අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

Share post:

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන ප්‍රකාශ නොව, මුළු මහත් මානව ශිෂ්ටාචාරයේම පැවැත්ම පිළිබඳ වචනයි.

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක, “අද රාත්‍රියේ සම්පූර්ණ ශිෂ්ටාචාරයක් මිය යනු ඇත. එය නැවත කිසි දිනෙක ගොඩනැගිය නොහැකි වනු ඇත. මෙය සිදුවනු දැකීමට මා අකමැති වුවද, බොහෝ විට එය සිදුවනු ඇත.” මේ වචන පෙළ දෙස බලන්න.
“සම්පූර්ණ ශිෂ්ටාචාරයක් මිය යාම” කියන්නේ, මොන වගේ විනාශයකටද? අපි මේ කතා කරන්නේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීම හෝ යුද්ධයක එක් සීමිත ජයග්‍රහණයක් ගැන නෙවෙයි. වසර දහස් ගණන් තිස්සේ ගොඩනැඟුණු සංස්කෘතියක්, මිනිස් ජීවිත මිලියන ගණනක් සහ අනාගත පරම්පරාවන් සම්පූර්ණයෙන්ම අතුගා දැමීම ගැනයි ඔහු මේ ඉඟි කරන්නේ.

මේ අතර අද සවස ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හංගේරියාවේදී කළ ප්‍රකාශයත් මේ තත්ත්වය තවත් බරපතල කරනවා. ඔහු පවසන්නේ ඉරානය විසින් තමන්ගේ ගමන් මග වෙනස් නොකළහොත්, මෙතෙක් භාවිතා නොකළ, “මෙවලම්” භාවිතා කිරීමට ට්‍රම්ප් පසුබට නොවන බව.
මොකක්ද මේ “භාවිතා නොකළ මෙවලම්” කියන්නේ? රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් ඔබ්බට ගියොත්, මෙතන තියෙන්නේ ඉතා පැහැදිලි න්‍යෂ්ටික තර්ජනයක්. ​ජේ.ඩී. වෑන්ස් පවසන “මෙවලම්” අතර ප්‍රධානතම එකක් වන්නේ, “B61-12” නම් උපක්‍රමික න්‍යෂ්ටික බෝම්බය.

එහි භයානකකම ඇත්තේ එහි විනාශකාරී බලය පාලනය කළ හැකි වීම තුළයි. ​මෙහිදී මට මතක් වන්නේ ජෝර්ජ් ඕවෙල්ගේ ‘1984’ නවකතාව. එහි එන “Newspeak” හෙවත් භාෂාව විකෘති කිරීමේ ක්‍රමය හරහා යුද්ධය යනු, සාමය බවත් වහල්භාවය යනු නිදහස බවත් ජනතාවට ඒත්තු ගන්වයි. අද ඇමරිකාව උත්සාහ කරන්නේත් එවැනිම දෙයකි.

