දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

Share post:

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි

අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මව්බිමට පැමිණියේ එදිනයි.
අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව ඉදිරියේ පරාජයට පත් විය.

ලෝක කුසලානයක් පිළිබඳව දහසකුත් බලාපොරොත්තු තබාගෙන සිටි ශ්‍රී ලංකා රසිකයන්ට තවත් එක් අනුශූරතාවයකින් සෑහීමකට පත් වීමට සිදු විය.
2007 ක්‍රිකට් ලෝක කුසලානයේත්, 2009 T20 ලෝක කුසලානයේත් ශ්‍රී ලංකාවට උරුම වූයේ අනු ශූරතාවයයි.
එම තරගාවලි දෙකෙහිදීත් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය ඉදිරියේ අවසන් මහා තරග පරාජයට පත් විය.
තුන්වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මව්බිමට පැමිණෙද්දී, කටුනායක ගුවන් තොටුපළෙහි සිට කොළඹ දක්වාම ප්‍රදේශයන්ට මද වර්ෂාවක් ඇද වැටුණි.
වර්ෂාව මැද වූවත්, මෙරට ක්‍රිකට් රසිකයන් ගුවන් තොටුපළේත්, මග දෙපසත් සිය කණ්ඩායම දැක ගැනීමට රැස්ව සිටියහ. ඔවුන්ගේ කොපුල් තෙමී තිබුනේ වැසි දියට පමණක්ම නොවේ.

නමුත් ඔවුන් අවසන් මහා තරගයක් පරාජය වූ කණ්ඩායමට අත්පොළොසන් දෙමින්, ප්‍රීති ඝෝෂා කරමින් සිටියහ.
අවසානයේ ඉතාම ශෝකාකූල මුහුණකින් සහ ස්වරයකින් නායක කුමාර් සංගක්කාර, රැස්ව සිටි සහ රූපවාහිනියෙන් නරඹන ලක්ෂ සංඛ්‍යාත ලාංකේය රසික ප්‍රජාව ඇමතුවේය.
ප්‍රථමයෙන්ම ලෝක කුසලාන පරාජයට රසිකයන්ගෙන් සමාව ඉල්ලූ ඒ ලෝක පූජිතයා, ඉන්පසුව ඊලග ලෝක කුසලානයක් මව්බිමට දිනා දෙන බවට ප්‍රතිඥාවක් ද ලබාදුනි.
කුමාර් සංගක්කාරගේ වචන ‘මනස්ගාත’, සහ ‘විකාර’ නොවන බව ශ්‍රී ලාංකිකයන් දැන සිටියහ.
………………………………………………….
දිනය 2026 වසරේ පෙබරවාරි මස 25 දායි.
T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ, නවසීලන්තය සමග තරගයේ දී අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මාධ්‍ය ඇමතීමට පැමිණ සිටියේය.
මින්පෙර සුපිරි අට වටයේ එංගලන්ත තරගය ද ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
ඒ නිසාම මේ පරාජයෙන් පසු ශ්‍රී ලංකාවට ලෝක කුසලානයෙන් ඉවතට විසි වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව මෙලෙස අවමන් සහගත පරාජයන් ලැබුවේ මව්බිම සත්කාරකත්වය දැරූ, මව්බිමේ පැවැති තරගාවලියක වීම විශේෂය.
නමුත් එදා සංගා ගේ මුහුණේ තිබූ ශෝකය දසුන්ගේ මුහුණේ ඇඳී තිබුණේ නැත.
එදා සංගා ගේ ස්වරයේ තිබූ කණගාටුව හෝ පසුතැවීම දසුන්ගේ ස්වරයේ තිබුණේම නැත.
කුමාර් සංගක්කාරට රසිකයන්ගේ වේදනාව පිළිබඳ වැටහීමක් තිබුණි.
සහකම්පනයක් තිබුණි.

පරාජය වූයේ අවසන් මහා තරගයක් වූවත්, රසිකයන් ඉදිරියේ නිදහසට කරුණු කීමට වඩා, වැඩිහිටියන් සේ පරාජයේ වගකීම භාර ගැනීම ශිෂ්ඨත්වය බව සංගා දැනසිටියේය.

