පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

Share post:

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක් නොමැති රැයක්. න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ මහා බලවතුන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගනිමින්, ලෝක යුද්ධයක පෙරනිමිති පෙන්වමින් සිටි මොහොතක, මෙන්න හිටිහැටියේම “සටන් විරාමයක්” ගැන පුවත් ගලා එන්න පටන් ගත්තා..

මේ සිදුවීම පිටුපස ඇති දේශපාලන නාටකය ඕනෑම හොලිවුඩ් චිත්‍රපටයකට වඩා කුතුහලය දනවන සුළුයි. අද අපි කතා කරන්න යන්නේ, පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ “Draft” පෝස්ට් එකේ සිට, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Golden Age” සිහිනය දක්වා දිවෙන මේ අමුතුම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව ගැන.
ඕනෑම රටක රාජ්‍ය නායකයෙකු ලෝක සාමය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන විට එය ඉතාම ගාම්භීර මොහොතක් විය යුතුයි. පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ටත් එවැනිම දුර්ලභ අවස්ථාවක් උදා වුණා. පකිස්ථානය මැදිහත් වී ඉරානය සහ ඇමරිකාව අතර යම් එකඟතාවක් ඇති කළ බව පවසමින්, ඔහු “X” පණිවිඩයක් නිකුත් කළා.. නමුත් එතැනදී සිදු වුණේ නොසිතූ දෙයක්!

එම පණිවිඩයේ ඉහළින්ම “Draft” හෙවත් කෙටුම්පත යන වචනය ඉවත් කිරීමට ඔහුට හෝ ඔහුගේ මාධ්‍ය ඒකකයට අමතක වී තිබුණා. (පහත පින්තූරය) මේ “පුංචි වචනය” ලෝකය පුරා ලොකු සැකයක් මතු කළා..

විචාරකයන් පවසන්නේ මෙය, පකිස්ථාන අගමැති කාර්යාලයේ ලියැවුණු එකක් නොවන බවයි. විශ්ලේෂකයින් පවසන පරිදි, පකිස්ථාන අගමැතිවරයකුගේ මාධ්‍ය අංශයක් තමන්වම “Pakistan’s PM” ලෙස කෙටුම්පතක හඳුන්වා ගැනීමට ඇති ඉඩකඩ අඩුයි. එසේ නම් තිබිය යුත්තේ “PM” යන්න පමණයි.
ඒ නිසා බොහෝ දෙනා සැක කරන්නේ මේ පණිවිඩය සෘජුවම අමෙරිකාවේ ධවල මන්දිරයෙන් හෝ එවැනි බාහිර තැනකින් එවූවක් බව! “ඇමරිකාව පකිස්ථානය ලවා තමන්ට අවශ්‍ය දේ කරවනවා පමණක් නොව, ඔවුන්ගේ ට්විටර් පණිවිඩ පවා ලියා දෙන මට්ටමට පත්වෙලාද?” යන ප්‍රශ්නය අද ලෝකයම අසනවා.. පකිස්ථානයට මේ මොහොතේ ණය මුදල් අවශ්‍යයි, ඇමරිකාවට කාලය අවශ්‍යයි. මේ ගනුදෙනුවේ ප්‍රතිඵලය, ඒ “Draft” පෝස්ට් එකද?
මෙම ගැටුමේදී කැපී පෙනෙනම සාධකය වුණේ පරණ පන්නයේ න්‍යෂ්ටික බෝම්බ නොවෙයි. ඒ වෙනුවට 21 වන සියවසේ බලවත්ම අවිය ලෙස “මුහුදු මාර්ග” ඉස්මතු වුණා. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීම හරහා ලෝක වෙළඳාමට සහ තෙල් සැපයුමට එල්ල කළ බලපෑම අති විශාලයි. මෙතෙක් නිදහස් මුහුදු මාර්ගයක් ලෙස පැවති මෙය දැන් ඉරානයේ ප්‍රබලම තුරුම්පුව බවට පත්ව තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පවා සටන් විරාමයකට එකඟ වන්නට ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ ආර්ථික අවහිරයයි.

