අලි – රිලා – මිනිස් ගැටුම හදිසියේ මතුකිරීම සැලසුමක් ද? : කෙටිකාලීන වැඩ වෙනුවට අපි දීර්ඝකාලීන සැලසුමක් හදනවා – පරිසර ඇමැති

Share post:

රිලවුන්ගෙන් පැමිණි ගමන දැන් ඇත්තේ අලින් ළඟ ය. දශක ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැමිණි මේ ගැටලුව දැන් ඇත්තේ උග්‍ර ම තැනක ය. කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් මෙවර මේ මාතෘකාව එළියට ආවේය. එහෙත් ඊටත් පෙර කතාවක් ද මෙහි ඇත.

ලාල්කාන්ත මේ කතාව කිරීමට පෙර, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී දිගටම ජනතාවගෙන් පැමිණි ඉල්ලීමකි, වන සතුන්ගෙන් සිදුවන වගා හානිවලට කඩිනම් විසඳූමක් ලබාදීම. ජාතික ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරදී ඊට විසඳූමක් දෙන බවට ද පොරොන්දු විය. ඒ අනුව ය, ලාල්කාන්තගේ පාර්ලිමේන්තු කතාව ආවේ. එය මාධ්‍ය මගින් ඉහළට ම එසවීය. රූපවාහිනී නාලිකා දිගින්-දිගටම සිය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට උපදෙස් දුන්නේ ජනතාවගේ ගොවි බිම් වෙත යන ලෙසත්, එම ගොවිබිම්වලදී සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ ගොවීන්ගේ අත්දැකීම් ඉස්මතු කරන වාර්තා සපයන ලෙසත් ය.

ඒ අතරවාරයේ තවත් දෙයක් සිදු විය. ඒ, පරිසරවේදීන් සහ ගොවීන් අතර ගැටුමක් ඇති බව මාධ්‍ය මගින් පෙන්වීමයි. විවිධ ව්‍යාපෘති අනුව කටයුතු කරන පරිසරවේදීන් පිරිසක් ද සිටිය හැකිය. එය ඕනෑම ක්ෂේත්‍රයට පොදු ය. කෙසේ වෙතත් පරිසරවේදීන්ට එරෙහි විරෝධතා සංවිධානය කිරීම මෙන්ම පරිසරවේදීන්ගේ පැත්තෙන් ගොවීන්ගේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් විවේචනය කිරීම ද සිදු විය.

කෙසේ වෙතත් මේ කෙටිකාලීන වැඩ සියල්ල අස්සේ සිදු විය යුත්තේ ස්ථිර සැලසුමක් සකස් කිරීම ය. රිලව් ප්‍රශ්නයට අදාළ ව ජනතා අදහස් ගැනීම ආරම්භ කර ඇත්තේ එවැනි සැලසුමක් සකස්කිරීමට ය. එය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිවරුන් සහ ගොවි සමිති හරහා සිදුකරයි. ඊළඟ අදියරේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් මීට මැදිහත් වීමට නියමිත ය.

රිලවුන්ගේ ප්‍රශ්නයටත් වඩා පසුගිය කාලයේදී ඉස්මතු වූයේ අලි-මිනිස් ගැටුම පිළිබඳ ප්‍රශ්නයයි. අලින් ජාතික වනෝද්‍යානවලට කොටුකිරීමේ මෙහෙයුම් කිහිපයක් ආරම්භ කෙරුණේ ඒ අනුව ය. හම්බන්තොට සිටින අලින් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතයටත්, අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින අලින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයටත් කොටුකිරීමට සැලසුම් සකස් කෙරිණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මේ මෙහෙයුම් සිදු කෙරිණි.

