තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකින් ඉවතට විසි වීම, ක්‍රිකට් ලෝකයට මවිතයක් ගෙන දෙන සිදුවීමක් නොවේ.
සැබැවින්ම ක්‍රිකට් ලෝකය මවිත වූයේ ශ්‍රී ලංකාව, මූලික වටයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ජයගත් විටය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් නොසිටි බව සත්‍යයකි.
නමුත් ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයක දී, පීඩනය මැද ඉතා හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමකි.
ඒ ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ජයගත් විට ක්‍රිකට් ලෝකය මවිතයට පත් විය.
2015 වසරේ සිට සීමිත ඕවර ලෝක කුසලාන හතකට ශ්‍රී ලංකාව ක්‍රීඩා කර තිබේ.
නමුත් ඉන් එකඳු හෝ ලෝක කුසලානයක මූලික වටයකින් ඉදිරියට පැමිණ, පිළිමළුන් පිටු දැකීමේ වටයකට (Knockouts) සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නැත.
මේ 1996 වසරේ සිට 2014 දක්වා ලෝක කුසලාන 10 කට ක්‍රීඩා කරමින් ඉන් කුසලාන දෙකක්, අනුශූරතා හතරක් දිනාගෙන තිබෙන රට ය.
එම ලෝක කුසලාන දහයෙන් ශ්‍රී ලංකාවට මූලික වටයෙන් ඉවත් වීමට සිදු වූයේ 1999 ලෝක කුසලානයේ පමණි.
1999 ලෝක කුසලානය ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවට නුහුරු එංගලන්ත තනතීරු වල ය.
නමුත් මේ පරාජය කොතරම් දුරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑවේ ද කිවහොත් 96 ලෝක කුසලානයේ ජයග්‍රාහී නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගූ නායකත්වය, අර්ජුණ රණතුංගට නායකත්වය පවා අහිමි විය.
සනත් ජයසූරිය සහ හෂාන් තිලකරත්න යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය විය.
එවකට ක්‍රිකට් ලෝක කුසලානයක මූලික වටයකින් ඉවත් වීම ලාංකේය සමාජයට ඒ තරම් බරපතල ගැටලුවක් විය.
ඒ අර්ජුණ රණතුංග වැන්නන්ට පවා තනතුරු අහිමි වීමට තරම් බරපතල ගැටලුවකි.
යළිත් 2002 ශූරයන්ගේ කුසලානය (සම ශූරතාවය) දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.
තවදුරටත් ලාංකේය සමාජය ලෝක කුසලාන පරාජයක්, 1999 දී මෙන් බරපතලව සලකන්නේ නැත.
මෙවර ලෝක කුසලානයේ මුල් වටයෙන් ඉවත් වීම රසිකයන්ගේ හදවත කම්පා කළත්, කෝපයට පත් කළත්, එය 1999 දී මෙන් මවිතයක් වන්නේ නැත.
මේ ප්‍රතිඵලය රසිකයන්ගේ යටිසිතේ තැන්පත්ව තිබූ එකකි.
අතීතයේ සිට ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට පවතින ආදරය සහ හදවත කොනක තැන්පත්ව තිබෙනා බලාපොරොත්තු අවදි වීම නිසා, ඒ මොහොතේ එය පිළිගැනීමට සුදානම් නොවූවත් පසුව හිත හදා ගැනීමට ලාංකේය රසිකයා හුරුව තිබේ.
මෙවර ශ්‍රී ලංකාව සුපිරි අට වටයෙන් ඉවතට විසි වූයේ සිය මව්බිමේ දී සම සත්කාරකත්වය දැරූ තරගාවලියක වීම විශේෂ ය.
මින්පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලාන තුනක සත්කාරකත්වය දරා තිබේ.
ඒ 1996 , 2011 සහ 2012 (T20) ලෝක කුසලානයි.
මේ ලෝක කුසලාන සියල්ලෙහිම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ තරගාවලියක, ඔවුන්ට සුපිරි අට වටයකින් ඉවතට විසි වීමට සිදුවූයේ මුල් වරටයි.
මෙවරත් 1999 දී මෙන් කණ්ඩායමේ, නායකත්වයේ සහ වඩා වැදගත් ආකල්ප වල සහ ක්‍රීඩාශීලිත්වයේ ප්‍රතිසංවිධානයක් වන්නේ නැත.
අවම වශයෙන් පැරණි ජයග්‍රාහී ක්‍රීඩාව යළිත් ඇතිකිරීමට නම් කළ යුත්තේ කුමන වෙනසක්දැයි පිළිබඳ අදහසක් හෝ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට නැත.
අප ඇති තරම් නායකයන් වෙනස් කර තිබේ. වෙනසක් වූයේ නැත.
අප ඇති තරම් පුහුණුකරුවන් වෙනස් කර තිබේ. කිසිඳු වෙනසක් වූයේ නැත.
ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙක් හැර, ක්‍රීඩකයන් ද මාරු කර තිබේ. ප්‍රතිඵලයේ වෙනසක් නැත.
තවමත් වැඩිපුරම උඩ පන්දු ගිලිහෙන කණ්ඩායම ශ්‍රී ලංකාවයි.
තවදුරටත් ලෝක කුසලානයක දී වැඩිම ආබාධ මතුවන රට ශ්‍රී ලංකාවයි.
තවමත් පරාජයකින් පසුව ක්‍රීඩකයන්ගේ ශාරීරික භාෂාවේ වෙනසක් නැත.
සුපුරුදු පරිදි ලෝක කුසලානයකින් පසුව රසිකයන්ගේ කෝපයත්, විවේචනත්, ඒ කෝපයට මැද ඇඟිලි ඔසවා සහ මාධ්‍ය හමුවල නක්කලයට කතා කරමින් ප්‍රතිචාර දක්වන තුන්වන පන්තියේ ක්‍රීඩකයන්ගේ හැසිරීම මෙවරත් දැකගත හැකි විය.
ඒ සියල්ල තවත් දින කිහිපයකින් සමාජයට අමතකව යනු ඇත. ඊලග තරගාවලියේ සිට අහිංසක රසිකයන් යළිත් ක්‍රිකට් තරග නරඹනු ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයඝෝෂා නගනු ඇත. ක්‍රීඩකයන් ද සුපුරුදු පරිදි ඔවුන්ගේ විනෝදකාමී ජීවිත ගත කරනු ඇත.
පරිපාලකයන් ද බාධාවකින් තොරව ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනු ඇත.
යළිත් ලෝක කුසලානයක් ඇරඹෙන තුරු සංදර්ශනය මෙලෙසම ගලා යනු ඇත.

