රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

Share post:

ලෝක දේශපාලනය කියන්නේ හරියට “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම සිද්ධ වෙන්නේ එකම එක පදනමක් මත විතරයි. ඒ තමයි “තමන්ගේ වාසිය”… අද අපි කතා කරන්න යන්නේ මෑතකාලීන ලෝක දේශපාලනයේ ලොකුම මාතෘකාව ගැන. ඒ තමයි මුස්ලිම් රටවල්, විශේෂයෙන්ම ඉරානය වැනි රටවල් චීනය හා රුසියාව තමන්ගේ ගැලවුම්කරුවන් විදිහට දකින්නේ ඇයි? සහ ඇත්තටම චීනය කියන්නේ ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ජනතාවට හිතෛෂී රටක්ද? නැත්නම් ඒක හුදෙක් දේශපාලන රංගනයක් විතරද? යන්න.
අපි හැමෝම දන්නවා මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල් අද වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කෙරෙහි තියෙන්නේ ලොකු කලකිරීමක්.. මේ නිසාම ඔවුන් විකල්ප බල කේන්ද්‍ර විදිහට චීනය හා රුසියාව දෙස බලනවා. හැබැයි මෙතන තියෙන ලොකුම විහිළුව තමයි, බටහිර රටවල් ‘Islamophobia’ හෙවත් ඉස්ලාම් භීතිකාව ගැන චෝදනා ලැබුවත්, චීනය තමන්ගේ රට ඇතුළත ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඊට වඩා භයානක ප්‍රතිපත්තියක් වීම!
විදේශ ප්‍රතිපත්තියේදී ඉරානය සමඟ අත් වැල් බැඳගන්නා චීනය, තමන්ගේ රටේ “ෂින්ජියෑං” ප්‍රදේශයේ වෙසෙන උයිගර් මුස්ලිම්වරුන්ව සලකන්නේ කොහොමද කියලා ඔබ මොහොතකට හිතුවද?
සත්‍යය මේකයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකලාපයන්ට අනුව, ඔවුන් අන්තවාදී ආගමික මතවාද දකින්නේ “සුව කළ යුතු මානසික රෝගයක්” විදිහට. ඔවුන් පවසන්නේ වැරදි මතවාද ඔළුවේ තියෙන මිනිස්සුන්ට “ප්‍රතිකාර” කරලා ඔවුන්ව නැවත සමාජගත කළ යුතු බව. ඒ කියන “ප්‍රතිකාරය” තමයි අද ලෝකයම කතා කරන “ප්‍රතිශික්ෂණ කඳවුරු!”

ලෝකයේ ඕනෑම ආගමක් අදහන්න මිනිස්සුන්ට අයිතියක් තියෙන්න ඕනේ. හැබැයි චීන රජය විශ්වාස කරන්නේ ඕනෑම ආගමික මතවාදයක් කොමියුනිස්ට් පක්ෂයේ මතවාදයට වඩා ඉහළින් තියෙනවා නම්, එය රාජ්‍ය විරෝධී දෙයක් විදිහට. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ පුරුදු වන, රැවුල වැවීම, හිජාබ පැළඳීම, රාමසාන් කාලයට උපවාස කිරීම පවා සමහර අවස්ථාවල සමහර පළාත් වල චීනය තුළ ඒවා හඳුන්වන්නේ “අන්තවාදයේ ලක්ෂණ” විදිහට.
ඒවා පාලනය කරන්න ඔවුන් තාක්ෂණය සහ දැඩි නීති රීති පවා පාවිච්චි කරනවා. තමන්ගේ රට ඇතුළේ ඉස්ලාම් දහමේ මූලික දේවල් පවා, රෝගයක් විදිහට දකින පාලනයක්, ඉරානය වැනි ඉස්ලාමීය සමූහාණ්ඩුවකට “අවංකව” උදව් කරයි කියලා හිතන එක කොච්චර දුරට ප්‍රායෝගිකද?
චීනයේ ෂින්ජියෑං පළාතේ ක්‍රියාත්මක වන මේ “ප්‍රතිශික්ෂණ කඳවුරු” ගැන ලෝකය පුරා තියෙන්නේ ලොකු කුතුහලයක් වගේම දැඩි කම්පනයක්. චීන රජය මේවා හඳුන්වන්නේ “වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන” විදිහට වුණත්, ජාත්‍යන්තර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන මඟින් හෙළිදරව් කරපු තොරතුරු ඊට වඩා ගොඩක් වෙනස්!

