රාජ්‍ය සම්මානලාභී ලේඛක , දීපචෙල්වන් ප්‍රදීපන් විසින් ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙන ආ පොත් තොගයක් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සම්බන්ධයෙන් බාධාවන අන්තර්ගතයන් සහිත පොත් යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගෙන ඇති බව ඔහු විසින් සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පෙන්වා දී තිබුණා.
ඒ අනුව ඔහු විසින් රචනා කරන ලද, ‘නඩුගල්’ (Nadukal), ‘ත්‍රස්තවාදියා’ (Terrorist), ‘සයනයිට්’ (Cyanite) වැනි කෘතීන් ශ්‍රී ලංකාවේ ඒකීයත්වයට හානි වන බව පවසමින් රඳවා තබාගෙන, සංස්කෘතික කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත පමණක් මෙම පොත් මුදා හරින බව රේගු දෙපාර්තමේන්තුව විසින් ඔහු වෙත දන්වා සිටිනු ලැබ තිබෙනවා.
මේ පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත ලිපියක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර ඇති අතර, එහි දී අමාත්‍යවරයා මේ පිළිබඳව නිසි පියවර ගනිමින් සිටින බව ඔහු වෙත දන්වා එවා ඇති බවයි ඔහු එම සටහන මඟින් පෙන්වා දී තිබුණේ.
ඔහු අමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ දළ සිංහල පරිවර්තනය මෙසේ ය.
“මම ලේඛකයෙක්මි. කිලිනොච්චියේ ජීවත් වෙමි. යුදමය වටපිටාවක ඉපිද හැදී වැඩී, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා, දැන් ගුරුවරයෙකු ලෙස සේවය කරමි.
යුද්ධය විසින් අපගේ ජීවිත සහ කාලය විනාශ කර දැමුවේය. මගේ එක් සහෝදරයෙක් සටන්කරුවෙකු ලෙස මිය ගියේය. මම තවමත් මගේ අතීත අත්දැකීම් සහ මතකයන් අනාගතය වෙත සන්නිවේදනය කිරීම සඳහා නවකතා සහ කවි රචනා කරමින් සිටිමි.
මෙවන් පසුබිමක, චෙන්නායි සිට එවන ලද මගේ පොත් පිටපත් 360 ක් පමණ රේගු අංශය විසින් රඳවාගෙන තිබේ. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එයින් රටේ අඛණ්ඩතාවයට හානියක් වන බවයි.
මෙම පොත් කිසිවිටෙකත් රටේ අඛණ්ඩතාවයට එරෙහි වන ලෙස ලියා නොමැත. එසේම කිසිදු පද්ධතියක් කඩාකප්පල් කිරීමේ අරමුණින් මම පොත් ලියන්නේ ද නැත. මාගේ නවකතා තුළින් මා ලීවේ පසුගිය යුද්ධයෙන් පීඩාවට පත් වූ සිසුන්, ළමුන් සහ හිටපු සටන්කරුවන් පිළිබඳ කතාන්දරයි. යුද්ධයෙන් බැට කෑ සමාජය නඟා සිටුවීම සහ ඔවුන්ගේ තත්ත්වය ලොවට හෙළි කිරීම සඳහා නිර්මාණකරුවෙකු ලෙස මගේ සරල දායකත්වය ලිවීමෙන් මම ලබා දෙමි.
පසුගිය පාලන සමය තුළ උතුරේ දෙමළ ජනතාව සහ නිර්මාණකරුවන් පොත්පත් නිසා පමණක් නොව විවිධ දඬුවම් හා විමර්ශනවලට ලක් විය. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ අපට පූර්ණ නිදහසින් යුතුව ජීවත්විය හැකි බවටත්, නැවත නැඟී සිටිය හැකි බවටත් අපි තවමත් තදින් විශ්වාස කරමු.
