‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

Share post:

“අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ මේ දේ වුණේ කියලා. නෑ. ඒ දේ නොවුනා නම්, ඒ වෙනුවට වෙනත් දෙයක් වෙනවා. එකක් නැතිවෙන්න තවත් දෙයක් වෙලා ඒ හිඩස පිරවෙනවා. මේ ජීවිත කතා ගලායන්නෙ එහෙම.”
-මව්වත් හදවත්, 250 වන පිටුව-

රිදිලා ඉන්න මිනිස්සුන්ව සුවපත් කරන්න පුළුවන් විදියේ පොත් තියනවා කියලා කොච්චරවත් ඇහුවට, දැක්කට මොකද, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්න එහෙම පොතක් මම මෑතකදි කියවලා ඉවර කලා…. ඒක හරියට කවුරුහරි මට දීපු සුවපහසු වැලඳගැනීමක් වගේ හැඟීමක් ගෙනාපු පොතක්….. මාව කවුරුහරි ඇත්තටම තේරුම් අරන් වගේ හැඟීමක් ගෙනාපු පොතක්…. මට වචන කරගන්න බැරි දේවල් හරිම අපූරුවට වචන වලට අරගෙන වගේ හැඟීමක් ගෙනාපු පොතක්…. මව්වත් හදවතක ළතෙත් බවටත්, පරිණත බවටත්, දැනුවත් බවටත් යටින් වැහිලා ගිය, ඇයගේ ඇතුළාන්තයේ පිරිච්ච ශෝකාන්තයන් වල බර මෙච්චරක් කියලා තේරුම් කරාපු පොතක්….
පොතක් – Chapter 167
මව්වත් හදවත්

ඇය ජීවත් වුණ ගෙදර, වත්ත පහළ තිබ්බ විසල් රට දෙල් ගහත් එක්ක ඇයට කතා කරන්න පුළුවන් බව දැනන් හිටියෙ ඇයත් ගහත් විතරයි…. ඇයගෙ ආච්චිගේ කාලයෙ පටන්ම මහගෙදර සිද්දවෙච්ච හැම දෙයක්ම දෙල් ගහ දන්නවා…. ඒ දේවල් දෙල් ගහ ඇයට කියන්නේ ඇයගේ හිත රිද්දන්න, ඇයව ව්‍යාකූල කරවන්න හිතාගෙන නෙමේ…. සමහරවිට ඒ, මේ මහගෙදර ඉන්න ගැහැනුන්ට උරුම වෙච්ච එක්තරා “රටාවක්” ඇති බවත්, ඒ උරුමය ඇය විසින් පිලිගැනීම අනිවාර්ය නොවන බවත්, ඇයටත් ඇයගේම කියා තෝරාගැනීම් ඇති බවත් ඇයට කියාදෙන්න වෙන්නැති…..

ආච්චි, සීයා, අම්මා, තාත්තා, පුංචි අම්මා එක්ක “මහගෙදර” හැදී වැඩුණු දැරිවියක් ගැන කියවෙන, ඒ දැරිවියගේ කතාන්දරය ඇතුළේ අපේ කතාන්දරයකුත් හංගපු පොතක් තමයි මව්වත් හදවත්….
පුංචි දැරියක් කාලයේ ඉඳලා, නව යොවුන් විය, තුරුණු ප්‍රේමය විඳින පෙම්වතියක් වෙනකම්, ඉන්පස්සෙ සිද්දවෙන හැලහැප්පීම් සහ ඒ හැලහැප්පීම් වලට ඇය මුහුණ දෙන හැටි ගැනයි මේ කතාව කියලා කිව්වොත් නිවැරදියි…. මෙහෙම කිව්වම “මේක හරිම සාමාන්‍ය නවකතාවක්නේ” කියලනම් හිතන්න එපා…. ඇත්තටම හරිම සාමාන්‍ය ගැහැනු, මිනිස්සු ගැන, අසාමාන්‍ය තරම් අපූරුවට ලියපු නවකතාවක් මේ….
මේ කතාව ගැහැනුන් වෙනුවෙන්මයි…. සටහනේ මුලදිමත් කිව්වා වගේ, කවුරුත් තමන්ව තේරුම් ගන්නෙ නෑය කියලා හිතෙනවනම්, මේ පොත කියෙව්වම හිතේවි, “දෙයියනේ මේ තරමටම මගේ හැඟීම් වචන වෙලා තියෙන්නෙ කොහොමද” කියලා….
පහළින් දාන්නම් එහෙම තදින්ම දැනුණ එක තැනක්….
“පරම්පරා ගණනාවක් තිස්සේ ගැහැනු හැම බැඳීමක්ම සැමරුවෙත් හැම බිඳීමක්ම ගෙවුවෙත් වචනවලින්. වචන ලැබුණාම ඔවුන් සතුටුවුණා, පිරුණා. නොලැබුනාම හිඳුණා, නැහුණා. ඇතැම් වචන ලැබෙනකම් බලා හිටියා. තවත් වචන වෙනුවෙන් සටන් කළා. ඒත් බැරිම තැනදි වචන දාහකින් කියලා අවසන් කළ යුතු කතාවකට තනි වචනෙකින් තිතක් තියලා, ආපිට හැරිලා යන්න ගියා, තව වචනයක දෙයක් කියන්න ඉඩක් නොතියා.”