සමහරු පවසන පරිදි, ඉරානය මේ සටනින් සදාචාරාත්මකව සහ යුධමය වශයෙන් ජයගෙන තිබෙනවා. ඔවුන්ට තමන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට හැකි වුණා වගේම, ඇමරිකාව වැනි සුපිරි බලවතෙකුට “සටන් විරාමයක්” ගැන හිතන්නට පවා බල කළා. සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනය ඔහුගේ සුපුරුදු ශෛලියෙන්ම යුක්තයි. ඔහු පවසන්නේ මෙය ලෝක සාමයේ විශාල දිනයක් බවයි.
“ඉරානයටත් දැන් ඇති වෙලා, හැමෝටම ඇති වෙලා! අපි දැන් හෝමුස් සමුද්‍ර සන්ධියේ තදබදය අඩු කරන්න උදව් කරනවා. ලොකු මුදලක් උපයන්න පුළුවන් වේවි. ඉරානයට දැන් නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්.” – President Donald J. Trump
ට්‍රම්ප්ගේ මේ කතාව පිටුපස තිබෙන්නේ ව්‍යාපාරික මානසිකත්වයයි. ඔහුට අවශ්‍ය යුද්ධයක් නොව, ඇමරිකාවට වාසිදායක “ගනුදෙනුවක්” හෙවත් Deal එකක්. ඔහු මැදපෙරදිග “ස්වර්ණමය යුගයක්” ගැන සිහින මවනවා. නමුත් මේ සාමය කොපමණ කාලයක් පවතීවිද? මේ දේශපාලන චෙස් ක්‍රීඩාවේ අවසාන ප්‍රතිඵලය දෙස බැලූ විට අපට මෙහෙම සාරාංශයක් ගන්න පුළුවන්..
ඉරානය.. තමන්ගේ ස්ථාවරය රැකගත්තා, ලෝකයට තමන්ගේ බලය පෙන්නුවා!
ඇමරිකාව.. මුහුණ බේරාගත්තා, ලෝක යුද්ධයකින් තාවකාලිකව බේරුණා.
ඊශ්‍රායලය.. ලෙබනනයේ නව භූමි ප්‍රදේශ අත්පත් කරගැනීම හරහා යම් වාසියක් ලබාගත්තා.
පකිස්ථානය.. “ස්තූති පණිවිඩ” සහ බටහිර ලෝකයේ යම් පිළිගැනීමක් (සහ සමහර විට ණය සහනයක්) ලැබුවා.
ලංකාව, ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල්.. තෙල් සැපයුම බාධාවකින් තොරව ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.

ලෝකයට තාවකාලිකව හෝ සාමය උදා වුණා. නමුත් පැරදුණේ කවුද?විශ්ලේෂකයන් පවසන්නේ, ගල්ෆ් කලාපයේ රාජාණ්ඩු හෙවත් ‘Gulf Monarchies’ මෙහිදී දැඩි ලෙස පසුබෑමකට ලක් වූ බව!
දැන් ප්‍රශ්නය මෙය අවසානයද? නැතිනම් “විවේකයක්” පමණද? බොහෝ දෙනා පවසන්නේ මෙය “Pause” බොත්තම එබීමක් වැනි දෙයක් බවයි. පකිස්ථාන අගමැති ලෙබනනයත් මේ සටන් විරාමයට ඇතුළත් බව පැවසුවත්, ඊශ්‍රායල අගමැති නෙතන්යාහු එය වහාම ප්‍රතික්ෂේප කළා.. ඒ කියන්නේ තවමත් තිරය පිටුපස ලොකු අවුලක් තිබෙනවා.

