ඇතුගල උඩින් වැටුනම අගහිඟ වැස්ස
ඉස්ටේසමෙන් ඩැහැගෙන හතරයි විස්ස
කොළඹට ගෙනත් මා ඇරලූ පොද වැස්ස
සුද්දයියගේ ඇත්තම නම පියතිස්ස
රා පොළ අවට හැමදාමත් අඬ දබර
අම්මා ලියා එව්වා මැසිවිලි නිතර
පෙම්දම් ලිහී වියැලුණු කළ දිවි කතර
හිච්චිත් ගියා යන්නට දීගය අතැර
බිත්තිය පුරා අදිමින් නෙක කුරුටු බලී
සිහිවෙයි එකල අම්බලමේ කියපු කවී
මණ්ඩප පුරා ඇසුණ ද අගනුවර කවී
නුඹ කී කවක් තවමත් හමුවෙලා නැතී
ඉල් මහ අකුණු වෙල් මැද පුපුරනවාලූ
ඇළ දොළ වැටී වැව ගැබ්බර වෙනවාලූ
පැන්නුම අසල ලූලෙක් නවතිනවාලූ
උඹෙ ඇම නැතුව උගෙ බඩ,කට දනවාලූ
කැරකොප්පුවේ ඉස්මුදුනින් දුරුතු සඳ
තල් අතු දිගේ රූරාගෙන හැලෙනවද
තල් රා පුසුඹ සඳ එළියෙත් දැනෙනවද
මැදියම බිදෙන් බිද තොල කට තෙමනවද
හොල්මන් අඳුර පැලපදියම් මහ බැද්දේ
කළුවර ඉරයි උළමෙක් ගෙනියන යුද්දේ
තරු එළි වැටී මියැදෙන විට වැව මැද්දේ
තාමත් ඇහෙයි කෙකටිය නැගිටින සද්දේ
චින්තක සමන්
පින්තූරය අන්තර්ජාලයෙන්