“අනේ මේක ලොකු න්‍යෂ්ටික බෝම්බයක් නෙවෙයි, පොඩි එකක් විතරයි” යන මතය සමාජගත කිරීම හරහා ඔවුන් න්‍යෂ්ටික ප්‍රහාරයක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කරයි. ​නමුත් න්‍යෂ්ටික විකිරණයට “පොඩි” හෝ “විශාල” කියා වෙනසක් නැත. එය පරම්පරා ගණනාවක් විනාශ කරන මාරකයකි.
අපි ඉතිහාසය දෙස බැලුවොත්, ලෝක යුද්ධ දෙකක් අපි පසු කරලා තියෙනවා. හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළන ලද්දේ, මීට දශක කිහිපයකට පෙරයි. එදා සිදුවූ විනාශය අදටත් ලෝකයට අමතක වෙලා නැහැ.
නමුත් අද තත්ත්වය ඊට වඩා සිය දහස් වාරයක් භයානකයි. අද තියෙන න්‍යෂ්ටික අවි එදා බෝම්බ වලට වඩා අතිශය බලසම්පන්නයි. සරලව න්‍යෂ්ටික අවි භාවිතය යනු ජීවීන්ගේ DNA රටාවන් සම්පූර්ණයෙන්ම අවුල් කිරීමකි. විකිරණ යනු, ජීවයේ භාෂාව මකා දමන අකුණු සැරයක්!
අද මේ ඉරාන ඇමරිකා යුද්ධයේ 40 වන දිනය.. පසුගිය දින 39 පුරාවටම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වන ඇමරිකාව, ඉරානයේ “ෆෝඩෝ” නම් න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කරගෙන තමන් සතු ප්‍රභලම බෝම්බ හෙළමින් ඉන්නවා.. ඒ එකක්වත් සාමාන්‍ය බෝම්බ නෙවෙයි.
මේවා හඳුන්වන්නේ ‘GBU-57 Bunker-Buster’ බෝම්බ ලෙස. දන්නවද ඒ එක බෝම්බයක වටිනාකම ඩොලර් මිලියන 3.5 කට වඩා වැඩියි. රුපියල් වලින් කිව්වොත් රුපියල් ‘කෝටි 105’ ක් එක බෝම්බයක වටිනාකම විතරක්. එය හෙළීමට යන වියදම නැතුව!
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. මේ තරම් මිල අධික, බලවත් බෝම්බ ගැහුවත් ෆෝඩෝ මධ්‍යස්ථානයට හානියක් කරන්න තවමත් බැරි වෙලා තියෙනවා…

ඒ ඇයි?
මොකද ෆෝඩෝ පිහිටලා තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳන් අඩි 300ක් ගැඹුරින්, යෝධ කළුගල් කන්දක් ඇතුළේ. භෞතික විද්‍යාවේ නියමයන්ට අනුව, දැනට ලෝකයේ තියෙන කිසිම සම්ප්‍රදායික ආයුධයකට ඒ තරම් ගැඹුරකට විනිවිද ගිහින් විනාශයක් කරන්න බැහැ. ඇමරිකානු අධිරාජ්‍යය අද අසරණ වෙලා තියෙන්නේ ඔන්න ඔය “කළුගල් පවුර” ඉස්සරහයි.

​ඒක හරියට පැරණි ග්‍රීක වීර කාව්‍යයක් වන හෝමර්ගේ ‘ඉලියඩ්’ කතාවේ එන ට්‍රෝයි නගරයේ මහා ප්‍රාකාරය වගේ.. දස වසරක් තිස්සේ ග්‍රීකයන්ට බිඳීමට නොහැකි වූ ඒ පවුර මෙන්, අද ඇමරිකානු අධිරාජ්‍යයට ෆෝඩෝ යනු ජයගත නොහැකි “කළුගල් සිහිනයක්” වී ඇත.
තමන්ගේ සාම්ප්‍රදායික ආයුධ අසාර්ථක වන විට, ඕනෑම අධිරාජ්‍යයක් වඩාත් ප්‍රචණ්ඩ වන බව ඉතිහාසය සාක්ෂි දරයි. ඇමරිකාව අද ඉන්නේත් එවැනි තැනක! ඔවුන්ගේ ගුවන් යානා වාහක නෞකා, ඉරානයේ සාමාන්‍ය බැලස්ටික් මිසයිල හමුවේ පසුබසින්න සිද්ධ වෙලා. ලෝක ආර්ථිකය කඩා වැටෙමින් පවතිනවා..

මේ පරාජය වහගන්න ඔවුන් දැන් අලුත් තුරුම්පුවක් අතට අරන් තියෙනවා. ඒ තමයි අර B61-12 කියන උපක්‍රමික න්‍යෂ්ටික බෝම්බ සරලව කිව්වොත්, “Tactical Nuclear Gravity Bomb” විශේෂත්වය, මේ බෝම්බයේ තියෙන විනාශකාරී බලය අවශ්‍ය විදිහට අඩු වැඩි කරන්න පුළුවන්. හරියට අපි රේඩියෝ එකක ශබ්දය පාලනය කරනවා වගේ..
මේකෙන් වෙන්නේ න්‍යෂ්ටික අවියක් කියන බිහිසුණු නාමය යටපත් කරලා, “ආ ඒක පොඩි පිපිරීමක් විතරයි” කියන මතය ඔවුන් ලෝකය හමුවේ තියන්න උත්සාහ කිරීම.

