබුණු එක් අභාවාචක ලක්ෂණයකින් නිදහස් වූ රටකි කියුබාව. එම අභාවාචක අත්දැකීම නම්, බලය ගත් පසුව, නායකත්වය ආචාර ධාර්මික හා දේශපාලනික අතින් පරිහාණියට පත්වීමේ ප්‍රශ්නයයි. මෙය රුසියාව, චීනය, උතුරු කොරියාව බඳු බොහෝ රටවල දක්නට ලැබුණු තත්වයකි. ෆිදෙල් කැස්ත්‍රෝ යනු ව්‍යතිරේඛයකි. සමාජවාදය විසින් ඉල්ලා සිටින ප්‍රබුද්ධත්වයේ ආත්මය හේ සෑම විටම දරා සිටියේය. ඔහු ප්‍රබුද්ධ නායකයෙක් විය ; මිය යන තෙක්ම, එම ප්‍ර්‍ර්‍රබුද්ධත්වයේ පෞරුෂය හේ අභ්‍යාස කළේය.

සීතල යුද්ධය අවසාන වීමත් සමග කියුබාව දරුණු අර්බුදයකට ලක්විය. එරට ප්‍රධාන වෙලද ගනුදෙනුකරු වූ සෝවියට් සංගමය අතුරුදහන් වීමත් සමග බලවත් අර්බුදයක් නිර්මාණය වූ අතර මේ සමග ඇති වූ කම්පන තත්වය නිසා රට තුල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ද උද්ගත විය. මීට කියුබාව මුහුණ දුන්නේ අඩියක් පස්සට ගැනීමෙනි ; විප්ලවයෙන් පසුව දුර්මුඛ කරන ලද සංචාරක ව්‍යාපාරය නැවත හඳුන්වා දෙන ලදී. රාජ්‍ය පාලිත ආර්ථිකය ‍ලිහිල් කරමින්, පෞද්ගලික අංශයට අවස්ථාව විවෘත කෙරුණි. (අවාසනාවට, එකල අවන්ත ආටිගල මහතා කියුබාවේ සිටියේ නැත. නැතිනම්, රාවුල් කැස්ත්‍රෝ ෆිදෙල්ට පිටුපාන ආකාරය ගැන ලස්සන කාටුන් චිත්‍ර නිමැවෙන්ට ඉඩ තිබුණි).

මේ සියලු ප්‍රතිසංස්කරණ සහිතව වුව, රුසියාවේ වැටීමෙන් පසුව, කියුබාව පසු වූයේ දුෂ්කර තත්වයකය. ඊට ප්‍රධාන හේතුව ඇමරිකානු සම්බාධකයි. මෙම සම්බාධක ලිහිල් කරගැනීම සඳහා රාවුල් කැස්ත්‍රෝ රජය බැරැක් ඔබාමා පරිපාලනය සමග යම් සාකච්ඡා ක්‍රියාවලියකට ඇතුලු වූ අතර, කෙසේ වුවත්, පලමු ට්‍රම්ප් පරිපාලනය විසින් එය අත් හිටුවන ලදී.

අතිශය දරදඩු, ඒකපාර්ශවීයවාදයක් අනුගමනය කරන දෙවන ට්‍රම්ප් ආණ්ඩුව මේ වනවිට සම්බාධක උච්ච තැනකට ගෙන ගොස් ඇත. ට්‍රම්ප්ගේ දෙවන ධූරප්‍රාප්තියෙන් දවස් කීපයකට පසුව, කියුබාව ඇමරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. මීට සමගාමීව, එතෙක් වූ සම්බාධක, අලුත වටයකින් ශක්තිමත් කිරීමට එම රජය කටයුතු කොට ඇත. සම්බාධක තීව්‍ර වීමේ ප්‍රතිඵල ලෙස, මාස ගණනකින් කියුබාවට තෙල් නැවක් ගොස් නැත. මීට පෙර කියුබාවට තෙල් සපයන ලද්දේ වෙනිසියුලාව විසිනි. ජනවාරි මස වෙනිසියුලා ජනාධිපති මධුරෝ පැහැර ගැනීම සමග ඇති වූ බලපෑම් මත, වෙනිසියුලාව කියුබාවට තෙල් සැපයීම නතර කළේය. මෙක්සිකෝව ද එම බලපෑම් අබියස නිහඩ වී ඇත.

මේ වනවිට පැය පහලොවක් විස්සක් විදුලිය කැපීමට කියුබාවට බල කොට තිබේ. විදුලිය නැති වීම යනු ආර්ථිකය එහෙම් පිටින්ම ඇණ හිටීමකි. ජනයාගේ දෛනික ජීවිතය පවත්වා ගත නොහැක. රෝහල්වල සැත්කම් කල නොහැක. කෘෂිකර්මය තනිකර ඇණ හිට ඇත. ට්‍රැක්ටර් වැඩ නැති නිසා, ගොවීහු අතින් අස්වනු නෙලති. නගරවල කුණු කසල ඉවත් කොට නැත. මෙම මහා පරිමාණ සමාජ බිඳ වැටීම අබියස, ජනතාව ආණ්ඩුවට එරෙහිව කැරලි ගසනු ඇති බව එක්සත් ජනපදයේ ගණන් බැලීමයි.

ආර්ථික වසයෙන් දුබල, එහෙත් සිය සර්වාධිකාරිය කොන්දේසි විරහිතව භාර ගැන්මට විරෝධය පල කළ අතිශය කුඩා රටක් මෙලෙස ගෙල සිර කොට, දණ ගැස්වීමට එක්සත් ජනපදය සිදු කරනු ලබන මෙහෙයුම සාර්ථක වනු ඇද්ද?
මෙය අපට කාලයත් සමග බලා ගත හැකි වනු ඇත. වඩ‍ාත් භයානක දෙය මෙයයි ; ස්වෛරී ජාතියක්, මෙලෙස හාමත් කොට, දණ ගස්වන තෙක්, ලෝකය දක්වන නිහැඩියාවයි.

කියුබාව යනු සංකේතයකි. කුඩා රටකට, යම් ආත්මාභිමානයක් සහිතව නැගී සිටිය හැකි බව, වෙනත් පීඩිත රටවල් වෙත උදවු කිරීම යනු සාරධර්මයක් බව, ජාතිවාදී නොවී, ජාත්‍යන්තරවාදී පදනමක් මත අධිරාජ්‍ය විරෝධී විය හැකි බව ; මේ ආදී වූ බොහෝ අර්ථයන් දරා සිටින සංකේතයකි. සංකේත බිඳ වැටුණු පසු, අලුත් ඒවා ගොඩනැගීම පහසු කටයුත්තක් නම් නොවේ.

Ramindu Lakkhika Perera