ඒ ශිෂ්ඨත්වය පැමිණෙන්නේ වයසින්ම නොවේ. ඒ ශිෂ්ඨත්වය පැමිණෙන්නේ නායකත්වයෙන් නොවේ.
අධ්‍යාපනය, සාමාන්‍ය බුද්ධිය, ඇසුරු කරනා සමාජය ආදී සියල්ල ඊට බලපායි.

අවසානයේ සංගාට සහ කණ්ඩායමට ශෝක නොවන ලෙසත්, තවත් ලෝක කුසලාන අනුශූරතාවයක් ජය ගත් කණ්ඩායම පිළිබඳ තමන් ආඩම්බර වන බව කීමටත් රසිකයන්ට සහ මාධ්‍යයට සිදුවිය.
ඒ සංගා සහ ඔහුගේ කණ්ඩායමයි.

දසුන් ශානකගේ මාධ්‍ය ඇමතීම ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විය.
සිනාමුසු මුහුණෙන් මාධ්‍ය ඇමතූ දසුන් ශානක, තරග පරාජය වීමට හේතු එකින් එක පැහැදිලි කළේය.
තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අත්හැරි උඩ පන්දු ගණන තරම්ම ඔහුට නිදහසට කරුණු තිබිණි.
ඔහුට අනුව ප්‍රේමදාස තනතීරුව කියවා ගැනීමේ දී සුලු අත්වැරදීමක් දසුන්ට සහ කණ්ඩායමට සිදුව තිබේ.
පරාජයට ප්‍රධාන හේතුව එයයි.

මේ තරගය ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ ප්‍රධාන පුහුණුකරුවන් සියලූම දෙනාගේ මව්බිමේ දී, ඔවුන් ජීවිත කාලයම ක්‍රීඩා කළ තනතීරු වල නොවේදැයි කිසිවෙකු හෝ දසුන්ගෙන් ඇසුවේ නැත.
ඒ අර්ථයෙන් බලද්දී නවසීලන්තය වැනි කණ්ඩායමක්, අපට වඩා හොඳින් අපේ තනතීරු කියවා ගැනීම ලැජ්ජාවක් නොවෙදැයි කිසිවෙකු හෝ දසුන්ගෙන් ඇසුවේ නැත.

එමෙන්ම දසුන් ශානකට අනුව පරාජයට තවත් හේතුවක් තිබුණි.
ඒ ක්‍රීඩා පිටියට පැමිණෙන සහ සමාජ ජාලා ඔස්සේ තරග නරඹන රසිකයන්ගේ ‘සෘණාත්මක’ ආකල්පයි.
මෙහිදී සෘණාත්මක ආකල්ප යනුවෙන් දසුන් නිර්වචනය කළේ රසිකයන්ගේ විවේචනයි.
ඒ අනුව රසිකයන්ගේ විවේචන කණ්ඩායමේ ප්‍රධාන ගැටලුව වී තිබුණි.
තමන්ගේ දුර්වල දියාරු ක්‍රීඩාශීලිත්වය නිසා, මව්බිමේ දී ලැබූ අවමන් සහගත පරාජයන් පිළිබඳව දසුන් ශානකට තැකීමක් තිබුණේ නැත.
ඔහුගේ ආකල්ප අනුව ජය, පරාජය යනු ක්‍රීඩාවක සාමාන්‍ය දෑ ය. ක්‍රීඩාව යනු ඔවුන්ගේ රැකියාවයි.
ජය පරාජය ක්‍රීඩකයන්ට එතරම් බලනොපාන, අදාල නැති, විශාල වෙනසක් සිදු නොකරන ප්‍රතිඵල පමණි.
රසිකයන්ගේ ශෝකය, කණගාටුව සහ කළකිරීම පිළිබඳ දසුන්ට අවබෝධයක් හෝ තැකීමක් තිබුණේ නැත.
මිනිසුන් තමන් විවේචනය කරන්නේ ඇයිදැයි ඔහුට කියවීමක් තිබුණේ නැත.
ඒ වෙනුවට රසිකයන්ගේ ශෝකය, ආවේගය සහ කලකිරීම දසුන්ට සහ කණ්ඩායමට ‘සෘණාත්මක’ වී තිබුණි.
දසුන්ට අවශ්‍ය වූයේ තරග ජය ගැනීම නොවේ.
රසිකයන්ගේ ‘කට’ වැසීමටයි.