2006 සැප්තැම්බර් 20 දින ඉදිරිපත් කළ ජාතික අලි ප්‍රතිපත්තියට මෙන්ම 2020 වසරේදී සකස් කළ අලි-මිනිස් ගැටුම විසඳීමේ ජනාධිපති කාර්යසාධක බලකා වාර්තාවට ද මේ මෙහෙයුම පටහැනි ය. එම වාර්තා දෙකේ ම සඳහන් වන්නේ මේ අලි එළවීමේ මෙහෙයුම් අසාර්ථක බවයි. විශේෂයෙන්ම 2006 ප්‍රතිපත්තියට අනුව සකස් කළ යුතු උපායමාර්ග සැලැස්මක් මෙතෙක් සකස් කර නැත. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය දක්වා අලි පළවාහැරීමේ දැවැන්ත මෙහෙයුමක් නිසා වරක් අලින් විශාල ගණනක් මියගියේය. ඒ, එම අලින්ට ප්‍රමාණවත් ආහාර නොමැතිවීමෙන් ය. එසේම ලුණුගම්වෙහෙරේ සිටි අනෙකුත් සතුන්ට ද එය තීරණාත්මක බලපෑමක් ඇති කර තිබිණි. වසර ගණනාවක් තිස්සේ සිදු කළ පර්යේෂණ මත පදනම්ව මේ වාර්තා සකස් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පරිසර විෂය බාර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳී පැවසුවේ මේ සතුන් පිළිබඳ ප්‍රශ්නයට කෙටිකාලීන විසඳූම් නැති බවයි. ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙන්ම මහ පොළොවේ විශේෂඥයන් වන ගොවීන්ගේ ද අදහස් ඒ සඳහා වැදගත් බවත්, එම අදහස් ලබාගෙන දීර්ඝකාලීන ව මේ ගැටලුව විසඳීමේ සැලැස්මක් සකස් කරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. එසේම අප වැඩිදුරටත් කළ විමසීමේදී ඇමැතිවරයා පැවසූ තවත් වැදගත් කරුණක් වූයේ ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රශ්න විසඳීමට විවිධ රටවල් ගත් පියවර පිළිබඳව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවයි. ඉන්දියාව රිලව් ප්‍රශ්නයට තරමක් සාර්ථක පිළිතුරු සොයාගත් රටක් බව ද මෙහිදී ඇමැතිවරයා පැවසීය. අලි පළවාහැරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ එය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගත් තීරණයකට අනුව සිදුකරන කෙටිකාලීන පියවරක් පමණක් බවයි.

ලංකාවේ මේ අලි ප්‍රශ්නය ආදායමක් බවට පත්කරගත් ආකාරයට කදිම උදාහරණයක් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවක දැක්වේ. 2012 – 2018 කාලයේදී පීඩාකාරී අලින් 67 දෙනකු ගොවිබිම්වලින් ඉවත් කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් හය දහස් තුන්සිය විසිනවයකි. විදුලි වැටවල් ඉදිකිරීම සඳහා මෙන්ම අලි අගල් කැපීම සඳහා ද වැය කළ දැවැන්ත මුදල් ප්‍රමාණ පිළිබඳ විගණන වාර්තා ඇත.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට අදාළ පාර්ශ්වයක් වන පරිසරවේදීන්ට ද ආණ්ඩුවේ කටයුතුවලට විරුද්ධ වෙමින් සිටිය නොහැකිය. ඔවුන් ද පිළිතුරු දිය යුතුය. විසඳූම් ලබාදිය යුතුය.

මෙහිදී අප රිලව් ප්‍රශ්නය මූලික කරගනිමින් පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධනගෙන් විමසීමක් කළෙමු.

ප්‍රශ්නය –

රිලවුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ ඇතිවූ කතාබහේදී පරිසරවේදීන් සහ ගොවියන් අතර අර්බුදයක් මතුවන බවත්, ඒ සඳහා ඇතැම් පිරිස් උපක්‍රමශීලීව කටයුතු කරමින් සිටින බවත් අපි දැක්කා. මුලින්ම අපි මෙතැනදි රිලවුන් සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිමය තත්ත්වය පිළිබඳව කතා කරමු?

පිළිතුර –

ලංකාවේ ආරක්ෂිත නොවන ක්ෂීරපායී සතුන් පස්දෙනෙක් ඉන්නවා. රිලවා, අළු වඳුරා, ඉත්තෑවා, හාවා, වල්ඌරා මේ අතර ඉන්නවා. රිලවා කියන්නෙ ආරක්ෂිත සත්ත්වයෙක් නෙමෙයි ඒ කියන්නෙ. ඒ සතුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ගොවීන්ට නීතියෙන් තහනමක් නෑ. නීතියෙන් ආරක්ෂිත සතෙක් ව තමන්ගේ පරිශ්‍රයකදි වුණත් මරාදමන්න හෝ එවැනි පියවරක් ගන්න කිසිවකුට අයිතියක් නෑ.

ප්‍රශ්නය –

එක දිගටම ජනතාව මෙවැනි ක්‍රියාමාර්ග ගන්න ගියොත්, පරිසරයේ සමතුලිත බවට ඒක බලපාන්නෙ කොහොමද?

පිළිතුර –

ඒවා පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් තියෙන්න ඕනෙ. වර්තමාන රජය තමන්ගේ පරිසර ප්‍රතිපත්තිය ඇතුළෙදිත් කියලා තිබුණෙ මේ ප්‍රශ්න විසඳන්න විද්‍යාත්මක අධ්‍යයනයක් අවශ්‍යයි කියලා. අපිත් කියන්නෙ ඒකයි. මෙතෙක් එහෙම එකක් කරලා නෑ.