මම ලියන දේ ඉතා සාධාරණ බැවින් සිංහල ජනතාව අතර ද මට විශාල පාඨක පිරිසක් සිටිති. මාගේ රඳවාගෙන ඇති සමහර පොත් සිංහල භාෂාවෙන් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒවා කියවූ සිංහල ජාතිකයින් මාගේ නිවසට ද පැමිණ ඇත. මාගේ අරමුණ වන්නේ ලිවීම හරහා ජාතීන් දෙකක් අතර අන්‍යෝන්‍ය හැඟීමක් සහ වඩා හොඳ අවබෝධයක් ඇති කිරීමයි.
කවිය, ලේඛනය සහ කලාව තුළ විශාල වටිනාකමක් සහ බැඳීමක් ඇති මාගේ මෙම පොත්, යහපත් චේතනාවෙන් යුතුව නිදහස් කරන ලෙස මම ඔබෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටිමි.”
(උපුටා ගැනීම අවසන්)
ශ්‍රී ලංකා රේගුව විසින් දෙමළ කෘති රඳවා තබාගත් එකම අවස්ථාව, දීපචෙල්වන්ගේ මෙම කෘතිය රඳවා තබාගත් අවස්ථාව පමණක් නොවේ. දෙමළ කෘති රේගුව විසින් රඳවා තබාගැනීම වසර ගණනාවක සිට මෙරට තුළ සිදුවන්නකි. ලාංකේය දෙමළ පාඨකයන් අතට පත් නොවූ, විදේශයන්හි සිට මෙරටට එවන ලද තවත් දෙමළ කෘති තවමත් රේගුව සන්තකයේ ඇති බව රහසක් නොවේ.
උදාහරණයක් ලෙස ඉන්දියාවේ සිට කිලිනොච්චියට වෙත එවනු ලැබූ, ශෝබාශක්තිගේ ‘1990 ලයිඩන් දූපත – මණ්ඩතිව් : සමූහඝාතන සහ සමූහ මිනීවළවල්’ කෘතියේ පිටපත් තුනක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබාගෙන සිටීම දැක්විය හැක. එම කෘතිය රඳවා තබාගෙන දැනට මාස තුනක් ගතවී ඇතත් ඊට තවමත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
දීපචෙල්වන් සිය සමාජ මාධ්‍ය තුළ හා අමාත්‍යවරයා වෙත එල්ල කළ බලපෑම නොකළේ නම් රේගුව විසින් සිදු කරන මෙම ක්‍රියාවලිය දීපචෙල්වන්ගේ කෘතියට ද උරුම කර දෙනු ඇත්තේ ශෝබාශක්තිගේ කෘතියට ඔවුන් සිදු කළ ඉරණම ය.
මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම අපව රැගෙන යන්නේ ප්‍රකාශනයේ නිදහස නම් සීමාව වෙතයි. දීපචෙල්වන්ගේ කෘති මෙලෙස රේගුව විසින් රඳවා තබාගනුයේ එහි පිටකවරයේ නම හෝ කවරය දෙස බලා පමණක් ද ? නැත්නම් එහි අන්තර්ගතය සම්බන්‍ධයෙන් වන දැනුමාවබෝධය සහිතව ද ? නැත්නම් හුදු දමිළ භාෂිත වීම නිසා පමණක් ද ? එසේනම් අවසානයේ අප ඇසිය යුත්තේ “රේගුවට කෘතියක් වාරණය කිරීමට තරම් න්‍යායික හෝ ප්‍රාමාණික දැනුමක් තිබේ ද ?” යන ප්‍රශ්නයයි.
කෙසේ නමුත්, ඇමතිවරයා විසින් මෙම සිද්ධිය හමුවේ සිදු කළ මැදිහත්වීම දීපචෙල්වන්ට පමණක් සීමා නොවන මෙලෙස අසාධාරණයට ලක්වන සියලු කෘතීන් කෙරෙහි බලපැවැත්වෙන මැදිහත්වීමක් වනු ඇති බව අප බලාපොරොත්තු වන්නෙමු.
(Jimuth Indusara : Whatnews.lk)

