ලැරී ලට වගේම නොයෙක් හේතු නිසා තමන් උපන් රටෙන් යන්න වුණු හැම කෙනෙකුටම දැනෙනවා ඇත්තේ එහෙමයි

Share post:

කොළඹින් පිටත් වෙලා කෙලින්ම ආවෙ මෙල්බන් වලට. පැය නවයක් විතර ගත වුණා ගමනට. මේ වැඩේ සංවිධානය කරපු අයගෙන් චින්තන සහ රොෂාන්ත ගුවන් තොටුපළට ඇවිල්ල හිටිය මාව හම්බ වෙන්න. ඩාවින් බලා යන ගුවන් ගමනට තව පැය පහක් විතර තිබුණ නිසා ඒ දෙන්නා මාව එක්කගෙන ගියා ගුවන් තොටුපළේ ඉඳලා විනාඩි 15ක විතර දුරින් ජීවත් වෙන ලැරී සහ සින්තියාගේ ගෙදරට.

ලැරී සහ සින්තියා මම කලක් තිස්සේ දන්නවා. කෝවිඩ් එන්න කලින් ඒ දෙන්නා හැම අවුරුද්දකම ලංකාවට ආවා. ලංකාවේ ඉන්නකං හැම සෙනසුරාදම උදේ අටේ ඉඳලා නවය හමාර විතර වෙනකම් අපි එකට කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියා.

ලැරී මර්වින් මාර්ෂල් ලාංකික බර්ගර්. ලැරීට වයස දහ තුනේදී තමයි එයාගෙ දෙමාපියෝ ලංකාවේ පදිංචිය අතහැරලා ඕස්ට්‍රේලියාවට යන්නේ. ඒ හැටේ දශකයේ. රාජ්‍ය සේවයේ ඉහලට යන්න නම් සිංහල භාෂා සුදුසුකම් සපුරාගත යුතුයි කියලා තීරණය වුණාම ලැරීගෙ දෙමාපියෝ බය වෙනවා තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන. ඒගොල්ලො හිතනවා ලංකාවෙන් පිටත්ව යන එක හොඳයි කියලා. ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවට පස්සෙයි ඒ අය තේරුම් ගන්නේ ඒ අයගේ රට වෙන කොහෙවත් නෙවෙයි ලංකාවමයි කියලා. නුවර අම්පිටියේ උපන් මර්වින් මාර්ෂල්, ලැරීගෙ තාත්තා, කවි ලියනවා ලංකාව ගැන, නුවර කඳුවැටි, මහවැලි ගඟ ගැන, ඕස්ට්‍රේලියාවෙ ඉඳගෙන.

ලැරීගෙ අම්මා, රීටා රොබට්සන්, එයාගේ අවසන් කැමති පත්තරේ ලියනවා.. කවදහරි එයා මියගියාම එයාගෙ අළු මොර‍ටුව වෙරලෙන් මුහුදට එකතු කරන්න කියල. මොර‍ටුව වෙරලෙදි තමයි ලැරීගේ තාත්තයි අම්මයි පළමු වරට ආදරය ප්‍රකාෂ කරන්නේ. රීටා රොබට්සන් 2007 මිය ගියහම තාත්තා රීටාගේ අළු අරගෙන ලංකාවට එනවා මොර‍ටුව වෙරලෙ ඒවා පා කරන්න. ඔහොම ගිහිල්ලා ලැරීගෙ තාත්තත් මිය යනවා 2018 දී. එයාගෙ අන්තිම කැමැත්තත් අම්මගෙ අන්තිම කැමැත්තමයි. තාත්තගෙ අළු අරගෙන ලැරී, එයාගෙ අක්කලා ඇතුළු දරු මුණුබුරන් විසි හතරක් එක්ක ලංකාවට එනවා තාත්තගේ අළු මොර‍ටුව වෙරළේ පා කරන්න. මේ දාල තියෙන පොටෝ තාත්තගේ අළු පා කරපු වෙලාවේ ගත්ත ඒවා.