“වචන” වලට, තේරුමක් සහිත, සුරක්ෂිත බව, ආරක්ෂිත බව දනවන, ආදරය, සෙනෙහස දනවන වචන වලට ගැහැනු කොච්චර පෙරේතයිද, එහෙම වචන වලට මොනතරම් නම් බලයක් තියනවද, එහෙම වචන ලඟ ගැහැනු කොච්චරනම් දියවෙලා වැක්කෙරෙනවද, ඒ වචන නොලැබුණහම කොච්චර රිදෙනවද, ඒ බව මව්වත් හදවත් පොතේ හරි අපූරුවට “වචන” කරලා තියනවා….
“ඇය”ගේ චරිතය, පුංචිගෙ චරිතය, අම්මගෙ චරිතය මේ අපි දන්න කාගෙමහරි කතාවක් කියනවා…. හොඳම දේ මොකද්ද දන්නවද? අපිට හරිම සමීපව දැනෙන, සාමාන්‍යයි කියලා බොහෝ දෙනෙක් හිතන දේවල් සහ චරිත වෙනුවෙන්, සාමාන්‍ය නොවන, හරිම කාව්‍යාත්මක, රිද්මයානුකූල, හරියටම කියනවනම් ගල්පර වල හැප්පි හැප්පි ලතාවකට සිලි සිලි නාදයක් පතුරවමින් ගලාගෙන යන ගංගාවක් සිහිපත් කරවන විදියෙ භාෂා රටාවක් පාවිච්චි කරපු එක….
ඒ එක්කම සංකේත…. හිත බිඳිච්ච, රිදිච්ච වෙලාවක ළඟටම වෙලා ඉන්න, කියන ඕනි දෙයක් අහන් ඉන්න යාළුවෙක්ට නමක් ගමක් දීලා ජීවමාන කරනවට වඩා, වත්ත පහළ ඉන්න රටදෙල් ගහක් තෝරගන්න එක? ගස් හුස්ම ගන්නවා කිව්වට, මේ පොතේ ඇත්තටම ගස්වලට “පණ” දීලා තියන විදිය? කනාමැදිරියෙක් වෙනුවෙන් මගේ ඇස්වල අච්චර කඳුළු පිරෙයි කියලා මම හිතලා තිබ්බේ නැහැ… හැමදාම හැමදේටම වතුර දෙන අපේ ළිඳ දිහා මම මේ තරම් ආදරයෙන් බලාවි කියලා මම හිතලා තිබ්බේ නැහැ…. අහම්බෙන් මගතොටේ දකින දෙල් ගහක් දිහා මම සෙනෙහසින් බලයි හිතුවෙ නැහැ…. ඒ එක්කම “ඇයට” නමක් නොදී හිඳීමෙන්, ඇයව නමකට සීමා නොකිරීමෙන් ඇය තුළින් මාව, ඔයාව දකින්න පුළුවන් වෙච්ච එක, ඇය තුළට පිවිසෙන්න පුළුවන් වෙන එක සහ ඇයට විශ්වීය ගතියක් ආරෝපණය කිරීම??? මේ දේවල් විශිෂ්ටයි…. ගැහැනු හැඟීම් හරිම සාමාන්‍යකරණය වෙලා තියනවා කියලා හිතෙන වෙලාවක, ඒ හැඟීම් “නාටකීයයි”, “ඕනෑවට වැඩියි” කියලා හංවඩු ගහන කාලයක, ඒ වෙනුවෙන් කරලා තියන වචන හරඹය විශිෂ්ටයි…..
මේ අවුරුද්දෙ මුලම, හරියටම ජනවාරි පළවෙනිදා කියවන්න පටන්ගත්ත මව්වත් හදවත්, මාස තුනකට කිට්ටු වෙන්න මගේ අතේ, මගේ මේසෙ උඩ, මගේ ඇඳේ, මගෙ ඇඳ අයිනෙ කබඩ් එක උඩ, මගේ බෑග් එකේ, මගෙ ඔෆිස් මේසෙ උඩ මාත් එක්ක හිටියා…. මේ වචන හරඹයේ සම්පූර්ණ රසයම විඳගන්න ඕනි නිසාම පූර්ණ නිස්කලංක වෙලාවල් වලදි විතරක් අතට ගත්තට, පොතේ භාගයක් විතර කියවලා ඉවර වෙලා ආයේ සැරින් සැරේ පොත දකිනකොට හරිම සන්සුන්, සුවපහසු බවක් දැනුණා…. ඒකමයි මම කිව්වේ මේ පොත ඇත්තටම සුවදායී පොතක් කියලා….