මේ කඳවුරු වල ප්‍රධානම අරමුණ තමයි පුද්ගලයෙකු සතු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවය ඉවත් කරලා, ඒ වෙනුවට චීන කොමියුනිස්ට් පක්ෂයට ඇති පක්ෂපාතීත්වය ඇතුළත් කිරීම. රැඳවියන්ට දිනපතා කොමියුනිස්ට් ගීත ගායනා කිරීමටත් සිදු වෙනවා. එසේම තමන්ගේ ආගමික විශ්වාසයන් වැරදි බවත්, ඒවා අවිද්‍යාත්ම හා මෝඩ පැරණි පොත් විදියටත්, ආගම “විෂ” ලෙසත් පිළිගැනීමට ඔවුන්ට බලපෑම් කෙරෙන බව වාර්තා වෙනවා.
උයිගර් මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ මව්බස වන “උයිගර්” භාෂාව කතා කිරීම තහනම් කර ඇති අතර, ඒ වෙනුවට චීන “මැන්ඩරින්” භාෂාව පමණක් භාවිතා කළ යුතුයි. ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් සහ සිරිත් විරිත් වෙනුවට චීන රජය අනුමත කරන නවීන චීන සංස්කෘතිය වැළඳ ගැනීමට ඔවුන්ට බල කෙරෙනවා.

කඳවුරු වලින් පැන ආ පුද්ගලයින් පවසන පරිදි, එහි නීති කඩ කරන අයට දැඩි දඬුවම් ලැබෙනවා. නින්ද නොදී තැබීම, හුදකලා කර තැබීම සහ මානසික පීඩනය එල්ල කිරීම වැනි ක්‍රම භාවිතා වන බවට චෝදනා එල්ල වෙනවා. ඇතැම් කාන්තාවන් පවසා තිබෙන්නේ ඔවුන්ට බලහත්කාරයෙන් උපත් පාලන ක්‍රම ක්‍රියාත්මක කරන බවයි. මෙය චීනයේ උයිගර් ජනගහනය පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස සැලකෙනවා..

ඒවගේම “වෘත්තීය පුහුණුව” කියන ලේබලය යටතේ රැඳවියන්ව කර්මාන්තශාලා වල වැඩෙහි යොදවන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලෝකයේ ප්‍රසිද්ධ සන්නාම සඳහා ඇඳුම් සහ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වල මොවුන්ව ඉතා අඩු වැටුපකට සේවයෙහි යොදවන බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙනවා. මෙය සරලවම කිවහොත්, ඒක පුද්ගලයෙකුගේ උපන් අනන්‍යතාවය මකා රාජ්‍යයට අවශ්‍ය ආකාරයේ “පුරවැසියෙක්” බවට පත් කරන දැවැන්ත සමාජ ඉංජිනේරු ව්‍යාපෘතියක්.

ඒත් චීන රජය නම් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ මේවා අන්තවාදය තුරන් කිරීමට සහ දුප්පත්කම නැති කිරීමට පිහිටුවා ඇති “අධ්‍යාපන මධ්‍යස්ථාන” පමණක් බව. එසේම ඒවා හරහා තරුණයින්ට රැකියා පුහුණුව ලබා දී ඔවුන්ව සමාජයේ යහපත් පුරවැසියන් කරන බව.
Apple, Nike, Zara, Adidas, සහ H&M වැනි සමාගම්වල නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ කොටස් නිපදවන කර්මාන්තශාලා රාශියක් ෂින්ජියෑං ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මේ කර්මාන්තශාලා වල සේවය කරන්නේ අර “ප්‍රතිශික්ෂණ කඳවුරු” වල සිටින උයිගර් මුස්ලිම්වරුන් බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඔවුන්ව ඉතා අඩු වැටුපකට සේවයෙහි යොදවන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා..

