‘දුර දසුනක හිරු ගිනිගෙන’- පරිවර්තිකා අනූෂා සිවලිංගම්

Share post:

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්වය මධ්‍යයේ පසුගිය කාලය තුළ ඇතිවූ සාධනීය වෙනස්කමක් වනුයේ මෙතෙක් සිංහලෙන් කියවන පාඨකයන්ගේ අවධානයෙන් ගිලිහී තිබූ, නැතිනම් සිතා මතා අමතක කරන ලද අපේම සාහිත්‍යයක් පරිවර්තන හරහා සිංහල පාඨකයා වෙත සමීප කරවීමේ ව්‍යායාමයක් ආරම්භ වීමයි. ඒ අන්කිසිවක් නොව දෙමල සාහිත්‍යයේ සිංහල පරිවර්තනයන්හී සංඛ්‍යාත්මක මෙන්ම ගුණාත්මක වශයෙන්ද වර්ධනයක් දක්නට ලැබීමයි.

මෙසේ දෙමල සාහිත්‍ය කෘති සිංහල පාඨකයා වෙත සමීප කරවීමේලා දක්ෂතාව මෙන්ම දැක්මක්ද සහිත මැදිහත්කාරිනියනක ලෙස අනූෂා සිවලිංගම් අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය. දුර දසුනක හිරු ගිනිගෙන මැයෙන් ඇය විසින් සංගෘහිත දෙමල කවිවල සිංහල පරිවර්තන යනු ඇගේ මැදිහත්වීම් අතර ඉහලින්ම කැපී පෙනෙන්නකි.

මේ කෘතියට 39ක් ඇතුලත් වෙයි. ඒ අතර දීර්ඝ කාව්‍ය මෙන්ම සංක්ෂිප්ත කාව්‍යද වෙයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ සියළුම කවි කිවිඳියන්ගේ වීමයි. මෙය දෙමල කිවිඳියන්ගේ කවි පමණක් ඇතුලත් පළමු පරිවර්තනය ලෙස හැඳින්විය හැකිය. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ මීට දෙමල සමාජයේ සෑම කලාපයක්ම නියෝජනය වන ආකාරයෙන් නිර්මාණ තෝරා ගනු ලැබීමයි. උතුරු නැගෙනහිර මෙන්ම වතුකරයද මෙහිදී නියෝජනය වෙයි. දෙමල සමාජය සහ ඔවුන්ගේ සංස්කෘතිය යනු සංකීර්ණ ලක්ෂණ සහිත එකකි. යාපනය කිලිනොච්චි වැනි උතුරු පෙදෙසට අයත්වන දමිල සමාජය සහ නැගෙනහිර දෙමල සමාජය අතර සියුම් බෙදුම් රේඛා පවතින්නාක් මෙන්ම මේ දෙපාර්ශවය සහ වතුකරය අතරද බෙදුම් රේඛා පවතී. ඒ අතර කුල සාධකයද ප්‍රබලය. අනෙක් අතින් වතුකරය යනු දෙමල සමාජය තුළද නොතකා හැරීමට ලක්ව ඇති කලාපයකි. විශේෂයෙන්ම ඔවුන් යනු අනන්‍යතාව අහිමි කරදමා පිටුවහල් කරනු ලබනා ප්‍රජාවකි. යටත් විජිත සමයේ ඉන්දියාවෙන් අමානුෂික අන්දමින් ගෙනෙනු ලැබ, කඳුකරයේ කැලෑ බිම් සමග ඔට්ටු වෙමින් අති දුෂ්කර තත්වයන් යටතේ ලාංකීය ආර්ථිකයේ විශාල කොටසකට දායක වෙමින් ඒ අතරම දේශපාලන කැරම් පෙතෙහි ඉත්තන් බවට පත්ව ආපසු යවන ලද, පීඩිතයන් සේ මෙහි රැඳෙන්නට ඉඩ ලද, අදත් ඉන්දියාවේ තමිල්නාඩු, අන්ද්‍රා වැනි කලාපයන්හී ජීවිතයේ බොහෝ දේ අහිමිව අසරණ කරන ලද මිනිස් සමූහයක් ලෙස මේ වතුකර දෙමල ප්‍රජාව දැක්විය හැකිය. මලයග ජනතාව ලෙස තමන් පිලිගත යුතු යයි ඔවුන් අද හඬ නගන්නේ මෙතෙක් තමන්ට අහිමි කරන ලද අනන්‍යතාව තමනට ලැබිය යුතුය යන විශ්වාසයෙනි.