ඔහු පවසන ආකාරයට ගැටලුව ඇත්තේ තවමත් ලංකාව මේ ප්‍රශ්නයේ විසඳූමක් පෙනෙන තෙක් මානයටවත් පැමිණ නොසිටීමයි. තාවකාලිකව යම් යම් වැඩ කරනවා විනා, දීර්ඝ කාලීන පර්යේෂණ නැත. එහි බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම අලින්ගේ විෂයේදී මෙය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් අලි පිළිබඳ පර්යේෂකයකු මෙන්ම ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් මෙසේ අදහස් දැක්වීය.

‘අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක්. මේකට පිළියම් සෙවීමට හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්කත් පහුගිය කාලෙ සාකච්ඡා රැසක් පැවැත්වුණා. ඒත් මොකුත් වුණේ නෑ. සාකච්ඡා විතරයි.

වන අලින්ගෙන් ගම් සහ ගොවිබිම් ආරක්ෂා කරගන්න ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට සහ ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට විදිහට නියමු ව්‍යාපෘති දෙකක් දියත් කරන්න රජය කටයුතු කරන්න ඕනෙ. දැනට පවතින විදුලි වැටවල්වලට අමතරව ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක අස්වනු නෙළන කාලයේදී ගොවිබිම් වටා තාවකාලික කෘෂිකාර්මික විදුලි වැටවල් ඉදිකිරීමත් සාර්ථක වැඩක්. ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවමකිරීම සම්බන්ධයෙන් උනන්දු වන කිසිකෙනෙකුට මේ ප්‍රජාමූල ග්‍රාමීය විදුලි වැට සහ ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි.

2020 ජූලි 22 දින පත්කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කරපු ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින් මේ විදුලි වැට ගැන විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා. දැනට ග්‍රාමීය විදුලි වැට 50ක් පමණ සහ කුඹුරු විදුලි වැට 25ක් පමණ කුරුණෑගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉන් සමහරක් අවුරුදු 12ක් විතර පරණයි. ඒ වගේම ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් 2022 ජූලි 22 දාතමින් නිකුත් කෙරුණු චක්‍රලේඛ අංක 07/2022 දරන කුඹුරු ඉඩම්වල වගා කරන වී සහ කෙටිකාලීන බෝග ආරක්ෂා කිරීම සඳහා සෘතුමය වගා ආරක්ෂක වැට ඉදිකිරීම නම් චක්‍රලේඛයෙන් එම දෙපාර්තමේන්තුව හරහා ඉහත කී ප්‍රජාමූල කාලීන කුඹුරු විදුලි වැට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සවිස්තර උපදෙස් දීලා තියෙනවා.

ඒ වගේම ආචාර්ය සුමිත් පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්න පහසුකම් සැපයීම හා අධීක්ෂණය කිරීමට කියලා ජනාධිපති කමිටුවක් පත්කළා. ඒ කමිටුවෙනුත් වැඩක් ගත්තෙ නෑ.

මේ ආණ්ඩුව තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් කියපු දෙයක් තමයි, මේ ගැටුම පාලනය කරන්න වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකරලා, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව. ඒත් දැන් කරන්නෙ ඒවා නෙමෙයි. ඒක නිසා අපි කියන්නෙ පර්යේෂණ මත වැඩකරන්න කියලයි.’

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් විනාශ කරන ලද වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළ යුතුය. පරිසර ඇගයීම් වාර්තා නොමැතිව සිදු කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසකි. ඊට උදාහරණයකි, උමා ඔය ව්‍යාපෘතිය. එහි පරිසර ඇගයීම් වාර්තාව සකස් කර තිබුණේ දින දෙකක් තුළ ය. මිනිසාට මෙන්ම සතුන්ට ද හානියක් නොවන පරිදි, වර්තමානයේ වැඩියෙන්ම කතාබහට ලක්ව ඇති අලි ප්‍රශ්නය විසඳන්නේ කෙසේද යන්න පිළිබඳව ආචාර්ය රවීන්දූ කාරියවසම්ගෙන් ද අපි විමසීමක් කළෙමු.

‘මේ ප්‍රශ්නය නිර්මාණය කිරීම පිළිබඳව මේ ආණ්ඩුවට චෝදනා කරන්න බෑ. මේ සතුන් සහ මිනිසුන් අතර ප්‍රශ්නය හැදුවෙ මෙතෙක් පැවැති ආණ්ඩු. 1994 – 2024 කාලය ගත්තොත් ලංකාවේ වනාන්තර ප්‍රතිශතය සියයට 15ක් දක්වා පහළ බැහැලා තියෙනවා. අපේ රටේ මේ සතුන්ට සහ මිනිසුන්ට සහයෝගයෙන් ජීවත් වෙන්න නම් සියයට 24ක වනගහනයක් තියෙන්න ඕනෙ.