මේ නිසාම යුරෝපා සංගමය විසින් ෂින්ජියෑං පළාතෙන් පැමිණෙන නිෂ්පාදන තහනම් කිරීමට හෝ දැඩි නීති පැනවීමට පියවර ගෙන තිබෙනවා. යුරෝපීය පාරිභෝගිකයන් පවසන්නේ “ලේ තැවරුණු උපාංග” තමන් මිලදී නොගන්නා බව! Nike සහ Adidas සන්නාමවල පාවහන් නිෂ්පාදනය සඳහා ෂින්ජියෑං පළාතේ ශ්‍රමය භාවිතා වන බවට ඇති වූ සැකය නිසා, ඔවුන්ගේ කොටස් වෙළඳපොළ අගයන් පවා අඩුවීමට බලපෑවා..
“ඉතින් මෙතරම් චෝදනා එල්ල වෙද්දීත් චීනය ඇයි මේ ප්‍රතිපත්තිය දිගටම කරගෙන යන්නේ?”

චීනය ෂින්ජියෑං පළාත පාලනය කිරීම පිටුපස තියෙන්නේ හුදෙක් ආගමික ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, විශාල ආර්ථික ඉලක්කයක්. බලහත්කාරී ඉතා අඩු වැටුප් සහිත ශ්‍රමය භාවිතා කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අවම වෙනවා. විශේෂයෙන්ම සූර්ය පැනල නිෂ්පාදනය සඳහා අවශ්‍ය සිලිකන් සහ රසායනික ද්‍රව්‍ය නිපදවීමේදී චීනයට ලෝකයේ අනෙක් රටවල් සමඟ තරඟ කළ නොහැකි ඉතා අඩු මිලක් ලබා දිය හැක්කේ මේ නිසයි. අද ලෝකයම හරිත බලශක්තිය දෙසට හැරෙද්දී, ලෝකයේ සූර්ය පැනල නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් විශාල ප්‍රමාණයක් එන්නේ මේ ප්‍රදේශයෙන්. චීනයට අවශ්‍යයි මුළු ලෝකයේම බලශක්ති විප්ලවය තමන්ගේ අතට ගන්න.

ඒවගේම ෂින්ජියෑං පළාත පිහිටා තිබෙන්නේ මධ්‍යම ආසියාවට සහ යුරෝපයට යන ගොඩබිම් මාර්ගයේ දොරටුව අසල. ඒ නිසා එම ප්‍රදේශයේ කිසියම් හෝ අස්ථාවරත්වයක් හෝ බෙදුම්වාදී අදහස් ඇති වුවහොත් චීනයේ බිලියන ගණනක “එක් තීරයක් එක් මාවතක්” ව්‍යාපෘතිය අනතුරේ වැටෙනවා. ඒ නිසා ඔවුන් ඕනෑම මිලක් ගෙවා ඒ ප්‍රදේශය සියයට සීයක් පාලනය කරනවා. ඒ නිසාම ලෝකය “මානව හිමිකම්” ගැන කතා කරද්දී චීනය ඊට පිළිතුරු දෙන්නේ දැඩි මුහුණුවරකින්, චීනය පවසන්නේ තමන් කරන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොව, ඉස්ලාමීය අන්තවාදය සහ ත්‍රස්තවාදය පරාජය කිරීමක් බව. “ඉස්ලාමීය ත්‍රස්තවාදයට පිළියම අධ්‍යාපනය සහ රැකියාවයි” යන්න ඔවුන්ගේ ප්‍රධාන තර්කයයි.

චීන රජය පෙන්වා දෙන්නේ මේ කඳවුරු හරහා, පසුගාමී නූගත් උයිගර් ජනතාවට නවීන ලෝකයට ගැළපෙන වෘත්තීය පුහුණුව ලබා දෙන බව හා ඒ නිසා මීට පෙර අන්ත දරිද්‍රතාවයෙන් පෙළුණු පවුල් දැන් ස්ථාවර ආදායමක් ලබන බව. චීනය නිතරම පවසන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මේ “බොරු ප්‍රචාර” ගෙන යන්නේ චීනයේ ආර්ථික නැගීම වැළැක්වීමට බව. චීනය තමන්ගේ මතය ලෝකයට ගෙන යන්න සුවිශේෂී ක්‍රම පාවිච්චි කරනවා, චීන රජයේ අනුග්‍රහය ඇතිව විදේශීය ‘Vloggers’ ලා ෂින්ජියෑං පළාතේ සංචාරය කරමින් “එහි මිනිස්සු සතුටින් ඉන්න හැටි”, “ලස්සන නර්තන” සහ “නූතන නගර” ගැන වීඩියෝ සමාජ මාධ්‍ය වලට මුදා හරිනවා. මේ හරහා කඳවුරු පිළිබඳ ඇති චිත්‍රය මකා දැමීමට ඔවුන් උත්සාහ කරනවා.

