ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

Share post:

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට මොනවා වෙයිද? තෙල් මිල අයේ වැඩි වෙයිද? අපට මොකද වෙන්නේ? ආදී ප්‍රශ්න රැසක් අපේ හිත්වල කැරකෙනවා..

නමුත් මේ මතුපිටින් පෙනෙන දේට වඩා යටින් දිවෙන ගැඹුරු, භයානක මෙන්ම තීරණාත්මක කරුණු කිහිපයක් තිබෙනවා. අපි අද මේ ගැන ටිකක් සංසුන්ව, බුද්ධිමත්ව කතා කරමු.

බොහෝ දෙනා සිතන්නේ ඉරානය යනු න්‍යෂ්ටික බලයක් නොමැති, බටහිර සම්බාධක හමුවේ අසරණ වූ රටක් කියායි. නමුත් ඔබ මොහොතකට සිතන්න, වසර 40 ක් පුරා බටහිර ලෝකයේ දැඩි පීඩනයට සහ තර්ජන වලට ලක්වුණු රටක්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සූදානම් නොවී සිටීවිද?
ඉරානය දශක හතරක් තිස්සේ සූදානම් වූ යුද්ධකුයි මේ පැමිණ ඇත්තේ.. ඊශ්‍රායලය හෝ ඇමරිකාව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරාවි යන්න ඔවුන් තම සැලසුම් වලට ඇතුළත් කර නොමැති යැයි සිතීම මෝඩකමක්!
ඉරානය සතුව මේ වන විටත් ඉතා ප්‍රබල ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තිබෙනවා. එය ආකාර කිහිපයක් විය හැකියි. කිසිදු “ආක්‍රමණිකයෙකුට” ළඟාවිය නොහැකි ආරක්ෂිත භූගත මධ්‍යස්ථාන වල ඔවුන් සිය තාක්ෂණය දියුණු කර තිබිය හැකියි.

නැත්නම් තමන්ට අවශ්‍ය තාක්ෂණය හෝ ආයුධ වෙනත් මූලාශ්‍රයකින් ලබාගැනීමේ හැකියාව ඔවුන් සතුයි. එසේත් නැත්නම්, ලෝකයේ කිසිවෙකුත් මෙතෙක් නොසිතූ, අලුත් ආකාරයේ ආරක්ෂක පද්ධතියක් හෝ ප්‍රහාරක උපක්‍රමයක් ඔවුන් සතුව තිබෙන්නට පුළුවන්!
ඉරානය නිහඬව සිටින්නේ දුර්වල නිසා නොව, ඔවුන්ගේ තුරුම්පු තවමත් හෙළි කර නොමැති නිසයි. මැදපෙරදිග කලාපය ලෝකයේ “මරණයේ සර්පිලයක්” වෙත තල්ලු කිරීම යනු හුදෙක් යුද්ධයක් පමණක් නොවේ. එය බටහිර ආර්ථික පද්ධතියේ සම්පූර්ණ කඩාවැටීමට මග පාදන ක්‍රියාවකි.
ලෝකයේ බලශක්ති සැපයුම අඩාල වීමෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ කර්මාන්තශාලා වැසී යනු ඇත. දැනටමත් අස්ථාවර මට්ටමක පවතින බටහිර බැංකු පද්ධතිය මේ කම්පනය දරාගත නොහැකිව සුනුවිසුනු වී යනු ඇත. මේ කිසිවක් දින කිහිපයකින් යථා තත්ත්වයට පත් කළ හැකි දෙවල් නොවේ. මුළු බටහිර ශිෂ්ටාචාරයේම “අවසානය” මේ සටනින් සනිටුහන් විය හැකියි.