මේ තත්ත්වය මට මතක් කරන්නේ ස්ටැන්ලි කුබ්රික්ගේ ‘Dr. Strangelove’ චිත්‍රපටයේ එන දේශපාලනඥයන් සහ හමුදා නිලධාරීන් ඉන්නා දර්ශනයක දෙබසක්, “මම කියන්නේ නැහැ අපිට හානියක් වෙන්නේ නැහැ කියලා. හැබැයි මම කියන්නේ මිලියන 10-20ක් මැරුණට කමක් නැහැ, ඉතිරි අය ජීවත් වෙනවා නම්!”

​අද ඇමරිකානු පාලනයත් උත්සාහ කරන්නේ මෙසේ න්‍යෂ්ටික අවියක් යනු “පාලනය කළ හැකි, කුඩා පිපිරීමක්” ලෙස ලෝකයට හඳුන්වා දීමටයි. නමුත් සිනමාවේ මෙන්ම යථාර්ථයේදීත්, න්‍යෂ්ටික බොත්තම එබූ පසු ඉන් ගැලවීමක් නැත.
මීට වසර 20 කට කලින්, ඒ කියන්නේ 2006 දී, සුප්‍රකට මාධ්‍යවේදී සේමූර් හර්ෂ් හෙළිදරව් කළා එවකට බුෂ් පරිපාලනය ඉරානයේ භූගත මධ්‍යස්ථාන විනාශ කරන්න මේ වගේම න්‍යෂ්ටික ප්‍රහාරයක් සැලසුම් කර තිබු බව!
එහෙත් ඒ ගැන එදා ලෝක ජනතාව අතර හටගත් දැඩි විරෝධය නිසා, පෙන්ටගනයට ඒ සැලසුම අකුලා ගන්න සිද්ධ වුණා. හැබැයි අද තත්ත්වය වෙනස්. වසර 20 කට පස්සේ, ඒ විනාශකාරී සැලසුමම නැවත මේසය මතට ඇවිත් තියෙනවා.

වොෂින්ටනය සහ ටෙල් අවිව් අද කොටු වෙලා ඉන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කරන්න, ඔවුන්ට බිම් සෙබළුන් ලක්ෂ ගණනක් අවශ්‍යයි. හැබැයි ඇමරිකානු තරුණයෝ අද තවත් යුද්ධයකට යන්න සූදානම් නැහැ. සාමාන්‍ය බෝම්බ වලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන්නත් බැහැ. ඉතින් ඔවුන්ට ඉතිරි වෙලා තියෙන එකම විකල්පය තමයි “න්‍යෂ්ටික” ප්‍රහාරය.

මේ සටන ඉරානය සහ ඇමරිකාව අතර විතරක් තියෙන හුදු ගැටුමක් නෙවෙයි. මේක ඇමරිකාව සතු “බලය” රැකගැනීම වෙනුවෙන් කරන සටනක්. ඉතිහාසය අපිට කියලා දෙන්නේ, වැටීගෙන යන අධිරාජ්‍යයන් තමන්ගේ පරාජය පිළිගන්නවාට වඩා, මුළු ලෝකයම විනාශ වීමේ අවදානම ගන්න මැලි වෙන්නේ නැති බව!

ඔබ අද පෙට්‍රල් ලීටරයකට ගෙවන මිල, ගෑස් වලට ගෙවන මිල, බඩු මිල ඉහළ යාම මේ හැම දෙයක්ම පිටුපස තියෙන්නේ මේ මහා යුද පෙරහුරුව. අපි හැමෝම නොදැනුවත්වම මේ ලෝක යුද්ධයේ “පෙරහුරුවට” අරමුදල් සපයමින් ඉන්නේ. දේශපාලනඥයන් තමන්ගේ ආරක්ෂිත බංකර් වල ඉඳන් මේ විනාශය දෙස බලා ඉඳීවි.