මෙන්න මේක තමයි පුදුම සහගත දේ. පකිස්ථානය, සෞදි අරාබිය සහ ඉරානය වැනි රටවල් බොහොමයක් චීනය සමඟ ඇති ආර්ථික සබඳතා නිසා, මේ මානව හිමිකම් ප්‍රශ්නයේදී චීනයට විරුද්ධව කතා කරන්නේ නැහැ. ඇතැම් අවස්ථා වලදී ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය වෙනුවෙන් පෙනී සිටිනවා.

ඉරානය වැනි රටවල් චීනය මත යැපෙන්න උත්සාහ කරන්නේ ආර්ථික සහ ආරක්ෂක හේතු මතයි. බටහිර සම්බාධක හමුවේ හෙම්බත් වෙලා ඉන්න ඉරානයට චීනය පෙනෙන්නේ රන් ආකරයක් වගේ. චීනයත් ඉරානයත් අතර අත්සන් කරපු අවුරුදු 25 ක උපායමාර්ගික ගිවිසුම ඒකට හොඳම
උදාහරණයක්.

හැබැයි අපි මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ, චීනයට “ආගමක්” අදාළ නැහැ, තියෙන්නේ “වෙළඳපොළක්” විතරයි. චීනය ඉරානයට උදව් කරන්නේ ඉරානයට තියෙන ආදරේකට නෙවෙයි, තමන්ගේ “එක් තීරයක් – එක් මාවතක්” ව්‍යාපෘතිය සාර්ථක කරගන්න සහ තමන්ට අවශ්‍ය බලශක්ති සැපයුම (තෙල් සහ ගෑස්) ස්ථාවර කරගන්න විතරයි.

ඉරානයත් චීනය දෙස බලන්නේ “හතුරෙකුගේ හතුරා මගේ මිතුරා” කියන න්‍යායෙන්. ඇමරිකාව සමඟ තියෙන වෛරය නිසා ඔවුන් චීනය වැළඳගන්නවා. හැබැයි මේ වැළඳගැනීම ඇතුළේ චීනය කිසිම දවසක ඉරානය වෙනුවෙන් ඇමරිකාව හෝ ඊශ්‍රායලය සමඟ සෘජු යුද්ධයකට යන්නේ නැහැ.
චීනයේ එකම අරමුණ තමන්ගේ ආර්ථිකය ලෝකයේ අංක එක කිරීම විතරයි. ඉරානය කියන්නේ ඔවුන්ට ඒ ගමන යන්න තියෙන එක පියගැටපෙළක එක පඩියක් විතරයි. ලංකාව තව එකක් විතරයි.
“එතකොට රුසියාව…..?”

ලෝක දේශපාලනය කියන්නේ හරිම පුදුම තැනක්. මතුපිටින් බලද්දී රුසියාව සහ ඉරානය කියන්නේ සදාකාලික මිතුරන් වගේ. හැබැයි මෑතකදී ඒ කියන්නේ 2025 ජුනි මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කළ ප්‍රකාශයක් මුළු මහත් මුස්ලිම් ලෝකයම කම්පනයට පත් කළා කිව්වොත් නිවැරදියි.
රිපෝටර් කෙනෙක් අහපු සරල ප්‍රශ්නයකට පුටින් දුන්න උත්තරය ඇතුළේ ලෝකයේ මීළඟ බල පෙරළිය ගැන ලොකු ඉඟියක් හැංගිලා තියෙනවා. මොකක්ද ඒ පුටින්ගේ “ඊශ්‍රායල” කතාව?