පර්සියානු සාහිත්‍යයේ මහා කාව්‍යය ලෙස සැලකෙන ෆර්දවුසිගේ ‘ෂානාමේ’ ග්‍රන්ථයේ එන මහා වීරයා වන්නේ රොස්තම්ය. රොස්තම් යනු හුදෙක් ශාරීරික ශක්තිය පමණක් නොව, ගැඹුරු උපායශීලී බුද්ධියක් තිබූ අයෙකි. වරක් එක්තරා සතුරු රජෙක් රොස්තම්ව කොටු කිරීමට උත්සාහ කළ අවස්ථාවක, රොස්තම් ඉතා සන්සුන්ව සිටියේය. සතුරා සිතුවේ රොස්තම් බිය වී ඇති බවයි.

සතුරු රජු, “රොස්තම්, දැන්වත් උඹේ පරාජය පිළිගනින්. අපේ සේනාව උඹේ දේශය වට කරලා ඉවරයි. උඹට තවත් සැඟවෙන්න තැනක් නැහැ.”
රොස්තම් (සන්සුන්ව සිනාසෙමින්), “රජතුමනි, සිංහයා නිදාගෙන ඉන්නේ බය නිසා නෙවෙයි, තමන්ගේ ගොදුර එනකම් ඉවසීමෙන්.. ඔබ දකින්නේ මගේ නිහඬතාවය පමණයි, නමුත් ඒ නිහඬතාවය ඇතුළේ තියෙන ගිගුරුම ඔබ තවම අහලා නැහැ..”
මේ කතාවෙන් අපිට වර්තමානයට ගත හැකි පාඩම කුමක්ද? ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි.

සතුරා තමන් ජයග්‍රහණය කළා යැයි සිතන මොහොතේ, අනපේක්ෂිත පහරක් එල්ල කිරීම පර්සියානු උපාය මාර්ගයේ ස්වභාවයයි. ඉරාන මහා කවි ජලාලුදීන් රූමි වරක් පැවසුවේ, “ඇසට පෙනෙන දේ හදවත දකින සත්‍යයට වඩා වෙනස් විය හැකිය” කියායි.
යුද්ධයකදී අපි දකින්නේ ගුවන් යානා, මිසයිල සහ හමුදාවන්ය. නමුත් රූමි පෙන්වා දෙන්නේ මතුපිටින් පෙනෙන බලයට වඩා “නොපෙනෙන බලය” වඩාත් ප්‍රබල බවයි. ඉරානය සතුව පවතිනවා යැයි කියන “අනපේක්ෂිත තුරුම්පුව” හරියට රූමිගේ කතාවල එන රහස් නිධානයක් වැනියි.
ඔහුගේ එක් කවියක මෙසේ සඳහන් වේ, “ඔබ සාගරය දෙස බලා එහි රළ පහර ගැන පමණක් කතා කරනවා. නමුත් ඒ රළ යට තියෙන ගැඹුරු නිහඬතාවය සහ එහි සැඟවුණු මහා බලය ගැන ඔබ දන්නේ නැහැ.”