යුධකාමී “මෘගයා” තවමත් ජීවතුන් අතරයි, ඔහු සිටින්නේ සැඟවී බලාගෙනයි. ලෝක බලවතුන් තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෑම වෙලාවක මේ සාමය උල්ලංඝනය කරන්න පුළුවන්. න්‍යෂ්ටික තර්ජනය තාවකාලිකව පහව ගියත්, බටහිර ආසියාවේ ගිනි පුපුරු තවමත් නිවී නැහැ. ​ලියෝ තොල්ස්තෝයිගේ “War and Peace” නවකතාවේ නැපෝලියන් සහ රුසියානු හමුදා අතර සටන් මැද ඇතිවන කුඩා නිහඬතාවයන් ගැන මනරම් විස්තර තිබෙනවා. යුද්ධය යනු “නිරන්තර සටනක්” නොව, ලොකු විනාශයකට පෙර එන නිහඬතාවයන් රැසක එකතුවක් බව තොල්ස්තෝයි පෙන්වා දෙනවා.

පකිස්ථාන අගමැතිවරයාගේ ට්විටර් පණිවිඩය, ධවල මන්දිරයෙන් ලියා දුන් එකක් බවට සැක කිරීම, “Wag the Dog” චිත්‍රපටය මට සිහිපත් කරනවා. එහිදී සිදුවන්නේ ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික අපකීර්තියක් වසා ගැනීමට, ප්‍රචාරණ විශේෂඥයින් පිරිසක් එක්ව “ව්‍යාජ යුද්ධයක්” නිර්මාණය කිරීමයි. ​එම චිත්‍රපටයේ එන එක් ප්‍රධාන දෙබසක, “මොකක්ද වැදගත්? යුද්ධයද? නැත්නම් ජනතාව යුද්ධයක් තියෙනවා කියලා විශ්වාස කරන එකද?”
​ෂෙහ්බාස් ෂරීෆ් අගමැතිවරයා “සාම දූතයෙකු” ලෙස පෙනී සිටීමට උත්සාහ කළත්, ඒ “Draft” ලේබලය නිසා මුළු ලෝකයම දකින්නේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද යන්නයි. චිත්‍රපටයේ මෙන්ම, දේශපාලනයේදී ද වැදගත් වන්නේ සැබෑවටම සිදුවන දේ නොව, ජනතාවට පෙන්වන “දර්ශනය” බව මෙයින් තහවුරු වෙනවා..

ඉරානය ​හෝමුස් සමුද්‍ර සන්ධිය යුධ අවියක් ලෙස භාවිතා කරමින් ඇමරිකාවට සටන් විරාමයකට බල කිරීම, ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ “The Godfather” චිත්‍රපටයේ එන ඩීල් එකකට සමානයි. එහි වීටෝ කොර්ලියෝන් පවසන සුප්‍රකට වැකියක් නම්, “මම ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැකි යෝජනාවක් ඉදිරිපත් කරනවා..”

​ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය හිර කිරීම හරහා ලෝක වෙළඳාමට ඉදිරිපත් කළේ ද එවැනිම ප්‍රතික්ෂේප කළ නොහැකි යෝජනාවකි. “සාමය ලබාගන්න, නැතිනම් තෙල් නැතිව ඔබේ ආර්ථිකය විනාශ කරගන්න!” යන පණිවිඩය මේ සටන් විරාමය පිටුපස ඇති “Godfather” න්‍යායයි.
අවසාන වශයෙන්, අප ජීවත් වන්නේ ඉතා සංකීර්ණ ලෝකයකයි. අපේ අසල්වැසි පකිස්ථානය කළ මැදිහත්වීම අගය කළ යුතු වුවත්, ඒ පිටුපස ඇති “ස්ක්‍රිප්ට්” එක කාගේද යන්න ගැන විමසිලිමත් විය යුතුයි. මේ මොහොතේ ලෝකය යුද්ධයෙන් බේරීම ගැන අපට සතුටු විය හැකියි. නමුත් මේ සාමය දිගුකාලීන එකක් වීමට නම්, බලවතුන් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු වලින් බැහැර විය යුතුමයි. හිතන්න, මේ අප දුටු සමස්ථ සිදුවීම් පෙළ ‘චිත්‍රපටයක් නම්’ ඔබ එම චිත්‍රපටය නම් කරන්නේ කුමන නමකින්ද?

​A) The Great Deception (මහා රැවටීම)
​B) Silent Storm (නිහඬ කුණාටුව)
​C) The Last Deal (අවසාන ගනුදෙනුව)

සාගර දියගම

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...