රිපෝටර් ඇහුවේ “ඊශ්‍රායලය සමඟ තියෙන ගැටුමේදී ඔබ ඇයි ඉරානයට උදව් කරන්නේ නැත්තේ” කියලා. පුටින් දුන්න උත්තරය තමයි, “මොකද ඊශ්‍රායලය කියන්නේ අද වන විට රුසියානු භාෂාව කතා කරන රටක්. සෝවියට් සංගමයේ සහ රුසියාවේ ඉඳලා ගිය මිලියන 2කට අධික ජනතාවක් එහේ ජීවත් වෙනවා.. අපි ඒ ගැන දැඩිව සැලකිලිමත් වෙනවා.”

මේක තමයි ලෝක දේශපාලනයේ “සැබෑ යථාර්ථය”. ඉරානය හිතාගෙන හිටියේ ඇමරිකාවට විරුද්ධ නිසා රුසියාව තමන් වෙනුවෙන් ඊශ්‍රායලයට ගහයි කියලා.. හැබැයි පුටින් පැහැදිලිවම කිව්වේ, තමන්ගේ “රටේ මිනිස්සු ඉන්න රටකට” තමන් කවදාවත් ඇඟිලි ගහන්නේ නැහැ කියලා. පුටින්ගේ මේ කතාව පිටුපස තියෙන කරුණු 3 ක් අපි තේරුම් ගන්න ඕනේ!
එක, මිලියන 2ක රුසියානු හදවත්! ඊශ්‍රායලයේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් රුසියාවෙන් සංක්‍රමණය වුණු යුදෙව්වන්. ඔවුන් අදටත් රුසියානු භාෂාව කතා කරනවා.. රුසියානු සංස්කෘතිය අනුගමනය කරනවා. පුටින්ට අනුව, ඊශ්‍රායලයට පහර දීම කියන්නේ තමන්ගේම “සංස්කෘතික කොටසකට” පහර දීමක් වගේ වැඩක්. ඒ නිසා මුස්ලිම් රටක් වෙනුවෙන් ඊශ්‍රායලය තරහ කරගන්න එක රුසියාවට කිසිම ආර්ථික හෝ ආරක්ෂක වාසියක් ගෙන එන්නේ නැහැ.
රුසියාව සහ ඇමරිකාව කියන්නේ මතුපිටින් බලද්දී “නයි සහ මුගටියෝ” වගේ පෙනුනත්, මැදපෙරදිග කලාපයේ බලය පවත්වාගැනීම සඳහා ඔවුන් අතර ඇති රහසිගත සහ ප්‍රායෝගික එකඟතාවයන් ඉතාම ගැඹුරුයි.

මෙය හරියටම මහා පරිමාණ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් තමන්ගේ වෙළඳපොළ බෙදාගන්නවා වගේ වැඩක්. දෙගොල්ලන්ම එකඟ වුණු “නොලියවුණු නීති” කිහිපයක් තියෙනවා. මොකද මේ දෙගොල්ලොම දන්නවා සෘජුවම එකිනෙකා සමඟ හැප්පුණොත් දෙපාර්ශවයටම වෙන්නේ විනාශයක් කියලා..

සිරියානු යුද්ධයේදී රුසියාව අසාද්ගේ රජයට උදව් කරද්දී, ඇමරිකාව කුර්දි සටන්කාමීන්ට උදව් කළා.. හැබැයි මේ දෙගොල්ලන්ගේම ප්‍රහාරක යානා සිරියානු අහසේදී එකිනෙකාට වෙඩි තබා ගත්තේ නැහැ. ඔවුන් අතර සෘජු සංනිවේදන සබඳතාවක් තිබුණා. රුසියාව බෝම්බ දමන ප්‍රදේශ ගැන ඇමරිකාවට කලින් දැනුම් දුන්නා, ඇමරිකාව තමන්ගේ ඉලක්ක ගැන රුසියාවට කිව්වා. ඔවුන් සිරියාවේ ගොඩබිම “තමන්ගේ කොටස” සහ “අනෙකාගේ කොටස” විදිහට පැහැදිලිව වෙන් කරගත්තා.