බටහිර ලෝකය අද ඉරානයේ “රළ පහරවල්” දෙස බලා තීරණ ගන්නා අතර, ඔවුන් ඒ යට ඇති “ගැඹුරු නිහඬ බලය” ගැන අවධානය යොමු නොකිරීමේ අවදානම දැන් උදා වී ඇත!
මැදපෙරදිග යුද්ධයක් කියන්නේ බටහිර ලෝකයට මාරක පහරක්. ඒක අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් ‘The Big Short’ චිත්‍රපටයෙන්. එහි පෙන්වන්නේ මතුපිටින් ලස්සනට පෙනෙන ආර්ථිකය ඇතුළතින් කුණු වී ඇති ආකාරයයි. ​එහි මාර්ක් බෝම් මෙහෙම කියනවා, ​”අපි ජීවත් වෙන්නේ වංචාව මත පදනම් වුණු ලෝකයක. මිනිස්සු හිතන්නේ හැමදාම මේ සෙල්ලම මෙහෙමම යයි කියලා.. ඒත් එක දවසක් එනවා මේ හැමදේම බිමට සමතලා වෙන.”
​මැදපෙරදිග තෙල් සැපයුම නතර වුණොත්, බටහිර ඇතුළු ලොව පුරා කොටස් වෙළඳපොළවල් කඩාවැටෙන්නේ හරියට 2008 ආර්ථික අවපාතය වගේ දහස් වාරයක් වේගයෙන්! ඒක “Death Spiral” එකක්. ඉරානය මේ ක්‍රීඩාවේදී දන්නවා ඔවුන්ගේ අතේ තියෙන්නේ ලෝකයේ හුස්ම හිර කරන කපාටය කියලා..
ලා ෆොන්ටේන්ගේ උපදේශ කථා අතර ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වයට ගැළපෙන අපූරු කතාවක් ඇත. ඒ තමන්ට වඩා විශාල වීමට උත්සාහ කරන මැඩියාගේ කතාවයි. ​තණබිමක සිටින දැවැන්ත ගොනෙකු දුටු මැඩියෙක්, තමාත් ඒ තරම් විශාල වීමට සිතා හුස්ම ඉහළට ගනිමින් ශරීරය පිම්බීමට පටන් ගත්තේය.

​මැඩියා තම මිතුරාගෙන්, “දැන් බලන්න, මම අර ගොනා තරම්ම ලොකුයි නේද?”
​”නැහැ, තවම මදි..”
​මැඩියා තවත් හුස්ම ගනිමින් “දැන්? දැන් හරි නේද?”
​”කොහෙත්ම නැහැ යාළුවා, ඔයාට කවදාවත් එහෙම වෙන්න බැහැ..”
​අන්තිමේදී මැඩියාගේ බඩ පැලී මිය ගියේය. ඉරානය යනු ලෝකයේ 17 වන විශාලතම රටයි. වර්ග කිලෝමීටර මිලියන 1.6ක් විශාලය. ඊශ්‍රායලය යනු ලංකාවටත් වඩා කුඩා රටකි. ප්‍රමාණය වර්ග කිලෝමීටර 22,145 කි.

ඉරානය ඊශ්‍රායලයට වඩා 74 ගුණයකින් විශාලයි! හරියට අපියි ඉන්දියාවයි වගේ. ඉරානයේ ජනගහනයත් ඊශ්‍රායලය මෙන් 9 ගුණයකටත් වඩා වැඩියි. ඉතින් ඊශ්‍රායලය වැනි කුඩා බිම් කඩක්, ලෝක බලවතුන්ගේ උදව්වෙන් ඉරානය වැනි දැවැන්ත රාජ්‍යයක් සමඟ සදාකාලික යුද්ධයකට යෑම හරියට මැඩියාගේ උත්සාහය වැනියි.

තමන්ට දරාගත නොහැකි බලයක් පෙන්වීමට යාමෙන් කවදා හෝ සිදුවන්නේ ස්වයං විනාශයකි. ඉතිහාසය අපට උගන්වන්නේ “ජයග්‍රහණය” යනු වැඩිපුර කෑගසන කෙනාගේ හෝ වැඩිපුරම අවි පෙන්වන අයගේ උරුමයක් නොවන බවයි. ජය හිමිවන්නේ නිවැරදි වේලාව එනතෙක්, ඉවසීමෙන් සහ මනා සූදානමකින් සිටින තැනැත්තාටයි.

සාගර දියගම

Related articles

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...

“කුඩා දියණියකගේ මනෝලෝකය තෙවැනි ඇසින් විනිවිද දැකීම” The President’s Cake

අන්තර්ජාලය නව්‍යමය සිනමාව කියවීම මෑතකාලීන ගෝලීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් සම්භාවනාවට හා විචාරක පාර්ශ්වයේ ඉමහත් ඇගයීමට පාත්‍ර වූ සම්මානනීය ඉරාක චිත්‍රපටයකි,...