පද්‍ය කෘති වලින් කිවිඳියක් ලෙසත්, පරිවර්තන කෘති වලින් පරිවර්තිකාවක් ලෙසත් බොහෝ දෙනෙක් අතරට ගිය, ඒත් මම සමාජ මාධ්‍යයන්හි අපූරුවට ලියන්නියක් විදියට හඳුනගෙන හිටපු ඩිල්ශානි චතුරිකා දාබරේ ගේ පළමුවෙනි නවකතාව මේ මව්වත් හදවත්….. සුරතල් බල්ලෙක්, පූසෙක්, ගහක්, මලක් ගැන, සුවඳ හමන, කන්න හිතෙන “මක්ක කෑල්ලක්” ගැන පවා අතීතකාමය නිතැතින්ම දනවන තරම් අපූරුවට ලියන්නියක් විදියට මම දැකපු ඇයගේ “මව්වත් හදවත්”, මම කියවන්න බොහෝම කැමැත්තෙන් හිටපු පොතක්…. කියවන්න කලින් පොත ගැන හරිහමන් අදහසක් තිබ්බෙ නැතත්, ඒ වචන නිකම්ම සරල වචන, සරල වැකිනම් නොවෙන බව විශ්වාස කළා…. මේක ඒ විශ්වාසයටත් එහා ගිය අපූරුම කියවීමක් වුණා…. මම හිතන්නෙ මේ අවුරුද්දෙ කියවන සිංහල ස්වතන්ත්‍ර පොත්වලින් මම වැඩියෙන්ම ආදරේ කරන, වැඩියෙන්ම මට සහනයක් වෙච්ච පොත මේක වේවි….
මේකත් කියන්නම ඕනි….

මම හරුකි මුරකාමිගේ Norwegian Wood විතරක් කියවලා තිබ්බට, ඔහුගේ අනික් පොත් ගැන අහලා, කියවලා තියන දේවල් වල හැටියට මම හිතන්නේ මේ පොත, මේ ලිවීමේ විලාසය, මේ භාෂා රටාව මුරකාමිමය ගතියකින් සමන්විත ඇතිය කියලා මට හිතෙනවා…. කතුවරිය මුරකාමි පොත් එක්ක සමීපයි කියලා දන්න නිසාත්, Norwegian Wood පොතේ තියන හීනමය ගතිය වගේ ගතියක් එක්ක හරිම ළයාන්විත බවකුත් මේ පොත කියවන් යද්දි දැනුණ නිසයි මම මෙහෙම ලියන්නේ….. මුරකාමිගේ සංකේත පාවිච්චිය, කාව්‍යමය භාෂාව එක්ක සිංහල බව එකතු වුණ පොතක්නම්, මේ ඒ පොත තමයි මම හිතන්නේ…. ඒක එහෙමම ද කියලා මුරකාමිගෙ තවත් පොත් කීපයක් කියෙව්වට පස්සෙම හරියටම කියන්නම්….
එතකම් මම කියන්නේ,

මව්වත් හදවත් ඔයාගේ පොත් එකතුවේ තියෙන්නම ඕනි පොතක් කියලම විතරයි..

උදාරා සත්සරණී රණසිංහ

Related articles

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...

“කුඩා දියණියකගේ මනෝලෝකය තෙවැනි ඇසින් විනිවිද දැකීම” The President’s Cake

අන්තර්ජාලය නව්‍යමය සිනමාව කියවීම මෑතකාලීන ගෝලීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් සම්භාවනාවට හා විචාරක පාර්ශ්වයේ ඉමහත් ඇගයීමට පාත්‍ර වූ සම්මානනීය ඉරාක චිත්‍රපටයකි,...