මොන ප්‍රශ්න තිබුණත්, රුසියාව සහ ඇමරිකාව යන දෙපාර්ශවයම එකඟ වන එකම කරුණ තමයි, ISIS වැනි අන්තවාදී ඉස්ලාමීය සංවිධාන බලවත් වීම වැළැක්විය යුතුයි කියන එක. මේ සංවිධාන මර්දනය කරන්න ඔවුන් රහසින් බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නවා.. මොකද අන්තවාදය පැතිරුණොත් ඒක රුසියාවේ චෙච්නියාවටත්, ඇමරිකාවේ ආරක්ෂාවටත් එකසේ තර්ජනයක්. මේක ඔවුන් දෙදෙනාටම “පොදු සතුරෙක්”.

බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තමයි, මැදපෙරදිග සම්පූර්ණ සාමය පැවතීම මේ බලවතුන් දෙදෙනාටම පාඩුයි කියන එක. ඇයි ඒ? යුද්ධය සහ අස්ථාවරත්වය තියෙන තාක් කල් තමයි ඇමරිකාවටත් රුසියාවටත් තමන්ගේ ආයුධ මැදපෙරදිග රට වලට බිලියන ගණනින් විකුණන්න පුළුවන් වෙන්නේ. ඔවුන් අතර ඇති රහසිගත එකඟතාවය තමයි, කිසිම රටකට සම්පූර්ණයෙන් ජයග්‍රහණය කරන්න හෝ සම්පූර්ණයෙන් විනාශ වෙන්න ඉඩ නොදී යුද්ධය “පවත්වා ගෙන යාම”.

මෙතනදී රුසියාව සහ ඇමරිකාව ඉන්නේ එකම පැත්තක. ඉරානය සමඟ රුසියාව මිතුරු වුණත්, ඊශ්‍රායලයට අනතුරක් වන ඕනෑම අවස්ථාවක රුසියාව පසුපසට යනවා. උදාහරණයට ඊශ්‍රායලය සිරියාවේ කරන මෙහෙයුම් වලදී ඊශ්‍රායලයට ඉඩ දීලා තියෙනවා සිරියාව ඇතුළේ තියෙන ඉරාන ඉලක්කවලට බෝම්බ දමන්න.

සිරියාවේ පිහිටි රුසියානු කදවුරුවල ඇති දියුණු S-400 මිසයිල පද්ධති පවා ඒ වෙලාවට ක්‍රියා විරහිත කරලා තියෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඇති රහසිගත එකඟතාවයන් නිසයි.

ලෝක බලවතුන් මැදපෙරදිග සිතියම දෙස බලන්නේ චෙස් පුවරුවක් දෙස බලනවා වගෙයි. ඉරානය, සෞදිය, සිරියාව කියන්නේ ඔවුන්ට හුදෙක් ඉත්තන් විතරයි. එක් රටක් බලවත් වන විට අනෙක් රට ලවා එය පාලනය කිරීම ඔවුන්ගේ උපක්‍රමය.

පුටින් සහ ඇමරිකානු නායකයන් කැමරා ඉදිරියේ එකිනෙකාට බැන ගත්තත්, තිරය පිටුපස ඔවුන් එකඟ වෙලා ඉන්නේ “තෙල් මිල පාලනය කිරීමට” සහ “තමන්ගේ බල ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමටයි”. ඇත්තටම රුසියාවට ඉරානය කියන්නේ පාවිච්චි කරන උපකරණයක් විතරයි. ඔවුන්ට ඉරානය වැදගත් වෙන්නේ ඩ්‍රෝන යානා අඩු මිලට ගැනීමට සහ බටහිරට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් “බෝනික්කෙක්” විදිහට. හැබැයි ඊශ්‍රායලය කියන්නේ රුසියාවේ ප්‍රභූ පැලැන්තිය සමඟ සමීප සම්බන්ධතා තියෙන ළගම රටක්.

ඉරානය තමන්ගේ ආගමික සටන රැකගන්න රුසියාව විශ්වාස කරනවා. රුසියාව තමන්ගේ භාෂාව සහ ජාතිය වෙනුවෙන් ඊශ්‍රායලය රකිනවා. ඔවුන් ඉරානය හෝ වෙනත් රටක් පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට විතරයි. වාසිය ඉවර වුණු තැන, නැත්නම් තමන්ගේ “ජාතික අවශ්‍යතාවය” ඉදිරියට ආපු තැන, ඔවුන් මේ රටවල් “එක තත්පරයකින්” අතහරිනවා.

