කශෝගී ඝාතකයාගේ පාරේ යන්නට හදන තාජුඩීන් ඝාතන චූදිතයෝ !

Share post:

සෞදි අරාබියේ නව අගමැතිවරයා ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු පත්කර තිබේ.

සල්මාන් බින් අබ්දුල්ලාසිස් රජුගේ නියෝගයකට අනුව කැබිනට් සංශෝධනයක් මගින් මෙම පත්කිරීම සිදු කර ඇත. මීට පෙර එරට අගමැති ධුරය දරන ලද්දේ ද රජු විසිනි.

අගමැති ධුරයට පත්වීමට පෙර සල්මාන් කුමරු එරට ආර්ථිකය, ආරක්ෂාව ඇතුළු තීරණාත්මක විෂයයන් රැසක වගකීම් බාර ව කටයුතු කළේය.

ජමාල් කශෝගී ඝාතනය

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ද මොහොමඩ් බින් සල්මාන් කුමරුට සහ ඔහුගේ සමීපතමයන්ට ය. සත්‍ය ඝාතකයන් සඟවමින් අදාළ ඝාතනය පිළිබඳව පස්දෙනෙකු වරදකරුවන් කොට මරණ දඬුවම නියම කිරීමට සෞදි අධිකරණයක් කටයුතු කළ බවට පසුගිය කාලයේදී චෝදනා රැසක් එල්ල විය.

2018 ඔක්තෝබර් 02

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02දා ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවූවද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් බාරගන්නා බව මොහොමඩ් බින් සල්මාන් කුමරු ඒ මොහොතේ පැවසීය.

ඇමරිකානු මාධ්‍ය ජාලයක් වන CBS හි මිනිත්තු 60 වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සල්මාන් කුමරු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ‘කශෝගී ඝාතනය කිසිසේත්ම අනුමත කළ නොහැකි අති දුෂ්ඨ ක්‍රියාවක්. ඊට වගකිවයුත්තන්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරනවා’ යනුවෙනි.

නියම දේශපාලන සූත්තරකාරයෙක්

සල්මාන් කුමරුගේ මෙම ප්‍රකාශය පිළිබඳව කශෝගීගේ පෙම්වතිය වූ හේටිස් සෙන්ගීස් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි.
‘ඔහු නියම දේශපාලන සූත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදු වී තිබියදී සෞදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුවත්ව ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්න කිසිවෙකුට බැහැ.’

සල්මාන් කුමරුගේ තර්ජනය

මේ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර මූලික කරගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන asharq al-awsat පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මීට අදාළ සියලු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් රටවල් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් ඔහු පවසා තිබිණි.

එක්සත් ජාතීන්ගේ පිටු 100 වාර්තාව

කෂෝගී ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සඳහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද නිකුත් කළේය. ඊට අදාළව අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බවද එහි සදහන් ය. මෙම වාර්තාවේ පිටු 100ක් ඇත. කෂෝගී ඝාතනය අන්තර්ජාතික අපරාධයක් බවත්, ඊට වගකිවයුතු පාර්ශ්ව අනාවරණය විය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

තුර්කියේ විශ්වාසය

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02දා ජමාල් කශෝගී ඝාතනය කෙරිණි. මේ පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශ යි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

සල්මාන්ගේ විශේෂ ඒකකය

ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න’ යනුවෙනි.

තුර්කියේ වැඩ

සෞදියට විශාල ණය මුදලක් ගෙවීමට තිබියදී වුවද, මෙම සිද්ධියේදී තුර්කිය වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම කැපී පෙනිණි. සිද්ධියෙන් දින කිහිපයක් තුළ ඊට සෘජුව සම්බන්ධ වූ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය. එසේම ඝාතනයෙන් පසු විශේෂ ගුවන් යානයකින් කිසියම් පිරිසක් සෞදියට පිටත්ව ගොස් ඇතැයිද ඔවුන් අනාවරණය කරන ලදි.

ට්‍රම්ප්ගේ වෙනස

මෙම ඝාතනය සිදු වූ විගස සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම රටේ පුරවැසියෙකු වන ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි.

ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතා කිරීමට ගියේ නැත.

ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්

ඝාතනයෙන් දින කිහිපයකට පසු මැද පෙරදිග දැවැන්තම ආර්ථික සමුළුව ආරම්භ කිරීමට නියමිත ව තිබිණි. සෞදි අරාබි ආයෝජන සමුළුව හෙවත් ඩාවෝස් ඉන් ද ඩෙසර්ට් යනු එයයි. ඊට සහභාගි නොවන බවත්, කිසිවෙකුට කශෝගීගේ ඝාතනය අනුමත කළ නොහැකි බවත් ලෝකයේ බිලියනපති ව්‍යාපාරිකයෝ රැසක් කඩිමුඩියේ පැවසූහ. එහෙත් 2018 ඔක්තෝබර් 23දා ආරම්භ වූ සමුළුවට එසේ පැවසූ ව්‍යාපාරිකයන්ගෙන් අතිබහුතරයක් සහභාගි වූහ.

පුරවැසියා දෙවැනි තැනට

එවකට, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් අතර පැවති සාකච්ඡාවකදී ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත. ඒ පිළිබඳ විවේචන එල්ල වන විට රාජ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වුයේ එය මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පමණක් බවයි. එහිදී ඇමරිකානු පුරවැසියෙකු සහ වොෂින්ටන් පොස්ට් පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයෙකු වූ ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද බවද ඔහු පවසා තිබිණි.

කශෝගීගේ ඉතිහාසය

මාධ්‍යවේදී ජමාල් කශෝගී මුලදී සෞදි රජ පවුලට ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ඉන්පසු ඇති වූ ගැටුමක් නිසා ඔහු ඇමරිකාවට පළා ගොස් තිබේ. ඇමරිකාවේ පදිංචිව සිටිමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ස්ථිර තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, මෙම තීරු ලිපි මගින් සෞදි පාලනය බරපතළ ලෙස විවේචනය කර ඇත.

පුද්ගල ඝාතන වෙන්දේසිය !

බලය ලබාගැනීම සහ බලය පවත්වා ගැනීම යන කාරණයේදී පුද්ගල ඝාතන අලෙවි වන ආකාරය සම්බන්ධයෙන් ජමාල් කශෝගී ඝාතනය කදිම උදාහරණයකි.

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩින් ඇතුළු ඝාතන, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි අතුරුදන් කිරීම් ප්‍රමුඛ අපරාධ රැසක් පිළිබඳ චෝදනා එල්ල වන නාමල් රාජපක්ෂලා, රනිල් වික්රමසිංහලාගේ සහායෙන් යළිත් මෙසේ කියන්නේත් හරියටම ඒ වගේම ය.
‘නොමග ගිය අරගලකරුවන් පුනරුත්ථාපනය කළ යුතුයි.’

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...