2006 අවුරුද්දෙ ඉදිරිපත් වුණු ජාතික අලි කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. ඒකෙත් යම් ගැටලු තියෙනවා. එතැනදි අලි පළවාහැරීමත් යම් විද්‍යාත්මක ක්‍රමයක්. ඒක අසාර්ථකම එකක් නෙමෙයි කියලා අපි දැක්කෙ මුලදි. හැබැයි පසුකාලීනව ඒක අසාර්ථක බව අපි දැක්කා. මේ පලවාහැරීම්වලදි ගැහැනු සතුන් සහ පැටවුන් තමයි හුඟක් වෙලාවට කැලෑවලට යන්නෙ. පිරිමි සතුන් මගහැරලා යනවා. මේ වගේ වැඩක් දැන් කළාම විල්පත්තුවෙ තියෙන විල් පහක වතුර ඔවුන්ට ප්‍රමාණවත් නෑ. ඒ වගේම ඒ වටේ තියෙන අක්කර විසිදාහකට ආසන්න ප්‍රමාණයක් කෝමාරිකා, පැපොල් වගේ වගාවලට විනාශ කරලා තියෙනවා. ඒක නිසා ආණ්ඩුව මුලින්ම කරන්න ඕනෙ, අලින්ට යම් වාසයක් සකස් කරන්න වෙනවා.

ගොවි ජනතාවගේ ගොවිබිම්වලින් ඉවතට අනිවාර්යෙන්ම අලින් පළවාහරින්න ඕනෙ. ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ. මෙතැනදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නෑ. ඔවුන්ට අවශ්‍ය නිලධාරීන් නෑ. මේක ඉතාම සංයමයකින් කරන්න ඕනෙ. විශේෂයෙන්ම හමුදාව යොදාගන්නවා නම්, ඔවුන්ව වනජීවී පුහුණුව ලත් පිරිසක් එක්ක යොදවන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ අලින් තව-තවත් ප්‍රචණ්ඩ වීම. ඒක නිසා කෙටිකාලීන කඩිනම් වැඩ කරන්න ඕනෙ මේ ප්‍රශ්නය විසඳන්න. ඊටපස්සෙ දීර්ඝකාලීන ව වනාන්තර ගහණය වැඩිකිරීම ඇතුළු කටයුතු කරන්න ඕනෙ.’

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බිහිවූ දා සිට මේ දක්වාම අලි ඇතුන් සංරක්ෂණයේ හා අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ පදනම වූයේ එම දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරන වනජීවී රක්ෂිත ප්‍රදේශවලට අලි-ඇතුන් සීමාකිරීම ය. වසර 60කට අධික කාලයක් තිස්සේ දැරූ එම උත්සාහයන්ගෙන් පසුව, අද වන විට වන අලි වාසභූමිවලින් සියයට 70ක්ම ව්‍යාප්ත වී ඇත්තේ සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශවල ය.

එම නිසා කාලයෙන් – කාලයට මතුකරන කලබල ව්‍යාපෘති වෙනුවට විධිමත් විද්‍යාත්මක විසඳූමක් මේ ගැටලුව විසඳීමට අත්‍යවශ්‍ය වේ.

Related articles

‘අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය..’ සිංහල පරිවර්තනය එළිදැක්වීම නිමිති කරගත් සංවාදයක් අද (03)

හර්ෂණ රඹුක්වැල්ල ගේ The Politics and Poetics of authenticity හි සිංහල පරිවර්තනය (පරිවර්තක-ලියනගේ අමරකීර්ති) වන 'අව්‍යාජත්වයේ දේශපාලනය සහ...

කුසල් ජනිත්ගේ ඉනිම පරදවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් ප්‍රතිවාදියෙක් නැහැ

කුසල් ජනිත් පෙරේරා සුදු පන්දු ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බව මා බොහෝ කාලයක සිට කියනා කතාවක්.එක්දින තරග කෙසේ වෙතත්...

The Return චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරේ

ඉතාලි ජාතික තිර රචකයකු හා ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයකු වන උබර්තෝ පැසොලිනි ( Uberto Pasolini ) විසින් අධ්‍යක්ෂණය කරන ලද...

ශිෂ්‍යත්ව විභාග තීන්දුවේ මාධ්‍යයෙන් හැළුණු වැදගත්ම කොටස : දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ කිරීමේ සීමා ඉර කුමක්ද?

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව තහවුරු වී ඇති ප්‍රශ්න තුනට විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු-සිසුවියන්ට සම්පූර්ණ ලකුණු...