අනූෂාගේ කවි එකතුව වින්දිතයන්ගේද වින්දිතයන් බවට පත් කතුන්ගේ කවි වලින් සමන්විතය. පුරුෂ බලාධිකාරිය හමුවේ තැලෙන කතුන්ගේ හඬ මෙහි අපට හමුවෙයි. එසේම ඒ කවි අතර ජන වර්ගයක් ලෙස තමන් පීඩාවට සහ ගර්හාවට මෙන්ම අයිතියවාසිකම් අහිමි කරලීමට ලක් කිරීමට එරෙහි විරෝධයක්ද තිබේ. මේ කිවිඳියෝ දීර්ඝකාලීන යුද්ධයකදී පොදුවේ තමන් ලද පීඩනය මෙන්ම කාන්තාවන් ලෙස තමන් විඳි සුවිශේෂී කටුක අත්දැකීම් මෙසේ කවියට නගති. එය එක් අතකින් විරෝධය පෑමකි. ස්වකීය අනන්‍යතාව වෙනුවෙන් නැගී සිටීමකි. තම හිමිකම් තමනට ලැබිය යුතු බව සිහි කැඳවීමකි. එසේම ලංකාවෙහි තමන්ද පූර්ණ හිමිකම් සහිත ජනතාවක් බව මතක් කර දීමකි. ඒ අතරම සමාජයෙහි කතක ලෙස තමනට ඇති දෙවන පෙල සැලකිල්ලට එරෙහි කැරැල්ලක්ද එහි දැකිය හැකිය. මේ කවි යනු යටහත් ආයාචනා නොවේ. බහුතරය හමුවේ බැගෑපත්ව දණ නැවීමක්ද නොවේ. උස් ස්වරයෙන් කරනා මුරගෑමකි. මේ කවි අපට කෙලින්ම පමසනා දෙයක් තිබේ. ඒ දෙමල යනු දෙවන පෙල ජීවී කොට්ඨාශයක් නොවන බවයි. එසේම තමන් මර්ධකයා හමුවේ බැගෑපත් වීමට සූදානම් නැති බවයි. ඒ කවි අතර කෝනේෂවරියනි මැයෙන් එන කවිය සුවිශේෂීය. ඒ යුද්ධය හමුවේ අතිශය දරුණු ලෙස අපහරණයට ලක්වූ දෙමල කතුන්ගේ චෝදනා පත්‍රයකි, නැගී සිටීමකි. එහි එන වදන් දැඩි සේ ප්‍රහාරාත්මකය. එසේම එම අදහස පල කිරීමට ඊට වැඩියෙන් සුදුසු තවත් වදන් නොමැති යයි සිතෙන තරමටම ඒවා ගැලපෙයි. දෙමල ප්‍රජාව තමන්ගේ අනුකම්පාව යටතේ සිටිය යුතු යයි විශ්වාස කරනා සිංහල පිරිස් වලට නම් මේ කව බෙහෙවින් අපුල දනවනු නියතය. එහෙත් මේ කව අන් කවි අතරද සුවිශේෂී වන්නේම ඉන් පලවන නිර්භීත, අභියෝගී ස්වරය නිසාවෙන්මය.
මේ ඒ කවිය අවසන් වන ආකාරයයි.

අපේ යෝනි
උපද්දනු ඇත
හෙටක්

එහෙයින්
දමා අත් බෝම්බයක්
පුපුරුවා හරිනු

ඉන්පසු
දලු නොදමනු ඇත යෝනි

සිහල ස්ත්‍රීනි
නුඹලාගේ යෝනි
දැන් නිදහස්

දූෂණය ඉරණම බවට පත් කරන ලද විටක එය එලෙසින්ම භාර නොගෙන නැගෙන කතුන්ගේ දැඩි ස්වරය මේ කවියෙහි මනාව දක්නට ලැබෙයි. ඒ අතරම තවත් කවියකින් ඉදිරිපත් වනුයේ කෙලෙසීමට ලක්වූ පසුව කතකට තමන්ගේම සමාජයෙන්ද එල්ලවන ගර්හාව පිලිබඳවය.

ඉසිරී විසිරුණු
කොණ්ඩය බැඳ
පොඩිවී ඇඹරී ගිය
ඇඳුම හරිගස්සමින්
නැගිටිමි

‘මේකි කැමැත්තෙන් තමයි…

ඒ වචන මා කීතු කරයි
හැරී බැලුවෙමි
අම්මා අයියා අක්කා
මේ හැමෝම
මා වැරදිකාරියක කර…..

තෝ මැරෙන්න තිබුණා
නැත්නම්
ඌව මරන්න තිබුණා
දැන් අලේ ගෞරවය…..

පත්තු වුණි උණ්ඩ දිගටම
ඒත් මම
සිනාසුනෙමි

මේ අනූෂා විසින් පරිවර්තනය කරන ලද තවත් අගනා කෙටි කවකි.

කුරුසයෙන්ම
පහරකෑමට නියමිත
ඒ බව නොදැන
කුරුස බර දරාගෙන
අකුරට යන දේවතාවියන්

මේ කවි දෙමල සමාජයෙහි කාන්තා නියෝජනය පිලිබඳ විචාරාත්මක කඩාවැදීම් ය. දශක ගණනාවක යටපත් කර දැමීමේ කෝපය ඉන් පලවෙද්දීම, කතකට තම සමාජයෙහි ඇති තැන කෙබඳුදැයි විමසන්නටද ඒ කවි සහය වෙයි. මනුෂ්‍යත්වයේ කවර අර්බුදයකදී වුව කාන්තාවන්ගේ සුවිශේෂී කැපවීම ගැන මෙන්ම සමාජය තුළ කතකගේ තත්වයෙහි ඇති සංකීර්ණත්වය ගැනද මේ කවි සාක්ෂි දරයි. අනූෂා මෙසේ දෙමල කිවිඳියන් තෝරා ගැනීම මෙන්ම එහිදී වතුකරයේ නියෝජනය ගැනද වෙසෙස් අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.

මේ කවි කියවන විට මට ඇතිවූ එක් සිතුවිල්ලක් තිබේ. ඒ මෙහි ඇති කවි ගැන අදාල කිවිඳියන්ද ඉන්නා මණ්ඩපයක සාකච්ඡා කරන්නට හැකි නම් කෙතරම් අගේද යන්නයි.

චූලානන්ද සමරනායක

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...