මහින්ද – ගෝඨාට තවම කැනඩාව විවෘතයි : හමුදා චූදිතයන්ගේ සම්බාධක තහවුරුයි !

Share post:

කැනඩා රජය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එරෙහි සම්බාධක පැනවීමේ නියෝගය මෙතෙක් නිල වශයෙන් අනුමත කර නැත.

ඊට අදාළ සියලු ලේඛන සකස් කොට අවසන්ව ඇතත්, එරට අගමැති ජස්ටින් ට්රූඩොගේ (Justin Trudeau) කාර්යාලයෙන් මෙතෙක් එම ලේඛන අදාළ අංශ වෙත නිකුත් කර නැති බව තානාපති අංශ තහවුරු කරයි. කෙසේ වෙතත් මේ සමග ම සම්බාධක පැනවූ යුද හමුදාවේ හිටපු සැරයන් සුනිල් රත්නායකට සහ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට අදාළ ලේඛන සියල්ල සම්පූර්ණ කොට ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බලධාරීන් වෙත යවා අවසන් බව ද එම අංශ සඳහන් කරයි.

චෝදනා ඔප්පු කර නෑ – මහින්ද

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ තමන්ට එරෙහි කිසිදු චෝදනාවක් මෙරට දී හෝ විදේශ රටකදී මෙතෙක් තහවුරු කර නැති බවයි. කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ නවරත්න ද මෙම සම්බාධක පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. ඔහු සඳහන් කර තිබුණේ කැනඩාවේ දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරිත්වය මීට හේතු වී ඇති බවයි.

විදේශ ආයෝජන

මේ අතර විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අවස්ථා කිහිපයකදී අවධාරණය කර තිබුණේ දෙමළ ඩයස්පෝරාව සමග ආයෝජන කටයුතු ඇරඹීමට රජය සූදානම් බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

තවත් හමුදා නිලධාරියෙක් ?

පසුගිය ඔක්තෝබර් 09දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව සම්මත වීමත් සමග හමුදා නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව මෙවැනි සම්බාධක පැනවෙනු ඇතැයි අනාවැකි පළ කෙරිණි. යුරෝපා සංගමය මගින් මීට අදාළ කටයුතු ආරම්භ කළේය. ඒ අනුව ය, කැනඩාව මූලික වශයෙන් චූදිත නිලධාරීන් දෙදෙනෙකුට මෙසේ සම්බාධක පනවා ඇත්තේ.

මිරුසුවිල් – තරුණයන් 11ක් අතුරුදන් කිරීම

මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් සුනිල් රත්නායක නිලධාරියා අධිකරණයෙන් වරදකරු කරන ලද අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපති සමාව ලබාදෙන ලදි. චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් නාවික හමුදා නිලධාරියාට එල්ල වී ඇති චෝදනාව වන්නේ තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමයි.

කැනඩා මතය

මෙම සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා විදේශ කටයුතු ඇමති මෙලනි ජොලි පෙන්වා දී තිබුණේ පසුගිය දශක හතර තුළ සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය ඇතිකිරීම මෙන්ම මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

‘ශ්‍රී ලංකාවේ සාමය, සංහිඳියාව, යුක්තිය සහ වගවීම සාක්ෂාත් කරගැනීම සඳහා කැනඩාව ස්ථිර ලෙස සහයෝගය දක්වනු ලබයි. ජාත්‍යන්තර නීතිය කඩකරන්නන්ට එරෙහිව ජාත්‍යන්තර දණ්ඩ මුක්තිය අවසන් කිරීමට කැනඩාව තීරණාත්මක ක්‍රියාමාර්ග ගෙන තිබේ. දේශීය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතුළු ව වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය තුලින් සාමය සහ සමෘද්ධිය සඳහා ගමන් කිරීමේ ශ්‍රී ලංකාවේ මාවතට සහාය වීමට කැනඩාව සුදානමින් සිටී’ යනුවෙන් ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

සම්බාධක මොනවාද ?

2023 ජනවාරි 06 සිට මෙම සම්බාධකවලට අදාළ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි කැනඩාව මගින් බලාත්මක කර තිබේ.

මෙම රෙගුලාසි මගින් ලැයිස්තුගත කර ඇති පුද්ගලයන්ට එරට ගනුදෙනු සහ වත්කම් තහනම් පැනවීමට කටයුතු කරනු ඇත. එසේ ම මේ යටතේ කැනඩාවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සහ කැනඩාවෙන් පිටත ඕනෑම කැනේඩියානුවෙකුට ලැයිස්තුගත පුද්ගලයෙකු සමග සෘජු ව හෝ වක්‍ර ව ගනුදෙනු කිරීම ද තහනම් ය. අදාළ ඕනෑම ගනුදෙනුවකට සම්බන්ධ වීම හෝ පහසුකම් සැලසීම ද මේ යටතේ තහනම් වේ.

රෙගුලාසි ලේඛනයේ ලැයිස්තුගත කර ඇති පුද්ගලයන් කැනඩා ආගමන සහ සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට පිළිනොගන්නා පුද්ගලයන් බවට ද නම් කෙරේ.

සබැඳි පුවත්

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...