හැබැයි, සාමාන්‍ය ජනතාව වන අපිට යන්න තැනක් නැහැ. 1945 හිරෝෂීමා සහ නාගසාකි ප්‍රහාරයෙන් පස්සේ ලෝකය කිසිම දවසක මෙතරම් න්‍යෂ්ටික අවදානමකට ආසන්න වෙලා තිබුණේ නැහැ.

අපේ බොහෝ දෙනෙක් සිතන්නට පුළුවන් “ඕක ඉතින් ඇමරිකාවයි ඉරානයයි අතර ප්‍රශ්නයක්නේ, අපිට මොකද?” කියලා. සමහරවිට ඔබත් සිතනවා විය හැකියි මේවා අපට අදාළ නැති බව. නමුත් මහා ලේඛක අර්නස්ට් හෙමිංවේ ඔහුගේ ‘”සීනුව නාද වන්නේ කා වෙනුවෙන්ද?”(1) කෘතියේ මෙසේ ලියයි. ​
“කිසිම මිනිසෙකු හුදෙකලා දූපතක් ලෙස ජීවත් නොවේ… ඕනෑම මිනිසෙකුගේ මරණය මා අඩුවක් කරයි, මන්ද මම මානව වර්ගයාගේ කොටසක් බැවිනි. එබැවින්, සීනුව නාද වන්නේ කා වෙනුවෙන්දැයි දැන ගැනීමට උත්සාහ නොකරන්න. එය නාද වන්නේ ඔබ වෙනුවෙනි.”
​1945 දී හිරෝෂීමා මත බෝම්බය හෙළූ පසු, එහි නිර්මාණකරු රොබට් ඕපන්හයිමර් භගවත් ගීතාව උපුටා දක්වමින් පැවසුවේ, “දැන් මම මරණය වී සිටිමි, ලෝකයන් විනාශ කරන්නා වී සිටිමි” කියායි. අද නැවතත් එවැනිම මොහොතකට ලෝකය පැමිණ ඇත.
​ට්‍රම්ප් සහ වෑන්ස් අද රාත්‍රියේ උත්සාහ කරන්නේ ඒ “මරණයේ දේවතාවා” නැවත අවදි කරන්නටද? මෙය ලිවීමේ අරමුණ ඔබව බිය ගැන්වීම නොවේ. ෆියෝඩර් දොස්තොයෙව්ස්කි පැවසූ පරිදි, “සත්‍යය දැන සිටීම සැමවිටම වේදනාකාරී වුවත්, එය වහල්භාවයට වඩා උතුම්ය.”
අප අවදියෙන් සිටිය යුතුය. මන්ද, ශිෂ්ටාචාරයක් මිය ගිය පසු, එය නැවත ගොඩනැඟීමට ඉතිහාසය අපට ඉඩ නොදෙනු ඇත. ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘Interstellar’ චිත්‍රපටයේ එන එක් අපූරු කවියක් තිබේ.(2)

“ඒ සොඳුරු රාත්‍රියට නිහඬව අවනත නොවන්න… ආලෝකය නිවී යාමට එරෙහිව සටන් කරන්න.”
​ලෝක නායකයන් “ශිෂ්ටාචාරයේ අවසානය” ගැන කතා කරන විට, සාමයට ලැදි මිනිසුන් ලෙස අප නිහඬව සිටිය යුතු නැත. සිනමා පටයක මෙන් නොව, මේ ජීවිතයේ අපට ඇත්තේ එකම එක අවස්ථාවකි. අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත. ​එනිසා අපි ප්‍රාර්ථනා කරමු, මේ බිහිසුණු ජවනිකාව හුදු තර්ජනයකට පමණක් සීමා වී, ලෝකය නැවත සාමයේ ආලෝකය කරා ගමන් කරනු ඇතැයි කියා.

සාගර දියගම

Related articles

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...

“කුඩා දියණියකගේ මනෝලෝකය තෙවැනි ඇසින් විනිවිද දැකීම” The President’s Cake

අන්තර්ජාලය නව්‍යමය සිනමාව කියවීම මෑතකාලීන ගෝලීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් සම්භාවනාවට හා විචාරක පාර්ශ්වයේ ඉමහත් ඇගයීමට පාත්‍ර වූ සම්මානනීය ඉරාක චිත්‍රපටයකි,...