අපි ලැරී සහ සින්තියාගෙ ගෙදරට යනකොට ලැරී සහ සින්තියාට අමතරව ලැරීගෙ අක්ක, ඩෙනිස් මාර්ෂලුත් හිටියා අපි එනකම් බලාගෙන. පළමු වතාවටයි ලැරීගෙ අක්කා ව හමුවුනේ. ඇය හරිම ලස්සන මෘදු හඬින් කතා කරන කාන්තාවක්. ලැරී ඇඳගෙන හිටියේ ‘Sri Lanka’ කියලා ලියපු ටී ෂර්ට් එකක්. (See the photo 1)

ඒ ගේ හැම තැනක ම ලංකාවේ දේවල් දකින්න තිබුණා. සිංහ කොඩි කීපයක්ම තිබුණා. තව බුදු පිලිමත් තිබුණා. අවුරුදු දහතුනේ දී ලංකාවෙන් ගියපු ලැරීට ශ්‍රී ලංකා අනන්‍යතාව කොයි තරම් වැදගත් ද කියන එක එයාලගෙ ගේ හැමතැනක ම තිබුණා. ලැරීගෙ අක්ක ගෙන් මම ඇහුවා ලංකාවෙන් යනකොට එයාට වයස කීයද කියලා. වයස 15යි කියලා ඈ කිව්වා.
හැම මනුස්සයෙකුටම තමන් අයිතියි කියල දැනෙන තැනක් තියෙනවා. එතනයි එයාට සතුට, සැනසීම, ආරක්ෂාව තියෙන්නේ. එතනටයි තමන් අයිති කියලා හැඟෙන්නේ. එතැනින් ඉවත් වෙලා කොයි තරම් සැප සම්පත් තියන තැනකට ගියත් එයා ඉන්න සතුටින් නෙවෙයි.

බුදුන් අයිති ශාක්‍ය වංශයට. කොසොල් රජුට ඕන කරනවා බුදුන්ගෙ ඥාතියෙක් වෙන්න. ඒ නිසා ශාක්‍ය කුමරියක් විවාහ කරගන්න උත්සාහ කරනවා. නමුත් ආඩම්බර ශාක්‍ය වංශිකයන් කොසොල් රජුට ශාක්‍ය කුමරියක් විවාහ කරල දෙන්න කැමති වෙන්නෙ නෑ. ඒ වෙනුවට ශාක්‍ය වංශිකයන්ගේ සේවිකාවකගේ දියණියක් විවාහ කරලා දෙනවා. කොසොල් එක දන්නෙ නෑ. මේ විවාහයෙන් ලැබෙන පුතා විඩූඩභ.

විඩූඩභ තරුණ වියට පත්වුණා ම තමන්ගේ අම්මගේ ගම බලන්න යනවා. එතැන දි විඩූඩභ දැනගන්නවා එයා සේවිකාවකගේ පුතෙක් කියලා. මේක දැනගත්තට පස්සේ විඩූඩභ ලැජ්ජාවට පත් වෙනවා, ශාක්‍යයන්ට වෛර කරනවා. හමුදාව අරගෙන පිටත් වෙනවා ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න. මේක දැනගන්න බුදුහාමුදුරුවෝ විඩූඩභ යන මාර්ගයේ ශාක්‍ය ජනපදය පැත්තට වෙන්න තිබුණා වැඩි හෙවනක් නැති ගහක් යට වාඩිවෙලා ඉන්නවා ගිනි අව්වේ. හමුදාව අරන් ඉස්සරහට යන විඩූඩභ බුදුන් දැකල කලබලයට පත් වෙනවා. බුදුන් වෙත එළඹෙන විඩූඩභ අහනව “ඇයි, මේ ගිනි අව්වේ මේ පුංචි පැලයක් යටට වෙලා ඉන්නේ..? අර කොසොල් ජනපදය පැත්තේ කොයි තරම් නම් විශාල ගස් තියෙනවද හොඳට හෙවන තියෙන. ඒ ගහක් යටට යන්න.”