රසිකයන්ගේ විවේචන යනු ඔවුන්ගේ ශෝකය සහ කලකිරීම බව දසුන්ට අවබෝධයක් නැත.
ඒ කලකිරීම සහ ශෝකය පසුපස ඇත්තේ ආදරය සහ බලාපොරොත්තු බව දසුන් දන්නේ නැත.
අද දසුන් ගත කරන සුවපහසු ජීවිතය සහ ඔහු ක්‍රීඩාවෙන් උපයන මිලියන ගණන් මුදල් පසුපස සිටින්නේ රසිකයන් බව දසුන් දන්නේ නැත.
රසිකයන් ඉවත් කළ මොහොතේම ඒ ක්‍රීඩාවේ මලගම සටහන් වන බව දසුන්ට වැටහෙන්නේ නැත.
දකුණු ආසියාවේ බුද්ධිමත්ම සහ මහත්මා ප්‍රේක්ෂකයන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බව දසුන්ට අවබෝධයක් නැත.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරගයක් පැවැත්වෙන දිනයකදී මෙරට කාර්යාල, පාසල්, ව්‍යාපාර සියල්ල අකර්මන්‍ය වන බව දසුන් දන්නේ නැත.
මිනිසුන් කුමන හෝ මිලක් ගෙවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් තරග නරඹන බවට දසුන්ට වැටහීමක් නැත.
අන් රටවල රසිකයන් මෙන් මෙරට ක්‍රිකට් රසිකයන් සෑම ලෝක කුසලානයක්ම බලාපොරොත්තු නොවන බවත්, ඒ අහිංසක මිනිසුන් ‘ගෞරවාන්විත පරාජයකින්’ පවා හිත හදාගන්නා බව දසුන් දන්නේ නැත.

මේ රසිකයන් සියලූම වේදනා මැද හෙට තරගයත් නරඹන බවත්, එයට හේතුව දසුන් ලා නොව අතීත ක්‍රීඩකයන් බෝ කළ ක්‍රිකට් උන්මාදය බව දසුන් දන්නේ නැත.

අද දසුන්ට ‘සෘණාත්මක’ වී ඇත්තේ ඒ අතීත ක්‍රීඩකයන් නිසා ඇති වූ ක්‍රිකට් උන්මාදයේ අතුරුඵල බව තේරුම් ගැනීමට දසුන්ට හැකියාවක් ඇත්තේ ද නැත.
අවම වශයෙන් ඒ මිනිසුන් ඉදිරියේ හෘදයාංගම කණගාටුව පළකිරීමකින් පවා ඔවුන්ගේ වේදනාව සහ කලකිරීම සමනය වන බව දසුන් දන්නේ නැත.
එවැනි අවබෝධයක් ලැබීමට සහ දක්ෂ සන්නිවේදකයෙක් වීමටත් යම් අධ්‍යාපනයක්, බුද්ධි මට්ටමක් සහ සමාජ කියවීමක් අවශ්‍යය.
දසුන් ශානකට ඒ අවබෝධය නැත.

එවැනි ළඳරු මානසිකත්වයක් ඇති ක්‍රීඩකයෙක්, කලෙක කුමාර සංගක්කාර ලා, මහේල ජයවර්ධන ලා, අර්ජුණ රණතුංග ලා දැරූ ජාතික කණ්ඩායමේ නායකත්වය දැරීම මෙරට ක්‍රිකට් පරිහානියේ තරම කියාපායි.
2026 T20 ලෝක කුසලාන පරාජය විග්‍රහ කිරීමට මා සතුව ඇති හොඳම සහ ප්‍රායෝගිකම නිර්වචනය එයයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයකින් ඉවතට විසි විය

තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකින් ඉවතට විසි වීම, ක්‍රිකට් ලෝකයට මවිතයක් ගෙන දෙන සිදුවීමක් නොවේ.සැබැවින්ම ක්‍රිකට් ලෝකය මවිත...

‘දුර දසුනක හිරු ගිනිගෙන’- පරිවර්තිකා අනූෂා සිවලිංගම්

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්වය මධ්‍යයේ පසුගිය...

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...