ඉතිහාසය දෙස බැලුවොත්, රුසියාව අවස්ථා කිහිපයකදීම තමන්ගේ වාසිය සඳහා ඉරානය අතහැර දමා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමේදී රුසියාව කිහිප විටක්ම ඊට සහාය දී තිබෙනවා. ඔවුන් ඉරානය පාවිච්චි කරන්නේ ඇමරිකාව සමඟ කේවල් කිරීමට පාවිච්චි කරන කාඩ් එකක් විදිහටයි. රුසියාව ඉරානයෙන් ඩ්‍රෝන යානා ලබා ගන්නවා, ඒ වෙනුවට ඉරානයට නවීන ජෙට් යානා සහ තාක්ෂණය ලබා දෙනවා. මෙය හරියටම බඩු හුවමාරු කරගන්නා “Barter” ක්‍රමයක් වගෙයි.

සාමාන්‍ය මුස්ලිම් ජනතාව හා බටහිර විරෝධීන් හිතන්නේ “රුසියාව සහ චීනය අපේ පැත්තේ ඉන්නවා” කියලා.. හැබැයි ඔවුන්ට අමතක වෙනවා මේ බලවතුන් දෙන්නාම අභ්‍යන්තරිකව ඉස්ලාම් අන්තවාදයට දැඩි ලෙස බයයි කියලා. රුසියාවට ඊශ්‍රායලය කියන්නේ තමන්ගේ “රුසියානු ලෝකයේ” කොටසක්. චීනයට ඒ දහම “සුව කළ යුතු රෝගයක්”. ඉතින්, මේ වගේ බලවතුන් ඉරානය වෙනුවෙන් මැරෙන්න ඉදිරිපත් වෙයි කියලා හිතන එක මොන තරම් විහිළුවක්ද?

ඇත්තටම බැලුවොත් ​හැම බලවතෙක්ම කරන්නේ මුස්ලිම් රටවල් තමන්ගේ “ප්‍රොක්සි” හෙවත් නියෝජිතයින් විදිහට පාවිච්චි කරන එක. එහෙත් අවසානයේ බලවතුන් සැප විඳිද්දී, ඔවුන් ලබා දෙන ආයුධ වලින් යුද්ධ කරන්නේ සහ මිය යන්නේ මැදපෙරදිග මුස්ලිම් ජනතාවයි. එසේම ඒ රටවල ස්වභාවික සම්පත් කුණු කොල්ලයට ගැනීම ඇමරිකාවේ, චීනයේ සහ රුසියාවේ ප්‍රධාන ඉලක්කය. ඒ නිසා ඉරානයට ඇති වෙළද සම්බාධක ඉවත් කරන්න කවුරුවත් කැමති නැහැ. මන්ද ඉරානය ගෝලීය වෙළදාමට එකතු වුනොත් අඩු මිලට සම්පත් ලබාගැනීමක් තවදුරටත් කළ නොහැකියි.

අවසන් වශයෙන්, මේ කතාව අපිටත් අදාළයි. ලෝක බලවතුන් අපේ රටවල් එක්ක ගනුදෙනු කරන්නේ අපිට තියෙන ආදරේකට නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ පැහැදිලි න්‍යාය පත්‍රයක්. අමතක කරන්න එපා ලෝක දේශපාලනයේ “සදාකාලික මිතුරන් නැත, ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි!” මේ ගැන ඔබේ මතය කුමක්ද?

සාගර දියගම (fb)

Related articles

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...

ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයකින් ඉවතට විසි විය

තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකින් ඉවතට විසි වීම, ක්‍රිකට් ලෝකයට මවිතයක් ගෙන දෙන සිදුවීමක් නොවේ.සැබැවින්ම ක්‍රිකට් ලෝකය මවිත...

‘දුර දසුනක හිරු ගිනිගෙන’- පරිවර්තිකා අනූෂා සිවලිංගම්

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්වය මධ්‍යයේ පසුගිය...

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...