එතැනදි බුදු හාමුදුරුවෝ කියනවා “මගේ ඥාතීන් ජීවත්වෙන පැත්තෙ ඉඳලා හමා එන සුළග මට සිසිලය කියලා”.
හුණුවටය නාට්‍යයේ පූර්විකාවේ එන කොටස මතක තියෙන විදියට මෙහෙමයි. රෝසා ලක්සෙම්බර්ග් නගරයේ අයිතිය ගැන දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවෙනවා. ඒ නඩුව අහන්න රජයේ නිලධාරියෙක් ගමට යනවා. නිලධාරියා දැන් ගමේ ඉන්න අයගෙන් අහනවා ඔබට මොකක්ද මේ ගමට තියෙන අයිතිය කියලා. ඔවුන් කියනවා, යුද්ධය කාලේ මේ ගමේ හිටි මුල් වැසියෝ මේ ගම අතහැරලා යන්න ගියා කියලා. ඊට පස්සේ අපි මේ ගමට ආවා. අපි මේ ගම දියුණු කළා. යුද්ද වදින අතරේ අපි ගම දියුණු කරන සැලසුම් හැදුවා කියලා. යුද්ධය ඉවර වුණාට පස්සේ මුල් වැසියෝ ඇවිදින් දැන් ගමට අයිතිවාසිකම් කියන්න එනවා කියලා.

නිලධාරියා මුල් වැසියන්ගෙන් අහනවා, ඔබලාට දැන් අලුත් ගමක් තියෙනවා නේද? එහෙම තියෙද්දි ඇයි මේ ගමම ඉල්ලන්නේ කියලා.

ඒකට මුල් ගම්වැසියෝ දෙන උත්තරය.. ‘මේ අපි උපන් ගම.. මේ අපි හැදුණු වැඩුණු ගම.. මේ ගමේ අහස අපිට හරි උසයි.. මේ ගමේ හමන සුළඟ අපට සුවඳයි’ කියලා.

ලැරී ගෙ අම්මට, ලැරී ගෙ තාත්තට, ලැරී ට සහ ලැරී ගෙ අක්කටත් ලංකාව දැනෙනවා ඇත්තේ ඒ විදියටමයි. ලැරී ලට විතරක් නෙවෙයි, නොයෙක් හේතු නිසා තමන් උපන් රටෙන් යන්න වුණු හැම කෙනෙකුටම දැනෙනවා ඇත්තේ එහෙමයි. කොයිතරම් දියුණු රටවලට ගිහින් හිටියත් ඔවුන් හීනෙන් ජීවත් වෙනවා ඇත්තේ තල් වැටවල් අතර, පොල් රුප්පාවල, වෙල් යායවල, දියකඩිති අසල.

සුප් බොමින් කරගෙන ගිය උණුසුම් කතාබහ අතර කාලය ගොඩක් ගෙවුණු බව අමතක වුණා. ඊළඟ ගුවන් යානය ගන්න පැය එකහමාරකට කලින් ගුවන් තොටුපලට යායුතුව තිබුණත් ඉතිරි වෙලා තිබුනේ එක පැයයි. රොෂාන්ත වේගයෙන් රිය පදවගෙන ගිහිල්ලා මාව ගුවන්තොටුපළට බැස්සුවා. චින්තක පුළුවන් ඉක්මනින් බෝර්ඩිං පාස් හදා දීලා අදාළ පර්යන්තය වෙත මාව එක්කගෙන ගියා. මම ගුවන් යානයට ගොඩවෙනකම් ම එහි ‍රැඳී හිටියා.

(Rajith yasodha, Can you translate this into English? Larry or Cynthia cannot read Sinhala. If I translate, I ll lose the essence of the writing).

ගල්කන්දේ ධම්මානන්ද හිමිගේ facebook පිටුවෙන්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...